වට­රැක රැඳ­වි­යන් ප්‍රහා­ර­යට ආවාද ? | සිළුමිණ

වට­රැක රැඳ­වි­යන් ප්‍රහා­ර­යට ආවාද ?

තලා­හේ­නදී ජන­තාව විසි­න් අ­ල්ලා­ගත් වට­රැක කඳ­වුරේ රැඳ­වි­යන් පිරි­සක්
තලා­හේ­නදී ජන­තාව විසි­න් අ­ල්ලා­ගත් වට­රැක කඳ­වුරේ රැඳ­වි­යන් පිරි­සක්

 

ගාලු මුවදොර පැවැති සාමකාමී විරෝධතාවට පහර දීමට පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් යැයි කියා ගන්නා මැරයන් ඇතුළු පිරිසක් පැමිණීමෙන් රටම ගිනි ගත්තේය. මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන කතාබහක් සමඟ මේ පුවත ලොව පුරා අවධානය දිනා ගත්තේ ය.

එහිදී බොහෝ දෙනා නොදනිතත් 83 ජූලි මාසයේ සිදු වූ හානියට වඩා හානියක් අපට එයින් සිදු වූවේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පමණක් නොව මෙරට මානව හිමිකම් සංවිධාන පවා මේ සිදුවීම දැඩි ලෙස හෙළා දැකීම හරහා ලෝකය පුරාම අපට ඇති වූයේ කළු පැල්ලමකි.

එයට තවත් මහා කළු පැල්ලමක් එක් කළ බවට මේ වන විට ලෝකය පුරාම පැතිර ගිය විශේෂ විදේශීය පුවත්වලින් අනාවරණය විය. විශේෂයෙන්ම අල්ජසීරා හා ප්‍රංශ 24 X 7 පුවත් සේවා ඔස්සේ වරින් වර පෙන්වන්නට වූයේ මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවන් දෙකක් ඔස්සේ විකාශය වූ ප්‍රවෘත්තීන් තුනක එකතුවකි.

 

තලාහේන ප්‍රහාරය

එයින් එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ගාලු මුවදොර ප්‍රහාරයට පැමිණ හිටපු අගමැති මහින්ද රාජපක්ෂයන්ට සහාය පළ කිරීමට බන්ධනාගාරගත රැදවියන් ගෙන්වීමට රජය කටයුතු කළ බවත් එයින් එක් අයකු කොළඹ මහජන පුස්තකාලය අසලදී අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය ජනතාව කටයුතු කළ බවයි. එමෙන්ම අනෙක් ප්‍රවෘත්ති දෙකෙන් පෙන්වා දුන්නේ ගාලුමුවදොර සාමකාමී උද්ඝෝෂණයට පහර දී ආපසු බන්ධනාගාරයට යන අතරේ තලාහේන ප්‍රදේශයේදී බස් රථවල ගමන් ගත් රැදවියන් අල්ලා ගත් ප්‍රදේශවාසීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඔවුන්ට පහර දුන් බවයි. ඔවුන් උද්ඝෝෂණ භූමියට ගොස් පහර දුන් අය බවටද එහිදී සැක සිතී තිබිණි.

එමෙන්ම සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින්ද මැයි 9 වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වා දැනුම් දුන්නේ සිරකරුවන් මේ ප්‍රහාරය සදහා යොදා ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධව මේ වනවිට අන්තර්ජාතික සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධාන මෙන්ම අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) මෙන්ම ලෝක මානව හිමිකම් සංවිධානයන්හි අවධානය යොමුව ඇත. එය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිවලට පවා දැඩි බලපෑමක් එල්ල වන හේතුවකි.

කෙසේ වෙතත් ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින නිසා එම විමර්ශන කටයුතු ඉක්මවා අදහස් ගොනු කිරීමට අපි කටයුතු නොකරමු. අප විසින් ගොනු කරගත් තොරතුරු ඔස්සේ පමණක් මේ විමර්ශනයේ යෙදීමට කටයුතු කරන ලදී.

