විරෝ­ධතා හමුවේ මධ්‍යම පළාත කැල­ඹුණේ මෙහෙ­මයි | සිළුමිණ

විරෝ­ධතා හමුවේ මධ්‍යම පළාත කැල­ඹුණේ මෙහෙ­මයි

කෙහෙළිය රඹු­ක්වැ­ල්ලගේ අනිවත්තේ නිවසේ ඉපැරණි ගෘහ භාණ්ඩ ගින්නෙන් විනාශ වී තිබෙන අයුරු.
කෙහෙළිය රඹු­ක්වැ­ල්ලගේ අනිවත්තේ නිවසේ ඉපැරණි ගෘහ භාණ්ඩ ගින්නෙන් විනාශ වී තිබෙන අයුරු.

 

හනුවර ජෝර්ජ්.ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ ගෝඨා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල වූයේ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර ගෝඨාගම ගෝ ගම අරගලකරුවන්ට පහරදී පැයක් යන්නටත් මත්තෙනි.

 

ගාලුමුවදොර ගෝඨා ගෝ ගමේ අනුශාඛාවක් ලෙස මහනුවර ගෝඨා ගෝ ගම ස්ථාපිත කෙරුණේ පසුගිය අප්‍රේල් මස 17 දිනය.යකඩ පොලු හා මුගුරු රැගත් දස දෙනෙකුගෙන් පමණ යුත් මැර පිරිස පස්වරු 1.00 ට පමණ ගෝඨා ගෝ ගමට පැමිණ එහි සිටි 25 දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමට පහරදී පලවා හැරියේ ‍එහි තිබූ අට්ටාලය ඇතුළු සියලු දේ බිමට සමතලා කරමිනි. පොලීසිය මැදිහත්ව එය පාලනය කිරීමට උත්සාහ කළත් එය සාර්ථක නොවූයේ මැර පිරිස පොලිස් අණ ද නොතකමින් ප්‍රහාරය දියත් කිරීම හේතුවෙනි. පහර කෑමෙන් තුවාල ලත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් ඇතුළු තිදෙනකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මහනුවර ජාතික රෝහලටය.පහරදීමට පැමිණි එක් අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සුළු මොහොතකට පසු මුදාහැරී බවට ගෝඨා ගෝ ගම පවත්වාගෙන ගිය පිරිස චෝදනා කළේ ඒ සඳහා සාක්ෂි ලෙස ජංගම දුරකතන මඟින් ලබාගත් දර්ශන ද පෙන්වමිනි. අදාළ ප්‍රහාරය එල්ල වී විනාඩි කිහිපයකදී දහස් සංඛ්‍යාත පිරිසක් ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය ඉදිරිපිටට රැස්වූයේ පහරදීමට අදාළ දර්ශන ඒ මොහොතේම සමාජ මාධ්‍යයට මුදා හැර තිබීම මඟින් සිදුවූ දැනුම්වත් වීම ඔස්සේය. එලෙස

කෙහෙ­ලිය රඹු­ක්වැ­ල්ලගේ මහනුවර අනිවත්තේ තිබෙන
නිවස ගිනි­ගෙන විනාශ වන අයුරු.

පැමිණි පිරිස ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණය කරන්නට වූහ. ඒ වනවිටත් පහර දීම සිදු කළ බවට අරගලකරුවන් හඳුනාගෙන සිටි ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරන මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වන සංගීත් සිල්වා ඇතුළු පිරිස ප්‍රදේශයෙන් පළා ගොස් තිබිණි. මහනුවර පොලිස් මූලස්ථානය අබියසට ද ගොස් විරෝධතාවේ නිරත වූ පිරිස විසිර ගියේ හැකි ඉක්මනින් සැකකරුවන් නීතිය හමුවට පමණුවන බවට පොලීසිය ලබා දුන් පොරොන්දුව පිළිගනිමිනි. ඒ වනවිටත් පනවා තිබූ ඇඳිරි නීතිය නොතකමින් අරගලකරුවන් ඔරලෝසු කණුව ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණ කරන්නට වූයේ ගාලුමුවදොරට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමිනි.

