සියලු සිත් සැනසේවා - ගිනි දලු නිවේවා ! අපේ එකම පැතුම එයයි | සිළුමිණ

සියලු සිත් සැනසේවා - ගිනි දලු නිවේවා ! අපේ එකම පැතුම එයයි

 

 සුරේකා නිල්මිණි ඉලංකෝන්

 

වෙසක් සඳ සුපුරුදු පරිදි අහස සැරසුවත් ඒ සඳේ සිසිලත් සුවයත් විඳින්නට වෙනදා මෙන් බොහෝ සිත්වලට නිදහසක් නැතුවා සේය. වෙසක් අසිරිය විඳින්නට බලා සිටි හදවත් මත බිය සැක, සන්තාපය තැවරී ඇත. බෞද්ධ දර්ශනය මත පදනම් වූ, එයින් පෝෂණය ලැබූ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන ආගමික උත්සව අතර වෙසක් උත්සවයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. බෞද්ධ බැතිමතුන් විසින් වෙසක් පොහොය දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදු වීම, බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම යන සම්බුදු තෙමඟුල වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවීමය.

 

වෙසක් මස පසළොස්වක පොහෝ දිනය බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන් සතුට දනවන මහා සංස්කෘතික මංගල්‍යයකි. වෙසක් සැමරුම සතියක පමණ කාලයක් පැවැත්වෙන අතර බෞද්ධයෝ බුදුන් වහන්සේ පිදීමට ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා භාවිත කරති. පන්සිය පනස් ජාතක කථා නිරූපණය කරන විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වූ තොරන් බොහෝ නගර වල දැකිය හැකිය. බොහෝ නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන්වලින් ආලෝකමත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාරපාන සපයන දන්සැල් රාශියක් ගම් නගර පුරා ඉදිවන අතර විශේෂයෙන් අගනුවර වෙසක් අසිරිය නරඹන්නට ගම්දනව්වලින් පවා කොළඹට ඇදෙන මහ සෙනඟකි. කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් පින් සිතින් එලෙස වෙසක් උත්සවරය සැමරීමට පුරුදුව සිටියද ඉකුත් තෙවසරක කාලය තුළ ඒ සතුට ඔවුන් බොහෝ දෙනකුට අහිමි විය.

2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයෝ කම්පාවට පත්කළේ ඒ වසරේ වෙසක් සැමරුම උත්සවශ්‍රීයෙන් ගතකරන්නට තිබූ අවස්ථාව අහිමි කරමිනි. ඉන්පසු ලෝකයටම මුව ආවරණ පැලැන්ඳූ කොවිඩ් 19 වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වීමත් සමඟ 2020 මෙන්ම 2021 වසරේදී වෙසක් අසිරිය විඳ ගැනීමට ලැබුණේ වසංගතය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වය. කොවිඩ් වසංගත තත්ත්වය මඳක් සමනය වෙමින් තිබෙන මේ වසරේදී වෙසක් පොහොය උදාවූයේ රටත් රට වැසියාත් කිසියම් අඳුරු, අපැහැදිලි, අවිනිශ්චිත තත්ත්වයක පසුවද්දීය.