සමාජ මාධ්‍ය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක්ම පෙන්වා දුන්නේ ඇවන්ඩ්ගාඩ් ආයතනයේ මෙහෙයවීමෙන් අදාළ රැදවියන් ගාලුමුවදොරට ගෙන්වා සාමකාමී උද්ඝෝෂණයේ යෙදි සිටි නිරායුද තරුණ පිරිසට පහර දීමට ඔවුන් යොදා ගත් බවයි.

අදාළ පිරිස් පැමිණි බස් රථවල අංක සමාජ මාධ්‍ය ජාල හරහා හුවාමාරුවීමෙන් පසුව මාලඹේ තලාහේන ප්‍රදේශයේදී ප්‍රකෝප වී සිටි පිරිස් අදාළ බස් රථ නවතා එහි සිටි මඟීන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.

 

සමාජ මාධ්‍ය ප්‍රචාර

ඒ අතර රැදවියන් රැගත් බස් රථද එම මාර්ගයේ ගමන් කරන්නට විය. එම බස් රථ නැවැත්වූ ප්‍රදේශවාසීන් විසින් රැඳවියන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. එසේම රැඳවියන් ඔවුන්ට පහර දෙන ලදී.

එසේ පහර දෙමින් අසභ්‍ය වචනයෙන් ඔවුන් අමතා ඔවුන් කාගේ දැනුම් දීමට පැමිණියේදැයි තොරතුරු විමසන්නට විය.

එම රැඳවියන් ගාලු මුවදොර පහර දීමට ගිය බවට ඔවුන් පිළිගත් බවත් සමාජ මාධ්‍ය ජාලාවන්හි විකාශය කෙරිණි. ඒ සමඟම විශාල දෝෂාරෝපණයක් බන්ධනාගාරය දෙසට එල්ල වන්නට විය. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවම සමාජයේ දැඩි කතාබහට ලක් විය.

ඒ අතරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර පවසා සිටියේ සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වූ සිදුවීම් මාලාව සාවද්‍ය බවත් අදාළ රැදවියන් වටරැක එළිමහන් සිරකඳවුරේ සිට වැඩබිම් කරා ගොස් ආපසු පැමිණීමේදී තලාහේන ප්‍රදේශයේදී ඔවුන්ට පහර දී ඇති බවයි.

මේ නිසා අප පළමුවෙන්ම සිදු කෙළේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියගෙන් මේ පිළිබදව කරුණු විමසීමයි.

‘‘ ඇත්තෙන්ම මෙතන සිදුව ඇත්තේ කරුණු වරදවා වටහා ගැනීමක් පමණයි. සිරකරුවන් අපිට අවශ්‍ය ලෙසින් බන්ධනාගාරයෙන් එළියට ගෙනියන්න බැහැ. ඒ සදහා කළ යුතු ක්‍රියාදාමයක් තියෙනවා.

මේ වන විට රජය හා ඇවන්ට්ගාඩ් ආයතනය අතර ඇති කරගත් ගිවිසුමක් අනුව රැඳවියන්ට වැඩ සහන ක්‍රමය යටතේ ඔවුන් පෞද්ගලික වැඩබිම්වල සේවය සදහා යොදවනවා.

ඒ වෙනුවෙන් ඔවුනට සැලකිය යුතු මුදලක් ලැබෙනවා. සිරකරුවන් පුහුණු කර ඔවුන් සමාජගත කිරීමේදී යහපත් කල් ක්‍රියාවන්ගෙන් යුක්තව යළි සමාජයට මුදා හැරීමයි එහි අරමුණ වන්නේ. ඒ 2020 වසරේ රජය හා ඇවන්ට්ගාඩ් ආයතනය අතර ඇති කර ගත් ගිවිසුමකට අනුවයි. ඒ කාර්යය වෙනුවෙන් කැබිනට් අනුමැතියත් 2020 වසරේ මැයි මාසයේ හිමිවුණා. ඒ අනුව රැඳවියන් විවිධ වෘත්තීන් සඳහා අප විසින් යොමු කරනවා. ඒ අතර පෙදරේරු, වඩු කර්මාන්ත, විදුලි කාර්මික ඇතුළු විවිධ වෘත්තීන්ට ඔවුන් යොමු කිරීමටයි අප කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් අදාළ ප්‍රවාහන පහසුකම්, ආහාර පාන, ඇඳුම් පැලඳුම් ඇතුළු සියලු පහසුකම් ඇවන්ට්ගාඩ් ආයතනය විසින් සපයනු ලබනවා.

