අග­මැති රනිල් පත්වුණේ මෙහෙමයි | සිළුමිණ

අග­මැති රනිල් පත්වුණේ මෙහෙමයි

ටේ දේශපාලනයේ කුතුහලය, ත්‍රාසය, භීතිය සමඟ අවසන් වූ සතියක් වශයෙන් පසුගිය සතිය හැඳින්වූවොත් එය අතිශයෝක්තියක් නොවේ. දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වීම සාමාන්‍ය දෙයක් වුව ද පසුගිය සතිය තුළ දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වූයේ ත්‍රාසය, භීතිය, කුතුහලය සමගිනි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඇතුළු නම දෙනෙකු ඝාතනය කරමින් නිවාස රථවාහන ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික දේපළ රැසක් විනාශ කරමින් පසුගිය සතිය තුළ ඇති වූ සිද්ධීන් සිහිගැන්වූයේ 71 කැරැල්ල, 1983 කළු ජූලිය, 1988 – 89 භීෂණ කාලවල දී ඇති වූ සිද්ධීන්ය. මේ වන විට එම කලහාකාරී තත්වයන් ක්‍රම ක්‍රමයෙන් සමනය වෙමින් පැවතිය ද දේශපාලන ක්ෂේත්‍රය නම් සුපුරුදු පරිදි තාමත් උණුසුම්ය.

 

රනිල්ගෙන් ලෝක වාර්තා

 

මෙරට 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය 12 වැනි බ්‍රහස්පතින්දා සවස 06.30 ට රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ කොටුව ජනාධිපති මන්දිරයේදීය.

රනිල් වික්‍රමසිංහ රටේ 26 වෙනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්න ද ඔහු අග්‍රාමාත්‍යධූරයට පත්වූයේ 06 වැනි වරටය. මෙය ලෝක වාර්තාවකි.

එපමණක් නොව පාර්ලිමේන්තුවේ එකම එක මන්ත්‍රීධුරයක් සහිතව අග්‍රාමාත්‍යධූරයට පත් වූ දේශපාලන නායකයෙකු වශයෙන් ද රනිල් වික්‍රමසිංහ තවත් ලෝක වාර්තාවකට හිමිකම් කියයි.

 

වජිරගේ අනාවැකිය

 

අනාවැකි කීමෙන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින දේශපාලඥයකු වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන හැඳින්වීමට පුළුවනි.

"බලන්නකෝ කරන විදිය. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම එක පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත්කරන්නේ ඒකට. කොයි වෙලාවක හරි ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට පුළුවන්. රනිල් වික්‍රමසිංහයන් මහතාට දේශීය හා ජාත්‍යන්තර සහාය තියන නායකයෙක්. ඒක නිසා පාර්ලිමේන්තුවේ එකම එක මන්ත්‍රීධුරයත් ඉතාමත්ම වැදගත් බව අමතක කරන්න එපා." යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

පසුගිය 12 වැනි සිකුරාදා සවස වජිර මීට පෙර ප්‍රකාශ කළ අනාවැකි සිහිපත් කරමින් මාධ්‍යවේදියෙකු වජිර අබේවර්ධනට දුරකථනයෙන් කතා කළේය.

ඊට සිනහමුසු මුහුණින් ප්‍රතිචාර දැක්වූ වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ ඔයාට ඒ අනාවැකිය මතක් වුණා ද කියාය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට පැමිණ චෙස් ක්‍රීඩාවේ ඉත්තෝ ඇද පාර්ලිමේන්තුවේ බහුතරයත් හදාගෙන අග්‍රාමාත්‍යධුරයට පත් වුණු ලෝකේ පළවෙනි අග්‍රමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ සැලකේ. එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහයන් පත් කළ යුතුයි කියලා මුල සිටම දිගින් දිගටම ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන. කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරපු දෙයක් තමයි රටේ තිබෙන්නා වූ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහයන්ට අග්‍රාමාත්‍යධුරය භාර දිය යුතුයි යනුවෙනි.

මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට පපසුගිය 11 බදාදා දවසේ සවස් වරුවේ රනිල් වික්‍රමසිංහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ආරාධනා ලැබෙන්නේ සාකච්ඡා සඳහාය.

 

ස.ජ.බ. 11 දෙනෙක් රනිල් හමුවෙති

 

බදාදා සවස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් එ.ජා.ප. නායකයා හමුවූවේ ඔහුගේ පස්වෙනි පටුමඟ පිහිටි නිවසේදීය. එහිදි පැමිණි පිරිස දැනුම් දුන්නේ තවත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට සුදානමින් සිටින බවය. ඒ අනුව රනිල් බ්‍රහස්පතින්දා දිනය පුරා පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටියේය.

