ඇවි­ළුණු අම්පාර නිව­න්න පොලි­සිය මැදි­හත් වෙයි | සිළුමිණ

ඇවි­ළුණු අම්පාර නිව­න්න පොලි­සිය මැදි­හත් වෙයි

අම්පාර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි අම්පාර දිස්ත්‍රික් සංව­ර්ධන කමි­ටුවේ සභා­පති ඩබ්.ඩි. විර­සිංහගේ  දෙම­හල්  නිවස සම්පු­ර්ණ­යෙන්ම දැවි විනාස වී ඇති ආකා­රය
අම්පාර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි අම්පාර දිස්ත්‍රික් සංව­ර්ධන කමි­ටුවේ සභා­පති ඩබ්.ඩි. විර­සිංහගේ දෙම­හල් නිවස සම්පු­ර්ණ­යෙන්ම දැවි විනාස වී ඇති ආකා­රය

 

ගාලුමුවදොර ගෝඨාගම අරගලකරුවන් හට පසුගිය 9දා පහර දීමත් සමඟ අම්පාරේ ජනතාවද ‌නොඉවසිලිමත් විය. විවිධ සමාජ කතාබහ තුළ මෙම පහර දීම පිළිබඳ පිළිකුල් සහගතව කතා කරනු අසන්නට ලැබුණි. මුළු දිවයිනටම ඇඳිරිනීතිය දැමු බව මාධ්‍ය මඟින් දැන ගත්තද වෙනදා මෙන් අම්පාර නගරයේ ජනතාව නීතිය පිළිගත් බවක් දක්නට නොලැබිණ.

 

අම්පාර ප්‍රදේශයෙන්ද බස් තුනකින් පමණ කොළඹට ගිය බවත් ඔවුන්ට අත්වූ ඉරණම ගැනද මහජනතාව කතා කරන්නට විය.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක විසින් ප්‍රදේශයේ ආරක්ෂාව පිලිබද අවධානය යොමු කර පොලිස් ස්ථාන විසි තුනක නිලධාරීන් දැනුවත් කළ අතර අනාරක්ෂිත බවට හඳුනාගත් පුද්ගලයන් සහ නිවාස ආරක්ෂ කිරීමට කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් හමුදා සහය ද ලබා ගැනිමට කටයුතු කර තිබිණ.

විවිධ තොරතුරු ජාලයන් මඟින් ඉදිරි පැය කිහිපය තුළ අම්පාර දිස්ත්‍රික්කය තුළ නිශ්චිත සිදුවිම් පිළිබඳ හඳුනා ගැනීමත් ප්‍රදේශය තුළ සාමය ආරක්ෂා කර ගැනීමට කටයුතු යොදා තිබිණ.

ඒ අනුව ඉගිණියාගල පොලිසිය බාර ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායම සහ යුද හමුදා නිලධාරින් විසිපස් දෙනෙකු සමඟ අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කන්ද ප්‍රදේශයේ පිහිටා ඇති අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ඩබ්.ඩී. වීරසිංහගේ නිවස අවට ආරක්ෂාව සඳහා යොදවා තිබිණ.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වනජීවි කැබිනට් අමාත්‍ය විමලවීර දිසානායක පදිංචිව සිටින හිගුරාණ ගල්ඔය සිනී සමාගමට අයත් නිවස අවටද දමන පොලිස් ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් ආරක්ෂාව තර කර තිබිණ. පොතුවිල ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත සහ දේශීය නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය එස්. එම්. එම්. මුෂාරප් නිවසට ද ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලදී.

අම්පාර නගරයේ පදිංචිව සිටින අම්පාර දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රජපක්ෂගේ නිවසට ද අම්පාර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා යටතේ ආරක්ෂාව ලබා දෙන ලදී.

සවස හය පමණ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අදහස් පිළිබඳ අවධානය යොමු කිරීමෙදි යම් කිසි අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවිය හැකි බවට තෙරුතරු ලැබෙන්නට විය. පස්වරු තුන පමණ වන විට අම්පාර නගරයේ ජනතාව ගාලුමුවදොර පහරදීමට විරෝධය දක්වමින් කටයුතු කරන්නට විය.

අම්පාර නගරයේ ගැමුණුපුර පදිංචිව සිටින කැබිනට් අමාත්‍ය විමලවිර දිසානායකගේ පුතාගේ නිවසට ද යම් අවධානම් තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් එම නිවස පිළිබඳවද ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ගෙන තිබිණ.

අම්පාර නගරයේ විරෝධතා හඬ පවතින අතරතුර සවස හයයි තිහට පමණ කැබිනට් අමාත්‍ය විමලවීර දිසානායක පදිංචිව සිටි හිගුරාණ නිවසට පහර දීම සඳහා පිරිසක් එම ස්ථානයට ගිය අතර දමන පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එකම එ් ප්‍රහාරය මැඩ පවත්වන්නට සමත් විය. ඉන් අනතුරුව අම්පාර ගල්කන්ද ප්‍රදේශයට විවිධ ප්‍රදේශවලින් හාරසියක පමණ පිරිසක් රථවාහන සහ යතුරුපැදි මඟින් එම ස්ථානය වෙත යන බවට තෙරතුරු අනාවරණය විය. ඒ ස්ථානයේ අවට විදුලිය විසන්ධි කර තිබූ අතර අඳුරෙම පැමිණ සිටි පිරිස නිවසට පහර එල්ල කර එයට ඇතුළු වී දෙමහල් නිවස ගිනි තබන්නට විය. ගින්න පැතිර යෑමට එතරම් කාලයක් ගත නොවූ අතර පැට්‍රල් යොදා ගෙන එම ගිනි තැබිම සිදු කර තිබේ.