 

ඇවන්ට්ගාඩ් ගිවිසුම

අදාළ ආයතන හා ඇවන්ට්ගාඩ් ආයතනය අතර ඇති ගිවිසුම අනුව තමයි අපි රැඳවියන් යොමු කරන්නේ. අප ගිවිසුම්ගතව ඇත්තේ ඇවන්ට් ගාඩ් ආයතනය සමඟයි.

ඔවුන් දැනුම් දෙන ස්ථානවලට අවශ්‍ය කරන රැදවියන් ආරක්ෂාකාරීව යොමු කිරීම පමණයි අප සිදු කරන්නේ. රැදවියන් අනිවාර්යෙන්ම බන්ධනාගාර ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් සමඟයි යොමු කරන්නේ.

අදාළ සිදුවීම වූ දිනයේ පෙරවරු 6.00ට මේ පිරිස ස්ථාන 3ක සේවා සදහා යොමු කර තිබෙනවා. ඒ කොල්ලුපිටියේ සීලක් ආයතනයට, රාජගිරියේ අයිකොනික් ආයතනයට බත්තරමුල්ලේ මාඝා ආයතන වෙතටයි.

ඒ ආයතන වෙත පිළිවෙළින් රැදවියන් 30ක්, 105ක් හා 45ක් යොමු කර තිබෙනවා. රැඳවියන් 181ක් එදින වටරැක සිට මේ කාර්යයන් සඳහා ගෙනවිත් තිබෙනවා.

එදින ඇති වූ කලබලය නිසා ඇදිරි නීතිය පැනවීමෙන් පසු එම පිරිස් යළිත් වටරැක එළිමහන් සිරකඳවුර වෙත ගෙන ඒමේදී තලාහේන මාලඹේ ප්‍රදේශයේදී බස් රථ නැවැත්වූ පිරිස් එම රැඳවියන් බස් රථවලින් බස්සවා ඔවුන්ට පහර දී තිබෙනවා. පහර දෙන අවස්ථාවලදීවත් ඔවුන් කිසිවෙක් ගාලු මුවදොරට ගිය කතාවක් පවසා නැහැ. එසේ කියන්නට තොරතුරු ඔවුන් දන්නේ නැහැ. එමෙන්ම මේ සිදුවීම නිසා ඔවුන් දැඩි කම්පනයට පත්ව තිබෙනවා.

ඒ විතරන් නෙමෙයි සමාජ මාධ්‍ය ජාල හරහා මේ සිදුවීම ප්‍රචාරය වීමත් සමග අපේ නිලධාරීන්ට පවා දැඩි තර්ජන පීඩා එල්ල වී තිබෙනවා.

මේ සිදුවීම නිසා ඇත්තෙන්ම අපට බන්ධනාගාර කටයුතු පවා සිදු කරන්ටන බාධා සිදුව තිබෙනවා. එම රැඳවියන් යළි වැඩබිම් වෙත යාම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ. මම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස මීගොඩ පොලිසියට සහ පොලිස්පතිවරයා වෙත ලිඛිතවත් දැනුම් දුන්නා. ‘‘

 

රැඳවියන් 32ක් අතුරුදන්

කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව රැඳවියන් 58 දෙනකු අතුරුදන් වී තිබුණි. එහෙත් පසුගිය සිකුරාදා පස්වරුව වන විට ඉන් පිරිසක් යළිත් බන්ධනාගාරයට පැමිණ තිබූ අතර තවත් රැඳවියන් 32ක් මේ වනතුරුත් අතුරුදන්ය.

