අලෙක්සාන්දර් පුෂ්කින් - ජීවිතය නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය | සිළුමිණ

අලෙක්සාන්දර් පුෂ්කින් - ජීවිතය නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය

ලෙක්සාන්දර් පුෂ්කින් (1799 - 1837) රුසියාවේ මතු නොව සමස්ත ලෝකය පුරාම කවීන් අතර පෙර ගමන්කරුවකු ලෙස බුහුමනට පාත්‍ර වන්නෙකි. සාර් රුසියාවේ ප්‍රකට වංශවත් පවුලක උපත ලැබූ ඔහු කාව්‍ය නිර්මාණය අරැඹූයේ වංශාධිපති තරුණයින් සඳහා වූ පාසැලක් වනTsarskoe Selo ලයිසියම් හි අධ්‍යාපනය ලබන පාහළොස් හැවිරිදි සිසුවකු ලෙස ය.

තරුණ වියේදී, පුෂ්කින් ප්‍රංශ කාව්‍ය හැදෑරූ අතර රුසියානු නියෝක්ලැසික්වාදයේ (Russian Neoclassicism) නිමග්න වී සිටියේය. ඔහුගේ මුල් කාලයේ නිර්මාණ විවිධ වූ අතර දුක් ගී, ගීත සහ සන්දේශ ඒවායේ ඇතුළත් විය.

එහෙත් ඉතා කෙටි කලකින් ඔහු අද පවා සම්භාව්‍ය සේ ඉහළින් පිළිගැනෙන නිර්මාණ ඉදිරිපත් කළේ ය. ඒවා අතර කවි මෙන් ම නාට්‍ය හා නවකතා ද තිබේ. රෙමාන්තික යුගයේ (1800 - 1850) නිර්මාණකරුවකු වූවත් ඔහුගේ නිර්මාණ සියල්ල රොමාන්තික නොවී ය.

ඔහුගේ නිර්මාණ ශක්තිය හා ධාරිතාව අසීමිත විය. එබඳු කවින් ලොව ඇත්නම් ඒ අතලොස්සක් විය යුතු ය. ඔහුගේ ජීවන කාලය වසර 38ක් පමණි. ඔහුගේ මුල් නිර්මාණය පළ වී ඇත්තේ වයස පහළොවේ දී වන අතර ඒ අනුව විසිතුන් වසරක ඔහුගේ නිර්මාණ ශේෂ පත්‍රය අද්වීතිය බව පැහැදිලි ය. ඔහුගේ එක් නිර්මාණයක් හා තවෙකක් අතර ඇත්තේ විශාල වෙනසකි. ඉස්කෝප්ප රැජින කෙටිකතාව සහ අහිගුණ්ටිකයෝ පද්‍යය සසඳන්න. නැත්නම් රස්ලින් හා ලුද්මිලා සමඟ ඉයිජින් ඔනෙගන්. කපිතාන්ගේ දියණිය සමඟ බේල්කින් කතා. මේ සියල්ල හාස්කම් ය.

පුෂ්කින්ගේ නිර්මාණ කෞෂල්‍යය ගැන දන්නා අතරම අපි ඔහු මියගියේ ද්වන්ධ සටනකින් පරාජය වීමෙන් බව දනිමු. එහෙත් ඒ ද්වන්ධ සටනට හේතුව සිංහල පමණක් කියවන පාඨකයා අතර අප්‍රකට ය. මේ කෘතියේ ඒ පිළිබඳ පැහැදිලි විස්තරයක් තිබේ.

පුෂ්කින් අති දක්ෂ නිර්මාණකරුවකු වූවත් කළහ කරන්නකු ලෙස ද ප්‍රතට ව සිට ඇත. ඔහු ආරවුල් පටලවා ගෙන ඇත්තේ සාමාන්‍ය මිනිසුන් සමඟ නොවීම ද විශේෂත්වයති. සාර් පාලනයට හා නිලධාරි තන්ත්‍රයට එරෙහි වීම ඔහුගේ කෙටි ජිවන පුවත පුරාම විහිද පවතී. ඔහුට රජ මැඳුරේ නිලධාරීන් අතර තැනක් තිබිණි.

බෝල්ෂේවික්වරුන්ගේ විප්ලවය සාර්ථක වී සාර් පාලනය පෙරළා දැමෙන්නේ ඔහුගේ අභාවයෙන් වසර අසූවකට පසුව ය. විප්ලවය මෙහෙයැවූ සමාජවාදී විප්ලවවාදී පක්‍ෂය පිළිබඳ මූල බීජයක් හෝ එසමයේ නොවිණි. එහෙත් අධිරාජ්‍යයට එරෙහි යම් යම් කල්ලි තිබිණි. ඒ කිසිදු කණ්ඩායමකට සම්බන්ධ වී නොසිටියත් පුෂ්කින් එකලා විරෝධතාකරුවකු ලෙස පාලනයේ සැකයට බඳුන් වැ සිටියේ ය.

