DFCC බැංකුව ව්‍යාපාර නැංවීම සඳහා USAID සමඟ අත්වැල් බැඳගනී | සිළුමිණ

DFCC බැංකුව ව්‍යාපාර නැංවීම සඳහා USAID සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (Micro, Small and Medium Enterprises - MSMEs) කාණ්ඩයයි. මෙරට ව්‍යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී මෙම කාණ්ඩයේ ව්‍යාපාර වලට විවිධාකාර වූ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වේ.

මීට එක් හේතුවක් වන්නේ, තම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණවත් හා විශ්වාසදායක වාර්තා පවත්වා ගැනීමට මෙම ව්‍යාපාර අසමත් වීමයි. මේ හේතුවෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ හිමිකාරීත්වය හා කළමනාකාරීත්වය යටතේ පවතින ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වී ඇත.

මෙම ගැටලුව අවම කරමින් ශ්‍රී ලංකාවේ MSME කාණ්ඩයේ ව්‍යාපාර වලට අත්වැලක් වීම සඳහා, USAID CATALYZE Private Sector Development Activity (PSD) වැඩසටහන සමග හවුල්කාරීත්වයකට එළඹීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. Palladium Group මගින් ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වන්නේ, කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර ඇතුළුව, MSME කාණ්ඩයේ ව්‍යාපාර වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම ය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා දෙපාර්ශ්වයේ නියෝජිතයන් විසින් අත්සන් තබන ලදි. වර්ධනය සඳහා ඉහළ සම්භාවිතාවක් සහිත ක්ෂේත්‍ර ලෙස සැලකෙන සංචාරක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, වාණිජ සත්කාර, ඇඟලුම් සහ ආහාර සැකසුම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙහිදී ප්‍රමුඛත්වය හිමිවනු ඇත.

Comments