ගාලු මුව­දොර පිටිය ඇවි­ළෙද්දි හම්බ­න්තො­ටත් කැල­ඹෙයි | Page 2 | සිළුමිණ

ගාලු මුව­දොර පිටිය ඇවි­ළෙද්දි හම්බ­න්තො­ටත් කැල­ඹෙයි

තංගල්ලේ ඩී.ඒ.රාජ­පක්ෂ  ස්මාර­කය විනාශ කර ඇති අයුරු  සහ මැදමුලනේ තිබූ ඩී.ඒ.රාජ­පක්ෂ හා දන්දිනා දිසා­නා­යක ස්මාර­කය කඩා දමා ඇති අයුරු
තංගල්ලේ ඩී.ඒ.රාජ­පක්ෂ ස්මාර­කය විනාශ කර ඇති අයුරු සහ මැදමුලනේ තිබූ ඩී.ඒ.රාජ­පක්ෂ හා දන්දිනා දිසා­නා­යක ස්මාර­කය කඩා දමා ඇති අයුරු

 

ගෑස්, විදුලිය, ඉන්ධන ඇතුළුව රටෙහි උද්ගතව ඇති අර්බුධවලට වහා විසදුම් දෙන ලෙස ඉල්ලා සහ අගමැතිවරයා හා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉවත්වන ලෙස ඉල්ලමින් ඉකුත් අප්‍රේල් 09 වන දින සිට කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කෙරුණු විරෝධතාව දිනෙන් දින මහා ජන අරගලයක් බවට පත් විය. විරෝධතාකරුවන් “ගෝඨාගෝ හෝම් ගම“ නමින් එම අරගල භූමිය ද නම් කෙරුණු අතර පසුව ඒ ජන අරගල “මයිනාගෝ හෝම් ගම“ ලෙස කොටුව අරලියගහ මන්දිරය අසලත්, “හොරු ගෝ ගම“ ලෙස පාර්ලිමේන්තුව අසල ද ආරම්භ කෙරුණු අතර ඒ විරෝධතාවයන්ට සහාය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලද විවිධ විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි.

 

කොළඹ පැවති මේ විරෝධතාවන්ට සහාය පළකරමින් ගම් මට්ටමෙන්ද විවිධ විරෝධතා හා සත්‍යග්‍රහ ආරම්භ වෙමින් රට එකම ජන අරගල භූමියක් බවට පත් විය. එලෙස දිගින් දිගටම ජනතාව ආණ්ඩුවට විරෝධතාව පළකරමින් පැවති අරගල භූමියට පසුගිය 09 වන දින පැමිණි පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ එහි ඇති වූයේ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයකි. එහිදී ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටද දැඩි වෙහෙසක් දැරීමටද සිදුවීය. තත්ත්වය යම් තරමකට හෝ පාලනය කිරීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කටයුතු කරන විටත් සිදුව තිබූ හානිය අති විශාලය.

දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල දිසා­නා­ය­කගේ නිවස

නිරායුධව ප්‍රජාතන්තවාදීව විරෝධතාවයේ නිරත පිරිසට මෙලෙස පොහොට්ටුවේ ආධාරකරුවන් විසින් පහරදීමත් සමග රට වටා ජනතාවද දැඩි ලෙස ප්‍රචණ්කාරී ලෙස හැසිරෙන්නට වීය. ඒ අතර විශේෂයෙන්ම රාජපක්ෂ වරුන්ගේ බලකොටුව ලෙස සැලකෙන හම්බන්තොට දිස්ත්‍රික්කයද ඇවිළී ගියේ කිසිවකුටත් සිතාගත නොහැකි අයුරිනි. එහිදී හැබෑ ජන අරගලය අස්සේ ඇතැම් නිවාස හා දේපළ ගිනිබත් කිරීම් සඳහා පුද්ගලික ආරවුල්ද පෙරට පැමිණ තිබූ බවද මෙහිදී ලිවිය යුතු ම ය.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගිය අතර නිවාස හා දේපළ රැසකට දැඩි හානි සිදුව තිබේ.එමෙන්ම සුළු සුළු පහරදී කිහිපයක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වූ පහරදීම් හා ගිනි තැබීම් අතර රාජපක්ෂ වරුන්ගේ නිවාස හා දේපළ රැසක්ද විය. ඒ අතරින් පසුගිය කාලය පුරාවටම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මැදමුලන මංසන්ධියේ ස්ථාපිත කර තිබූ ඩී. ඒ. රාජපක්ෂ හා දන්දිනා දිසානායක ස්මාරක කඩා විනාශ කර දැමීම කාගේත් අවධානයට ලක් විය. අනතුරුව විරෝධතාකරුවන් වීරකැටිය කාල්ටන් වත්තේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් භාවිත කළ නිවසටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ගෙවත්තේ නවතා තිබූ වාහනයකටද ගිනි තබා විනාශ කළේය. අනතුරුව විරෝධතාකරුවන් මැදමුලන මංසන්ධිය ආසන්නයේ පදිංචි අමාත්‍ය චමල් රාජපක්ෂගේ බිරියගේ සහෝදරයකු වන දකුණු පළාත් සභා මන්ත්‍රි කපිල දිසානායකගේ තෙමහල් නිවසටද ප්‍රහාරයක් එල්ල කර නිවසටද ගිනි තබා තිබේ.