ඔවුන් පිළිබද තොරතුරු මේ වන විටත් බන්ධනාගාරය විසින් පොලිසියට දැනුම් දී ඇත. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔවුන් පැන යන්නට ඇත.

එහෙත් බන්ධනාගාරයෙන් පැනයාමේ වරද ඊටත් වඩා බරපතළ දඬුවම් නියම වන්නට හේතු වන බව ඔවුන් නොදන්නවා විය හැකිය.

එහෙත් ඇත්තටම ඔවුන් අදාළ අරගල භූමියට නොගියා නම් ඔවුන්ට තම ජීවිතය බේරා ගැනීම උදෙසා පළා ගිය බවට හේතු ඉදිරිපත් කළ හැකිය.

ඒ විමර්ශන කටයුතු එසේ සිදු වනු ඇත. මේ සිදුවීමෙන් තුවාල ලැබූ නිලධාරීන් 3 දෙනෙකුට හා බන්ධනාගාර රැදවියන් 13 දෙනකුට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදු විය.

සුළු තුවාල ලැබූ සෙසු පිරිස රෝහලෙන් පිටව ගොස් තිබුණි.

රැදවියන් 181 දෙනා බාරව බස් රථ තුනක ජේලර්වරුන් ඇතුළු බන්ධනාගර නිලධාරීන් 13 දෙනකු ගමන් කර ඇත. එහෙත් අවසානයේ මේ පිරිසටම දැඩි ප්‍රහාරයක් එල්ල වන්නට විය.

ඒ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ කතාවයි.

එමෙන්ම සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එදිනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දැනුම් දුන්නේ රාමනායක නම් ජේලර්වරයකු යටතේ බන්ධනාගාර රැදවියන් වටරැක කඳවුරේ සිට ගාලුමුවදොර අරගල භූමියට ගෙන යාමට කටයුතු කර ඇති බවයි.

එම රැඳවියන්ට පවරනු ලබන කුමන හෝ කාර්යයක් සිදු නොකළහොත් ඔවුන්ට බන්ධනාගාර තුළදී දැඩි දස වධ විඳින්නට සිදුවන බවත් එම සංවිධානය විසින් පෙන්වා දුන්නේය. එම නිසා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔවුහු හෙළි කළහ.

එමෙන්ම එම සංවිධානයේ කතාවේදී තවත් කරුණක් හෙළි කරන ලදී. ඒ වටරැක මෙන්ම පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන්ද රැඳවියන් රැගෙන විත් ඇති බවයි. මේ ප්‍රකාශයන් සුළුකොට නොතැකිය යුතුය.

එම සංවිධානය යම් අසත්‍ය තොරතුරක් හෙළි කර ඇත්නම් ඊට එරෙහිව නීතිමය කටයුතු වෙනුවෙන් මේ අවස්ථාවේදී කොමසාරිස් ජෙනරාල්වරයා පෙනී සිටිය යුතුය.

මේ අවස්ථාවේ පැන නැඟී ඇති තත්ත්වයක් කෙසේ වෙතත් ඒ සම්බන්ධව විමර්ශනයන්ක් පැවැත්වීම අපහසු නැත.

රැඳවියන්ගෙන් ඉතා පහසුවෙන් සාක්ෂි ලබා ගත හැකිය. එසේම නිර්නාමිකව සියල්ල හෙළි කර ගත හැකිය. එමෙන්ම බත්තරමුල්ල, රාජගිරිය මෙන්ම වැල්ලවත්ත ප්‍රදේශවල අදාළ වැඩබිම් අසල සීසීටීවී කැමරාවල දර්ශන අනුව අදාළ රැඳවියන් එදින සේවයට පැමිණියාද එසේ නම් පැමිණි වේලාව හා පිට වූ වේලාව වැනි කරුණු සොයා ගැනීම ඉතා පහසුය.

