සෝද සෝදා මඩේ ම ඔබන ලාංකේය දැල්පන්දුව | සිළුමිණ

සෝද සෝදා මඩේ ම ඔබන ලාංකේය දැල්පන්දුව

සිංගප්පුරුවේ සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කර ගනිමින් සිදු කරන පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පුහුණුවීම් කටයුතු සඳහා පැමිණීමට ඇති නොහැකියාව සඳහන් කරමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය වෙත ලිපියක් යොමු කර ඇති අතර, එකී ලිපියට අනුව ප්‍රවාහන අපහසුතා හා ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය තෝරා ගැනීමේ ප්‍රමාදය සඳහන් කරමින් එකී ලිපිය යොමු කර තිබේ.

මෙකී ලිපිය යොමු කළ ක්‍රීඩිකාවන් දෙදෙනා වන දීපිකා හා හසිතා පසුගියදා බණ්ඩාරගම පැවැති පුහුණු කඳවුරේදී උදය වරුවේ පැවැති දැල්පන්දු පුහුණුවීම් අවස්ථාවට එක්වීමට ගිය වෙලාවේදී ජාතික පුහුණුකාරිණී හයසින්ත් විජේසිංහ එම ක්‍රීඩිකාවන් දෙපළ ක්‍රීඩා පුහුණුවීම්වලට සහභාගි කර නොගත් බවත් අනාවරණය වෙයි. ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව ලෙස එදින ඔවුන් දැල්පන්දු පුහුණුවීම් වෙනුවෙන් එක්කර නොගැනීම බවත් වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලන කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනි ට්‍රික්සි නානායක්කාකර හා වර්තමාන පුහුණුකාරිණී හයසින්ත් විජේසිංහ අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වී තිබේ. ආසියානු ශුරතාව සඳහා පුහුණුවීම් කරන කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවන් මෙලෙස පුහුණුවට නොයොදා ගැනීමට එරෙහිව එකී වචන හුවමාරුව සිදුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසියානු දැල්පන්දු ශුරතාවලියට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නිසි ලෙස පුහුණු කටයුතුවලට සහභාගි නොවීම පිටුපස ට්‍රික්සි නානායක්කාර සිටින බව ජාතික පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ කවුන්සල රැස්වීමේදී චෝදනා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ට්‍රික්සි නානායක්කාර ගෙන් අප කළ විමසුමකදී ඇය කියා සිටියේ මම දන්නවා සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඉල්ලා අස්වූ බව නමුත් ඒකට මගේ කිසිඳු සම්බන්ධතාවයක් නැතැයි ද පැවැසුවා ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ට්‍රික්සි නානායක්කාර පැවැසුවේ, මගේ නායකත්වය යටතේ 1985 ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු දැල්පන්දු අනුශුරතාව ගෙනාවා. 2019දී ආසියානු ශුරතාව ගෙනාවේ මා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිධුරය දරණ කාලයෙයි. සංචිතය පුහුණු කළේ තිලකා ජිනදාසයි. ඒ කාලේ අපි පුහුණුවට කණ්ඩායම එංගලන්තය,මලාවි ඇතුළු රටවල් කිහිපයකට ගෙනිච්චා අපි අනුග්‍රහකයෝ හොයා ගෙන රටට දිනුම ගෙනාවා. ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩිකාවන්ට නිවාස,මුදල් හොයා දුන්නා. ගුවන් හමුදා දැල්පන්දු පුහුණුකාරිනී වන රූබා ගුවන් හමුදාවට අයත් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු පසුගියදා කලාප තරග වෙනුවෙන් ආයතන පුහුණුවීම් සඳහා දින 2ක් යොදවාගෙන තිබෙනවා. නමුත් ඒ වර්තමාන සභාපතිනියගේ අනුදැනුම මතයි. ඒ නිසා අදාල ක්‍රීඩිකාවන් දෙදෙනාට සංචිතයේ පුහුණුවීම්වලට පැමිණීමට නොහැකි වී තිබෙනවා. කොහොමත් එහෙම කිරීමේ වරදක් නැහැ. හේතුව අදාල ආයතනයෙන් තමයි පුහුණුකරුට හා ක්‍රීඩිකාවන්ට වැටුප් ගෙවන්නෙ. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට පෙර සංචිතයේ ක්‍රීඩිකාවන් අදාල ආයතයේ තරගවලට යොමු කිරීම වරදක් නැති බව මම පෙන්වා දුන්නා. නමුත් හයසින්ත් ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වා තිබෙනවා. මම සභාපති වෙලා හිටපු කාලයෙත් සංචිතය තෝරා ගැනීමට පෙර සංචිතයේ ක්‍රීඩිකාවන් වෙනත් තරගාවලි වෙනුවෙන් යොදා ගැනීම සිදු වුණා. නමුත් හැමදාම නෙමෙයි. දින කිහිපයක්. ඒ පෙන්වා දීම මත ශ්‍රී ලංකා දැල්පන්දු වර්තමාන පුහුණුකාරිණිය මාව සභාව මැද විවේචනය කළා. ඒකට කමක් නැහැ. මම නිවැරදි දේයි කියා දුන්නේ. ගොසිප් කතාවලින් ක්‍රීඩාව දියුණු කරන්න බැරි බවද ට්‍රික්සි නානායක්කාර මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

