කාන්තා ඔබ කියැවිය යුතු ම ලිපියක් | සිළුමිණ

කාන්තා ඔබ කියැවිය යුතු ම ලිපියක්

තරුණ කතුන් 40%කට සහ ආර්ථව හරණයෙන් පසු 87%ක් කාන්තාවන්ට ලිංගික බෙලහීනතාව ඇතිවිය හැකියි.

ඔබේ ලිංගික ගැටලු හඳුනා ගැනීමට නම් සමාජයේ පවත්නා ගතික ආකල්පවලින් බැහැර වන්න. බුද්ධිමත්ව ඒ පිළිබඳ දැනුම රැස් කර ගන්න.

කාන්තාවන් බොහොමයක් සම්පූර්ණයෙන්ම විසඳාගත හැකි ලිංගික සෞඛ්‍ය ගැටලු ගැන නොදැනුවත්කම ලැජ්ජාව, සාම්ප්‍රදායික හා සංස්කෘතික මතිමතාන්තර මෙන්ම අවධානය යොමු නොකිරීම නිසා තමන්ගේ දිවිය අතිශයින්ම පීඩාවට පත්කර ගනිමින්, විවාහ ජීවිත අවුරාගැනීම සුලබව දක්නට ලැබේ. එමෙන්ම මෙය අදාළ කාන්තාවට පමණක් නොව පිරිමියාට, පවුලට මෙන්ම සමාජයට ද බලපාන ගැටලු රැසක් ඇති කරයි. වැදගත්ම දේ වන්නේ මේ ගැන නිසි අවබෝධයක් ලබාගැනීම සහ විද්‍යාත්මක වෛද්‍ය සාකච්ඡාවකට ප්‍රවිෂ්ට වීමයි.

 

විශේෂයෙන්ම සහකරුවන් වෙනත් සබඳතාවලට පෙලඹීම හරහා එච්.අයි.වී ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරු වීම, පවුල් සංස්ථාවේ ගැටලු ඇතිවීම මෙන්ම ළමා අපයෝජනයන්ද ‍බොහෝවිට මෙහි අතුරු ඵලයන් විය හැකිය.

මෙවර අපගේ වෛද්‍ය ලිපියෙන් ඔබට ගෙන එන්නේ ද එවැනි විශේෂ මාතෘකාවක් වන කාන්තා ලිංගික බෙලහීනතාවයි. මේ සඳහා අප සමඟ සම්බන්ධ වූයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය හා එච්. අයි. වී ඒඩ්ස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහයි.

පිරිමි පාර්ශ්වයට සාපේක්ෂ ව කාන්තාවන් පාර්ශ්වය ලිංගික බෙලහීනතාව පිළිබඳ සාකච්ඡා කිරීමට මැළිකමක් දක්වයි. එයට හේතුව ඔවුන් තුළ පවත්නා ලජ්ජාවයි. ලිංගික සෞඛ්‍ය පිළිබඳ නොදැනුවත්භාවයයි. වර්තමානයේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් නොවීම නිසා බොහෝ පිරිස් පිඩා විඳිනු දක්නට ලැබෙයි. බොහෝ කාන්තාවන්ගේ මානසික අසහනයට හා පවුල් ජීවිතය අඹුසැමි සබඳතා බිඳ වැටීමටද ලිංගික බෙලහීනතා තත්ත්වය බලපෑම් කරයි. මෙහි රෝග ලක්ෂණ විටෙක සංකීර්ණ ස්වභාවයක් ගනී.

ලිංගික බෙලහීනතාව ඇති වීමට බලපාන කායික මෙන්ම මානසික තත්ත්වයන් ද පවතී. කායික රෝග තත්ත්වයන් ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෝමෝන ආබාධ, තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්, අක්මා ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් හා මත්ද්‍රව්‍ය භාවිතය ආදිය හඳුනාගත හැකිය. එදිනෙදා රාජකාරීවල කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික ආතතිය, විවිධ හේතු නිසා ඇතිවන අසහනය, අඹුසැමි දෙදෙනා අතර පවත්නා අන්තර් සබඳතාවේ ගැටලු, ආගමික විශ්වාස හා ඇදහිලි බලපානු ලබයි.

ලිංගික ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමෙදී අවදි හතරක් හඳුනාගත හැකිය.

1. ලිංගික උද්දීපන අවදිය

2. ස්ථාවර අවස්ථාව

3. සුරතාන්තය

4. නැවත යථා තත්ත්වයට පත්වීම

 

මෙම ඕනෑම අවස්ථාවක ඇතිවන ගැටලු ද ලිංගික බෙලහීනතාවට බලපායි. තරුණ කාන්තාවන්ගෙන් සියයට 40ක් පමණ ලිංගික බෙලහීනතාවට ලක්වෙයි.

 

ලිංගික බෙලහීනතාව කොටස් හතරක් යටතේ වර්ග කළ හැකිය.

1. ලිංගික ආශාව අඩුවීම.

2. ලිංගික වශයෙන් උද්දීපනය වීමට ඇති හැකියාව අඩුවීම.

3. සුරතාන්තයේ ගැටලු.

4. ලිංගික සංසර්ගය වේදනාකාරී වීම.

 

එනම් කාන්තාවන් ලෙස ඔබ මෙම අවස්ථා පිළිබඳ දැනුවත්ව සිටිය යුතුය. එම නොදැනුවත්භාවය ඔබට මෙන්ම ඔබේ සැමියාට පවුල හා සමාජීය සබඳතාවන්ට ද බලපෑම් කරයි. ඔබේ ලිංගික ගැටලු හඳුනා ගැනීමට නම් සමාජයේ පවත්නා ගතික ආකල්පවලින් බැහැර වන්න. බුද්ධිමත්ව ඒ පිළිබඳ දැනුම රැස් කර ගන්න. කාන්තා ඔබ ඔබේ ලිංගික ගැටලු සාකච්ඡා කිරීමට ඉදිරිපත් වීමට වගබලා ගන්න. තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් හා අවධානයෙන් කටයුතු කරන්න. එවැනි වෙනස්කම් ඔබේ ලිංගික චක්‍රයේ ඇත්නම් පළමුව ඔබේ සැමියා හා සාකච්ඡා කරන්න. පසුව අවශ්‍ය වෛද්‍ය උපදෙස් හෝ ප්‍රතිකාර සඳහා යොමු වන්න. එවිට වෛද්‍යවරයා විසින් ඔබව ප්‍රශ්න මාලාවකට භාජනය කර ඔබේ ගැටලුව හඳුනා ගනී. ඒ ඒ තත්ත්වයන් නිවැරදිව හඳුනා ගෙන සුදුසු පර්යේෂණ සිදුකර රෝගයට පිළියම් කිරීමට වෛද්‍යවරයා කටයුතු කරයි. විශේෂයෙන්ම කාන්තා ඔබ ඔබේ ලිංගික ගැටලු සාකච්ඡා කිරීමට ඉදිරිපත් වීමට වගබලා ගන්න. වෛද්‍යවරුන් ද ඔබට අවශ්‍ය උපකාර කිරීමට නිතැතින්ම බැඳී සිටින වග අමතක නොකරන්න. එවිට ගැටලුවකින් තොරව සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වේ.

Comments