සල්පිල | සිළුමිණ

සල්පිල

 

ලොකු හාමුදුරුවෝ ඉතා සරුසාර බුලත් කෙළ පහරක් පඩික්කමට හෙළා; පසුව හාන්සි පුටුවේ තවදුරටත් දිගෑ දෙමින් කතාව පටන් ගත්හ.

 

“මාස්ටර් උන්නැහැ

අපට හොඳ ටීටර් එකක්

වුවමනා කරල තියෙනවා!“

“එහෙමයි අපේ හාමුදුරුවනේ!“

සල්පිලක් තිබ්බට

සෙනඟ එන්නෙ නෑ!“

“එහෙමයි විනෝදයකුත් එපායැ!“

“මුන්නැහෙට වැඩේ බාරයි!

අවශ්‍ය දෙයක් තිබුණොත්

ඉස්කෝලෙ මහත්තයට

කියමුකො!“

ගමේ කිසිවකු ලොකු හාමුදුරුවන්ගේ වචනයකට පිටින් ගියේ නැත. මාස්ටර් ගම පුරා ඇවිද නළු - නිළියන් තෝරා ගත්තේ ය. නළු නිළියන් කියූව ද ස්ත්‍රී චරිත සඳහා තෝරා ගත්තේ ද පිරිමින්ම ය. එකල ගමේ තරුණියන් නාට්‍යවලට ගියේ නැත.

ලොකු හාමුදුරුවන්ගේ ඉලක්කය වූයේ ටීටර් එක ගැන ප්‍රසිද්ධියක් ලබාදී සල්පිලට මහ සෙනඟක් ගෙන්වා ගැනීම ය. එවිට ගම තුන - හතරක සෙනඟ සල්පිලට එනු ඇත. ගමේ කවුරුත් වැඩපිළිවෙළ අනුමත කළහ. හැකි උපරිමයෙන් ඊට සහයෝගය දැක්වූහ. මල්වට්ටි වෙන්දේසිය, පොල් තොරණ වෙන්දේසිය, පුවක් තොරණ වෙන්දේසිය හොඳ ආදායම් මාර්ගයකි. මහ සල්පිලෙන් ද සෑහෙන ආදායමක් අපේක්ෂා කළ හැකි ය.

සෙනඟ පින් කිරීමට නො ව; ටීටර් බලා විනෝදවීමට කැමැති බව උන් වහන්සේ වටහා ගත්හ. ඒ අනුව ටීටර් පුහුණුව බැලීමටත් ගියහ. මාස්ටර් උන්නැහේ එය හොඳට කරගෙන යයි. පොඩි පරහකට තිබුණේ වැඩිහිටි රංගධරයන් රහමෙර පානයට පුරුදු වී සිටීම පමණි.

රජතුමාගේ චරිතයට පණ දුන් රත්නෙ අයියා හැමදාම හවසට කිතුල් රා ටිකක් තොල ගෑවේ ය. ඔහු ඒ සඳහා තමන්ගේ ම කිතුල් ගසක් මැද ගත්තේ ය. පුරෝහිතගේ චරිතයට පණ දුන් සයිමන් ද රා බීමට ඇබ්බැහි වී සිටියේ ය. බිසවට ඇන්ද සුදු චන්දරේ රාවලට වඩා ගමේ රහසේ නිපදවන එවාට කැමැති ය. ඔහු නිතිපතා අල්ලපු ගමේ තිප්පොළට රිංගුවේ ය.

මාස්ටර් පළමුව කියා සිටියේ බීමත්ව ටීටර් පුහුණුවට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් බව ය. නාට්‍ය රඟදැක්වීම දේවාශිර්වාදයක් බව ද ඔහු අවධාරණය කළේ ය. එහෙත් පළමු නීතිය ඉක්මනින්ම වෙනස් වූයේ මාස්ටර් ද රහ මෙර පානයට පුරුදුවීමෙන් ය.

පසුව ඔහුගේ උපදේශනය වූයේ කොච්චර පානය කළත් චරිතය හරියට කරනවා නම්; ඒ ඇති බව ය. ස්වල්පයක් පානය කිරීමෙන් සබකෝලය නැති වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ටීටර් පුහුණුව ආරම්භ වන්නේ හැන්දෑවේ හයට පමණ ය. එහෙත් සියලු පාත්‍ර වර්ගයා පැමිණෙන විට රාත්‍රී දහය පසුවෙයි. ඉනික්බිති රහමෙර පානය සඳහා ද කයිවාරු සඳහා ද තවත් කාලයක් ගෙවී යයි. මාස්ටර් වැඩියෙන් පානය කළදාට උපදේශන වැඩිවෙයි. පුහුණුව අවසන් වන්නේ පාන්දර තුනට - හතරට ය.

ටීටර් පුහුණුව රංගධරයන්ට හොඳ අවස්ථාවක් ලබාදී තිබිණි. ඒ රාත්‍රිය පුරාවට ගෙදර කරදරවලින් මිදීමට ය. ඔවුහු ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගත්හ. ගැහැනු මෙය පින් අතේ වැඩක් ලෙස සැලකූ අතර සිය සැමියන්ට කිසිවක් ම නො කීහ. ඇතැම් ගැහැනියක් සිය සැමියා වේදිකාවේ නටනවා බලන්නට ඉතා ආශාවෙන් සිටියා ය. එය ගෞරවයක් ලෙස සමහරු සැලකූහ.

