මව්බිමට එරෙහිව මව්බිමේදී කරළියට | සිළුමිණ

මව්බිමට එරෙහිව මව්බිමේදී කරළියට

තීතයේ දී මෙන් නොව වත්මන දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව විවිධාකාරයේ වෙනස්කම් තුළින් පොහොසත්ය. මුලින්ම පැවැතියේ ටෙස්ට් තරගයි. පසුව එක්දින තරගයි. තවත් කාලයක් ගත වූ විට විස්සයි20 තරග බිහි වූයේය. අද වන විට පන්දු සියයේ තරග පැවැත්වෙයි.

මෙසේ සිදු වුවත් තවමත් සම්ප්‍රදායට ගරු කරන ක්‍රීඩකයෝ මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද සිටිති. ඔවුනට අනුව නම් තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් ස්ථානය හිමි වන්නේ ටෙස්ට් තරගයන්ටය. නොඑසේ නම් ටෙස්ට් ක්‍රීඩාවටයි.

මෙම සම්ප්‍රදාය ඉහළින්ම අගය කරන රටක් තිබේ නම් ඒ එංගලන්තයයි. එය ගැන පුදුම විය යුතු නැත. ඒ ක්‍රිකට් ක්‍රීඩාව බිහි වූයේ එංගලන්ත මවු කුසින් නිසාවෙනි.ගත වූ කාලයේ දී එංගලන්ත පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි20 තරගවලදී සාර්ථක වූයේ ය. වෙනත් රටක් නම් එමගින් සෑහීමකට පත් වනු නියතය. නමුත් එංගලන්තයට එය කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත. ටෙස්ට් තරග වලදීත් එවැනිම සාර්ථකත්වයක් ඔවුහු බලාපොරොත්තු වූහ.

එහෙත් එය එසේ නොවීය. ටෙස්ට් ක්‍රීඩාවේ දී ඔවුන් පුදුමාකාර ලෙසින් පසු බැසීමට ලක් වී සිටියහ. ඔවුන් අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 17 තුළදී ජය ගැනීමට සමත් වූයේ තරගයක් පමණකි. එමෙන්ම අවසන් ටෙස්ට් තරග 09 කදී කිසිඳු ජයක් නැත. මෙවැනි දෙයක් සිදු වූයේ 31 හැවිරිදි ජෝ රූට්ගේ නායකත්වය හමුවේ වීම ඇතැමුන්ට අදහාගත නොහැකි වූහ. රූට් 2017 වසරේ සිට ඉකුත් දා දක්වාම ටෙස්ට් නායකයා ය. හෙතෙම ටෙස්ට් තරග 64ක එංගලන්ත නායකයා විය. එය එරටේ වාර්තාවකි. එහිදී ජයග්‍රහණ 27කි. පරාජයන් 26කි. ජය පැරදුමක් නැති තරග 11කි. එම කාලයේ දී සාර්ථකම එංගලන්ත ටෙස්ට් පිතිකරුවා වූයේත් රූට් ය.

දිගින් දිගටම ටෙස්ට් තරගවලදී එංගලන්තය අසාර්ථක වූ හෙයින් බොහෝ පිරිසක් පැවසූවේ නායකත්වයේ වෙනසක් ඇවැසි බවය. එම මතය දැරූ පිරිසට මෑත යුගයේ හිටපු නායකයන් මෙන්ම ප්‍රකට ක්‍රිකට් මාධ්‍යවේදීන් ද වූහ.එංගලන්තය ඔවුනගේ සම්ප්‍රදායක ක්‍රිකට් විරුද්ධවාදියා වන ඔස්ට්‍රේලියාව සමඟ සුප්‍රකට අළු බඳුන ටෙස්ට් තරගාවලියට සහභාගි වූයේ ඉකුත් වසර අගදීය. එහිදී සත්කාරකයන් හමුවේ එංගලන්තය 4 - 0 කින් තරග මාලාව පරාජය වූයේය. එහිදීත් රූට්ගේ නායකත්වය වෙනස් විය යුතු බවට අදහස් මතු කළහ. කෙසේ හෝ රූට් ගේ නායකත්වයෙන්ම එංගලන්තය මීළග ටෙස්ට් තරගාවලියට කැරිබියානු සංචාරයට ගියේය. එහිදී ඔවුන් ටෙස්ට් තරග 03කට සහභාගි වූහ. එහෙත් ප්‍රතිඵලය වෙනස් වූ යේ නැත. බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට තරග 1- 0ක ජයක් අත් විය. නැවත වතාවක් රූට් විරෝධීන්ගේ හඬ අවදි වූහ. අවසන දී රූට් නායකත්වයෙන් ඉවත් විය. එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ක්‍රියාත්මක වූහ. ඒ අනුව ජාතික කණ්ඩායමේ පුහුණුකාරිත්වයේ වෙනසක් කළ හ. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට එම ධූරය අහිමි වීමයි. නමුත් ඒ වැඩි කලකට නොවේ. දැන් ඔහු ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ලෙසට පත්කර තිබේ.