එ.ජා.ප. නායකයාගේ පස්වෙනි පටුමඟ නිවස එක් එක් කණ්ඩායම්වලින් පිරිගොස් තිබුණේ ඔහු හමුවීමට පිරිස් පැමිණෙන්නට වූ නිසාය. පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ද රනිල් මුණ ගැසීමට බ්‍රහස්පතින්දා පස්වෙනි පටුමඟ නිවසට පැමිණ සිටියහ.

 

හොඳම මොහොත ගැන රනිල් කියයි

 

"සර් හෙට දිවුරුම් දෙනව ද?" නීති නිලධාරියකු විමසීය.

"හෙටට කලින් අද දවස ඉවර කරගෙන ඉන්න ඕනා නේ." එ.ජා.ප. නායකයා කීවේ සිනා මුසු මුහුණෙනි.

"හෙට කියන්නේ 13 වෙනිදා." එහි පැමිණ සිටි මාධ්‍යවේදියකු කීවේය.

"13 නරකයි කියන්නේ සුද්දෝනේ. බෞද්ධයෝ එහෙම කියන්නේ නෑනේ. බ්‍රාහ්මණයෝ කියන්නේ සිකුරාදා හොඳයි කියලා. බුදු හාමුදුරුවෝ කිව්වේ ලැබෙන පළමු මොහොත තමයි හොඳම මොහොත කියලා." නායකයා සුපුරුදු සිනාවෙන්ම පිළිතුරු දුන්නේය.

ඔහු අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය නිලධාරීන් හමුවී රටේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් 13 සිකුරාදා පස්වරුවේ සාකච්ඡා කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගේ නිවසේ සිට රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නිලධාරීන් ද අමතා සාකච්ඡා කර තිබේ. රාජ්‍ය නිලධාරීන් පමණක් නොව විදේශ රටවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ ද සාකච්ඡා කර ඇත.

ඇතැම් පිරිස්වලට පැන නැඟී ඇති ප්‍රශ්නය වන්නේ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා ද යන්නයි. එම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙමින් නව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අවශ්‍ය මොහොතේ දී බලය පෙන්වීමට සූදානම් බවයි.

ඒ වගේම රටේ ඉදිරි තීරණ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය වෙසක් පෝය දවසේ දිවුරුම්දීමට නියමිතව ඇත. මේ නව අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරුන් 15 – 20 ත් අතර අඩු සංඛ්‍යාවකුත් දිවුරුම්දීමට නියමිතව ඇත.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස්වී දින කිහිපයක්ම රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් උද්ගතව පවතිද්දී රනිල් වික්‍රමසිංහට ඇමතුම් එන්නට පටන් ගත්තේ මේ අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස ඉල්ලමිනි. ඒ අනුව ඔහු තමන්ගේ සුපුරුදු රාජකාරීය ආරම්භ කළේය. හෙතෙම පළමුව පක්ෂ ක්‍රියාකාරීන් හමුවී අගමැතිධූරය බාර ගන්නා ලෙස එන ඇරයුම් පිළිබදව විමසූහ.

 

සජබේ කරන්නේ මොකක්ද?

 

"නායකතුමා මුලින්ම සජබෙ මොකක්ද කරන්නේ බලන්න. එයාලා ආණ්ඩුව ගන්න කැමති නම් අපි ඒකට උදව් කරමු. එයාලා ගන්නේ නැතිනම් අපි මොකක්ද කරන්නේ කියලා බලමු." නියෝජ්‍ය නායක රුවන්ගේ කතාව සැවොම අනුමත කළේය.

පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරු මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ද විමසා සිටියේ එ.ජා.ප. නායකයාගේ ස්ථාවරය සම්බන්ධයෙනි. ඒ සැමටම ඔහු කීවේ "ඔයාලා අවංකව මට සහාය දෙනවා නම් මම බාරගන්නම්." යනුවෙනි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වනතුරු අගමැතිකම බාර නොගන්නා බවට සමගි ජන බලවේගය ප්‍රකාශ කිරීමත් සමඟය.

පසුගිය සතිය පුරා විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් කොළඹ විවිධ ස්ථානවල දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සාකච්ඡා පැවැත් වූ අතර ඒ සියලු පක්ෂවල මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම වූයේ රට මුහුණ පා ඇති අර්බුදවලට කඩිනම් විසදුම් ලබා දී නැවත මේ රට ගොඩනගා දෙන ලෙසයි.