ඉකුත් අප්‍රේල් 9 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ සාමකාමී ජනතා අරගලයත් එම පරිශ්‍රයේ ඉකුත් මැයි 9 වැනිදා ඇතිවූ කලහකාරී තත්ත්වයත් හේතුවෙන් රටේම ජනතාව අවිනිශ්චිත තත්ත්වයකට පත්විය. වෙසක් පොහොය උදාවට සතියකට පමණ පෙර වෙනදා රට පුරා දැකිය හැකි වෙසක් උත්සවය සැමරීමේ සූදානම මෙවර දැකගත නොහැකි විය. රට පුරා ඇතිවන්නට ගිය කලහකාරී තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා රට පුරා ඇඳිරි නීතිය පනවන්නට රජය කටයුතු කළ බැවින් වෙසක් සතියට සූදානම් වීමේ පෙර සතිය නිවෙස්වලම ගතකරන්නට ජනතාවට සිදු විය. මේ ලිපිය ලියන මොහොත වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර වෙසක් සඳ එළියෙන් රටේ ඝනඳුර මැකෙනු ඇතැයි යන පහන් සිතිවිල්ල බොහෝ සිත් තුළ වේ. මෙවැනි පසුබිමක් තුළ වෙසක් උත්සවය පැවැත්වීමේ වටිනාකම සහ ඒ සැමරුම කෙසේ පැවැත්විය යුතුද යන්න පිළිබඳ අප විද්වත් අදහස් විමසුවෙමු.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසුවේ විවිධාකාර ප්‍රශ්න රාශියකට රට මුහුණ දී තිබෙන පසුබිමක් තුළ මෙවර 2566 වැනි වෙසක් උදාව සිදුවන බවයි. ඉකුත් තෙවසර තුළ වෙසක් සැමරුම රිසි සේ සිදු කිරීමට නොහැකි වූ තත්ත්වයක් තුළ මෙවර වෙසක් උත්සවය අතිශයින්ම වැදගත් වන බවත් වෙසක් සැමරුම සඳහා අදාළ පරිසරය සකසා ගැනීම කළ යුතුව ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

“මේ වන විට රටේ ආර්ථික ප්‍රශ්න, දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න ඇතුළු විවිධ ප්‍රශ්න පැන නැඟී තිබෙනවා. ඒ යටතේ යම් භීෂණකාරී පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව පසුගිය දිනවල පෙනෙන්නට තිබුණා. ඒ භීෂණකාරී පරිසරය නිසා ජීවිත කිහිපයක් වගේම මහජන දේපළ අති විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඇතැම් තැනකදී ජාතිවාදී අරගල පවා ඇවිළෙන්නට පටන් ගත්තා. නමුත් ආගමික නායකවරුන්ගේ සහ සිවිල් සමාජයේ නායකයන්ගේ මැදිහත්වීම නිසා ඒ භීෂණය වැළකුණා. මේ මොහොතේදී කිසිසේත්ම භීෂණකාරී වැඩවලට පෙළඹෙන්නෙපා කියලා අපි හැමදෙනාටම කියනවා.

වෙසක් උත්සවයේදී අපි විශේෂයෙන් සිහි කරන බුදු රජාණන් වහන්සේගේ ධර්මයට පදනම් වී තිබෙන්නේ කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාව යන සංකල්ප පදනම් කරගෙනයි. ඒ නිසා අපි කාටත් කාරුණික වෙමු, මෛත්‍රිය පතුරවමු. සිංහල, දෙමළ, මුස්ලිම් වේවා අපි කවුරුත් එකම සහෝදරයෝ. ආගමික වශයෙන් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ඉස්ලාම් ආදී සෑම ආගමකටම අයත් අපි එකම සහෝදර පිරිසක්. අපි හැමදෙනාම එක මවකගේ දරුවෝ. සහෝදරත්වයේ ඒ හැඟීම හිතේ තබාගෙන කිසිවකුට කරදරයක් සිදු නොවන ලෙසත් කිසිවකු හෝ විපතට පත්වුණා නම් කිසිදු භේදයකින් තොරව ඔවුන්ට උදවු උපකාර කිරීමට ඉදිරිපත් වීමත් අවශ්‍යයි. බුදු රජාණන් වහන්සේගේ උතුම් අවවාද පිළිගන්නා ශ්‍රාවකයන් විදිහටත් ශ්‍රී ලාංකිකයන් විදිහටත් ලක් මවගේ දූ දරුවන් ලෙස එකමුතුව එක්සිත්ව කටයුතු කරන්නට මේ වෙසක් උත්සවය උපයෝගී කරගනිමු.”

