පොලිස් වෙඩි පහරෙන් රඹුක්කනදී මියගිය චමින්දගේ නිවෙසට ‘සිළුමිණ’ ගිය ගමන | සිළුමිණ

පොලිස් වෙඩි පහරෙන් රඹුක්කනදී මියගිය චමින්දගේ නිවෙසට ‘සිළුමිණ’ ගිය ගමන

අපිට සාධාරණයක් ඕනෑ, ඒ වන්දි මුදල් නොවෙයි; සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ට නිසි දඬුවම් දීමෙන් 
- දියණිය පියුමි හා බිරිය ප්‍රියංගනී කියයි

පහළොස් හැවිරිදි පුතා පාසල් යන්නත් බෑ කියයි

තාත්තා වැරැදි කාරයෙක් නඩු තියෙනවා කියල කීවාට පස්සේ මේ දරුවා ඉස්කෝලේ යන්න බෑ කියනවා.මෙයා තාත්තාගේ වැරැදි ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ සිදුවීම් වෙනකොට එයා පොඩියි. දැන් දහයේ පන්තියේ ඉගෙන ගන්නේ.’’

රඹුක්කන උද්ඝෝෂණයක් අතරතුර මියගිය චමින්ද ලක්ෂාන්ගේ නැන්දනිය ටී.ඩබ්ලිව්. විමලාවතී චමින්දගේ පුතු ගැන පවසන්නේ එලෙසිනි. 

‘’ඉස්කෝලේ යන්න බැහැ කියලා හරියන්නේ නැහැ. කොහොම හරි යවන්න ඕනෑ. එයා කරාතෙ පන්ති යන්නත් බැහැ කියනවා. දරුවා කරාතෙවලින් රට යන්නත් තේරුණා. සුද්දා මෙයාව රට යවන්නයි හිටියේ’’

රඹුක්කන ඉන්ධන අර්බුදය අතරතුර චමින්ද ලක්ෂාන් මියගියේ ඉකුත් 19 වැනිදාය. ඔවුන්ගේ පවුලේ තොරතුරු සොයා රඹුක්කන නාරන්බැද්ද පිහිටි එම නිවසට ගිය අපට මුලින්ම හමුවුණේ චමින්දගේ නැන්දණියය. අප එහි යන විට චමින්දගේ බිරිය සිය දියණියත් සමඟ නිවසින් බැහැර ගොස් සිටියාය.

‘’හත් දවසේ පින්කමට හාමුදුරුවරු හත් නමක් වැඩම කළා. නාරන්බැද්ද පන්සලෙනුයි, හල්පිටිය පන්සලෙනුයි, දුනුකේවල පන්සලෙනුයි. දරුවෝ දෙන්නම වළ ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. තාත්තා ආයෙමත් එන්නේ නෑ කියලා. මැරෙන්න වෙඩි තියන්නේ නැතිව කකුලකටවත් වෙඩි තිබ්බා නම් අදත් පුටුවක වාඩි වෙලා හරි මේ ගෙදර ඉන්නවානේ.’’

ඇය අප හා කතාකරන අතරතුර චමින්ද ලක්ෂාන්ගේ බිරිය නිවසට පැමිණියේ දියණියත් සමඟ කැඩුණු වතුර බට හදා අවසන් කර ‘’අම්මේ දැන් වතුර එනවාදැයි’’ අසමිනි. ඉන් අනතුරුව ඇය අප හා කතාබහට එක්වූවාය.

‘’ගල් ගැහුවා කියලා වෙඩි තිබ්බාලු. එහෙනම් එයාලත් ගල් ගහන්න එපායෑ.පොලිසියෙන් තමයි ඉස්සෙල්ලාම ගල් ගහලාත් තියෙන්නේ. ඊට පස්සේ තමයි කොල්ලොත් රේල් පාරේ තිබ්බ ගල්වලින් ගහලා තියෙන්නේ. කොච්චර ගැහුවත් රේල් පාරේ ගල් ඉවර වෙන්නේ නැහැනේ. ඒ වුණත් වෙඩි තියන්න විදියක් නැහැ.දණහිසෙන් පහළට හරි, කකුලක් කැඩෙන්න හරි වෙඩි තිබ්බා නම් මගේ මහත්තයා අදත් ජීවතුන් අතර ඉන්නවා.

