මාධයට වැරැදි තොරතුරු සැපයීම වැරැදි වැඩක් | Page 2 | සිළුමිණ

මාධයට වැරැදි තොරතුරු සැපයීම වැරැදි වැඩක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති රොහාන් ද සිල්වා

එංගලන්තයේ බර්මින්හැම් නුවර දී ජුනි මස ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට අදාළ ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයට සුදුසුකම් ලත් යුගල කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් තෝරා ගෙන අනෙක් ක්‍රීඩිකාව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදුවූ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ, ජාතික ඔලිම්පික් කමිටුවේ හා ජාතික තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. ක්‍රීඩා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති රොහාන් ද සිල්වා ගෙන් කළ විමසුමකට හෙතෙම මෙසේ පැවැසීය.

මේ ගැටලුව සම්බන්ධයෙන් මම 100%ක් දන්නවා. අපි සුදුසුකම් ලත් කිසිඳු ක්‍රීඩිකාවක් සංචිතයෙන් ඉවත් කර නැහැ. මාධ්‍යට වැරැදි තොරතුරු සැපයීම වැරැදි වැඩක්. අදාළ ක්‍රීඩා උළෙලට යැවීම සඳහා මේ වන විට අපි ක්‍රීඩිකාවන් 4ක් හා ක්‍රීඩකයන් 4ක් තෝරා ගෙන තිබෙනවා. නමුත් මේ තරගාවලිය සඳහා යැවිය හැකි උපරිම ක්‍රීඩකයන් 4ක් හා ක්‍රීඩිකාවන් 3ක් පමණක් බව අපට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් දන්වා තියෙනවා. නමුත් අපි ඒ වෙනුවෙන් ක්‍රීඩිකාවන් 4 දෙනෙකු ද යවන්න ජාතික ඔලිම්පික් කමිටුවෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් අවසර ගෙන අපට එම ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු වුණා. ඒ සම්බන්ධයෙන් කණ්ඩායම ගෙන්වා පැහැදිලි කිරීමක් කළා. ඒ නිසා ඔවුන් දන්නවා ඒ සියලු දෙනාට ම මේ තරගාවලියට සහභාගී වීමේ හැකියාව ලැබෙන බව.

ඒ අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතය සම්බන්ධයෙන් සොයා යෑමේ දී කාන්තා යුගල තේරීම් තරග දෙක ම ජය ගත් නදීෂා ගයත්‍රි ඉවත් කර ඇයත් සමඟ තරග වැදුණු අනිත් ක්‍රීඩිකාව සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලධාරීන් ක්‍රියා කර ඇති බව අනාවරණය වී තිබෙනවා. එසේම නදීෂා ගයත්‍රිගේ නම සංචිතයේ හතර වැනි ස්ථානයේ සටහන් කර ඇති බව ද පැවසේ.

ඒ සම්බන්ධයෙන් තමන්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් නදීෂා ගයත්‍රි විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරියට පැමිණිලි කර ඇති අතර මානව හිමිකම් කවුන්සලයේ ද පැමිණිල්ලක් යොමු කර තිබේ.

අදාළ පැමිණිල්ලට අනුව ජාතික තේරීම් කමිටුව, ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධ වී පොදු තීරණයකට පැමිණ ඇත. එනම් තෝරා ගත් ක්‍රීඩිකාව සමඟ අසාධාරණයට ලක්ව සිටින එම ක්‍රීඩිකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන්න තෝරා ගත යුතු බවත්, එසේත් නැතිනම් දෙදෙනා ම ඉන් ඉවත් කළ යුතුයි කියලා. අසාධාරණයට ලක්වූ ක්‍රීඩිකාව ඉවත් කර සෙසු ක්‍රීඩිකාව සංචිතයට කැඳවීම පිටුපස ජ්‍යෙෂ්ඨතම බැඩ්මින්ටන් නිලධාරියකු ඇතැයි ක්‍රීඩා වෙත වාර්තා වෙයි.

ජාතික ඔලිම්පික් කවුන්සලයෙන් පැවැති තෝරා ගැනීමේ තරගාවලියේ දී යුගල තරග දෙකක් ක්‍රීඩා කර ජය ගන්නා දෙදෙනාගෙන් එක් අයකු සංචිතයට ගැනීමත් සෙසු ක්‍රීඩිකාව ඉවත් කිරීමත් සම්බන්ධයෙන් මේ වන විට කාගේත් විමතියට ලක්වී ඇත. 2014 වසරේදීත් නදීෂාට එවැනිම සිද්ධියක් සිදුව ඇති අතර අදාළ පැමිණිල්ල එවක සිටි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ගේ අවධානයට ලක්කිරීමෙන් අනතුරුව යළි නදීෂාව සංචිතයට එක්කළ බව ද ඇගේ සමීපතයන් අනාවරණය කර සිටිති.

මෙවරත් සංචිතය තෝරා ගැනීමේ දී අංක එකෙන් තේරී පත්වූ ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් එක් අයෙක් සංචිතයට ඇතුළත් කර සෙසු ක්‍රීඩිකාව වෙනුවට වෙනත් ක්‍රීඩිකාවක් ඇයගේ ස්ථානයට යොමු කිරීම අදාළ සේවය අවභාවිත කිරීමක් බවත් බැඩ්මින්ටන් ලෝලීන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් බැඩ්මින්ටන් ජාතික තේරීම් කමිටු සභාපති නිරෝෂන් විජේකෝන් පවසන්නේ,

අපි බැඩ්මින්ටන් සංචිතයට තෝරා ගෙන තියෙන්නේ ක්‍රීඩකයෝ 4යි. ක්‍රීඩිකාවෝ 4යි. ඒ අනුව යුගල තරගයෙන් 2යි, මිශ්‍ර යුගල 1යි. තනි අංක එකේ කෙනාවයි. මේ අය අතුරින් කවුරු හරි අඩු කරන්න ඕන නම් ඒ අයගේ පුහුණුකරු ගෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විමසා අඩු කරන්න වෙනවා. නමුත් තවම උත්තරයක් අපිට ලැබී නැහැ.

Comments