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රමුඛ සර්වආගමික නායකයෝ ඒ එකමුතුකමේ පණිවිඩය ආදර්ශය තුළින් ජනතාව වෙත මුදාහැර ඇත. ඇවිළෙන්නට ගිය බොහෝ තැන් සාමයේ සිසිල් දියදහරින් නිවාලන්නට ඔවුහු සමත් වූහ. කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා වෙසක් උත්සවය දකින්නේ බුදුන් වහන්සේගේ උත්තරීතර පණිවිඩය සමාජගත වන සුවිශේෂි දිනයක් ලෙසිනි.

“ අප මේ ගෙවමින් සිටින්නේ ඉතා සුවිශේෂී තීරණාත්මක වකවානුවක්. එක් පැත්තකින් ජනතා හිතෛෂී දේශපාලන රාමුවකට පිවිසීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ජනතාව සාමකාමී අරගලයක නිරතව සිටිනවා. අනෙක් පැත්තෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලඥයන් තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සාහ කරනවා. මේ පාර්ශ්ව දෙකටම බුදුන් වහන්නේ වදාළ පණිවිඩය අතිශයින් වැදගත් වෙනවා. “තණ්හාය ජායතී සෝකෝ ” කියන බුදු වදන අනුව ශෝකය උපදවන්නේනත් ශෝකයට ඉවහල් වන්නේත් තණ්හාවයි. බලයට තිබෙන අසීමිත තණ්හාව නිසා බලය අතහරින්නට සූදානම් නැති දේශපාලඥයන් දකින විට බුදු හිමියන් දෙසූ වදන් සත්‍යයක් බව සනාථ වී තිබෙනවා. මේ තණ්හාව නිසා අද රටත් රටවැසියාත් දුක් සයුරක ගිලිලා. වෙසක් උත්සවය සමරන මේ අවස්ථාවේදී දේශපාලඥයන්ට වගේම ජනතාවට බුදුන් වහන්සේ වදාළ වදන් ඉතා වැදගත් වනවා. තණ්හාව නැති නැති, අත්හැරීම ඇති තැන ශෝකය නැතිවෙනවා. දේශපාලඥයන් බලයට ඇති තණ්හාව අතහරිනවා නම් මේ රටේ ප්‍රශ්න බොහොමයක් විසඳාගෙන ජනතාවට සැනසීම උදාකර ගත හැකියි.”

බුදුන් වහන්සේ පවසා තිබෙනවා, “නහී වේරේන වේරානි”, වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව. එය අරගලකරුවන්ටත් හොඳ පණිවිඩයක්. අපි දන්නවා මාසයක් පුරා ගෝල්ෆේස් භූමියේ තරුණ දූ දරුවන් ගෙනගියේ සාමකාමී අරගලයක් බව. එයට එල්ල වූ මැර ප්‍රහාරය නිසා එහි සාමකාමී බව බිඳුණත් ඔවුන්ගෙන් පළිගැනීම ශිෂ්ට ක්‍රියාවක් නෙවෙයි. බුදුන් වහන්සේ පවසා තිබෙනවා, කුරා කුහුඹුවකුටවත් හිංසාවක් කරන්න එපා කියලා. කිසියම් පිරිසක් අවිහිංසාවාදී අරගලයට හිංසාව ඇතුළු කළත් අප ඔවුන්ට වෛර කරමින් තවදුරටත් හිංසාව පවත්වාගෙන යා යුතු නැහැ. බුදුන් වහන්සේ අපට උගන්වන්නේ අරගලය ජයගත හැක්කේ අවිහිංසාව තුළින් බවයි. එහෙනම් එළැඹෙන වෙසක් දිනයේදී අපේ හදවත් තුළට ඇතුළු කරගත යුත්තේ ඒ පණිවිඩයයි.”