ඒ ඔස්සේ සියල්ල විමර්ශනය කළ හැකිය. ඔවුන් සේවයට පැමිණ ඇති බවට එම සාක්ෂ්‍ය ඔස්සේ තහවුරු වන්නේ නම් එතැන වරදක් සිදුව නැති බවට අනුමාන කළ හැකිය.

 

 

තවත් රැඳවියෙක්!

එහෙත් අපට තවත් එක් කරුණක් මෙහිදී හෙළි විය. ඒ කොළඹ මහජන පුස්තකාලය අසලදී මහජනයා විසින් අල්ලා ගත්තා යැයි කියන රැඳවියෙක් විසින් කළ සිදු කළ ප්‍රකාශයයි. එම රැඳවියා පැවසුවේ තමන් වටරැක කඳවුරේ සිට පැමිණි බවයි.

එම අවස්ථාවේදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂයන්ට මෙන්ම පොදු ජන පෙරමුණට සහාය පළ කරමින් පැමිණි පිරිසක් හා ඊට එරෙහි වූ පිරිසක් අතර ගැටුමක් ඇති වූ අතර පොදු ජන පෙරමුණට සහාය පළ කර පැමිණි පිරිස් ජනතා විරෝධය හමුවේ පසු බසින ලදී.

කිහිප දෙනකු පහර කා දිව යන්නට වූ අතර ඇතැම් පිරිස් අල්ලා ගෙන ඔවුන්ට පහර දෙන්නට ප්‍රකෝපකාරී වූ පිරිස් විසින් කටයුතු කර තිබුණි.

එහිදී ජනතා ග්‍රහණයට හසු වූ එක් අයෙක් පැවසුවේ තමන් සිරකරුවෙක් බවත් තමන් කැමැත්තෙන් නොපැමිණි බවයි. අදාළ සිරකරුවානේ කළ විමසීමේදී ඔහු පවසන්නේ වටරැක සිට පැමිණි බවයි.

පෞද්ගලික ආයතනවලට රැඳවියන් යෙදවුවානම් එම රැඳවියා පුරහල අසල විරෝධතාවට පැමිණියේ කෙසේද යන්න ජනතාව මතු කළ පැනයයි. මේ දසුන ද මේ වන විට ලෝකය පුරාම විකාශය වී අවසන්ය.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුත්තේ එහෙයිනි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම රැඳවියා ද වටරැක එළිමහන් සිරකඳවුරේ අයකුම බවත් ඔහු ජනතාව විසින් අල්ලාගෙන සිටින්නේ තලාහේන දී බවත්ය.

 

මානව හිමිකම් අවධානය

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකාවක වන අම්බිකා සත්කුනනාදන් පවසා තිබුණේ බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ප්‍රශ්න සහගත බවයි.

රැඳවියන් රැගෙන ඒමට අධිකාරීවරයාට උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන්න සහ අධිකාරිවරයා මීට පෙර මෙය කර තිබේද යන්න ගැන විමසා සිටිය යුතු බවද ඇය ප්‍රශ්න කර තිබේ.

රැඳවියන් වැඩ සහන ක්‍රමයට යටතේ අදාළ කාර්යයන්ට යොමුව ඇත්නම් ගැටලුවක් නැත. එහෙත් මේ සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාද සුළුකොට නොතැකිය යුතුය. දැන් වහාම කළ යුත්තේ එම චෝදනා අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශන අනුව ඒවා අසත්‍ය බව පෙන්වා දීමයි. එසේ නොවුණහොත් කොමසාරිස් ජෙනරාල්වරයා පවසන පරිදි නිලධාරීන්ට සේවය කිරීම පවා අපහසු වනු ඇත. එම විමර්ශන හෙට දිනය දක්වා පවා කල් තැබීම හෝ සුදුසු නොවන්නේ එහෙයිනි.

 

 

Comments