 

දිවුරුම් දුන් රනිල් විහාරස්ථානවලට යයි

 

ඉන් අනතුරුවත් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් කියා තිබුණේ රට අකර්මණය වී ඇති අවස්ථාවක මෙය ගොඩගත හැකි නායකයා රනිල් පමණක් බවය. රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය බ්‍රහස්පතින්දා සවස 6.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොල්ලුපිටිය වාලුකාරාමයටත්, හුණුපිටිය ගංගාරාමයටත් පැමිණි රනිල් වික්‍රමසිංහ මහා සංඝරත්නය බැහැ දැක ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබාගත්තේය.

පසුගිය වසරක පමණ කාලය පුරාවට එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, රංගේ බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක ඇතුළු ක්‍රියාකාරීන් එකමුතුව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු සමඟ සුහද හා මිත්‍රශීලී සබඳතා පවත්වමින් රට ගොඩගන්න යකඩ මෙන් ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමටත්, එ් තුළින් රටේත් රටේ තරුණ තරුණියන්ගේත් අනාගතය සුරක්ෂිත කිරීමට සැලසුම් සකස් කරන ලදි.

රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයාට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ද සුබපතා තිබුණි. ඊට අමතරව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සුබපතා තිබුණි.

දුරකතන ඇමතුමකින් ජනාධිපතිවරයා ඉල්ලා තිබුණේ අගමැතිධූරය බාරගන්නා ලෙසය.

"අපි ගෝල්ෆේස් ජනතතා අරගලයේ මතවාදය සමඟ ඉන්නවා. මොන දේ වුණත් අරගලය කරන අයගේ අපේක්ෂාවන් ඉටු වෙන්න ඕන. ඒ වගේම මම මගේ මන්ත්‍රී කණ්ඩායම එක්ක සාකච්ඡා කරලා තමයි අවසන් තීරණයක් ගන්නේ" සජිත් ජනාධිපතිවරයාට පැවසුවේය.

ජනාධිපතිවරයාගෙන් ලැබුණ දුරකතන ඇමතුම ගැන සජිත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

"මම මන්ත්‍රී කණ්ඩායමෙන් අහන්නේ නැතිව කිසිම තීරණයක් ගන්නේ නෑ. අගමැතිධූරය භාරගන්න කියලා ජනාධිපතිගේ ඉල්ලීමට මොකද කරන්නේ කියලා අපි තීරණය කරමු" සජිත් පැවසුවේය. "මේ රට දැන් අගාධයකට ඇද වැටිලා තියෙන අවස්ථාවක්. අර්බුදකාරී අවස්ථාවක්. අපි දේශපාලනයට වඩා ජනතාව ගැන හිතන්න ඕන" මන්ත්‍රීවරු පැවසූහ.

"විධායක ජනාධිපතිකම අහෝසි කිරීම කරන්න ඕන. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යන්න ඕන" සජිත් තමන්ගේ ස්ථාවරය පැහැදිළි කළේය.

ඒ අතර පැයෙන් පැය රටේ තත්වයන් වෙනස් වන්නට පටන් ගත්තේය. ඒ අතර අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස් ගෝටාගෝගම අරගල භූමියට පහර දෙන බවට වාර්තා පළවිය. අරගල භූමියට පහර දෙන වීඩියෝ නැරඹූ සජිත් කීවේ එතැනට යා යුතු බවය. එතැන ප්‍රකෝපකාරීව හැසිරුණ පිරිසක් සජිත්ට පහර දීමට පැමිණි අතර ඔහු එතැනින් පැමිණියේය. එතැන සිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සජිත්ගෙන් මන්ත්‍රීවරු විමසුවේ පහර දුන්නේ කවුරුන්දැයි කියාය. "එතැන සිටි තරුණයන් ද ගැහුවේ" නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඇසුවේය.

"ඇතිවෙමින් තිබෙන්නේ නරක තත්ත්වයක්. ප්‍රකෝප වූ කල්ලි මැර ක්‍රියාවල යෙදෙනවා. විපක්ෂයක් විදියට අපි මේක සමතයකට පත් කරන්න මැදිහත් වෙන්න ඕන" හර්ෂ ද සිල්වා, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු කීවේ එක හඩිනි. ඒ අතර ආණ්ඩුව බාර ගන්නවා ද නැද්ද යන තීරණයත් ගැනීමට සිදුව තිබුණේය.

"නායකතුමනි, දැන් රට වැටිලා තියෙන්නේ බරපතළ තැනකට. මේක අද පොහොට්ටුවට වෙනවා. හෙට වෙන අයට දික් වෙන්න පුළුවන්. අරගලයට පිටින් කල්ලියක් තමයි කටයුතු කරන්නේ" හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සංවේදී කතාවක් කළේය.