ඔහුගේ විවාහය විසින් ඔහුගේ ජිවිතයේ දිශානතිය වෙනස් කැරුණු බව ප්‍රකට ය. ඔහු ආවාහ වූයේ ඔහුට වඩා තුදුස් අවුරුද්දකින් බාල නතාලියා ගොන්චරෝවා නම් සුදේහිනියක සමඟය. සල්ලහුක සෙල්ලක්කාර මේ සුරූපිනිය එකල ඉහළ සමාජයේ බොහෝ පුරුෂයන්ගේ අවධානය දිනා ගත්තී ය. අය ද ඔවුන් හා සමාගමයට රුචි වූවා සාදවලට සහභාගි වී ඔවුන් හා ආලිංගන නැටුම්වල යෙදෙමින් කල් ගත කළා ය. ඇයට සාර්ගේ සිරියහන් ගබඩාවේ තනතුරක් පවා ලැබිණ. ඇගේ නම වංශවතුන්ගේ නම් සමඟ ඈඳිණ. ඒ සමාජයම ඇගේ චරිතය ගැන කැලෑ පත්තර ගැසුහ. සිය බිරිඳ අතින් අත යන්නට ඉඩ දීි බලා සිටින පිරිමියකු ලෙස පුෂ්කින් හැඳින්විණි. ඒවා කවරාකාර වුවත් පුෂ්කින් ඇය සැක කළේ නැත.

බිරිඳගේ සාද යනාදියට පුෂ්කින් ද ඇය කැටුව සහභාගි විිය. මේ නිසා නිර්මාණයට ඔහුට තිබූ කාලය අපතේ ගියේ ය. 

ඒ ගැන මේ කෘතියේ මෙසේ සඳහන් ය:

‘පුෂ්කින් බිරිඳ නතාලියාගේ ජීවිතය නිරන්තර විනෝදජනක මනෝරංජනයන්ගෙන් විනෝද සාද හා ආලිංගන නැටුම්වලින් යුතු එකකට හැරී තිබිණි. ඇය සිය නිවෙසට පෙරලා පැමිණියේ අලුයම හතරට පහට ය. අවදි වූයේ පමා වෙලා ය. රාත්‍රී ආහාර ගත්තේ රෑ අටට පමණ ය. ඉන් පසු සැරසී යළිත් නිවසින් පිට වැ ගියා ය. ඇගේ සැමියා ඇයට ආරක්‍ෂාව සපයමින් ඇය කැටු වැ ගොස් හැරලී ය. නැටුමට පුෂ්කින් ප්‍රිය කළේ ය. එනිසා ඔහු කළේ තමා ද ඇය හා මු`ඵ සන්ධ්‍යා කාලය ම ආලිංගන නැටුම්වලට ගෙවීම ය. ඔහු ඒවායේ බිත්තියට හේත්තු වී ගෙන ඈනුම් අරිමින් නටන්නවුන් දෙස බලා සිටියේ ය.’

රුසියානු රදළ පන්තියේ සාමාජිකයකු හරියට මුකවාඩමක් බඳු බවත්, ඔවුන් හිට ගෙන කට ගොන්නක් බොන බවත් හිඳ නිදන බවත් ඔහු ලියා ඇත.

අවසානයේ ඔහුගේ අවාසනාවන්ත මරණය සිදු වනුයේ ද බිරිඳ නිසා ය. ඇයට අපහාස කළේ ය’යි ඔහු වංශවතුන් හා කෝපයෙන් පසුවිය. එවැනි එක් පුද්ගලයකුට ඔහු ද්වන්ධ සටනකට අභියෝග කළේ ය. සටනින් බරපතල තුවාල ලැබූ ඔහු මරණයට පත් වූයේ දින කිහිපයක් දැඩි වේදනා විඳීමෙන් අනතුරුව ය. ‘ අලෙක්සාන්දර් පුෂ්කින් - ජීවිතය නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය’ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. පුෂ්කින්ගේ ජීවන පුවත සහ තෝරාගත් කවි ඒවායි. එලෙස ඇතුළත් පැදි පෙළ 49ක් මෙහි අන්තර්ගත ය. ඊට අමතර ව පුෂ්කින්ගේ සමකාලීන චිර ප්‍රසිදධ කවියා වන මීහයිල් ලර්මන්තොව් විසින් ඔහුගේ අභාවයෙන් කම්පාවට පත් වැ ලියන ලද ‘කවියාගේ මරණය’ නම් පැදිපෙළ ද පනස්වන පැදිය ලෙස මෙහි එයි.

මෙය කරුණාතිලක හඳුන්පතිරණගේ කෘතියකි.

Comments