ඉගෙන ගත් පාසලට ගිනි තැබූ පානදුරේ සිසුවෝ | සිළුමිණ

ඉගෙන ගත් පාසලට ගිනි තැබූ පානදුරේ සිසුවෝ

පානදුරේ ජිනධර්මදාන විදුහල අසලට රැස්වූ ජනතාව

‘කෙසෙල්වත්තේ ජිනධර්මදාන ඉස්කෝලේ ගින්නක්’.... පානදුර උතුර පොලිසියට මේ පණිවිඩය ලැබෙන්නේ පසුගිය 03 වැනිදා සවස් වරුවේය. එම පණිවිඩයෙන් පොලිසිය එලෙස දැනුම්වත් කර තිබුණේ එම විදුහල්පතිවරයා ය. පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හිරන්ත ගුණතිලක ඒ මොහොතේම අදාළ විදුහල වෙත යන්නේ මේ ගැන සොයා බැලීම සඳහාය. 

පොලිසිය, එහි යන විට විදුහල අසල ප්‍රදේශවාසින් එක්දහස් දෙසිය දෙනෙක් පමණ එක්රොක්වී සිටි අතර ගින්න නිවා දමා තිබූ අයුරු පොලිස් නිලධාරින්ට නිරීක්ෂණය විය.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හිරන්ත ගුණතිලක මේ ගැන ඒ මොහොතේම විමර්ශන ආරම්භ කරන්නේ ස්ථානාධිපති සංජීව ලක්මාල්ගේ උපදෙස් මතය. පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි සේනානායක යන අය මේ සිද්ධිය ගැන දැනුම්වත් කිරීමට කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබුණේ ද ඒ මොහොතේදීය.

ගින්නෙන් බරපතළ ලෙස හානිවී තිබුණේ ශ්‍රි ජිනධර්මදාන විදුහලේ විදුහල්පතිවරයාගේ කාර්යාලයට සහ පරිගණක විද්‍යාගාරයටය. විදුහල්පතිවරයාගේ කාමරයේ තිබුණු පරිගණකයට, ඔහුගේ අසුනට සහ පරිගණක විද්‍යාගාරයේ තිබුණු පරිගණක හයකට පමණ ගින්නෙන් හානි වී තිබිණි.

මේ ගින්න මුලින්ම දැක තිබුණේ විදුහල අසල විහාරස්ථානයක නැවතී සිටින ගලිබවුසර් රියැදුරකු විසිනි. ඒ එදින සවස 4.45ට පමණය. ගලිබවුසර් රියදුරා මුලින්ම දුටුවේ විදුහලේ ගොඩනැඟිලි දෙසින් දුමක් නැගෙන ආකාරයයි. එය ගින්නක් බවට අනුමාන කළ ගලිබවුසර් රියැදුරු විදුහලට ගොස් ගින්න නිවා දැමීමට උත්සාහ කරද්දි ඔහු දුටුවේ විදුහල් භූමියේ සිටි ළාබාල ළමයින් දෙදෙනෙක් පැන දුවන ආකාරයයි.

අපරාධ විමර්ෙශන අංශයේ ස්ථානාධිපති හිරන්ත ගුණතිලක ගලිබවුසර් රියැදුරු දුන් මේ හෝඩුවාව ගැන දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන්පසුවය. අදාළ විදුහලේ ළමුන් දෙසිය දෙනකු පමණ අධ්‍යාපනය ලබන නිසා හැඩහුරුකම් හෙළි වුවත් මෙසේ පැන ගිය ළමුන් දෙදෙනා කවුදැයි හරියටම අනාවරණය කැර ගැනීමට අපහසුවී තිබිණි.

පන්සලේ ප්‍රධාන ගේට්ටුව අසල පිහිටි සීසීටීවී කැමරාවල දර්ශන පරීක්ෂා කිරීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා තීරණය කරන්නේ ඉන් අනතුරුවය.

එම දර්ශන පරීක්ෂා කරද්දී පළා යන ළමුන් දෙදෙනා කවුදැයි හරියටම හඳුනා ගැනිණි. මේ සිසුන් දෙදෙනාම දිග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන් අදාළ විදුහලේම අධ්‍යාපනය ලබන අය බව ද අනාවරණය විය.

මේ සිසුන් දෙදෙනා ගලිබවුසර් රියැදුරු දුටු මොහොතේම විදුහල් භූමියේ සිට පළා යන්නේ ඔවුන් මේ ගින්න හටගත් ආකාරය ගැන කුමක් හෝ තොරතුරක් දන්නා නිසා බව පොලිසිය සැක පහළ කරන්නේ ඉන්පසුවය.

වහාම දිග්ගල ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායම සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

මේ සිසුන් දෙදෙනාගෙන් එක් අයකුගේ වයස අවුරුදු 12කි. ඔහු ඉගෙනුම ලබන්නේ 7 වසරේය. අනෙක් සිසුවාගේ වයස අවුරුදු 8කි. ඔහු ඉගෙනුම ලබන්නේ 04 වසරේය.

මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දි ‘ගින්න’ට හේතුව මුළුමනින්ම අනාවරණය විය.

වයස අවුරුදු 12 සිසුවා අවුරුදු 08 සිසුවා සමඟ 03 වැනිදා සවස විදුහලට යන්නේ ‘වාඩුවක් පිරිමසා’ ගැනීම සඳහාය. අදාළ විදුහලේ විදුහල්පති මීට පෙර දිනෙක කිසියම් වරදක් සඳහා මේ සිසුවාට දඬුවම් කර තිබුණු අතර දොළොස් හැවිරිදි සිසුවා ඒ ගැන විදුහල්පතිතුමා සමඟ සිටියේ තරහෙනි. ඔහු මේ ගමනට අට හැවිරිදි ‘මිතුරා’ ද එක්කාසු කැරගෙන සිටියේය.

විදුහල් භූමියට යන මේ දෙදෙනා විදහල්පති කාමරයේ ඇලුමිනියම් දොරේ යට කොටසට පා පහර එල්ල කර කඩාගෙන විදුහල්පති කාමරයට ඇතුළු වන්නේ ඉන් අනතුරුවයි. විදුහල්පතිගේ ආසනය මතට සැනිටයිසර් ස්ප්‍රේ කර ඊට ගිනි තබන මේ දෙදෙනා එතැන තිබුණු යතුරු කැරැල්ලක් රැගෙන පරිගනක විද්‍යාගාරයට ඇතුළු වී එහි සැනිටයිසර් ස්ප්‍රේ කර ගිනි තබද්දී ගලිබවුසර් රියැදුරු දැක පළා යන්නේ ක්ෂණිකවය.

සැකකාර සිසුන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක පෞද්ගලික ඇප මත මුදා හැර මවුපියන්ට බාර කැරුණ අතර මේ මාසයේ 11 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස සිසුන් දෙදෙනාට නියෝග කැර ඇත. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි සේනානායක මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර උතුරු පොලිස් ස්ථානාධිපති සංජීව ලක්මාල්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හිරන්ත ගුණතිලක, කොස්තාපල්වරුන් වන (34288) සේනාරත්න, (92915) මධුෂාන්, (93963) ලක්ෂාන්, (94058) නෙරංජන්, කාන්තා කොස්තාපල් (12154) ලක්හාරා යන නිලධාරින් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදුකරති.


දීපාල් සමරසේකර 
ඡායාරූප :- හල්තොට සමූහ 
විනීතා මානෙල් ගමගේ

Comments