ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වයට වැට | සිළුමිණ

ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වයට වැට

සාධාරණත්වය, වගවීම සහ විනිවිදභාවය යන මූලධර්ම ආරක්ෂා කර ගනිමින් නව නිලවරණයක් පවත්වා අවසන් වනතුරු ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වයට පැනවූ තහනම හමුවේ ශ්‍රී ලංකා ජාතික හෝ ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමකට කිසිඳු කලාපීය රග්බි තරගාවලියට එක්වීමේ වරම් අහිමි වී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව කටයුතු කර නිලවරණයට අදාළ තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදී, විනිවිදභාවයකින් නිලවරණයක් සඳහා ආසියානු සහ ලෝක රග්බි සම්මේලනයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද ආසියානු රග්බි සම්මේලනය කටයුතු කිරීමට නියමිත බවද වාර්තාවෙයි.

පසුගිය නිලවරණයෙන් තේරී පත්වූ රිස්වි ඉල්ලියාස්ගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් වූ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් පසුගිය 01 වෙනිදා තහනම් කරන ලදි. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය තාවකාලිකව අත්හිටුවන්නට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් ආසියානු රග්බි සම්මේලනය ගත් පියවර මත මෙම තත්ත්වය උදා විය.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 ( ආ) සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයේ ලියා පදිංචිය තාවකාලිකව අත්හිටුවීමට හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබද අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගිය අප්‍රේල් 01 වැනිදා ක්‍රියා කළේය. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවා එම සම්මේලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත් කරමින් එයට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය දිනකදී ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් නිකුත් කළේය. එකී ගැසට් නිවේදනය අද වන විට විශාල හානියක් රග්බි ක්‍රිඩකයන්ට මෙන්ම රග්බි ක්‍රීඩාවටද කර ඇති බව බැලූ බැල්මට පෙනෙන කරුණකී. මෙම තහනම පාදක කර ගනිමින් ක්‍රිඩාවට දේශපාලන අතපෙවීමක් ඇති බවට සැක කරමින් ආසියානු රග්බී සම්මේලනය පසුගිය අප්‍රේල් 9 වැනි දා ශ්‍රී ලංකා රග්බී සම්මේලනයේ සාමාජිකත්වය ආසියානු සංගමය විසින් තාවකාලිකව අහෝසි කිරිමට ලක් කළේය.

අප්‍රේල් 9වැනි දා තාවකාලිකව තහනම් කල සාමාජිකත්වය මේ වන විට තරග තහනමකටද ලක් කරමින් ආසියානු කලාපයේ පැවැත්වෙන රග්බී තරගාවලි සදහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අත්හිටුවිමට ආසියානු රග්බී සංගමය පියවර ගෙන තිබේ. මෙම අත්හිටුවිම ආසියානු කලාපය විසින් සංවිධානය කරන තරගාවලියන්ට බලපාන පරිදි නිකුත් කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එයින් කිසිදු බාධාවක් බල නොපාන බව ද ඔවුන් විසින් පෙන්වා දි තිබේ.

රග්බි සම්මේලනයේ නිලවරණය කැඳවිමේ නිවේදන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කිරිමට දින කිහිපයකට පෙර සිදුවු මෙම අහේතුක ක්‍රියාවලිය නිසා ඉතාමත් සංවිධානත්මකව පැවැත්වෙමින් තිබූ නිපෝන් පේන්ට් අභියෝගතා අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ අවසන් තරග ද අත්හිටුවිමට රග්බි සම්මේලනයට සිදුවිය. වැරැද්ද නිවැරැද්ද කෙසේ වෙතත් මාස කිහිපයක් ක්‍රීඩා සංගම් කිහිපයක් එක පොකුරට තරග කළ තරගාවලියේ අවසානයක් දැක ගැනිමට කිසිවෙකුට නොහැකි විය. අනුග්‍රාහකයන් අතරමංව ඇත.

