ආරක්ෂාවට තැනූ දිය අගලේදී මරුවාට බිලිවූ ඔරංඔටං පැංචා | සිළුමිණ

ආරක්ෂාවට තැනූ දිය අගලේදී මරුවාට බිලිවූ ඔරංඔටං පැංචා

රිචී මිය ගියේය. සිය වැඩිමහල් සොහොයුරා වන අකිෆෝ සමඟ කෙළිදෙ‍ළෙන් කල්ගත කරමින් සිටි රිචී මරණයට පත්වූයේ ලෙඩක් දුකක් වැලඳීමෙන් නම් නොවේ. හදිසි අනතුරකට ලක් වීමෙනි. රිචීගේ මාරයා සැඟවී සිටියේ රිචීගේ නිවහන අසල ආරක්ෂාව වෙනුවෙන් තනා තිබූ දිය අගලේ ය. තම සොයුරා සමඟ සෙල්ලම් කරමින් සිටි රිචී නිවහනට යෑම ප්‍රතික්ෂේප කරමින් සැඳෑ කාලයේදීත් එළිමහනේ රැඳී සිට තිබේ. ඊට පසුදින (21) උදෑසන රිචීව සොයා ගනු ලැබුවේ දිය අගලෙනි. රිචී රැක බලා ගැනීමට සේවකයකු යොදවා සිටි නමුදු ඔහුගේ රාජකාරිය නිසියාකාරව ඉටු නොකිරීම හේතුවෙන් රිචී මරණයට පත් විය.

රිචීගේ මරණය ඇසීමෙන් අප කා තුළත් ඇති කළේ බලවත් කනගාටුවකි, දැඩි කම්පාවකි. ඊට හේතුව රිචී අයත් වන ඔරන්ඔටං සත්ව විශේෂය ලෝකයෙන් වඳ වී යන සත්ව විශේෂයක් වන නිසාය. අතපසු වීම්වලින් මේ ආකාරයට රිචී මරණයට පත්වීම සුළු කොට තැකිය හැකි කාරණයක් නොවන්නේ එබැවිනි. 

2017 මැයි මස 18 වැනි දින උපත ලැබූ රිචී මිය යන විට පස්වැනි වියේ පසුවූ පිරිමි සතෙකි. රිචීගේ වැඩිමහල් සොහොයුරු අකීෆෝ උපත ලැබුවේ 2011 වර්ෂයේදීය. රිචී සහ අකීෆෝගේ මව අකී ඔරන්ඔටං වන අතර යුෆෝ ඔරන්ඔටං පියා විය. යුෆෝ සහ අකී ඔරන්ඔටං යුවළ දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණේ 2003 නොවැම්බර් 11 වැනි දින ඉන්දුනීසියාවේ රගුනන් සත්වෝද්‍යානයෙනි. ඒ වන විට මෙම ඔරන්ඔටං යුවළගේ වයස අවු: 4 ½ක් පමණ විය. ඔරන්ඔටං සත්ව විශේෂයට වසර 40 – 50 අතර ආයු කාලයක් හිමි වුවද මෙම ඔරන්ඔටං යුවළට දිගු කාලයක් ජීවත් වීමට ඉඩ ලැබුණේ නැත. මෙම යුවළ ක්ෂයරෝගයට ගොදුරු වීමෙන් මරණයට පත්වීම ඊට හේතුවයි. සිවු දෙනකුගෙන් සමන්විත පවුලක ජීවත් වූ අකීෆෝ මවුපියන්ගේ වියෝවෙන් පසුව සිය බාල සොහොයුරු රිචී සමඟ දිවි ගෙවීය. එහෙත් අද රිචී ද නැත. අකීෆෝ දැන් හුදෙකලා වී සිටියි.

ඉන්දුනීසියාවේ රගුනන් සත්වෝද්‍යානය විසින් සත්ත්ව හුවමාරුව යටතේ ඔරන්ඔටං සත්වයන් අවසාන වරට ලබා දුන්නේ ලංකාවටය. ඒ යුෆෝ සහ අකී යුවළයි.

2003 වසරෙන් පසුව කිසිම රටකට ඔරන්ඔටං සතුන් ලබා නොදෙන්නේ එම සතුන් දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයකට මුහුණදී සිටින බැවිනි.

සේවකයන්ගේ නොසැලකිල්ලෙන් රිචී මරණයට පත්වීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතු වන්නේ එබැවිනි.

