පරපුරක මුල් නවාතැන සොයා පාහියංගල ට ගිය ගමන | සිළුමිණ

පරපුරක මුල් නවාතැන සොයා පාහියංගල ට ගිය ගමන

ගමන් මාර්ගය‍

හොරණ - අගලවත්ත ප්‍රධාන මාර්ගයේ හමුවන බුලත්සිංහල නගරයේ සිට මොල්කාව හරහා ලත්පඳුර මාර්ගයේ (බුලත්සිංහල - බදුරලිය මාර්ගය) පැමිණ ගල්කැටිය මංසන්දියෙන් හැරී නිග්ගහ මාර්ගයේ පැමිණීමෙන් පාහියංගල වෙත ළඟාවිය හැකිය. බුලත්සිංහල සිට මාර්ග අංක 286/1 බුලත්සිංහල - නිග්ගහ බස්රථයකින් පාහියංගල අසලටම යා හැකිය.

 

උස් කඳුමුඳුනක් මත නිහඬතාවේ ගිලුණු ගල්ලෙනක ගිනි මැලයක් දල්වා ඒ වටා රංචු ගැසී විනෝද වීම කඳු නැඟීමට ප්‍රිය නූතන සංචාරකයකු වඩාත් ප්‍රිය කරන අත්දැකීමකි. නූතන සංචාරකයා එවැනි සොඳුරු රැයක් පිළිබඳ සිහින මැවූවද ඒ අසිරිය තම ජීවිතය බවට කරගත් බොහෝ පිරිසක් අතීතයේ වාසය කළහ. එසේ ස්වාභාවිකත්වයටම නතු ජීවිත ගෙවූ අතීත මිනිසුන්ගේ ඇතැම් වාසභූමි අද ප්‍රකට සංචාරක ගමනාන්ත බවට පත්වී තිබේ. පාහියන්ගල නමින් සංචාරකයන් අතර සුප්‍රකට පාහියංගල ප්‍රාග් ඓතිහාසික ජනාවාසය එවැනි එක් ප්‍රමුඛ සංචාරක පුරාවිද්‍යා ස්ථානයකි.

 

එවන් ස්ථානයකට පැමිණ ගිනි දල්වා විනෝද වීමට වර්තමානයේ අවකාශ නැතත් එදා එහි වාසය කළ මිනිසුන් අතීතයේදී ඒ සුන්දරත්වය කෙසේ විඳින්නට ඇතිදැයි තම නැණ පමණින් වටහා ගැනීමේ අවස්ථාව නූතන සංචාරකයන්ට මෙහිදී ලැබී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිමාව තුළ උස් කඳුමුඳුනක් මත පිහිටි දැවැත්ත ගල් ගුහාවක් වන පාහියන්ගල බළංගොඩ පරපුරේ අපේම ඇත්තන් වසර දස දහස් ගණනකට පෙර තම වාසභූමිය කරගත් ස්ථානයකි. නූතන මානවයාගේ පැරණිම සාධක හමුවී ඇති ස්ථානයක් වන පාහියංගල ප්‍රාග් ඓතිහාසික ලෙනෙහි සාධක සහිත ඉතිහාසය වසර 48,000 කට අධිකය.

මුහුදු මට්ටමේ සිට අඩි 460 ක පමණ උසකින් පිහිටා ඇති පාහියංගල අක්කර 80 පමණ වන රක්ෂිතයක් තුළ විශාල වපසරියක පැතිරුණු සුවිශාල ගල් පර්වතයකි.

අඩි 150 පමණ උස අඩි 175 පමණ පළල අඩි 280 පමණ ඇතුළට විහිදුණු කුහරයක් සහිත අර්ධ කවාකාර ස්වභාවික ගල්ලෙනක් වූ මෙය විශාල පිරිසකට ආරක්ෂාකාරීව වාසය කළ හැකි නිසා අතීතයේ මෙරට වාසය කළ මුල් මිනිසුන් මෙම ගල්ලෙන තම නිවහන ලෙස භාවිත කොට තිබේ. දඹුලු ලෙන් විහාරය මෙන් තුන්ගුණයක් පමණ විශාල මෙම පාහියංගල ගල්ලෙන මෙරට හමුවන විශාලම ගල්ලෙන ලෙසද සැලකෙන අතර මෙහි එකවර 3,000 ක පමණ පිරිසකට සිටිය හැකි වෙතැයි විශ්වාස කරනු ලබයි.

