කේබල් රැහැනක් බිලිගත් කම්කරු අතක් | සිළුමිණ

කේබල් රැහැනක් බිලිගත් කම්කරු අතක්

අනතුර සිදුවූ මහල් ගොඩනැඟිල්ල, අනතුර සිදුවූ යන්ත්‍රය සහ කෑගල්ල මහා රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන රණවිරාජ

බෞද්ධ සාහිත්‍යයේ පටාචාරාවගේ කතාව අප අසා ඇත්තෙමු. බොහෝ වෙසක් තොරණවල පටාචාරා කතාව අප දැක ඇත්තෙමු. පටචාරාවකට මෙන් ජීවිතයේ සියල්ල අහිමි වූවකු පිළිබඳ මේ පුවත වාර්තා වන්නේ කෑගල්ල මහ රෝහලෙනි.

දිනය පසුගිය විසි නව වෙනිදාය. කෑගල්ල නගරයේ ඉදි කෙරෙමින් පවතින මහල් ගොඩනැඟිල්ලක ගොඩනැඟිලි ද්‍රව්‍ය ඉහළට රැගෙන යන්ත්‍රයක කේබල් රැහැනකට හසුව ඔහුගේ අතැඟිලි සහිත කොටස මැණික් කටුව අසලින් සම්පූර්ණයෙන්ම වෙන්විය. හතරලියද්ද, දොඩම්ගෙදර, සංඝරාජපුර, මුරුදෙනිය ලිපිනයේ පදිංචිව සිටි ඔහු නමින් රණවිරාජ වික්‍රමසිංහ හේරත් මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා රණවිරාජ නමැති හැට දෙහැවිරිදි අයෙකි.

ඔහු මේ වනවිට ශල්‍යකර්මයකින් අනතුරුව කෙමෙන් සුවය ලබමින් සිටී.ඔහුගේ අතක කොටසක් අහිමිවීමට වඩා ඔහුගේ ජීවිතය තුළ ඔහුට අහිමිවූ සියල්ල පිළිබඳව ඔහු පවසන්නේ මෙලෙසිනි.

''මම ඉපදුණේ 1958 වර්ෂයේ නොවැම්බර් පස් වෙනිදා. අපේ පවුලේ දහ දෙනයි.1989 අවුරුද්දේ මම විවාහ වුණා. මගේ නෝනා දෙවැනි දරුවා ලැබෙන්න ගිහින් ඒ දරුවත් එක්කම 1995 අවුරුද්දේදී මිය ගියා. එකම දරුවා බලාගෙන ඉන්න ඕනෑ නිසා මම ආයෙමත් කසාදයක් කරගත්තේ නැහැ. මීට අවුරුදු එක හමාරකට විතර කලින් මගේ දරුවා මිය ගියා. එයා කරාබු ගහකින් වැටිලා එක්තැන් වුණා. මම එයාව ගොඩදාගන්න අවුරුදු හතරයි මාස හතරක් බෙහෙත් කළා. ඒත් එයාව බේරාගන්න බැරි වුණා. අන්තිමට මම තනි වුණා.

මම අවුරුදු හතරක විතර ඉඳලා මේ කොම්පැනියේ අත් උදවුකරුවෙක් විදියට වැඩ කරනවා. කෑගල්ලේ වැඩට ඇවිත් මාස පහක් විතර වෙනවා. මීට කලින් මේ කොම්පැනියෙම මහයියාව බැංකු ගොඩනැඟිල්ලක්, වෝටර් බෝඩ් එකේ ගොඩනැඟිල්ලක් හදන තැන්වල වැඩ කළා. දිගටම ඒ අය ළඟ තමයි වැඩ කරගෙන ආවේ. මගේ ගෙදර වහලා දාලා තියෙන්නේ. මාසයකට සැරයක් පඩි ගත්තාම විතරක් ගෙදර යනවා.

මේ සිද්ධිය වූ දවසේ උදේ තමයි මගේ වම් අතට මේ අනතුර සිදු වුණේ. වැඩ කරන කොම්පැණියේ මහත්තුරු මාව බලන්න ආවා. රක්ෂණයෙන් වන්දි මුදලක් ලැබෙයි කීවා.