එංගලන්තය වෙනුවෙන් නව නායකයෙක් පත්කර ගැනීමේ වගකීම පැවරුණේ නව එංගලන්ත ක්‍රිකට් කළමණාකරන අධ්‍යක්ෂ ලෙස පත්කළ රොබ් කී හටය. හෙතෙම හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකි. ඔහු වහාම ක්‍රියා කළේය. ඒ වත්මන් උප නායක බෙන් ස්ටෝක්ස් නව නායකයා ලෙස පත් කිරීමය. ටෙස්ට් නායකත්වය බෙන්ට පැවරීම ගැන මම කිසි ලෙසකවත් පැකිළුණේ නැත. රතු පන්දු ක්‍රීඩාවේ ඊළග යුගය කරා මේ කණ්ඩායම රැගෙන යෑමට අපට අවශ්‍ය මානසිකත්වය සහ ප්‍රවේශය ඔහු සංකේතවත් කරනවා.ඔහු නායකත්වය බාර ගැනීම ගැන මම දැඩි ලෙස සතුටට පත් වෙනවා“ රොබ් කී පැවසීය.

මාස කිහිපයකින් පමණක් ස්ටෝක්ස් හිටපු නායක රූට්ට වයසින් බාලය. ඔහු නායකත්වයේ වගකීම් මීට පෙරත් දරා ඇත. ටෙස්ට් සහ එක්දින තරග කිහිපයකදි ම ඔහු නායකත්වය දැරීය.

ස්ටෝක්ස් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් හපනෙක් ලෙසට සැළකෙයි. ඔහු ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකි. එමෙන්ම සාර්ථක දකුණත් මද වේග පන්දු යවන්නෙකි. තවද අති විශිෂ්ට පන්දු රකින්නෙකි. ශ්‍රීමත් ඉයන් බෝතම් සහ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් ගෙන් පසුව එංගලන්තයට ක්‍රීඩා කළ සාර්ථකම තුන් ඉරියව් හපන් ක්‍රීඩකයා ලෙසටත් ස්ටොක්ස් සැළකෙයි. මේ වන විට බෝතම් සහ ෆ්ලින්ටෝෆ් මෙන්ම එංගලන්ත ජාතික ක්‍රිකට් නෞකාවේ කප්පිත්තාගේ වගකීම ඔහුට ලැබී තිබේ.

කෙසේ වෙතත් බෝතම් සහ ෆ්ලින්ටොෆ් නායකයන් ලෙස සාර්ථක වූයේ නැත. ස්ටෝක්ස් හට තිබෙන අභියෝගයත් එය වේ. ක්‍රීඩකයෙකු ලෙසට ඔහුගේ හැකියාව ගැන කිසිඳු සැකයක් නැත. 2011 වසරේ සිට ජගත් තරග පිටියේ දී ඔහු ඒ බව සනාථ කළේය. එහි ඉහළම අවස්ථාව 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයයි. එහිදී සිය උපන් රට වූ නවසීලන්තය හමුවේ එංගලන්තයට මංගල එක්දින ලෝක කුසලානය හිමිකර දීමට දායක වූයේ තරගයේ වීරයාත් වෙමින් ය.බෙන්ජමින් ඇන්ඩෘ ස්ටෝක්ස් එංගලන්තයේ පදිංචියට ගියේ කුඩා අවධියේදීමය. ඒ හිටපු නවසීලන්ත රග්බි ක්‍රීඩකයෙක් වන ඔහුගේ පියා වූ ජෙරාඩ් හට එංගලන්ත සමාජ කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ධූරය ලැබීම නිසාවෙනි. මේ ගමනට ඉංග්‍රීසි ජාතික මව ඩේබ් ද එක් වූවාය.

පසු කළෙක සිය පවුලම යළි නවසීලන්තයට ගියහ. නමුත් බෙන් එංගලන්තයේ ම නතර විය. බෙන්ගේ පියා 2020 වසරේ දී මෙලොවින් සමු ගත්තේය. මේ වන විට ස්ටෝක්ස් ලේටන් සහ ලිබී යන දූ දරුවන්ගේ දයාබර පියාය. ඔහුගේ බිරිය ක්ලෙයාර්ය.

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පත් වූ 81 වැනි නායකයා ස්ටෝක්ස් ය. එමෙන්ම විදේශයක උපත ලබා ටෙස්ට් නායකත්වයට පත් වූ 19 වැනියා ය. මීට පෙර අවසන් වරට ටෙස්ට් නායකත්වයට පත් වූ විදේශයක උපන් නායකයා වූයේ දකුණු අප්‍රිකාවේ කෙවින් පීටර්සන්ය. විදේශයක උපත ලබා එංගලන්ත ටෙස්ට් නායකත්වයට පත් වූ ප්‍රකට ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙසේ ය. ඩග්ලස් ජාර්ඩින් ,කොලින් කවුඩ්රි සහ නසාර් හුසේන් ඉන්දියාව ය. ටෙඩ් ඩෙක්ස්ටර් - ඉතාලිය, ෆ්‍රෙඩී බ්‍රවුන් - පේරු සහ ටෝනි ග්‍රේග් දකුණු අප්‍රිකාවය .එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මට ලබා දීම විශේෂ ගෞරවයක් ලෙස සළකනවා“ ස්ටෝක්ස් පැවසීය.

එංගලන්ත කණ්ඩායමේ මීළග ටෙස්ට් තරග මාලාව පැවැත්වෙන්නේ ලබන ජුනි මාසයේ දීය. එහිදී වත්මන් ටෙස්ට් ලෝක ශුරයන් වන නවසීලන්තය සංචාරක කණ්ඩායම වනු ඇත.

Comments