ස්වප්නමය බලාපොරොත්තුව | සිළුමිණ

ස්වප්නමය බලාපොරොත්තුව

න්තිමේදී ඉතිරි වුණේ සුනාමියෙන් පසු වෙරළාසන්න ප්‍රදේශවල දකින්නට ලැබුණු අමුම අමු මූසල, දකින විට හදවත දෙබෑවන දර්ශනය හා සමාන පින්තූරයකි. පුළුස්සන ලද බස්, අළු බවට පත්කෙරුණු මෝටර් රථ, ගිනි තබන ලද ගෙවල්, මරණ ලද මිනිසුන් පිළිබඳ ආරංචි මඟින් මේ රටේ ජනයා 1987 සිට 1989 කාලයේ හා ඊට පසු දැනුණු දුක හා සමාන දුකක්ම අනුභව කළහ.

මිනිහකුගෙන් පලි ගැනීම සඳහා දේපළ වලට පහර දීමෙන් ප්‍රයෝජනයක් නැති බව මේ මිනිස්සු නොදනිති. මන්ද යත් දේපළ විනාශ වුවද මිනිසා ඉතිරි වන බැවිනි. ඉන්පසු ඉතිරි වන්නේ දවසේ පැය 24 ම වෛරයේ ගිනි දලුවලින් පිළිස්සෙන මිනිහෙකි. තමන් ජීවත් වූ නිවස ගිනිබත් කළ හැටි, තමන්ගේ දූ දරුවන් පරිහරණය කරන පතපොත අළු වුණු හැටි, තම මව තම බිරිය හා තම සහෝදරිය ගිනි දලු ඉදිරිපිට මර බියේ විලාප තැබූ හැටි ඒ මිනිහාට නිතර මතක් වෙයි. එතැන් සිට පටන් ගන්නේ පළිගැනීම පිළිබඳ අලුත්ම සිතුවිලි පරම්පරාවකි. පොදු ජන පෙරමුණේ පොළොන්නරුවේ මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලට තිරශ්චීන ලෙස පහර දී ප්‍රචණ්ඩකාරීන් අමානුෂික ලෙස ඔහු මරාදමා ඇති බව වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත. නිට්ටඹුවේ දී ප්‍රචණ්ඩකාරීන්්ට මැදිවූ ඔහු පණ බේරා ගැනීම සඳහා සිය ආරක්ෂක නිලධාරීයා ද සමඟ පාර දිගේ දිව යන අයුරු සීසීටීවී කැමරා දර්ශනවලින් මනාව පැහැදිලි විය. අන්තිමේදී අඩ නිරුවත් මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය විය.

මිය යන්නට කලින් අනේ ඇඳුම් අපරාදේ යැයි සිතා ඇඳුම් ගලවා පැත්තකින් තබා යට කලිසම පිටින් මිය යන පිරිමින් සිටින රටක් ගැන අප අසා නැත. නිට්ටඹුවේ සිද්ධියේදී මරා දැමුණු දෙදෙනා ගේ ඇඳුම් ගලවන ලද්දේද ප්‍රචණ්ඩකාරීන්ම විය හැකිය.

මේ රටේ ආණ්ඩුව මේ සියලු මිනී මැරුම් ගැන පරීක්ෂණ පැවැත්විය යුතුය. ගෝඨාගෝ ගමේ නිරායුධ උද්ඝෝෂකයන්ට අරලිය ගහ මන්දිරය තුළ සිටි කුලී දාමරිකයන් විසින් පහර දෙනු ලැබීමෙන් පසු රට පුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා මාලාව පිටුපස සිටි පිරිස සජබ ට හෝ පොහොට්ටුවට සම්බන්ධ පිරිස් නොවන බව අපි විශ්වාස කරමු. එය "වෙනම කට්ටියක්" විසින් ක්‍රියාත්මක කරන ලද්දකි.