පසුව විරෝධතාකරුවන් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චිගේ නිවස අසලට ද ගොස් එ් නිවසට ද ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා තිබේ. එහිදී කිසියම් අයකු විසින් විරෝධතාකරුවන්ට සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලැබීය. තුවාලකරුවන් තංගල්ල මුලික රෝහලට ඇතුළත් කෙරුණු අතර බරපතළ තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. වෙඩි වැදීමෙන් යක්ගස්මුල්ල වීරකැටිය පදිංචි 32 හැවිරිදි එම්. එන්. මොහොමඩ් නසීර් හා වලස්මුල්ල,පල්ලෙකන්ද විද්‍යාලයේ ආචාර­්යවරයකු වන හකුරුවෙල පදිංචි ආර්. ජී. සුගත් ජානක නැමති දෙදෙනා මිය ගියේය. ඊට අමතරව තවත් 08 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති බවද අනාවරණය විය.

ගාලුමුවදොර විරෝධතා කරුවන්ට පහරදීම මුල් කරගනිමින් දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ලෙස හැසුරුණු පිරිස් 10 වන දින සවස තංගල්ල මහජන බැංකුව ආසන්නයේ ස්ථාපිත කර තිබූ ඩී. ඒ. රාජපක්ෂ පිළිරුවද බිමට පෙරළා කඩා දමා තිබුණි.

එමෙන්ම කුපිත වූ පිරිස් අමාත්‍ය චමල් රාජපක්ෂට අයත් දේපළ රැසකටද හානි සිදුකිරිමට කටයුතු කර තිබුණේ පසුගිය 09 වන දිනය. ඒ අනුව තිස්සමහාරාම පොලිස් වසමේ තිස්සමහාරාම, දෙබරවැව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ නිවසට හා කාර්යාලයටද විරෝධතාකරුවන් පිරිසක් විසින් පහර දී දැඩි අලාභ හානි සිදු කෙරුණු අතර එදිනම රාත්‍රි 09ට පමණ කිරින්ද පොලිස් වසමේ මාගම, කිරින්ද පිහිටි චමල් රාජපක්ෂට අයත් තවත් නිවසකට විරෝධතා කරුවන් පිරිසක් විසින් පහර දී අලාභහානි සිදු කර පසුව නිවසට ගිනි තැබීමක් ද සිදුකර තිබේ. කෙසේ වෙතත් විරෝධතා කරුවන් අදාළ නිවසට ගිනි තබා ඉන් පිටව ගිය පසු කිසියම් පිරිසක් විසින් නිවසේ ගින්න නිවා දමා එහි තිබූ වී පොහොර ඇතුළු දේපළ රැසක්ද රැගෙන ගොස් තිබුණි.

විරෝධතාකරුවන් රාජපක්ෂවරුන්ගේ හම්බන්තොට පිහිටි දේපළවලට මෙන්ම ඔවුන් හා සමිපව කටයුතු කළ ඔවුන්ගේ ආධාරකරුවන්ට මෙන්ම ප්‍රාදේශීය නායකයන්ටද ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන්නට විය.

ඒ අනුව කිරින්ද පොලිස් වසමේ මාගම, කිරින්ද පදිංචි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන බී.බී.සී ටසිතගේ නිවසට ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඔහුගේ නිවසේ දේපළ රැසකට දැඩි අලාභ හානි සිදුව තිබුණි.

