මාතර මහ රෑ ඇවි­ළුණු ගිනි­දැල් | සිළුමිණ

මාතර මහ රෑ ඇවි­ළුණු ගිනි­දැල්

මාතර කොටුදොර ළඟ පොලිස් මාර්ග බාධකය බිඳදමා  කංචනගේ නිවෙසට යන විරෝධතාකරුවන්
මාතර කොටුදොර ළඟ පොලිස් මාර්ග බාධකය බිඳදමා කංචනගේ නිවෙසට යන විරෝධතාකරුවන්

 

රාගත නොහැකි පීඩනය හමුවේ මෙරට ජනතාව අරගල සඳහා යොමුවූ අතීතයක් අපට ඇත. ඉන් මෑතකාලීන මතකයේ ඇති අඳුරුතම හා ජන පීඩක අරගලය වූයේ 1988/89 තරුණ නැගිටීම හරහා මතු වූ ජන අරගලයයි. එහි ආරම්භය අරමුණක් සහිත ඉලක්ක ගත එකකි. එහෙත් මර්දනය හමුවේ නායකයන් වන වදිද්දී අරගලය අතට ගත් නොහික්මුණ පිරිස් ජන පීඩකයින් ලෙස හැසිරෙමින් අරගලය අල කර දැමුවේය. ඔවුන් අරගලයේ අරමුණු, ඉලක්ක හා එහි දිග පළල ගැන අවබෝධයකින් නොසිටියේ ය. පෞද්ගලික පළිගැනීම්, රාජ්‍ය හා පෞද්ගලික දේපොළ විනාශ කිරීම්, කොල්ලකෑම් ඇතුළු දහසකුත් දේ සිදුකරමින් ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කළේ ය. එහි විපාක අරගලයට ආරම්භක නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ අදට ද අත්විඳිමින් ඇත්තේ එදා ජනතාව විඳි කටුක අත්දැකීම් අදට ද ජන මතකයේ රැඳී තිබෙනා බැවිනි.

88/89 අඳුරු මතකය යළි සිහිගන්වන සිදුවීමක් වාර්තා වූයේ ඉකුත් 09 වැනි සඳුදාය. එහි බිහිසුණුම සිදුවීම් කොළඹ හා ගම්පහ ප්‍රදේශවලින් වාර්තා වූයේ ය. දිනය ගෙවී යමින් තිබියදි දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද අති බිහිසුණු සිදුවීම් වාර්තා වන්නට විය. එහි ජනතා අවධානය වැඩියෙන් යොමුවූ දිස්ත්‍රික්ක අතර මාතර ද පෙරමුණේ විය.

ජන අරගලයට ඉහළ දායකත්වයක් ලබාදුන් දිස්ත්‍රික්කයක් මෙන්ම 09 වැනි දින අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගී වීමට මාතරින් ද බස් ගණනක් ගොස් තිබීම ඊට ප්‍රධානතම හේතුව විය. ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහරදුන් පිරිස නැවත ගම්බිම් බලා පැමිණීමේදි මාතරින් ද ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ජනතාව තුළ තිබූ විශ්වාසය මෙම අවධානය වැඩි වශයෙන් ලැබෙන්නට හේතුවක් විය.

එදින දහවල් කාලය වන විට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මාතර ගෝඨාගෝගම ශාඛාවට එක්වද්දි මාතර අධිකරණයේ නීතීඥ ප්‍රජාව ද අරගලකරුවන් හා එක්ව සිටියේ ය. මාතර මහ රෝහලේ කාර්යමණ්ඩලය ද රෝහලෙන් පිටතට පැමිණ අරගලකරුවන්ට සහාය වෙමින් කොළඹදී සිදුකළ පහරදීමට දැඩි සේ විරෝධය පාන්නට පටන්ගත් අතර සවස් යාමය වන විට අරගලයේ මුහුණුවර වෙනස් මඟකට යොමුවෙමින් තිබුණේ ය.

දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් මාතර නගරයට පැමිණි විවිධ වයස් ඛාණ්ඩයන්ගෙන් යුත් පිරිස් සවස් යාමය වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයට ගොස් එහි පිටවීමේ මංතීරුව හා කොළඹ සිට මත්තල දෙසට ගමන්ගන්නා මංතීරුව තම භාරයට ගනිමින් පැමිණෙන සියලු රථවාහන පරීක්ෂාවට ලක්කළ අතර ඇදහැලුණ පොද වැස්ස ද කිසිදු ගණනකට නොගත් පිරිසේ එකම අරමුණ වූයේ කොළඹ අරලියගහ මැදුරේ පැවති රැස්වීමට ගොස් නැවත පැමිණෙන පිරිස් සොයා ගැනීමයි.

මෙම සිදුවීම දැකබලා ගැනීමට විශාල පිරිසක් රැස්ව සිටි අතර යතුරුපැදි, ත්‍රීරෝද රථ හා විවිධ වර්ගයේ මෝටර් රථවලින් මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගය පිරී තිබුණේය. අඳුර ගලා එමින් දිනය නිමාවී රාත්‍රිය එළඹෙමින් තිබිය ද කොළඹ ගොස් අරගලයට පහරදීමට සම්බන්ධවූ එකදු පුද්ගලයෙකුවත් නොපැමිණියෙන් තරුණ පිරිසේ කේන්තිය ඉහවහා ගොස් තිබෙනු ඔවුන්ගේ හැසිරීමෙන් දක්නට ලැබුණි.

රාත්‍රිය එළඹෙමින් තිබියදි දඬු මුගුරුවල රැඳවූ ජාතික කොඩිය හා කළු කොඩි අතැතිව සිටි පිරිස අතරින් ඇතැම් අය කියා සිටියේ “දැන් මෙතන ඉඳල වැඩක් නෑ. යමන්ලා කංචනගේ ගෙදරට” යනුවෙනි. එය ක්ෂණයකින් අනුමත කළ තරුණ පිරිස් කඩිගුලක් ඇවිස්සුණාක් මෙන් ඒ මේ අත දිවයමින් යතුරුපැදි, ත්‍රීරෝද රථ හා වෙනත් රථවාහනවලට නැඟ යළි මාතර නගරය දෙසට එන්නටය. ඒ සියලුදෙනාට කලින් මාධ්‍යවේදීන් එතැනින් නික්මුණේ සිදුවන්නට යන දේ හොඳින් තේරුම් ගිය නිසාය.

ගතවූයේ නිමේෂයකි. විදුලි වේගයෙන් මෙන් පැමිණි පිරිස් මාතර කොටු දොර අසලට පැමිණෙද්දි පොලිස් කණ්ඩායම් මාර්ග බාධක යොදා කොටුදොර ආවරණය කරමින් එහි රැඳී සිටිය ද තරුණ බලයට එම යකඩ බාධක මහා බාධකයක් නොවූවේය. පොලීසිය හා තරුණ පිරිස දෙපස සිට මාර්ග බාධක දෙපසට තල්ලු කරමින් සිටියදී වැරයොදා බාධක තල්ලු කළ තරුණ කණ්ඩායම පොලීසියේ බාධකය බිඳගෙන කොටුදොරින් ඇතුළු වූයේ මීමැසි පොදියක් සේය.

පොලිස් රැකවල් සියල්ල පරයා වේගවත්වූ තරුණ පිරිස එතැන සිට වේගයෙන් ගමන් කළේ කංචන විජේසේකරගේ නිවස වෙතය. උස තාප්පයකින් හා ශක්තිමත් ගේට්ටුවකින් ආරක්ෂා කර තිබූ කංචනගේ දෙමහල් නිවසේ සියලු ආරක්ෂා අබිබවමින් තරුණ ශක්තිය ක්‍රියාත්මක වූයේය.

පොලිස් රැකවල් අබිබවා නිවසේ ගේට්ටුව බිඳ දැමූ තරුණ පිරිස කංචනගේ නිවසට පහරදීමට පටන්ගත් අතර නිවසේ දොර ජනෙල් වීදුරු කැඩීබිඳී යද්දී තවත් පිරිසක් නිවසේ නවතා තිබූ සුඛෝභෝගී මෝටර් රථයක්, ජීප්රථයක් ඇතුළු වාහන කීපයකට පහරදී අලාභ හානි සිදු කළහ. පොලිස් නිලධාරීන් පැවසූවේ වාහන හතරකට පහරදී නිවසේ දොර ජනෙල්වලට යොදා තිබූ ආවරණ රෙදි කඩා ගොඩගසා ගිනිතැබූ බවයි.