කාලය සෙමෙන් ගෙවී ගිය අතර සල්පිලෙහි වැඩ එක පැත්තකින් ද ටීටර් පුහුණුවේ වැඩ තව පැත්තකින් ද ගජරාමෙට සිදුවිය. පල්ලේගම රජ මහා විහාරයේ මහා සල්පිලක් සමඟ ටීටර් දර්ශනයක් ද පැවැත්වෙන බව අවට ගම් පුරා ප්‍රචාරය විය. ලොකු හාමුදුරුවන්ගේ අදහස වූයේ ගරා වැටෙන බණ මඩුව වෙනුවට අලුත් ගොඩනැඟිල්ලක් තනා ගැනීම ය. මේ සල්පිලෙන් ලැබෙන ආදායම යොදවා ඊට අවශ්‍ය අත්තිවාරම දමා ගත හැකි යැයි උන්වහන්සේ විශ්වාස කළහ.

සල්පිල පැවැත්වෙන දිනට සතියකට කලින් පන්සල් භූමියේ වේදිකාවක් ඉදි විය. එය ගොඩනැගිල්ලක් මත පොල් කොට හිටුවා ඉදිකරන ලද අපූරු වේදිකාවකි. තිර රෙදි කුලියට ගෙන්වා එය අලංකාර කරන ලද අතර පිටුපස පොල් අතු අහුරා ආරක්ෂා කර තිබිණි. ටීටර්කරුවෝ දින කිහිපයක් ම එම වේදිකාව මත පුහුණුවීම් කළහ. පුහුණුව නැරඹීමට පවා සෙනඟ රැස්වූහ‍.

එම ආකර්ෂණීය දිනය පැමිණියේ ය. පන්සල් භූමිය අතුරු - සිදුරු නැතිව සෙනඟින් පිරී තිබිණි. අවට ගම්වල බොහෝ දෙනා ද ටීටර් බැලීමට පැමිණ සිටියෝ ය.

‘පැට්‍රෝමැක්ස් ලාම්පුවලින් ද‘ විශාල පොල් තෙල් පහන්වලින් ද මුළු ප්‍රදේශය ආලෝක කර තිබිණි. ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත් වන විවිධ ශබ්ද ගම පුරා පැතිර ගියේ ය. වරින් වර සරපිනාවක හා මද්දලයක හඬ මිහිරට පැතිර ගියේ ය. ඒ හඬත් සමඟ සෙනඟ වේදිකාව දෙසට රොක් වෙති. එහෙත් ටීටර් දර්ශනය ඇත්තේ සල්පිල අවසානයේ ය. ලොකු හාමුදුරුවෝ සියලු දෙනාටම උපදේශන සපයමින් පින්කම සාර්ථක කර ගැනීමට උත්සුක වූහ. රංගධරයන්ට රහමෙර පානය තහනම් කර තිබිණි. එහෙත් වේලාසන ම රජ ඇඳුම් ලාගත් ඔවුහු ඒ වස්ත්‍ර පිටින් ම ඔබ - මොබ ඇවිදින්නට පටන් ගත්හ. කොල්ලෝ ඔවුනට විහිළු කළහ. ගැහැනු සිනාසුණහ.

මල්වට්ටි වෙන්දේසිය, පොල් - පුවක් තොරණ වෙන්දේසිය රාත්‍රී දොළහ වනවිට අවසන් විය. මහ සල්පිල ද පාන්දර දෙක වනවිට අවසන් විය. ඊළඟට පැවැතියේ ටීටර් දර්ශනය යි. ටීටර් දර්ශනය ආරම්භ වන බව යකඩ කටෙන් නිවේදනය කැරිණි. සෙනඟ වේදිකාව වටා පොදි කන්නට වූහ. ටීටර් දර්ශනය මේ දැන් ආරම්භ වනවා යැයි කියූව ද තිරය ඇරුණේ නැත. තත්ත්පර - විනාඩි ගෙවී ගියේ ය. පිරිස නොසන්සුන් වූහ. කෙනෙක් හූ කීහ. ලොකු හාමුදුරුවෝ වහාම වේදිකාවට ගොඩ වූහ.

උන්වහන්සේගේ කෝපය ඉහ වහා ගොස් තිබිණි.

“උන්නැහැ මොකද කරන්නේ?

ඔය කෙහෙම්මල පටන් ගන්නවා!“

“හරි වැඩේ අපේ හාමුදුරුවනේ,

රජතුමයි, බිසවයි, පුරෝහිතයයි

තුන් දෙනාම නෑ!

ලොකු හාමුදුරුවන්ගේ උපදේශනය මත නිවේදන කිහිපයක් යකඩ කටින් නිකුත් විය. ඉන් කියැවුණේ රජතුමා, බිසව හා පුරෝහිත ලෙස රංගනයේ යෙදෙන නළුවන් වහාම වේදිකාවට පැමිණිය යුතු බව ය. එහෙත් කිසිවකු පැමිණියේ නැත. ලොකු හාමුදුරුවන් ඇබිත්තයා පිටත් කර යැව්වේ මුන් කොහෙන් හරි හොයාගෙන එන්න යැයි කියමින් ය.

දිගම දිග හුළු අත්තක් පත්තු කරගත් ඇබිත්තයා ගම පුරා ඇවිද්දේ ය. කිසිවකු සොයාගත නොහැකි විය.

යළි කිසි දිනෙක ගමේ පන්සලේ සල්පිලක් නො පැවැත්විණි.

Comments