ඒ කාලෙ මට ලියුම් ආවේ මිටි ගණන් | සිළුමිණ

ඒ කාලෙ මට ලියුම් ආවේ මිටි ගණන්

'බඹ­‍ෙරකු රිදවා මලක් හැඬු දා' නමින් ඔහු 80 දශකයේ දී 'කුමරි' පත්‍රයට ලියූ කුලුඳුල් නව කතාව තරුණ තරුණියන් එදා කියැවුයේ උමතුවකින් මෙන්. එය කෙතරම් පාඨක හදවත්වලට සමීප වුවාදැයි කිවහොත් එහි දෙවන කොටස 'බඹරෙකු සනසා මලක් හැඬූදා' නමිනුත් තෙවන කොටස' බඹරෙකු සනසා මලක් හිනැහුණා ' නමිනුත් ලියන්නට සිදු වූයේ පාඨකයන්ගේ බලවත් ඉල්ලීම මතයි. තරුණ හදවත් වසඟ කළ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු නම් ඔහු කුමරියට ලීයූ ඒ කතා ත්‍රිත්වය පොතක් වශයෙන්ද මුද්‍රණය විය.

 

මේ වන විට ඔහු ලියූ නවකතා සංඛ්‍යාව 25ක් නවකතාවලට අමතරව 'මල් දෙවැට' නමින් සාර්ථක දිවියකට අත්වැල් සපයන ලිපි පෙළ ඇතුළත් මනෝවිද්‍යා ග්‍රන්ථ ඇතුළු තවත් මනෝ විද්‍යා ග්‍රන්ථ රැසක්ද, ඉංග්‍රීසි අධ්‍යාපන ග්‍රන්ථද ආන්ජලෝ විසින් රචනා කර ඇත.තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය, ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු ඉංග්‍රිසි විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් හිමිකර ගත්තේය. දැනට ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන ඔහු "තරුණි" පුවත්පතට ඉංග්‍රීසි පාඩම් මාලාවක් ලියා පළකර ඇත. 'මල් දෙවැට' ප්‍රකාශන සමාගමේ හිමිකරු වන්නේද මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු ය.

 

1.

බඹරෙකු රිදවා මලක් හැඬු දා මගේ පළමු නවකතාව. එය කුමරි පත්‍රයේ පළ වූවා. පසුව එහි ජනප්‍රියත්වයත් සමඟම 1991 දී එය පොතක් වශයෙන් මුද්‍රණය කළා.එහි දෙවන තෙවැනි කොටස් ද පාඨකයන් ආදරයෙන් වැලඳ ගත්තා. එය තවම ජනප්‍රියයි. දැන් මම එය තවත් සිදුවීම් එක් කරලා යළිත් මුද්‍රණය කරන්නයි අපේක්ෂාව. මේ වසරේදී එය සිදු වේවි.

 

2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා

මේ පොතේ එන ඩෙරික් නමැති සිසුවා දාමරික වැඩකරන ළමයින්ට හිරිහැර කරන දඩබ්බරයෙක්. ඔහුගේ අම්මා නෑ. තාත්තා බේබද්දෙක්. ඩෙරික් වසර 4කින් පමණ ගුරුතුමියට වඩා වයසින් බාලයි. ඔහු මේ ගුරුතුමිය නිසා දඩබ්බරකම්වලින් මිදෙනවා. ඔහු ගුරුතුමියට ළෙන්ගතු වෙනවා. අවසනදී ආදරයක් නොවන ආදරයක් මේ දෙන්නා අතර ගොඩනැඟෙනවා. ගුරුතුමිය මේ පාසලෙන් සමුගන්න දිනය එනවා. දෙදෙනාටම දුකයි. ගුරතුමිය සමුගෙන යන්නට දුම්රියට නැඟෙනවා. දුම්රිය සෙමින් සෙමින් වේදිකාවෙන් ඉදිරියට ඇදෙන විට ඩෙරික් තම පෝනියා පිට නැඟ දුම්රියට සමාන්තරව වේගයෙන් හඹා ගොස් නැවුම් මල් පොකුරක් ඇයගේ උකුලට විසිකරනවා. මේ අවස්ථාව හරිම සංවේදීයි. එය මගේ මතකයේ සදා රැඳී තිබෙනවා.

 

3. මගේ වෙනත් නවකතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර

හංස මාලි, ඉකි බිඳින්නද මුදු පැලන්දේ , දේදුනු ලිහිණි , ඔසුවිලේ හංසි, පාට වලාකුළු, මල් දෙවැටයි ඔබ මගේ මාවතේ, ගිම්හානෙන් වසන්තයට, සුරඟනක කඳුළක් සලා, මිරිඟු දියෙන් දිය දෝතක්, දේදුන්නෙන් එහා ලොවක්, ඇය පලඳින්නේ මගේ මුදුවයි, නිල් පබළු, එක මත් එක සමනලියක්, මොනර පිහාටු, මගේ මල් යායට සමනලියක්, තිරිඟු යායේ ගීතය ( Mayor of Casterbridge පරිවර්තනය ) ඇතුළු නවකතා 25 ක් පමණ මා විසින් ලියා තිබෙනවා. මේ හැම නවකතාවක්ම පාඨකයන් අතර එකසේ ජනප්‍රිය වුණා. ලියුම් දහස් ගණනක් පාඨකයන් මට එවා තිබුණා. මට දවසකට ලියුම් ආවේ මිටි ගණනින්. ඒ ලියුම් අතර ප්‍රේමාරාධනාත් තිබුණා. ලස්සන ගැහැනු ළමයින්ගේ ඡායාරූපත් එවලා තිබුණා. දුරකථන ඇමතුම් සහ ලිපි හරහා මට ලැබුණේ ඉතාමත් යහපත් ප්‍රතිචාර.

 

4. මා නොලියූ , මා කැමති වෙනත් පොත්

කරුණාසේන ජයලත් මහතාගේ 'ගොළු හදවත', කුමාර කරුණාරත්නයන්ගේ 'ඔබයි මමයි', 'හිතට හිතක්', 'අතුරු මිතුරු', ජයකොඩි සෙ‍ෙනවිරත්නයන්ගේ 'රණ තිසරු තමයි මම කැමතිම පොත්.

 

5. මගේ ඉදිරි සැලසුම්

අලුත් නවකථා කිහිපයක් මුද්‍රණයට සුදානම්. ආයේ නාවට කම් නෑ ඉතින්, සඳට ඉන්නේ එක තරුවද මේ වසරේ පාඨකයන්ට කියවන්නට ලැබේවි. ඉංග්‍රීසි විෂයානුබද්ධ පොත් සහ ළමා කතා එළි දැක්වීමටත් සැලසුම් කර තිබෙනවා. ජි. බී. සේනානායක සූරීන්ගේ නවකතා කීපයක් මම ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිටිනවා. දේදුනු ලිහිණි, ඔසුවිලේ හංසි නවකතා දෙක ටෙලිනාට්‍ය සඳහා යෝජනා වී තිබෙනවා. ලේඛන කලාවට අවතීර්ණ වන්නට දිරි දුන්නේ අතහිත දුන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිවංගත බන්දුල පද්මකුමාර මා ඔහුව සිහිපත් කරන්නේ ඉතාමත් කෘතවේදීව.

 

Comments