අතීතයේ වාසය කළ සුප්‍රකට දේශ සංචාරකයකු වූ චීන ජාතික “පාහියන් ( Fa-Hien)” හිමියන් සිරිපා කරුණා කරන අතරතුර මෙම ගල්ලෙනෙහි වැඩ වාසය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වන අතර මෙම ගල්ලෙනට පාහියංගල යන නම ලැබීමටද එම ජනප්‍රවාදය හේතු වී තිබේ. බස්නාහිර පළාතේ කළුතර හා සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්ක සීමාවෙහි එනම් පුරාණ රුහුණ හා සබරගමුව යා වන මායිමේ සබරගමු කඳු පන්තියට මායිම්ව පිහිටන මේ ගල් පර්වතය පළාත් දෙකක් සම්බන්ධ කරන හෙවත් “පාහන” නිසා පාහන ගල යන අරුතින් “පාහියංගල ” ලෙස නම් ලද බවටද මතයක් පවතී. 1986 දී පමණ පාහියංගල ගල්ලෙනෙහි පුරාවිද්‍යා කැණීම් ආරම්භ කිරීමත් සමඟ පාහියංගල ලොවට විවෘත වන අතර මෙම ගල්ලෙනෙන් නූතන මානවයාගේ පැරණිම සාධක හමුවීම නිසා අද වන විට පාහියංගල ලොව පුරා විශාල අවධානයක් යොමු වූ ස්ථානයක් බවට පත්ව තිබේ. පාහියංගල කැණීම් මඟින් විවිධ යුගවලට අයත් අස්ථි කොටස් හමුවූ අතර ඒවා පිළිබඳ සිදුකළ පරීක්ෂණ මගින් මානවයාගේ ඉතිහාසය පිළිබඳ නව දැනුමක් නිර්මාණය කර ගැනීමට හැකිවිය.

2012 වසරෙදී සිදුකළ කැණීමක් මඟින් සම්පූර්ණ මානව අස්ථි පද්ධතියක් හමුවූ අතර එය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සුවිශේෂී සොයා ගැනීමක් විය. මෙසේ මානවයාගේ පරිණාමය පිළිබඳ වැදගත් සාධක රැසක් මෙයින් හමුවීම නිසා ලොව නන් දෙසින් විශාල සංචාරකයන් පිරිසක් තම අතීත උරුමය නැරඹීමට පාහියංගල සොයා එයි.

තනි විශාල ගල් ලෙනක් ලෙස පැවතියද නුවර යුගයේදී මෙම ගල්ලෙන තුළ සිදුකරන ලද බෞද්ධ ආරාමයක ඉදිකිරීම් නිසා අද වන විට මෙම ගල්ලෙන බටහිර ලෙන හා නැඟෙනහිර ලෙන ලෙස කොටස් දෙකකට වෙන්වී තිබේ. ගල්ලෙන තුළ මෙම විහාරය පිහිටි සීමාවේ පිරිනිවන් මඤ්චකය දැක්වෙන දැවැත්ත ප්‍රතිමාවක් ඇතුළු ආරාමික ගොඩනැගිලි ඉදිකර තිබේ.

විහාරය නිසා දෙකට බෙදුණු ගල්ලෙනෙහි බටහිර ලෙන වඩාත් විශාල වන අතර මෙම ලෙන් කොටස් දෙකම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණීම් සිදුකොට ඇති අතර දෙපසින්ම පුරාණ මානවයාගේ සාධක හමුව තිබේ. අද මෙහි එන අයකුට මේ ලෙන තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සකස්කළ කැණීම් භූමිය දක්නට හැකි අතර මෙහි සිදුකළ කැණීම් මඟින් සොයාගත් ඇතැම් පුරාවස්තු මෙහි ප්‍රදර්ශනයට තබා තිබේ. පාහියන්ගල පහතරට තෙත් කලාපයට අයත් සුන්දර ග්‍රාමීය ප්‍රදේශයක පිහිටීම නිසා පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන්ම ඉහළ ජෛව විවිධත්වයකින් යුත් සුන්දර පරිසර පද්ධතියකට ද හිමිකම් කියයි. මේ නිසා අතීතය උරුමයට පෙම් බඳින්නන් මෙන්ම කඳු නැඟීමට ප්‍රිය පරිසරලෝලීන්ද පාහියංගල සොයා එයි. මේ නිසා පාහියංගල ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවටද පත්ව තිබේ.

මානවයාගේ ආරම්භයත් ඒ පරපුරරේ වත්මන් මිනිසුන්ගේ සංචාරක වින්දනයත් එකට එක් වූ මේ පාහියංගල සමස්ත මානවයාගේම ගෞරවනීය උරුමයකි. අද මෙතැන නිහඬව සැතපී සිටින්නේ පරිසරය රැක ගනිමින්, පරිසරය විඳිමින් පරිසරයටම බද්ධ වූ ජීවිතයක් ගෙවූ අපේම ආදී මුතුන් මිත්තන්ය. ඔවුන් හට අගෞරවයක් නොවන අයුරින් පාහියංගලට පැමිණ මානවයාගේ අතීතය වර්තමානයේදී රස විඳිය හැකි නම් මානව අනාගතයද වඩාත් රසවත් වනු ඇත.

 

Comments