තත්ත්වය එසේ තිබියදී මෙරට රග්බි ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය අප්‍රේල් 20 වැනි දා මෙරටට පැමිණි ආසියානු රග්බි සංගමයේ නියෝජිතයෙකු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින්, ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා රග්බී සම්මේලනයේ හිටපු නිලධාරීන් හා විවිධ ක්‍රීඩා සමාජ සහ රග්බි විනිසුරු සංගමයේ බලධාරීන් ප්‍රමුඛ පිරිසක් සමග දින 4ක් සාකච්ඡාකර තිබුණී. එහිදි රග්බි නිලවරණයක් පැවැත්විය යුතු බවට අදාළ සැම පාර්ශවයකම ඉල්ලීම වු බව ආසියානු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ආසියානු රග්බි සංගම් නියෝජිතයාගේ දැනුවත් කිරිම මත ආසියානු රග්බි සංගමය ප්‍රකාශ කර ඇත්තේ නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාවට ආසියා කලාපයේ ක්‍රියාකාරකම් කිසිවක් සදහා සලකා නොබලන බවයි. පසුගිය අතිවිශේෂ විධායක කමිටු රැස්විමක් කැඳවු ආසියා රග්බි සංගමය මෙම පියවර ගෙන ඇත්තේ විධායක කමිටුවේ ඒකමතික තීරණයක් ගනිමින්ය. 

ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවමින් ප්‍රකාශ කර ඇත්තේ සමානාත්මතාව, විනිවිදභාවය හා වගවිම වැනි ආසියා රග්බි සංගමයේ මූලධර්ම පවත්වාගෙන යැම සදහා නිලවරණය අවසන් වනතුරු බව වැඩිදුරටත් එම ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව නව නිලවරණයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු විමසා ආසියානු සංගමය විසින් පසුගිය අප්‍රේල් 9 වැනිදා අභිනවයෙන් පත්වු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය තේනුක විදානගමගේ වෙත නිල ලිපියක් එවා ඇති බව ද වාර්තාවෙයි. උක්ත කරුණ සම්බන්ධයෙන් මැයි මස 06 වැනි දායින් පසුව ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බව ආසියානු සම්මේනය විසින් දක්වා ඇති බවද සඳහන් වෙයි.

ආසියානු ඔලිම්පික් කමිටුවේ හා ලෝක රග්බී සම්මේලනයේ නිරීක්ෂණය යටතේ විනිවිදභාවයකින් යුතුව රග්බි නිලවරණය පැවැත්වීමේ හැකියාව සහතික කරන ලෙස ද එම ලිපිය මඟින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

නව ක්‍රීඩා ඇමතිවරයා රාජකාරී ආරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය මෙන් ම ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පරිපාලනයේ ද අර්බූදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව ප්‍රකාශ කර ඒවාට විසඳුම් දීමට තමා ඉක්මන් නොවිය යුතු බවටද ප්‍රකාශ කළේය. නමුත් අද ක්‍රීඩාවේ ඇතිවී ඇති අර්බුදකාරී වතාවරණය හමුවේ ඇමැතිවරයාට ඉක්මන් නොවී සිටිය හැකිද ? අන්තර්ජාතික තරගාවලි ගණනාවකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වසර තුල විදේශ ගතවීමට නියමිත වාතාවරණයකදී ඇමතිවරයා මන්දගාමීව කටයුතුවල නිරත වුවහොත් ක්‍රීඩාවට කුමක් සිදුවේවිද? විදේශ විනිමය හමුවේ ජාතික ක්‍රීඩාව ඇතුළුව ක්‍රීඩා බොහෝමයක පුහුණුකරුවන් මේ වන විටත් රට හැර ගොස් ඇති වකවානුවක ඇමතිවරයා හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩාවේ උන්නතියට පෙනී නොසිටිම අවනඩුවක් නොවන්නේද?

Comments