නාමල් රාජ­පක්ෂගේ  සම්බ­න්ධී­ක­රණ නිලධා­රි­යකු වූ  කැළුම් ප්‍රියන්කරගේ තිස්සමහාරාම නි‍ෙවස විනාශ කර තිබූ අයුරු

09 වන දින රාත්‍රි 08 ට පමණ තිස්සමහාරාම පොලිස් වසමේ ජාතික ලොතරැයි මණ්ඩලය ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන කැලුම් ප්‍රියංකර යන අයගේ නිවසටද විරෝධතාකරුවන් පිරිසක් විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කෙරිණි.

09 වන දින රාත්‍රි 7.45ට පමණ තිස්සමහාරාම පොලිස් වසමේ මුතියම්මාගම, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන චතුමිණි විජේනායක මන්ත්‍රීවරියගේ නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදුකර තිබුණි.

09 වන දින රාත්‍රි 11.45 ට පමණ තිස්සමහාරාම පොලිස් වසමේ එකමුතුගම, පදිංචිව සිටින අමාත්‍ය චමල් රාජපක්ෂගේ සමීප හිතවතකු හා රණවීර ගමගේ ජයදාස නැමති අයගේ නිවසටද විරෝධතාකරුවන් 100 ක පමණ පිරිසක් පැමිණ පහරදී දේපලවලට අලාභ හානි සිදු කර තිබිණි.

09 දින සවස 03.15ට පමණ වීරකැටිය පස්මංහන්දිය අසලදී පිරිසක් විරෝධතාවක් ආරම්භ කළ අතර පසුව විරෝධතාකරුවන් සවස 05.40 පමණ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරී නෙවිල් වන්නිආරච්චිට අයත් වීරකැටියේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ගොස් එම ස්ථානයේ වූ කටවුට් ගලවා ගිනි තබා විනාශ කෙරුණු අතර පසුව පිරිස සවස 06ට පමණ විරෝධතාකරුවන් 500ක පමණ පිරිසක් වීරකැටිය පිහිටි කාල්ටන් නිවස වෙත ගොස් නිවසට පහරදී එහි වු වීදුරු ආදිය කඩා බිම දමා නිවස ඉදිරිපිට නවතා තිබූ ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක්ද ගිනි තබා විනාශ කර තිබේ.

09 වන දින රාත්‍රී 07.00 පමණ විරෝධතාකරුවන් පිරිසක් විසින් තිස්සමහාරාම පොලිස් වසමේ වැල්ලවාය පාර පිහිටි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති විතාන ගමගේ උපුල්ගේ නිවසටද ප්‍රහාරයක් එල්ල කර තිබේ. 100 පමණ විරෝධතාකරුවන් පිරිසක් මේ සදහා පැමිණ ඇති අතර විරෝධතාකරුවන් නිවසට හා නිවසේ තිබූ දේපළ වලටත් වාහනවලටත් අලාභ හානි සිදු කර ඇත. එම පහරදීම සිදුවන අවස්ථාවේදී සභාපතිවරයාගේ බිරිය හා ළමුන් දෙදෙනා නිවසේ සිට ඇති අතර සභාපතිවරයා එදින අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අරලිය ගහ මන්දිරයට ගොස් තිබේ. පහරදීම හේතුවෙන් නිවසේ කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර නිවසේ නවතා තිබූ ත්‍රී රෝද රථයකට, කැන්ටර් රථයකට, ලොරි රථ 02කට, කැබ් රථයකට, යතුරු පැදි 03කට හා කාර් රථයකට පහරදී අලාභහානි සිදුකර තිබේ.

අධිවේගයේ සූරිය වැව පිටවීමේ දොරටුවේ විරෝධකරුවන් රැදී සිටින අයුරු

විරෝධතාකරුවන් පිරිසක් විසින් 10 දින රාත්‍රි 10ට පමණ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති (ශ්‍රී.ලං.පො.පෙ) වස්තු හේවාමුණී රුවන් කුමාර යන අයට අයත් හම්බන්තොට වරාය පොලිස් වසමේ මිණිපුරගම, චිත්‍රාගල, අම්බලන්තොට. ලිපිනයේ පිහිටි මහල් දෙකකින් යුත් වෙළදසැලට ගිනි තබා විනාශ කර ඇත.