පස්වරුව වනවිට මාතලේ හා දඹුල්ල නගරවලටත් අති විශාල පිරිසක් එක්ව සිටියහ.ගාලු මුවදොර අරගල භූමියට කඩා වැදී පහර දුන් පුද්ගලයන්ට මෙන්ම ඔවුන් පැමිණි බස් රථවලට ද පහර දෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ඒ මොහොතේම ප්‍රචාරය වීමත් සමඟ ප්‍රාදේශීය මට්ටමින්ද පහර දීම් ආරම්භ විය.මධ්‍යම පළාතේ පළමු ප්‍රහාරය එල්ල වූයේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවසටය. ජනක ඇමැතිවරයාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද පදිංචිව සිට ඇත්තේ මෙම නිවසේ ම ය. මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයට යාබදව දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පිහිටි නිවසට පහරදීම සඳහා හයසීයක පමණ පිරිසක් පැමිණි බව පොලීසිය පවසයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නිවසවලට පහර දෙන බවට පැතිර ගිය ආරංචියත් සමඟ මෙම නිවසට ද පොලිස් ආරක්ෂාව යොදවා තිබුණත් පැමිණි පිරිස පාලනය කිරීමට ඔවුන්ට නොහැකි විය. දඹුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටට 09 දින පස්වරු 2.00 ට පමණ එකතු වූ 1200 ක පිරිස අතරින් 600 ක පමණ කණ්ඩායමක් ජනක තෙන්නකෝන්ගේ නිවස දෙසට පැමිණ තිබෙන්නේ පස්වරු 7.15 ට පමණය. මාර්ගය ද අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් විරෝධතා පැවැත්වූ පිරිස අතරින් කිහිපදෙනෙකු හිටපු ඇමැතිවරයාගේ නිවසට ඇතුළු වී කළ ගිනි තැබීමෙන් නිවසට දැඩි හානි සිදුවිය. ගින්න නිවා දැමීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ අතර එය නිවී ගියේ නිවසේ ගෘහ භාණ්ඩ ද පිළිස්සී ගිය පසුය.

ජනක හා ප්‍රමිත පිය පුතු දෙපොළගේ නිවසට ගිනි තැබූ පිරිස ඉන් අනතුරුව පිටත් වූයේ දඹුල්ල තිත්තවැල්ල ගොල්ල ප්‍රදේශයටය. ඒ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත හා ඔහුගේ සහෝදර චන්න ඕපාත යන අයගේ නිවාසවලට ගිනි තබන්නටය. මුලින් ගල්මුල්වලින් පහරදී පසුව එම නිවාස දෙකටද ගිනි තැබූ පිරිස විසිර ගියේ රාත්‍රී 8.45 ට පමණය. මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමට සහභාගි වී ආපසු එමින් සිටි ජාලිය ඕපාත ඒ වනවිටත් මීරිගම ප්‍රදේශයේදී පිරිසකගේ පහර කෑමට ලක්ව රෝහල් ගතකර සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩගේ නිවස පිහිටා තිබෙන්නේ පලාපත්වල තොටගමුව ප්‍රදේශයේය. එම නිවස ඉදිරිපිටට රැස්වූ 600 ක පමණ පිරිසක් ටයර් පුළුස්සමින් විරෝධතා දක්වත්දී ඒ අතර සිටි කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල කළේය. ඉන් නිවසේ ප්‍රධාන දොරටුවට හා ජනේල කිහිපයකට හානි වී ඇත. මාතලේ පිහිටි රාජ්‍ය ඇමැති රෝහණ බණ්ඩාරනායකගේ නිවස ඉදිරිපිට ද 200 ක පමණ කණ්ඩායමක් රැස්ව විරෝධතාවක නිරත වූවත් ඔහුගේ නිවසට පහරදීමක් සිදු නොවීම විශේෂත්වයකි. ගලේවෙල තලකිරියාගම පිහිටි ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පී.ආර් ජයතිලකගේ නිවසටද විරෝධතාකරුවන් පිරිසක් පහරදී ගල් වලින් පහරදී අලාභ හානි සිදුකර තිබුණේ පස්වරු 7.10 ට පමණය.