“මෙය ඉතාම කනගාටුදායක සිද්ධියක්. සත්ව භාරකරුවන් මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. ඉදිරියට මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි. එදා රාජකාරිය කළ අය හරිහැටි තම රාජකාරිය නොකිරීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වූ බව පෙනී යනවා. මෙය දඬුවම් ලැබිය යුතු වරදක්. අවාසනාවන්ත ලෙස මිය ගිය ඔරන්ඔටං පැටවාගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වුවා. දිය අගලේ වැටිලා මැරුණද වෙනත් රෝගයක් නිසා දිය අගලට වැටුණද කියලා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔරන්ඔටං පැටවාගේ මොළයේ සහ පෙණහලුවල පටක අපි පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යවලා තිබෙනවා. කොහොමත් මේ ඔරන්ඔටං පැටවාට ක්ෂයරෝගය වැලඳිලා ප්‍රතිකාර කරමින් සිටි සතෙක්. ඒ නිසයි අපි මේ ගැන විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට පියවර ගෙන තිබෙන්නේ.” යනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත සඳහන් කළ අතර මේ වන විට එදා ඔරන්ඔටං සතුන් භාරව සිටි සේවකයාගේ සේවය අත්හිටුවා ඊට අමතරව සත්ව පාලක දෙදෙනකු උද්‍යානයේ සේවයට යොදවා තිබේ. සත්වයන් 3,000ක් පමණත් සේවකයන් 400ක් පමණත් සිටින දෙහිවල සත්වෝද්‍යානයේ නොසැලකිල්ල නිසා සිදු වූ එකම මරණය මෙය නොවේ. මීට පෙරද අවස්ථා කීපයකදීම මෙවැනි සිදුවීම් අපට වාර්තා විය. කළු හංස පැටවකු දියේ ගිලී මියගියේ ඉතා මෑතකදීය. සත්වෝද්‍යානයට අයත් නිල නිවාසවල ඇති කරන සුනඛයන්ට ගොදුරු වීමෙන් ‘මාරා’ නමැති සත්වයා ද මීමින්නන් 13ක්ද මරණයට පත්විය. නිල නිවාසවල සතුන් ඇති කිරීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් වී තිබුණ ද සතුන් ඇති කරනු ලබන සේවකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ සුනඛයන් වෙඩි තබා මරා දැමීම පමණි. ඉන් අනතුරුව ඉතා මෑතකදි අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පැමිණි ෂර්මිලා රාජපක්ෂ, නිල නිවාස තුළ සතුන් ඇති කිරීමේ තහනම අකුරටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළාය. එහෙත් නව අධ්‍යක්ෂ ජනරාල්වරිය සත්ව කරුණාවක් නොමැති අයකු ලෙස හුවා දක්වමින් සේවක විරෝධයක් එල්ල වීම නිසා එය යටපත් විය. අවසානයේදී ඇයට තනතුර හැර යෑමට සිදු වූවාය. 

මේ පිළිබඳව දෙහිවල සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂගෙන් අදහස් විමසුවේ ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට උත්සාහ කළ අයෙකු නිසාය.

“මේ ප්‍රශ්නයට එකම විසඳුම CCTV කැමරා සවි කිරීම. දැනට CCTV කැමරා සවි කර තිබෙන්නේ ඇතුළුවන දොරටුව සහ පිටවීමේ දොරටුව අසල විතරයි. ඒවා නිරන්තරයෙන් පරීක්ෂා කරන්න ඕනෑ. ඒවායේ back up එකක් පවත්වාගෙන යන්න ඕනෑ. මම ඉන්න කාලේ සතුන්වත්තේ ඇතුළුවන තැන තිබෙන තටාකයේ කළු හංස පැටවෙක් ගිලිලා මැරුණා. ඇතුළුවන තැන නිසා එය CCTV කැමරාවේ සටහන් වී තිබුණා. කළු හංස පැටවා ගිලිලා විනාඩි 20කට පස්සෙ තමයි සත්ව භාරකරු පැමිණෙන්නේ. අපිට නිවැරදි තොරුතුරු දැනගන්න පුළුවන් වුණේ CCTV කැමරා තිබුණ නිසයි. ඒනිසා මම හිටපු කෙටි කාලය තුළ අනෙකුත් ව්‍යාපෘති නවත්තලා සියලුම සත්වයින් ආවරණය වන පරිදි CCTV කැමරා සවි කිරීමට තීරණය කළා. මම ඒ සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයත් සමඟ සාකච්ඡා කරලා ඒ අය මට සැලස්මකුත් දීලා තිබුණා. ඒ අතරවාරයේදී තමයි මට එතනින් ඉවත් වෙන්න සිද්ධ වුණේ. නැතිනම් ඒ වැඩ කටයුතු තවදුරටත් කෙරීගෙන යනවා.” යනුවෙන් ඈ පැවසුවාය. එහෙත් ඇතැමුන්ගේ වැරදී තීරණ හමුවේ අහිංසක සතුන්ට මිය යෑමට සිදු වීම වැළැක්වීමට නවීන තාක්ෂණයට හැකියාවක් නැත. අප එසේ කියන්නේ සත්වෝද්‍යානය තුළ ක්ෂයරෝගය ව්‍යාප්ත වීම කෙරෙහි ඍජුවම බලපෑවේ එදා සිටි ඉහළ නිලධාරින් වන නිසාය. ක්ෂයරෝගයට ගොදුරු වූ අලින් වෙන් කළ යුතු බවට එදා පශු වෛද්‍යවරුන් පැවසූ විට අලි නැටුම් සංදර්ශන කඩාකප්පල් කිරීමට පශු වෛද්‍යවරුන් පියවර ගන්නා බව සඳහන් කරමින් පශු වෛද්‍යවරුන්ට එරෙහිව උද්ඝෝෂණ කළේ වෘත්තීය සමිති නායකයන්ය. අවසානයේදී ‘බේබි නෝනා’ ඇතින්න ක්ෂයරෝගයට ගොදුරු වී මරු වැලඳ ගත්තාය. එහෙත් පශු වෛද්‍යවරුන්ගේ ඇතැම් වැරදී තීන්දු තීරණ නිසා ද සතුන්ගේ ජීවිත මරණයෙන් කෙළවර වූ අවස්ථා ද නැතුවා නොවේ. වරක් උදරය මහත් වන ඔටුදෙනක් ගැබ්ගෙන ඇති බවට පශු වෛද්‍යවරු අනුමාන කළහ. එහෙත් අනපේක්ෂිත ආකාරයට ඔටුදෙන මිය ගියාය. 

ඔටුදෙනගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූයේ ඔටුදෙන ගැබ්ගෙන නොමැති බව සහ ඔටුදෙනගේ උදරයේ ජීරණය නොවූ කොස් කොළ ගුලියක් ඇති බවයි. කාගේ කාගේත් අමනෝඥ තීරණ නිසා අසරණ සතුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ මේ ආකාරයෙනි. මීට අමතරව ඉතා අමාරුවෙන් ඇතිදැඩි කළ තාපස බැබුන් පැටවකු, ඌට සෙල්ලම් කිරීමට යොදා තිබූ ඔන්චිල්ලාවේ ලණුවේ ගෙල සිර කර ගැනීමෙන් මිය ගිය ශෝචනීය පුවතක් ද අපට අසන්නට ලැබුණේ මීට වසර කීපයකට පෙරදීය. චෝගම් වෙනුවෙන් ‘අපේ ගම’ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ප්‍රදර්ශනය සඳහා දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන ගිය මුවන් උත්සව භූමියේ දැල්වූ රතිඤ්ඤා හඬට බියෙන් දියවන්නා ඔයට පැන මිය ගිය ආකාරය තවමත් අපට අමතක නැත. මේ ආකාරයට බලධාරින්ගේ අමනෝඥ තීරණ හමුවේ අහිංසක සතුන්ගේ දිවි තොර වූයේ වරක් දෙවරක් නොවේ. දෙහිවල සත්වෝද්‍යානයේ අලි නැටුම් සංදර්ශනවලට පුහුණු කිරීම සඳහා පින්නවල අලි අනාථාගාරයෙන් රැගෙන ආ අලි පැටවුන් දෙදෙනාගෙන් එකකුගේ ඇසක් අන්ධ වූයේ වේවැල් පහරක් ඇසේ වැදීමෙනි.

ඇසට වන්දි ඉල්ලා හඬක් නැඟීමට නොහැකි බැවින් අලි පැටවාට අන්ධ ඇස සමඟ ජීවත් වීමට සිදු විය. “මෙම සත්වයන්ගේ මරණ ගැන අපිට දුකක් කම්පාවක් තිබෙනවා. ඒත් ඒ දුක, කම්පාව විතරක් තිබිලා මදි. නැවත මෙවැනි අනතුරු සිද්ධ නොවීමට නම් යම් යම් පියවර ගැනීමට සිදු වෙනවා. මම සත්වෝද්‍යානයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා සත්වයන්ට අනතුරු සිදුවිය හැකි අවදානම් අවස්ථා හඳුනාගෙන වාර්තාවක් හදන්න කියලා. සමහරවිට ගස්වල අතු කඩා වැටීමෙන් විදුලි රැහැන් ඇද වැටීමෙන් සතුන්ට අනතුරු වෙන්න පුළුවන්.

එවැනි අවදානම් අවස්ථා හඳුනාගෙන මැයි 06 වැනිදා වන විට මට වාර්තාවක් දෙන්න කියලා මම උපදෙස් දීලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත ය. තිලක් ප්‍රේමකාන්ත මෙම ධුරයට පත්වී තවම මාසයක්වත් නැති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

Comments