එම ස්ථානයේ සිටි ආරක්ෂ අංශ නිලධාරීන් හට පැමිණි පිරිස පලවා හැරීමට කටයුතු කළ ද ප්‍රචණ්ඩත්වය හමුවේ ඒ සියල්ල ගැටලු සහගත විය. රාත්‍රී නවය පමණ වන විට එම නිවස සම්පූර්ණ දැවී තිබෙනු දක්නට ලැබිණ.

අම්පාර නගරයේ පළමු පහර දීම වාර්තා වන්නේ රාත්‍රි (11) පමණ අම්පාර ගැමුණුපුර විමලවිර දිසානායකගේ පුතාගේ නිවසට ගල්මුල් පහර දීමක් සිදු කිරිමය. එම අස්ථාවේ අම්පාර මුලස්ථාන පොලිස් පරික්ෂක බණ්ඩාර තම නිලධාරීන් මෙහෙවමින් එම පහර දීම නවතා දමන්නට සමත් විය.

එම නිවස අවට ආරක්ෂාව තර කර කටයුතු කර අතරතුර එම නිවසට මිටර් අටසියක් පමණ දුරින් අතුරු මාර්ගයක පිහිටා තිබූ අම්පාර නගර සභාවේ උපනගරාධිපති දුලිප් කුමානායකගේ නිවසට පහර දීම ආරම්භ කරන ලදි. එම පහරදීම හමුවේ නිවස තුළට කඩා පැන සිටි පුද්ගලයන් එහි තිබු දෑ සොරා ගනිමින් සියල්ල කුඩු කරන්නට විය. එම ස්ථානයට ගිනි තැබීමට කටයුතු කිරිමේදි පොලිසිය පිරිස පලවා හැරිමට කටයුතු කරන ලදී.

රාත්‍රි එක පමණ වන විට එම නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටා තිස්සපුර පදිංචිව සිටින අම්පාර නගරාධිපතිවරයාගේ නිවස වෙත පිරිස පහර දෙන්නට විය. අවට නිවෙස්වල අය භීතියෙන් විදුලි බල්බද නිවා දමා නිහඬව සිටින්නට විණි.

නගරාධිපතිවරයාගේ නිවසට ඇතුළු වූ පිරිස එම නිවසේ සියල්ල ද කුඩු කර තිබු අතර ගිනි තබන්නට සුදානම් වන විට එය නිවා දමන්නට අම්පාර මුලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත බණ්ඩාර කටයුතු කරන ලදී. ගින්න නිවා දැමීමට ක්‍රියා කිරීම පිළිබඳ උරණ වූ පිරිස මූලස්ථා පොලිස් පරික්ෂක වරයාට පහර දී ඇත.

එම සිදුවීමෙන් අනතුරුව පිරිස නැවත නගරාධිපතිවරයාගේ නිවසට ගිනි තබා විනාස කිරීමට කටයුතු කරන ලදී.

රාත්‍රි දෙක පමණ වන විට සියල්ල සිදුවී හමාරව තිබිණ. නගරය පුරා ප්‍රචණ්ඩ ව හැසිරුණ පුද්ගලයන් විසිර යමින් සිටි අතර ආරක්ෂ අංශ තවදුරටත් හැකි අයුරින් නිවාස සහ පුද්ගලයන් ආරක්ෂා කිරිමට කටයුතු කරන ලදී. ප්‍රධාන සිදුවීම තුනක් හැරෙන්නට සාමය ආරක්ෂා කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පවත්වන්නට ආරක්ෂ අංශ සමත්විය. පසුදින දිස්ත්‍රික්කය පුරාවට ආරක්ෂ අංශ මගින් සිදු කළ උපක්‍රම සහ තොරතුර ලබා ගැනීම් මගින් සියලු විනාශකාරි සිදුවීම් මැඩ පවත්වන ලදී. ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳ බුද්ධි අංශ මගින් ලැබෙන තොරතුරු මත ප්‍රහාරයක් එල්ල විය හැකි ස්ථානවල පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය විසින් විශේෂ අවධානයක් යොමු කර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබිණ.

අම්පාර සහ දමන පොලිස් බල ප්‍රදේශ තුළ නිවාස දෙකක් පුළුස්සා දැමුණු අතර එක් නිවසක් කඩා බිඳ නිවසේ සියලු උපකරණ විනාශකර තිබිණ.

මෙහිදී නැගෙනහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වා සහ අම්පාර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. අයි. සේනාරත්නගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ මෙහෙවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විසිහතර සේනාකාධිපති බ්‍රිගෙඩිය එස්. බී. අමුණුගම සහ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කොමදොරු ජි.ජි.ඩබ්.ටි.කේ වරුණ ගුණවර්ධන ඇතුළු නිලධාරීන් ගේ සහය ඇතිව විනාශ අවම කර ගැනිමට සමත්විය

 

 

Comments