සියල්ල මෙසේ සිදුවත්දී මහනුවර නගරයට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටි පිරිසක් රාත්‍රී 8.30 ට පමණ අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ නිවස දෙසට ගමන් ගන්නට වූහ. ඒවන විටත් පොලිස් නිලධාරීන් විසි දෙනකු පමණ රඹුක්වැල්ලගේ නිවසට ගොස් සිටියේ අවශ්‍යතාවක් වුවහොත් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරිම සඳහා සූදානමිනි.හාරසීයක පමණ කණ්ඩායමක් නිවසට කඩා වැදීමට උත්සහ කිරීමත් සමඟ පොලීසිය ඔවුන් පළවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළත් එය ව්‍යර්ථ විය.නිවස පිහිටි පරිශ්‍රයට ස්ථාන කිහිපයකින් ඇතුළු වූ කණ්ඩායමක් සිදුකළ ගිනි තැබීමත් සමඟ පොලීසිය පසුබැස්සේය. මහනුවර රාජධානි සමයට අයත් දැව කැටයම් යොදා 70% ක් පමණම දැව උපයෝගි කරගෙන නිර්මාණය කර තිබූ දෙමහල් නිවස පසුදින පෙරවරුව වනවිටත් දැවෙමින් තිබුණේ නිවසේ තිබූ ගෘහ භාණඩ ඇතුළු සියල්ල අළු ගොඩක් බවට පත්කරමිනි.

මහ­නු­වර ගෝඨා ගෝ ගමට ප්‍රහා­ර­යක් එල්ල වූ අව­ස්ථාව.

මහනුවර ටොපෑස් හා ටෝමර්ලීන් හෝටල් පරිශ්‍රයට යාබදව මෙම නිවස ඉදිකර තිබේ. ගාමිණි දිසානායක එජාපයෙන් ඉවත්ව රාජාලියා පක්ෂය පිහිටවූ අවස්ථාවේ ඔහුගේ ප්‍රබල ආධාරකරුවෙකු වූ රඹුක්වැල්ල මහතා වරක් දිසානායක මහතාව මෙම නිවසට කැඳවා දිවාභෝජනයක් ලබාදී ඇත.එම අවස්ථාවේ නිවසේ සුන්දරත්වය දැක එය විකිණීමේ අදහසක් ඇත්නම් තමන් මිලදී ගැනීමට සූදානම් බව දිසානායක මහතා රඹුක්වැල්ල මහතාට පවසා තිබේ.මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින් අතරින් මේ අකාර විනාශයක් අතිවිඳන්නට සිදුවූයේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට පමණි.ඒ සම්බන්ධව අප කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මෙවන් අදහසකි.මම දේශපාලනයට එන්නට පෙර සාර්ථකව ව්‍යාපාර කළ කෙනෙක්. මේ නිවස මම හැදුවේ ව්‍යාපාරවලින් ඉපැයූ මුදල් වලින් කියන එක මහනුවර ජනතාව දන්නවා. දේශපාලනයට ඇවිත් මම මුදල් හම්බ කළේ නැහැ. අතේ මුදල් වියදම් කරලා තමයි දේශපාලනය කළේ.