ජීවිත තක්සලාව පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායකයන් පැවසුවේ මෙවර වෙසක් පොහොය උදාවන්නේ ඉතා බැරෑරුම් කාල පරිච්ඡේදයක වුවත් ආගමික ශාස්ත්‍රවරුන් දෙසූ වදන් සිහිපත් කිරීමට එයම හොඳ අවස්ථාවක් බවට පත්ව ඇති බවයි.

“ විශේෂයෙන් බෞද්ධයන් හට බුදුහාමුදුරුවෝ දෙසූ වදන් මෙනෙහි කරන්න මෙය හොඳ අවස්ථාවක්. මේ තරම් දුක් වින්ද කාලයක් කාටවත් මතක නැතුව ඇති. දුක්ඛ කියන සත්‍යය තේරුම් ගන්න මේක තමයි හොඳම කාලය. බුදු හාමුදුරුවෝ කිව්වේ සැනසීම තියෙන්නේ අතහැරීම තුළ කියලයි. තණ්හාවේ, තෘෂ්ණාවේ ඇලිලා ගැලිලා ඉන්න මිනිස්සු කිසි දෙයක් අතහරින්නේ නැති බව අපි මෑත කාලයේ දැක්කා. විශාල ධනස්කන්ධයක් රැස්කර ගන්න, අනෙකාගෙන් පළිගන්න, බලය රැකගන්න කියන ආශාවන් පස්සේ යනතාක් කල් අපේ හිතට සැනසුමක් නැහැ. නිවන කියන්නේ නිවෙනවාටනේ. දුක නැමැති ගිනි දැල් එනකොට ඒවා නිවාගත්තේ නැත්නම් අපි තවත් පිච්චෙනවා. නිවාගන්න නම් අපි හැකිතාක් දුරට ආශාවන් අඩුකරගත යුතුයි. පෘතග්ජන මිනිසුන් වෙන අපිට සීයට සීයක්ම එය කරගත නොහැකි වුවත් ටිකින් ටික ඒ සඳහා හිත හුරුකර ගත යුතුයි. අනුන්ට යහපතක්, උදවුවක් වන ආශාවන්වලින් අයහපතක් වෙන්නෙ නැහැ. එවැනි පරාර්ථ චර්යාවන් දියුණු කරගැනීමටත් මේ වෙසක් උත්සවය හොඳ අවස්ථාවක්.”

වෙසක් උත්සවයේ වටිනාකම එසේ පැහැදූ මහාචාර්ය ජේ. බී. දිසානායකයන් සියලු ආගම්වලින් විවිධ ස්වරූපයෙන් කියැවෙන වටිනාම දහම ආදරය, කරුණාව, මෛත්‍රිය බවත් මේ වෙසක් උත්සවයේදී තමාගේ ජීවිතය දෙස හැරී බැලීමට අවස්ථාවක් උදාකර ගැනීමේ වැදගත්කම ගැනත් අවධාරණය කළේය.

“ රටේ පොදු අරගලයක් තියෙන අවස්ථාවක මේක තමයි හොඳම අවස්ථාව තමන්ගේ ජීවිතය ගැන සිතන්න සුළු මොහොතක් වෙන්කරගන්න. පන්සලට යන්න පුළුවන් නම් හොඳයි. පන්සලේ තියෙන සන්සුන් පරිසරය හිත නිවනවා. සංසාර ගමන කෙටිවෙන්නේ ආශාවන් අඩුවෙනකොටයි. ආශාවන් වැඩිකරගෙන සංසාර ගමන දිගු කරගන්නවද නැත්නම් ආශාවන් අඩු කරගෙන හිත නිවාගන්නවද කියලා හිතන්න මේක අපට ලැබුණු හොඳ අවස්ථාවක්”

බුද්ධාගමින් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පරම්පරා ගණනාවක් තිස්සේ ආරක්ෂා වූයේ ආගම සමඟ බවත් විනයගරුක සමාජයක් බිහිකිරීම සඳහා ආගමකින් ලැබෙන ප්‍රයෝජනය ඉතා විශාල බවත් මහාචාර්ය අජන්තා හපුආරච්චි පැවසුවාය.

