නැගී එන්නෝ ධනංජයලාගේ උර මත | Page 2 | සිළුමිණ

නැගී එන්නෝ ධනංජයලාගේ උර මත

සිවුදින කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජයත් සහ විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ලක්ෂාන් ලෙසත් නම් කරන ලද ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් සඳහා පසුගියදා එංගලන්තය බලා පිටත් වූයේ ය.

සිව්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3කින් යුත් මෙම තරගාවලි සඳහා සහභාගී වූ මෙම කණ්ඩායමට යොවුන් ක්‍රීඩකයන් බහුතරයක් එක් ව සිටිති.

සිව්දින නායකයා වන කොළඹ එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් ක්‍රිකට් අත් පොත් තැබූ 21 හැවිරිදි නිපුන් ධනංජය, මීට පෙර 2000 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිලුවේ ය. එමෙන් ම ඔහු 2018 නවසීලන්තයේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ද වූවේ ය.

නිපුන් ධනංජය මේ දක්වා පළමු පෙළ තරග 8කට ක්‍රීඩා කරමින් ලකුණු 442ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 34.00ක රඳවාගෙන සිටියි. පළමු පෙළ ඉනිම් අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ නිමා වූ සිවු දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 114යි.

විස්සයි20 කණ්ඩායමේ නායක 23 හැවිරිදි ධනංජය ලක්ෂාන් 2020 දී පැවැති පළමු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වූ ක්‍රීඩකයෙකි. අනතුරුව ඔහු 2021 වසරේ දී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා එක්දින වරම් දිනා ගැනීමට ද සමත් වූයේ ය.

පළමු පෙළ තරග 18කට ක්‍රීඩා කර ඇති ධනංජය ලක්ෂාන් ශතක දෙකක් සහ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 859ක් වාර්තා කරමින් පිතිකරණයේ සාමාන්‍ය 28.63ක රඳවාගෙන සිටියි.

ඔහුට අමතර ව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එක් වෙන ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්ට සිටින්නේ අශේන් බණ්ඩාර ය. 23 හැවිරිදි අශේන් බණ්ඩාර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 5කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇත.

එංගලන්ත සංචාරයට එක් කර ඇති කණ්ඩායමේ ස්ථාන තහවුරු කර ගැනීමට පසුගිය යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වේග පන්දු යවන ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ සමත් ව සිටිති.

දුනිත් වෙල්ලාලගේ නිමා වූ 2022 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ද වූ අතර දී එම තරගාවලියේ දී කඩුලු 19ක් ලබා ගනිමින් වැඩිම කඩුලුලාභීන් අතුරින් පෙරමුණ ගැනීමට ද සමත් වූයේ ය. එමෙන් ම පිතිකරුවන් ලැයිස්තුගත වීමේ දී ඔහු 7 වැනි ස්ථානය දිනා ගත්තේ ලකුණු 264ක් ලබා ගනිමිනි.

කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයන් අතරට නිමා වූ නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ පළමුවැනියා වූ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ අවිශ්ක පෙරේරා ද වේ. ඔහු නිමා වූ එම තරගාවලියේ දී තරග 7ක ඉනිම් 9ක දී ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමග ලකුණු 663ක් වාර්තා කරමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 82.87ක රඳවාගෙන සිටියි.

මෙම ලැයිස්තුවේ තරග 6ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 645ක් ලබා ගනිමින් 72.88ක සාමාන්‍යයක් රඳවාගෙන දෙවැනි තැනට පත් මුවර්ස් ක්‍රීඩා සමාජයේ 22 හැවිරිදි ආරම්භක පිතිකරු දිනුක ඩිල්ශාන් ට ස්ථානයක් හිමි නොවූව ද තරග 8ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 552ක් වාර්තා කරමින් 39.42ක සාමාන්‍යයක් රඳවාගෙන සිටිමින් තෙවැනි ස්ථානයට පත් සෙබස්තියනයිට් කණ්ඩායමේ 23 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක මනෙල්කර් ද සිල්වා ඇතුලත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

නැගී එන කණ්ඩායම් තරගාවලියේ කඩුලුලාභීන් අතර පෙරමුණේ සිටින ද්‍රවිඩ සංගමයේ වමත් පා දඟ පන්දු යවන දිලුම් සුධීර ද මෙම කණ්ඩායමට ඇතුළත් ව සිටින අතර ඔහු එම තරගාවලියේ දී මෙන් ම නිමා වූ සිවු දින තරගාවලියේ දී කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට සමත් වූයේ ය.

ඔහු නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ දී තරග 5ක දී කඩුලු 52ක් වාර්තා කිරීමට සමත් වූයේ ය. දිලුම් සුධීර නිමා වූ යොවුන් ලෝක කුසලානය තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකි.

කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් රුවන් කල්පගේ කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙසින් රුවින් පීරිස් ද පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙසින් දර්ශන ගමගේ සහ පිතිකරු පුහුණුකරු ලෙසින් ධම්මික සුදර්ශන ද මෙම සංචාරයට එක් වූහ.

සංචාරයට එක් වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ;

නිපුන් ධනංජය (සිව්දින නායක), ධනංජය ලක්ෂාන් (විස්සයි 20 නායක), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සංතුෂ් ගුණතිලක, යසිරු රුඳ්‍රිගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අශේන් ඩැනියෙල්, මනෙල්කර් ද සිල්වා.