ගේට්ටුව අසල සිට පහරදීම සිදුවන ආකාරය වාර්තා කිරීමට මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් කටයුතු කරමින් සිටියදි ඇතැම් තරුණ පිරිස් කැමරා රෑපරාමුවලින් ආවරණය වන්නට උත්සාහ දරද්දී කලහකාරී ලෙස හැසිරුණ එක් පුද්ගලයකු මාධ්‍යවේදියෙකුගේ කැමරාව බිමට නවා කඩා බිඳ දැමීමට උත්සාහ කළ අතර තවත් තරුණ පිරිසක් ඉදිරියට පැන එය වළකාලූවේ මාධ්‍යවේදියකු බව පවසමිනි. එලෙස බේරා නොගත්තේ නම් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුතු කැමරාව මාධ්‍යවේදියාට අහිමි වන්නට ඉඩ තිබුණි.

දිගින් දිගටම නිවසට පහරදීම් සිදුකිරීම පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ සමඟින් කලහකාරී ලෙස හැසිරුණ පිරිස් හිස් ලූ ලූ අත දිවගිය අතර පහරදීම ඉන් නතර විය. කඳුළු ගෑස් ප්‍රහාරය මාධ්‍යවේදීන්ටද එල්ල වූයෙන් ඔවුන් ඉන් දැඩි පීඩාවකට පත්ව සිටියේය.

මේ අතර රාත්‍රී කාලයේදී තවත් සිදුවීමක් වාර්තා වූ අතර ඉන් කියවුනේ දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ ගේ නිවස ගිනිතබා විනාශ කර ඇති බවයි. පොලිස් වාර්තා අනුව සඳහන් වූයේ වෙදගේ ගේ දෙමහල් නිවසට පහරදී පහළ මාලයට අලාභහානි සිදුකර උඩු මහළ ගිනිතබා විනාශ කර ඇති බවයි. මාතර දිස්ත්‍රික්කයේ ගිනිතබා විනාශ කළ එකම නිවස එය බව පොලීසිය සඳහන් කළේය.

මෙයට අමතරව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මන්ත්‍රි නිපුණ රණවකගේ දෙනියාය නගරයේ පවත්වා ගෙන ගිය "නිල්වලා නෙලුම" පක්ෂ කාර්යාලයට එදින රාත්‍රි ප්‍රහාරයක් එල්ල වී තිබුණි. ඉන් එම ගොඩනැගිල්ලට අලාභ හානි සිදු වී තිබූ බව පොලීසිය පැවසුවේය. නිපුන රණවකගේ කළුගලහේන නිවසට ද කළු ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර නිවස ඉදිරිපිට ආරක්ෂිත වැටට අලාභ හානි සිදු කර තිබුණි.

අරලියගහ මන්දිරය වෙත යාමට පුද්ගලික බස් රථ දෙකක් ලබා දුන් මාතර කඹුරුගමුව බොරැල්ල පාරේ බස් රථ හිමිකරුවකුගේ නිවසට ද 09 දින රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද එයට අමතරව දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියකගේ නිවසට ඉදිරිපිට නවතා තිබු වෑන් රථයකට හා ත්‍රී රෝද රථයකට 10 වැනි දින අලුයම් කාලයේදි කිසියම් පිරිසක් ගල්වලින් පහර දී අලාබ හානි සිදු කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය. පොලිස් වාර්තා සඳහන් කළේ මාතර මූලස්ථාන පොලිසියටත් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ බවයි.

මෙම සියලු සිදුවීම් ආදරය, සාමය හා සංහිඳියාව පිරී තිබු අරගලයෙන් ඔබ්බට ගිය සිදුවීම් වූ අතර සියලු සිදුවීම් එකිනෙකට සම්බන්ධතාවක් තිබුණි. එම හැම සිදුවීමකින් ම දිස්වූයේ හා ජනතා මකකයට නැංවූයේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දින පටන් ඇරඹී 88/89 යුගය දක්වා අති බිහිසුණු අයුරින් ව්‍යාප්තවූ නායකයින්ගෙන් ගිලිහි නොහික්මුණු පිරිස් වල පාලනයට නතුවූ විනාශකාරී තත්ත්වයයි.

 

 

Comments