හර්තාලයෙන් රටම උණුසුම් | සිළුමිණ

හර්තාලයෙන් රටම උණුසුම්

ට පුරා ඉකුත් 6 වන සිකුරාදා ක්‍රියාත්මක කරන ලද හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් සමස්ත දිවයිනේම ජන දිවිය අඩපණ වී තිබුණි. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙය වූ විරෝධතා නිසා ද පාර්ලිමේන්තුව අවට ඉතා උණුසුම් තත්ත්වයක් මතු වුණි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 1,000කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් මෙය පැවැත්වුණු බව ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය ප්‍රකාශ කළේය. වසර 1953 පැවැති හර්තාලයෙන් වසර 69කට පසු සිදු කළ මෙම හර්තාලයේ විශේෂත්වයක් වූයේ එය සාමකාමීව නිමාවට පත්වීමය.

 ඉකුත් 1953 හර්තාලයේදී හර්තාල්කරුවන් හා පොලිසිය අතර ගැටුමෙන් 11 දෙනකු මියගිය අතර මෙවර එවැනි කිසිදු සිද්ධියක් වාර්තා නොවීම විශේෂත්වයකි. 1953 පැවැති එම හර්තාලයට ගොවීන්ගේ හා කම්කරුවන්ගේ සහභාගීත්වය කැපී පෙනුණු අතර මෙවර ඒ වෙනුවට ශිෂ්‍යයින්, තරුණයින්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු විවිධ බහුජන සංවිධාන සහභාගි වී තිබුණි.

හර්තාලය නිසා පොදු ප්‍රවාහන සේවා මුළුමනින්ම වාගේ ඇණහිට තිබූ අතර රාජ්‍ය සහ පෞද්ගලික කටයුතු අඩාලව තිබුණු බව සිළුමිණ වාර්තාකරුවෝ පවසති. මෙයට පෙරද ජවිපෙ 2වැනි කැරැලි සමයේදී එනම් 1988/89 බලහත්කාරයෙන් සිදු කරන ලද හර්තාල් ගණනාවක් සහ නිල නොලත් ඇඳිරි නීතිය නිසා මාස ගණනාවක් රටම අඩපණ විය. මෙවර හර්තාලය පැවැතියද 6 වන සිකුරාදා දුම්රිය 16ක් ධාවනය වූ අතර ලංගම බස් රථ 4000ක් පමණ ධාවනයට යෙද වූ බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Comments