හැම ගමකටම පාහේ දාමරික ක්‍රියා සඳහා කඩාපනින ලද්දේ ගමේ මිනිසුන් නොව වෙනම සෙට් එකකි. මේ වෙනම සෙට් එක අවුරුදු 18 ත් 30 ත් අතර වයස්වල සිටි මෝටර් සයිකල්වලින් ගමන් කළ පිරිසකි.

මේ අය අත තුවක්කු තිබුණේ නැත. ඔවුන් ළඟ තිබුණේ පොලු මුගුරු සහ පෙට්‍රල් පමණි. දේශපාලනඥයකුගේ ගෙයකට කඩා පනින ඔවුහු පොලුවලින් පහර දී දේපල සුන් බුන් බවට පත්කර පෙට්‍රල් විසුරුවා හතර අතේ ගිනි තැබූහ.

මේ දාමරිකත්වයෙන් පරිප්පු කෑවේ පොහොට්ටු කට්ටිය විතරක්ම නොවේ. සජබ කට්ටියත් ගුටි කෑමට හා ගෙවල් ගිනි තැබීමට ලක්වූහ. මෙයින් බේරීමට වාසනාව තිබුණේ අතළොස්සකට පමණි.

මේ රටේ දේශපාලන ඉතිහාසයේ මෝඩ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් තිබේ. ඒවා ගොන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වඩා මෝඩ දාමරිකකම් ලෙස හඳුනාගැනීමට පුළුවන. අරලිය ගහ මන්දිරයෙන් එළියට ආ මෝඩ සමහරක් පොහොට්ටුවෝ මුහුණ ඉදිරිපසට රතු රෙදි ඇල්ලූ මී හරකුන් මෙන් පිඹගෙන ගෝල්ෆේස් ගියහ. ඒ ගුටි ඉල්ලා ගෙන කනු පිණිසය.

එසේ ගිය දාමරිකයන්ගෙන් කිහිපදෙනෙක් බේරේ වැවට වීසි කරනු ලදුව ජල සන්නිය හැදෙන තෙක් පෙඟෙමින් සිටියහ. මේ මිනිසුන් ඉල්ලාගෙන ගුටි කනු පිණිස මේ ගමන ගියේ ඇයි? ඒ බූරු ජවය පිටුපස තිබුණේ අරක්කුද, කසිප්පු ද නොඑසේ නම් ශ්‍රීමත් මදනමෝදකයද?

මේ වනවිට මේ රටේ අලුත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්ව සිටී. මේ රට මේ මොහොතේදී බාර ගැනීමට මීට වඩා සුදුසු ‘ආර්ථික මොළයක්’ නැති බව අපිද විශ්වාස කරමු.

මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉල්ලා අස්වීමෙන් පසු මේ රට බාර ගැනීමට කවුරුත් කැමති වුණේ නැත. සියලු දෙනාටම අවශ්‍ය වුණේ තමන් ඉදිරිපත් කරන කොන්දේසි සපුරා ගැනීම පමණි.

ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වන්නේ නම් රට බාර ගැනීමට සජිත් කැමති විය. පාර්ලිමේන්තුවේ තිදනකු පමණක් සිටින ජවිපෙ ඉදිරිපත් කළ කොන්දේසිය වූයේද එයමය.

අන්තිමේදී එක ජාතික ලැයිස්තු ආසනයක් පමණක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්විය. ඔහු අගමැති ලෙස දිව්රුම් දෙන හයවැනි අවස්ථාව මෙය වේ. එය ආසියානු වාර්තාවක් පමණක් නොව ලෝක වාර්තාවක් ද වේ.

අගමැති ලෙස කටයුතු කිරීමෙහි අපමණ පළපුරුද්දක් ඔහුට ඇත. පොහොට්ටු ආණ්ඩුවේ ඇතැමුන් කළ මදනමෝදක දේශපාලනය ඔහු නොකරනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. දැනට මේ රටේ ජනයාට ඉතිරිව ඇත්තේ අනාගතය පිළිබඳ සහතිකයක් නොව අනාගතය පිළිබඳ ස්වප්නමය විශ්වාසයක් පමණි.

 

Comments