මේ වගේ වෙන අයට අත් ගන්න තැන් තියෙනවා. ඒ තැනකින් අතක් ගන්නයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මගේ අතේ කැඩිලා වෙන් වුණ කොටස තැලිලා නිසා බද්ධ කරන්න බැහැ කියලා දොස්තර මහත්තුරු කීවා. මේ තුවාලය සතියකින් හමාරකින් හොඳවෙයි කියලයි ඒ අය නම් කියන්නේ.'' මෙම අය අනතුරට ලක්වූ ඉදිකිරීම් සිදුකරන ආයතනයේ ඉංජිනේරු කමල් චතුරංග මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

''මේ අනතුර සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ග්ලවුස් දමලා බ්ලොක් ගල් ගන්න කොට තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. අපි අපේ සේවකයන්ට අතිකාල දෙකක් දෙනවා.

ඒ උදේ අටට කලින් හා හවස් කාලයේ. උදේ සාමාන්‍යයෙන් අටට කලින් මේ අය අතිකාල පැය දෙකක් කරනවා. අටට වැඩට එන අයව බ්ලොක් ගල් මැෂින් එකෙන් උඩට ගෙන යනවා. ඒ මැෂින් එකේ කේබල් එකටයි ඩ්‍රම් එකටයි තමයි අත අහුවෙලා තියෙන්නේ. මැෂින්වලින් කොහොමත් අනතුරු වෙනවා.

කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ. කල්පනාව පොඩ්ඩක්වත් වෙනස් වුණොත් අනතුරු වෙන්න පුළුවන්.

ඉදිරියේදී මෙයාට සයිට් එකේ වැඩ කරන්න බැරි නිසා ස්ටෝර්ස් එකකට වගේ යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ අනතුර සම්බන්ධයෙන් රක්ෂණ ආයතනය දැනුවත් කළා. රෝහලේ වාර්තා ලැබුණාම රක්ෂණ වන්දියක් ලබාදෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.''

මේ අතර එහි සේවකයෙක් ප්‍රකාශ කළේ ''අපි අනතුර වෙනකොටම තුවාලකරු රෝහලට ගෙන ගියා.

රෝහල් පොලිසියෙන් ආවේ නැති නිසා මෙතැන පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. දොළහට විතර තමයි කැඩුණු අතේ කොටස රෝහලට අරගෙන ගියේ. අත ඇඹරිලා තැලිලා තිබුණු නිසා බද්ධ කරන්න බැහැ කියලා වළ දමන්න අවසර දුන්නා'' ලෙසිනි. 

කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන වෛද්‍යවරයා මෙම රෝගියා පිළිබඳ සහ අනතුරකින් වෙන්වූ කොටසක් නැවත බද්ධ කිරීම සඳහා ගෙන ආ යුතු අන්දම සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

''මේ රෝගියා රෝහලට ගෙන එන විටත් අත මැණික් කටුව ළඟින් වෙන්වී තිබුණා.

අතේ වෙන්වූ කොටස තැලිලා. ඒ වගේ තැළුණු එකක් බද්ධ කරන්න බැහැ. බද්ධ කරන්න පුළුවන් තියුණුව කැපුණු එකක් විතරයි. තුවාලය වූ ක්‍රමය, තුවාල වූ ස්ථානය, වෙන්වූ කොටස ගෙන එන ක්‍රමය මේ සියල්ල මත බද්ධ කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙනවා. තැලිලා, කුඩු වෙලා, පොඩි වෙලා ගෙන එන ඒවා බද්ධ කරන්නේ නැහැ.

අඟලක් දෙකක් නැතිවුණත් තියුණු කැපීමක් නම් බද්ධ කරන්න පුළුවන්.

කැපී වෙන්වුණු කොටස පොලිතින් කවරයක දමා ගැට ගසා ආවරණය කර ඒ පොලිතින් කවරය අයිස් භාජනයක දමා ගෙන එන්න ඕනෑ. අයිස් කෙලින්ම සමට ගෑවෙන්න තියන්න හොඳ නැහැ. ඒ අයිස් භාජනය සම්පූර්ණයෙන්ම වැහෙන්නත් ඕනෑ. අයිස් භාජනයෙන් භාගයක් තිබිලා මදි. අතක් වගේ නම් ලොකු බකට් එකකත්, ඇඟිල්ලක් වගේ නම් පොඩි බෝතලයකත් ගෙන එන්න පුළුවන්.''

Comments