මේ අතර මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා එරංග ගුණසේකර ඇතුළු කණ්ඩායමක් පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පෙන්වූවේය. "අරගල බිමේ ඉන්න තරුණයන්ගේ නම පාවිච්චි කරලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට ගහන්න හදනවා" මනූෂ තවත් අනතුරු ඇඟවීමක් කළේය.

"ජනාධිපතිවරයා එලවන්න කටයුතු කරන ගමන් අපි රට බාරගනිමු" මන්ත්‍රීවරු යෝජනා කළහ."අපි මේක අරගනිමු. සාර්ථක වෙන්න හෝ අසාර්ථක වෙන්න හෝ අපි මේක බාරගනිමු. අපි ඇතිවෙලා තියෙන අර්බුදයට මුහුණ දෙමු" හර්ෂ යෝජනා කළේය. එම යෝජනාවට සජිත් එකඟත්වය පළ කළේය.

ඉහත සඳහන් කරුණුවලට අනුව නව කෙටිකාලීන රජය පිහිටුවීමේ රාමුව පිළිබඳව සහ හෙට දවසේ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමි" සජිත් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සදහන් විය.

මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයේ දිවුරුම් දෙන බවට මාධ්‍ය වාර්තා පළවිය.

"කවුරුවත් ඉල්ලුව ද නැද්ද කියන අදාළ නෑ. අවශ්‍ය වෙලාවේ දී තමයි අපි මේ තීරණය ගත්තේ. අනෙක් කෙනාගේ න්‍යාය පත්‍රය අනුව අපේ තීන්දු ගන්න බෑ. අපි නිවැරදි වෙලාවේ දී, නිවැරදි තීරණ ගන්නේ" සජිත් කීය.

මෙම ලිපිය සකස් කිරීමට පෙර මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්විණි. කොන්දේසි විරහිතව අගමැතිකම ගැනීමට කිසිවෙක් එකඟ වූයේ නැත. අරගලය පාවා නොදෙන තැනක සිට මෙය භාරගත යුතු බවට වන අදහස සහිතව ලිපිය සකස් කිරීම ආරම්භ කළේය. ලිපිය භාරදීමෙන් පසුව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට දුරකතන ඇමතුමක් දුන්නේය. සජිත් එවූ ලිපිය ලැබුණේ දැයි ඔහු විමසා සිටියේය. "ලියුම ලැබුණා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා" ගාමිණී සෙනරත් කීය. "මොකක්ද ප්‍රශ්නය" හර්ෂ ඇසුවේය.

"අපි එක් කෙ‌ෙනක්ට වචනයක් දීලා තියෙනවා. ඒක හරි ප්‍රශ්නයක්" ගාමිණී සෙනරත් උත්තර දුන්නේය.

"අගමැති පත් කරන්නේ කට වචනයට ද" හර්ෂ ඇසුවේ තරමක ආවේගයකින් යුතුවය.

"කෝල් කරලා විපක්ෂ නායකතුමාගෙන් මේක භාරගන්න කියලා ඉල්ලීමක් කළානේ" යනුවෙන් ගාමිණි සෙනරත් විසින් සජිත්ගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීම සිහිපත් කළේය.

"රටේ ප්‍රධාන විපක්ෂයේ සහ විපක්ෂ නායක ආණ්ඩුව බාර ගන්නම් කියනවා. ඒ ලියුම අනුව වැඩ කරන්න" හර්ෂ පැවසුවේය. එම ඇමතුම දී ටික වේලාවකින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අතරම ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් එවා පවසා තිබුණේ කලින් පැමිණියේ නම් අගමැතිධූරය ලබාදීමට තිබුණ බවය.

"මට කෝල් කරලා මෙදාට කලින් එන්න කියලා කිව්වේ නෑනේ. කඩිනමින් බාරදෙන්න තීරණය කළේ කොහොමද? රටේ ප්‍රශ්න නැති කරනවා වෙනුවට රාජපක්ෂලා තවත් ප්‍රශ්න ඇති කරන එක තමයි කරන්නේ" ලියුම අතට ගත් සජිත් තරමක ආවේගයෙන් යුතුව කීය.

 

මහින්දට දුරකථන ඇමතුම් රැසක්

 

මේ අතර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ මෙරට පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සැප දුක් විමසමින් ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් දේශපාලනඥයෝ රැසක් ම මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුම් ලබා දී තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඝාතනය කර දැමීම ගැන මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා කම්පා වී සිටියේය.

 

Comments