දීපිකා හා හසිතා යන ක්‍රීඩිකාවන් දෙදෙනා අදාල ලිපිය වට්ස් ඇප් හරහා දැල්පන්දු සම්මේලනයේ ලේකම් වෙත යැවූ බව ක්‍රීඩා වෙත කියා සිටිති.

හසිතා ලක්මාලි මෙන්ඩිස් මෙසේ අදහස් දැක්වුවා ය. අපි දෙදෙනාගේ ඉල්ලා අස්වීමට ට්‍රික්සි මිස්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව මුලින්ම සඳහන් කළ යුතුයි.

2018 දී අපි ආසියානු තරගාවලියට සූදානම් වීමේදී පෙබරවාරි වනවිට මලාවි ඇතුළු රටවල් කිහිපයකට ගොස් ටූනමන්ට් ගහලා අවසන් කරලා. නමුත් මෙවර තවම අපේ සංචිතයවත් තෝරලා නැහැ. පසුගිය සංචිතය තෝරා ගැනීමේදී මුලින්ම අපේ කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් 24න් 15ක් තෝරා ගත්තා. දෙවනුව 12ක් තෝරා ගත්තා. මේ පාර කොහොම වෙයිද දන්නේ නැහැ.

මටයි දීපිකාටයි බබාල ඉන්නවා. මගේ බබාට අවුරුද්දයි. දීපිකාගේ බබාට අවුරුදු 1යි මාස 6යි. අපිට දුර පළාත්වල පුහුණුවට යන්න අපහසුයි. පසුගිය කාලයේ බණ්ඩාරගම පුහුණුවීම් තිබුණා. නමුත් ප්‍රවාහන පහසුකම් ලැබුණේ නැහැ. පුහුණුවීම් අවසන්කර නැවත එන්නනම් ප්‍රවාහන පහසුකම් ලැබුණා. උදේ පාන්දර පුහුණුවීම්වලට තම පුද්ගලික ප්‍රවාහනය යොදවා ගන්න ඕනෑ. අපි දෙන්නාම රාගම ඉඳලා එන්නේ. අඩු තරමින් කොළඹ ඉඳලවත් අපිට අදාළ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් පුහුණුවීම් වෙනුවෙන් අපට එන්න පුළුවන්. ඒ වගේ ම සංචිතය අද තෝරනවා හෙට තෝරනවා කියනවා. නමුත් අදටත් සංචිතය තෝරා ගැනීමක් සිදුවී නැහැ.