ළමයි දෙන්නත් එක්ක මම අසරණ වුණා. ඒකට යුක්තිය සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෑ.’’

ඇය කතාව ආරම්භ කළේ තිර හඬකිනි. තම සැමියාට එරෙහිව පවතින නඩු සම්බන්ධයෙන්ද ඇය කටහඬ අවදි කළේ අධිකරණයෙන් සාධාරණයක් ඉටුවන තුරු බලා සිටින බව පවසමිනි.

‘’පොලිසියට අනංමනං කියලා බැහැ. මගේ මහත්තයා බල්ලෙක් වගේ මරලා දාලා දැන් නිදහස් වෙන්න, මම නම් අතහරින්නේ නැහැ.

මට වන්දි වැඩකුත් නැහැ. මගේ මනුස්සයා මරපු අය එල්ලුම් ගස් යවන්න ඕනෑ. එහෙම නැතිනම් එළියට එන්න බැරිවෙන්න ඇතුළට යන්න ඕනෑ. රඹුක්කන රණ්ඩුවකදී මෙයාගේ ඔළු කට්ට අලුතින් දමන්න වුණා. ඒකට මෙයා දමපු නඩුවක් තියෙනවා. හර්ෂගේ සිද්ධියේදී සැකපිට මෙයාත් එක්ක හතර දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒවා පිට දමලා මේක වහන්න බැහැ. මගේ මහත්තයා වෙනුවෙන් මට සාධාරණයක් වෙන්න ඕනෑ.’’

පාසල් අධ්‍යාපනය අතරමඟ නතරවූ දියණියගේ මෙන්ම පාසල් යන පිරිමි දරුවාගේ බර ඇය දෙවුර මත පැටවී ඇත්තේ සිහිනයෙන් වත් නොසිතූ පරිද්දෙනි.

මිය ගිය චමින්ද ලක්ෂාන් ගේ බිරිය ආර්. සමන් ප්‍රියංගනී ඒ පිළිබඳ ව පවසන්නේ මෙබන්දකි.

‘’මට තවම හිතාගන්න බැහැ ගෙදර ඉඳන් මම මොනවාද කරන්නේ කියලා.ළමයි දෙන්නා නිසා මොකක් හරි රස්සාවක් කරන්න වෙනවා.මට මේ දරුවෝ දෙන්නා දමලා දුරක වැඩට යන්නත් බැහැ.දුවත් සාමාන්‍ය පෙළ දක්වා විතරයි ඉගෙන ගත්තේ. පුතා කරාතේවලට රට යවන්න ලක්ෂ තුනක් විතර යනවා.

එයා හිටියා නම් දරුවාව කොහොම හරි යවනවා. ගෙදර ඉතිරි වැඩ ඉවර කරලා දරුවෝ දෙන්නා කොහොම හරි රට යවනවා කියලා තමයි හැම වෙලාවෙම එයා කීවේ.

උසාවියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් වෙයිද දන්නේ නැහැ. සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලන්ටත් ඇහෙනවා පේනවා නේ. දකින්න සාක්කි තියෙනවා. වෙඩි තියන්න අණ දීපු කෙනාත් ඉන්නවා. එතකොට මේක යටගහන්න කොහොමත් වුවමනාවක් නැහැ. හැමදේම තියෙද්දී මේක ඔප්පුවෙන්න පුළුවන්නේ. ඒ හින්දා මම ඉල්ලා හිටින්නේම සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලාමයි. මායි, ළමයි දෙන්නයි අසරණයි. සාධාරණය හරි තිබුණොත් මට සැනසීමෙන් බඩගින්නේ හරි ඉන්න පුළුවන්.

මම ළමයි දෙන්නාගේ ඉදිරි අනාගතයට වන්දි මුදලක් ඉල්ලනවා. අනිවාර්යයෙන්ම ඒක වෙන්න ඕනෑ. මගේ මහත්තයාගේ වටිනාකම එයාලට කොහොමත් දෙන්න බැරි වෙයි. ළමයි දෙන්නාට මතු අනාගතයට හරි තාත්තා හිටියා නම් කෙරෙන්න තිබුණු වැඩ ටික හරි වෙන්න ඕනෑ. මේක යට ගහනවා කියන්නේ තවත් කෙනෙක්ට වෙඩි තියන එක එතකොට මහ දෙයක් නොවෙයි. එතන වෙඩි තියලා තියෙන්නේ හැමෝටම බෙල්ලෙන් පාත ඉණෙන් උඩ. පිටි පස්සෙන් පන්නලා ගිහින් තමයි වෙඩි තියලා තියෙන්නෙත්.’’