හිටපු ඇමැති රඹුක්වැල්ලගේ නිවසට පිරිසක් මෙලෙස ගිනි තබත්දී තවත් කණ්ඩායමක් බෝගම්බර ක්‍රීඩාංගණය දෙසට ගියේ දහවල් මහනුවර ගෝඨා ගෝ ගමට ප්‍රහාරය එල්ල කිරීමට මූලිකත්වය ගත් සංගීත් සිල්වා සොයාගෙනය. ඒ වනවිටත් ඔහු පවුලේ උදවියත් සමඟ නිවෙසින් පිටව ගොස් තිබිණි. නිවසේ දොර කඩා ඇතුළු වූ පිරිස එහි තිබූ ගෘහ භාණ්ඩ රැසක් පිටතට රැගෙන විත් ගිනි තැබූහ. පසුව සිවුවන මහලට ගොස් එහිවූ ඇඳකට ගිනි තැබූ පිරිස නිවසින් පිටතට එද්දී අසල්වැසියන් පිරිසක් පැමිණ ගින්න නිවා දමන ලෙස ඉල්ලීමක කළහ. ඒ අදාළ නිවසට යාබදව ඇති නිවාසවලටද ගින්න පැතිරීමේ අවධානමක් පවතින බව පෙන්වා දෙමිනි. කුඩා දරුවන් පවා එම නිවාසවල සිටින බව ප්‍රකාශ වීමත් සමඟ ගිනි තැබූ පිරිස ජලය ගෙන ගොස් එය නිවා දැමීමට පියවර ගත්තේය.

නාවලපිටිය නගරයට එක්වූ හයසීයක පමණ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් අඹගමුව පාරේ පිහිටි මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර ඉන් ගොඩනැගිල්ලට සුළු අලාභහානි සිදුවිය. ගිනිගත්හේන පොල්පිටියේ පිහිටි අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරාගේ නිවසටද 09 දින රාත්‍රි 11.30 ට ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය මේවන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. හඟුරන්කෙත මාදන්වෙල පිහිටි එස්. බී දිසානායකගේ නිවස ඉදිරිපිටට රැස්ව 300 ක පමණ පිරිසක් විරෝධය පළකරත්දී නිවසේ සුරතලයට ඇතිකරන බල්ලා ඉඩම මායිමේ පිහිටි බැම්ම මතට නැග උද්ඝෝෂකයන්ගේ ප්‍රකාශවලට අනුව නැට්ට වනමින් හැසිරෙන ආකාරය මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වෙමින් තිබේ. එම පිරිස සාමකාමීව උද්ඝෝෂණය කර විසිර ගොස් තිබුණේ නිවසට කිසිදු හානියක් සිදු නොකරය.

මේ අතර අගමැතිට සහය පළ කිරීම සඳහා 09 දා කොත්මලේ සිට බස් රථයකින් කොළඹ බලාගිය කොත්මලේ අඹතලාව ප්‍රදේශයේ පදිංචි අලනකෝන්ගේ හේමපාල නැමැති 74 හැවිරිදි පුද්ගලයා අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලට රැගෙන යන අතරතුරය.කුරුදුවත්ත ප්‍රදේශයේදී පිරිසක් අදාළ බස් රථයට පහරදීමක් සිදුකළ අවස්ථාවේ මෙම පුද්ගලයා රෝගි වූ බව ඔහු සමඟ බස් රථයේ සිටි අයකු පොලීසියට පවසා ඇත.

මහනුවර ගෝඨා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල කළ පිරිස අතරින් සිවු දෙනෙකු සිද්ධියෙන් පැය 24 ක් යන්නට මත්තෙන් පොලීසිය අත්අඩංගුවට ගත්තේය.ඔවුන් මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන අතර ප්‍රධාන සැකකරු වන සංගීත් සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි. නිර්පාක්ෂික අරගලකරුවන් නියෝජනය කරන සංජීව බණ්ඩාර පැවසුවේ ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය ඉතා ඉක්මනින් සැකකරුවන් අතරින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලීසිය ප්‍රශංසාව පළ කරන බවයි.

ඡායාරූප-රුවන් මීගම්මන

දඹුල්ල තිත්තවැල්ල ගොල්ලේ තිබෙන දඹුල්ල නග­රා­ධි­ප­ති­ව­යාගේ නිවස ගිනි තබා විනාශ කර තිබෙන අයුරු.
දඹුල්ල මහනුවර මාර්ගයේ යාපාගම  පිහිටි  ජනක බණ්ඩාර තෙන්න­කෝන්ගේ නිවස ගිනි­ගෙන විනාශ වී ඇති අයුරු.

 

Comments