අපි ආසියාව දිනපු කණ්ඩායමක්. නමුත් ආසියාව දිනන්න පෙරත් ප්‍රවාහන පහසුකම් අපට ලබා දුන්නා. නමුත් ආසියාව දිනපු අපිට අද කිසිඳු පහසුකමක් නැහැ. අපිව අද අගයක් නැති වෙලා. මේක රට වෙනුවෙන් ක්‍රීඩා කරන ජාත්‍යන්තර මැච් එකක්. ඒ නිසා හරි නම් අනුග්‍රාහකයෙක් හෝ සොයා ගෙන කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අපේ පුහුණුවීම් සඳහා වෙන් කරලා දෙන්න තිබුණා. අපට පසුගිය දිනවල පුහුණුවීම් වෙනුවෙන් බණ්ඩාරගම යන්න සිදු වුණා. ඒ යන්න වෙලා තියෙන්නේ හයිවේ එකේ. ඉතිං. ප්‍රවාහන වියදම් වෙනුවෙන් අපට විශාල මුදලක් වැය කරන්න වුණා. එහෙම වියදම් දැරීම මේ කාලේ විදියට ඉතා අපහසුයි. ඒ නිසා තමයි අපි ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් කුමුදුනී ගෝමස් මහත්මියට අපේ ඉල්ලීම සඳහන් කරමින් ලිපි දෙකක් වෙන වෙනම වට්ස් ඇප් කළේ.


ප්‍රශ්නවලින් මමත් හෙම්බත් වෙලා ඉන්නේ
- රංජනී ජයකොඩි - සභාපතිනිය

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පසුගිය කාලයේ දැල්පන්දු පුහුණුවීම් බණ්ඩාරගමත් මේ දිනවල කොළඹත් ලබන සතියේ සිට අදාළ පුහුණුවීම් නාවල පිටියෙත් ආරම්භ කරනවා. රටේ පවතින තෙල් හිඟය නිසා ප්‍රවාහන පහසුකම් සැපයීමට ක්‍රීඩා අමාත්‍යාංශයට අපහසුතාවක් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් නොමැතිවීම ඇතුළු කරුණු කාරණා තුළ එක් එක් ක්‍රීඩිකාවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයීමේ දුෂ්කරතා ඇති වෙලා තියෙනවා. පුද්ගලික ප්‍රවාහනය යොදවා ගන්න කියලා කියන්න මට හැකියාවක් නැහැ. මෙය ක්‍රීඩීකාවන්ට පමණක් නොව සමස්ත ජනතාවට ම බලපා ඇති කරුණක්. කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුවීම් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවන නිසා පුහුණුවීම් කොළඹින් පිටට ගෙන යෑමට සිදුව තියෙනවා.ඒකත් ක්‍රීඩිකාවන්ට ගැටලු සහගත තත්ත්වයක් තමයි . මොනවා වුණත් ලිපියක් මගින් පැමිණීමේ අපහසුතා ඇති අදාළ ක්‍රීඩිකාවන් කණ්ඩායමේ දක්ෂ ම අය නිසා ඔවුන් රඳවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්, ඒ ගැන තර්කයක් නෑ. මේ නිසා අදාළ ඉල්ලීම කළ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට අවශ්‍ය ම නිසා ඔවුන්ව කණ්ඩායමෙන් නෙරපීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ.කාටවත් ඕනෑ ඕනෑ විදියට ක්‍රීඩීකාවන් ඉවත් කරන්නේ නෑ.

අදටත් ශ්‍රී ලංකා දැල්පන්දු තේරීම් කමිටුව පත්කර නැති නිසා ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය තෝරා ගැනීමේ ගැටළුවකට මුහුණ දෙන්න අපට සිදුවෙලා තියෙනවා.හැකි ඉක්මනින් අදාළ කමිටුව පත්කිරීම වෙනුවෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු කරන්න කියලා ආයාචනය කරන්න තමයි අපටත් වෙලා තියෙන්නේ.

Comments