10 දින රාත්‍රි 11.30ට අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අතුකෝරාල ආරච්චිගේ ලෙස්ලි මහතාට අයත් නිවස ඉදිරිපිට මිදුලේ නවතා තිබූ අංක ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබූ අතර ගින්නෙන් ලොරි රථය සම්පූර්ණයෙන් ගිනිබත් වී ඇත.

10 දින පැය 8.00ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිළධාරියකු ලෙස කටයුතු කළ හම්බන්තොට පොලිස් වසමේ අංක 311, මයුරපුර, හම්බන්තොට. ලිපිනයේ පදිංචි ලහිරු ප්‍රියංකර නැමැති අයගේ නිවසටද කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

50ක පමණ පිරිසකින් සමන්විත තරුණයන් පිරිසක් 10 දින රාත්‍රී 07.00ට පමණ තංගල්ල පොලිස් වසමේ බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් නිවසටද පහරදි ගිනි තබා ඇති අතර විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් මැදිහත්ව ගින්න නිවා දමා තිබේ.

10 දින පැය 06.45 පමණ තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට අයත් යැයි කියන වැඩ අවසන් කර නොමැති මහල් 03 සමන්විත හෝටලයට ගිනි තබා විනාශ කර තිබේ.

11 දින අළුයම 2.00ට පමණ අංක 41/68, වෙනිවැල්ආර, සූරියවැව නවතා තිබූ අංක 391, නව නගරය, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි එන්. එම්. ජී. ගීතාංගනී ජයසේකර නැමති අයට අයත් බස් රථයකට ද කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබු අතර ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. ලියන ආරච්චිගේ වාසනා චතුරංග යන අය රියදුරු වශයෙන් කටයුතු කර තිබේ.

11 වන දින අලුයම 01.15 පමණ මිද්දෙනිය පොලිස් වසමේ ඕකන්දයාය හන්දිය අසල පිහිටි කටුවන ප්‍රාදේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චමිල් හෙට්ටිආරච්චිගේ නිවසට තරුණයන් 40 පමණ පිරිසක් විසින් පහරදී ගිනි තබා තිබේ.

එමෙන්ම 12 වන දින අලුයම් කාලයේ හම්බන්තොට වරාය පොලිස් වසමේ බැරගම, අම්බලන්තොට පදිංචි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාකාරී සාමාජිකයකු වන මුලිගොඩ දේවගේ සුදර්මන් යන අයගේ නිවසටද කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

සූරියවැව පොලිස් වසම තුළද සිදුවිම් කිහිපයක් වාර්තා වූ අතර සූරියවැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි ශාන්ත බණ්ඩාරගේ නිවසට හා පොහොට්ටුවේ ආධාර කරුවකුගේ නිවසකටද විරෝධතා කරුවන් පිරිසක් විසින් පහරදි අලාභ හානි සිදුකර තිබේ. විරෝධතාකරුවන් සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්දගේ නිවසටද පහරදීමට උත්සාහ කළ අතර පොලිසිය විසින් එය වළක්වා ගෙන තිබේ.

දිගින් දිගටම හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සිටින රාජපක්ෂ හිතවාදීන් විරෝධතාකරුවන්ගේ ඉලක්කයන් බවට පත් වෙමින් තිබියදී ඇතැම් පිරිස් සිය නිවෙස් ඉදිරිපිට රාජපක්ෂ වරුන්ට සහාය පළකරමින් ඉදිකර තිබූ බැනර් කටවුට් ආදියද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. හම්බන්තොට නගරයේ සැම නගරයකම පාහේ රාජපක්ෂ පාලනයට විරෝධය පළ කරමින් විරෝධතා සංවිධානය කර තිබෙනු දක්නට හැකි විය. ගාලුමුවදොර අරගල භූමියට පහරදීමට ගම් මට්ටමින් පිරිස් එකතු කරගෙන බස් රථ රැගෙන ගිය ප්‍රාදේශීය නායකයන් මෙන්ම සංවිධායක වරුන්ටද තවමත් සිය ගම්බිම් වලට පැමණීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද අප කල සොයා බැලීමේදි වාර්තා විය.

 

Comments