තරග කාලසටහන

මැයි 06 සිට 09 දක්වා පළමු සිවු දින තරගය කෙන්ට්, කැන්ටබරිහි දී

මැයි 13 සිට 16 දක්වා දෙවැනි සිවු දින තරගය හැම්ප්ෂයර්, ඒජ්ස්බෝල් හි දී

මැයි 20 සිට 23 දක්වා තෙවැනි සිවු දින තරගය සරේ, ගිල්ෆෝර්ඩ් හි දී

මැයි 25 දින පළමු විස්සයි20 තරගය සරේ, කියා ඕවල්හි දී

මැයි 27 දින දෙවැනි විස්සයි20 තරගය සමර්සෙට්, කූපර්හි දී

මැයි 29 දින තෙවැනි විස්සයි20 තරගය ග්ලෝස්ටර්ෂයර්, බ්‍රිස්ටල් හි දී

නිපුන් ධනංජය (21)

වමත් පිතිකරු, දකුණත් පිට දඟ පන්දු යවන්නා සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව, එස්. එස්. සී,ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ

පළමු පෙළ දක්ෂතා තරග 8, ලකුණු 442, කඩුලු 1

ධනංජය ලක්ෂාන් (23)

වමත් පිතිකරු, දකුණත් වේග පන්දු යවන්නා රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල, ගෝල් ග්ලැඩියේටර්ස්, ශ්‍රී ලංකා,කෝල්ට්ස් ක්‍රීඩා සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 18, ලකුණු 859, කඩුලු 18

ලසිත් කෲස්පුල්ලේ (23)

දකුණත් පිතිකරු,දකුණත් පිට දඟ පන්දු යවන්නා මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය මීගමුව, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ,ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ, ශ්‍රී ලංකා ඒ, ඒස් කැපිටල්

පළමු පෙළ දක්ෂතා තරග 26, ලකුණු 1492, කඩුලු 6

නිශාන් මදුශ්ක (22)

දකුණත් පිතිකරු ,කඩුලු රකින්නා මොරටු විද්‍යාලය ,කැන්ඩි ටස්කර්ස්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ,රාගම ක්‍රිකට් සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 23, ලකුණු 1470, දවා ගැනීම් දායකත්වය 39

නුවනිඳු ප්‍රනාන්දු (22)

දකුණත් පිතිකරු, දකුණත් පිට දඟ පන්දු යවන්නා සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ, ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම,දඹුල්ල ජයන්ට්ස්, ජැෆ්නා සිටේලියන්ස් එස්. එස්. සී.

පළමු පෙළ දක්ෂතා තරග 14 ,ලකුණු 564 ,කඩුලු 1

අෂේන් බණ්ඩාර (23)

දකුණත් පිතිකරු, පා දඟ පන්දු යවන්නා සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල, දඹුල්ල වයිකින්ග්ස්, ජැෆ්නා වයිකින්ග්ස්, ශ්‍රී ලංකා, පොලිස් ක්‍රිකට් සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 25, ලකුණු 1247, කඩුලු 5

අවිශ්ක තරිඳු (20)

දකුණත් පිතිකරු, දකුණත් වේග පන්දු යවන්නා සාන්ත අන්තෝනි විද්‍යාලය, වත්තල, රාගම ක්‍රිකට් සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 3, ලකුණු 72, කඩුලු 0

අවිශ්ක පෙරේරා (21)

දකුණත් පිතිකරු, කඩුලු රකින්නා නාලන්දා විද්‍යාලය, කොළඹ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 2, ලකුණු 107, දවා ගැනිම් දායකත්ව 1

දුනිත් වෙල්ලාලගේ (19)

වමත් පිතිකරු, වමතින් දඟ පන්දු යවන්නා සාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ, ලංකන් ක්‍රිකට් සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 9, ලකුණු 272, කඩුලු 29

සංතුෂ් ගුණතිලක (22)

දකුණත් පිතිකරු, දකුණත් මද වේග පන්දු යවන්නා සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ, ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 12, ලකුණු 828, කඩුලු 9

යසිරු රුඳ්‍රිගෝ (19)

වමත් පිතිකරු, වමත් වේග පන්දු යවන්නා සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ, ලංකන් ක්‍රිකට් සමාජය

පළමු පෙළ තරග ක්‍රීඩා කර නැත

අම්ෂි ද සිල්වා (20)

දකුණත් පිතිකරු, දකුණත් වේග පන්දු යවන්නා රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ, සී. සී. සී.

පළමු පෙළ තරග දක්ෂතා තරග 1, ලකුණු 0, කඩුලු 2

නිපුන් මාලිංග (22)

දකුණත් පිතිකරු, දකුණත් වේග පන්දු යවන්නා මහින්ද විද්‍යාලය, ගාල්ල, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ, රාගම ක්‍රිකට් සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 9, ලකුණු 128, කඩුලු 10

උදිත් මදුශාන් (24)

දකුණත් පිතිකරු, දකුණත් වේග පන්දු යවන්නා දෙබරවැව ජාතික පාසල, සැරසන්ස් ක්‍රීඩා සමාජය

පළමු පෙළ දක්ෂතා තරග 14, ලකුණු 150, කඩුලු 16

නිපුන් රන්සික (22)

වමත් පිතිකරු, දකුණත් වේග පන්දු යවන්නා පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ, එන්. සී. සී.

දිලුම් සුධීර (21)

දකුණත් පිතිකරු, වමත් දඟ පන්දු යවන්නා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය. රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය

අශේන් ඩැනියෙල් (21)

දකුණත් පිතිකරු, දකුණත් පිට දඟ පන්දු යවන්නා සාන්ත ජෝශප් විද්‍යාලය, මරදාන, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ගෝල් ග්ලැඩියේටර්ස්, එන්. සී. සී.

මනෙල්කර් ද සිල්වා (23)

වමත් පිතිකරු, දකුණත් වේග පන්දු යවන්නා සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය, සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය

ජගත් ප්‍රේමචන්ද්‍ර

Comments