මිය ගිය චමින්ද ලක්ෂාන් ගේ එකම පුතු තනූෂ ගයාන් බණ්ඩාර පහළොස් හැවිරිදිය. ඔහු මෙම සිදුවීමෙන් වූ කම්පනය නිසාම තවමත් කිසිවකු හා කතාබහට නොපැමිණෙයි. අප ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඔහු තරයේම අප හමුවට පැමිණීම ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු අප චමින්දගේ දියණිය දහ නව හැවිරිදි පියුමි උපේෂිකා ලක්ෂාණි කතාබහට හවුල්කර ගත්තෙමු. ඇයද පවසන්නේ තම පියාගේ මරණය වෙනුවෙන් සාධාරණයක් විය යුතු බවකි.

‘’මට තාත්තා කොහේ ගියත් හැම තිස්සේම කෝල් කරනවා.එදා පෙට්‍රල් ගහගෙන එන්න ගිහින් පැය දෙක තුනක් ගියත් කෝල් කළේ නැහැ. මම කෝල් ගත්තත් ෆෝන් එක ඉස්සුවේ නැහැ. පස්සේ තමයි අපි දැනගත්තේ තාත්තාට වෙඩි වැදිලා කෑගල්ලේ ඉන්නවා කියලා. අපි රෝහලට යනකොටත් තාත්තා නැති වෙලා. මේ උද්ඝෝෂණවලට මගේ තාත්තා සම්බන්ධ නැහැ. නිරපරාදේ මගේ තාත්තාට වෙඩි තියලා තියෙන්නේ. තාත්තා තනියම ඉඳිද්දී වෙඩි තිබ්බේ ඇයි. අපිට මේකට සාධාරණයක් වෙන්න ඕනෑ’’.

රඹුක්කන මෙම සිදුවීමේදී පොලිස් නිලධාරින් ටී 56 ගිනි අවි තුනකින් උණ්ඩ 35ක් භාවිත කර වෙඩි තබා ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ පොලිස් කණ්ඩායම වාසනා නවරත්න කෑගල්ල මහේස්ත්‍රාත්වරියට වාර්තාවක් මඟින් ඉකුත් 22 දා දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළ ව සාක්ෂිකරුවන් 83 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද එම වාර්තාවෙන් අධිකරණයට දැනුම් දී තිබිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග පරිදි ටී 56 ගිනි අවි තුනක් සහ ඊට යොදන උණ්ඩ 90ක් පොලිස් සැරයන්වරුන් දෙදෙනකු හා පොලිස් කොස්තාපල්වරයකු වෙත නිකුත්කර තිබූ බවත් ඉන් උණ්ඩ 35ක් පොලිස් නිලධාරින් විසින් භාවිත කර ඇති බවත් එම වාර්තාවෙන් අනාවරණය විය. චමින්ද ලක්ෂාන්ගේ මරණය ගිනි අවියකින් සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් අධික රුධිර වහනයෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

පසුගිය දෙවැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව නැවතත් කැඳවූ අතර, මෙම සිදුවීමට අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ සහ සෙසු පොලිස් නිලධාරින් තිදෙනා කුණ්ඩසාල පොලිස් රෝහලේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් මඟින් අධිකරණයට දැනුම් දුන්නේය.

රඹුක්කන පැවැති විරෝධතාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර විස්සක් අවලංගු කිරීමට සිදුවූ බව ද එයින් දේශීය හා විදේශීය මඟීන් පීඩාවට පත්වූ බව ද එමඟින් දක්වා තිබිණි. අංක 1036 දරණ දුම්රියේ මැදිරි අටකට හානි සිදුව ඇති බවද එම වාර්තාවෙන් තවදුරටත් අනාවරණය විණි.

මෙදින පොලිස් නිලධාරින් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වූ අතර, නඩුව යළි මැයි 09 දා කැඳවීමට තීරණය විය.

මේ අතර මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සිවිල් 18 දෙනා අතරින් සිවු දෙනකු තවමත් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පොලිස් නිලධාරින් විසි දෙනකුද මෙම ගැටුමේදී තුවාල ලබා තිබිණි.

Comments