“ වසර ගණනාවක් තිස්සේ අපි වෙසක් උත්සවය සැමරුවා. මොන ප්‍රශ්න, බාධක තිබුණත් වෙසක් උත්සවය නැතිවෙන්නේ නැහැ. තිබෙන වාතාවරණය තුළ ඉස්සර වගේ ඉතා උත්සවශ්‍රීයෙන් වෙසක් උත්සවය සැමරීමට අපට අවස්ථාවක් නැති වුණත් සුළුවෙන් හෝ වෙසක් උත්සවය සැමරීම වෙසක් උත්සවයෙන් සිහි ගැන්වෙන ධර්මතා මතක් කරගැනීමට මිනිසුන්ට ලැබෙන හොඳ අවස්ථාවක්. වර්තමානයේ රටේ ජනතාව ප්‍රශ්න රාශියකින් අසරණ වෙලා ආවේගයට පත්වෙලා සිටින අවස්ථාවක්. කලකිරීමෙන් වේදනාවෙන් ජීවත් වෙන්නේ. එවැනි අවස්ථාවක වෙසක් මංගල්‍යය උදාවීමත් හොඳ අවස්ථාවක්. අඩුමතරමින් ආගමානුකූලව හිත නිවාගැනීම සඳහා මෙය අවස්ථාවක් කරගැනීම සුදුසු බවයි මගේ හැඟීම. මොනතරම් ප්‍රශ්න තිබුණත් වෙසක් වගේම අනෙකුත් ආගමික උත්සවත් සුළුවෙන් හෝ සැමරීම කළ යුතුයි. ඊට හේතුව ආගම කියන්නේ මිනිසාට අවශ්‍යම දෙයක්. එය පරම්පරා ගණනාවක් තිස්සේ සමාජය තුළ තිබුණා. ඉදිරියටත් තිබිය යුතුයි.”

වෙසක් උත්සවය ගැන අදහස් දක්වමින් ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන පැවසුවේ වෙසක් උත්සවයේ ශ්‍රේෂ්ඨතම පණිවිඩය සමානාත්මතාව බවයි.

“ බුදුන් වහන්සේගේ දහමේ එන වඩාත් ගැඹුරින්ම ගරු කරන ගාථා පාඨය වන්නේ තමා තමාකොට අනෙකා දෙස බලන්න යන්නයි. මම හිතන්නේ මේ ලෝකයට එදා වගේම අදත් අද වගේම හෙටත් අවශ්‍ය කරන ගැඹුරුම පණිවිඩය තියෙන්නේ ඒ වදන් තුළයි. මිනිසා සියලු භේදවලින් තොරව තමාට දැනෙන වේදනාවම අනෙකාටත් දැනෙනවා කියන අදහසින් කටයුතු කිරීම තුළ මිනිසාට පමණක් නෙවෙයි ලෝකයේ සියලුම සත්ත්වයන්ට මානව දයාව ළඟ නැංගුරම්ලන්නට අවස්ථාවක් ඒ මගින් සැලසෙනවා. සමස්ත ජීව ලෝකයටම එක හා සමානව දයාව, කරුණාව ලැබෙනවා. පෞද්ගලිකව මම ලෝකය දියුණුයි කියලා දකින්නේ අන්න ඒ තැනට මිනිසා ආව දවසටයි.”

එවැනි අපූරු අදහස් තුළින් නිවී සැනසෙන්නට, දැවෙන සිත නිවාගන්නට අවැසි බොහෝ දෑ බුදු දහම තුළ අන්තර්ගතව ඇත. මේ අසිරිමත් වෙසක් මංගල්‍යෙය්දී තමාත් නිවී අනෙකා ද නිවන්නට මඟපෙන්වීම ඒ තුළින් ලැබෙනු ඇත.

 

Comments