හොලිවුඩයේ මිල කළ නොහැකි චිත්‍රාගාරයක් නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා | Page 2 | සිළුමිණ

හොලිවුඩයේ මිල කළ නොහැකි චිත්‍රාගාරයක් නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා

අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියෙක්වන නිරෝෂන් කහවත්ත මහතා නව සංකල්පයකට මුල පුරමින් ”ගෝල්ඩ් රූම් ස්ටුඩියෝ” (Gold Room Studio)නමින් දැවැන්ත වීඩියෝ සහ ඡායාරූප චිත්‍රාගාරයක් පසුගිය මැයි 01වැනිදා ආරම්භ කළේය. 
 
මෙහි විශේෂත්වය වන්නේ ලොස් ඇන්ජලීස් හි දැවැන්ත චිත්‍රාගාරයක හිමිකරුවෙක් ලෙස ශ්‍රී ලාංකිකයෙක් සිටීමයි. නිරෝෂන් කහවත්ත කලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙක් ලෙස හා ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස ද කටයුතු කළේය. 
 
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි මෙම ආකර්ශණීය දැවැන්ත චිත්‍රාගාරය ස්ථාපිත කර තිබේ. 
 
අධිතාක්‍ෂණික උපකරණ භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රාගාර තුළ චිත්‍රපට රූගත කිරීම මෙන්ම ඡායාරූප ගැනීමේ අවකාශය පවතී. එසේම මේවන විට හොලිවුඩ් චිත්‍රපට සමාගම් 04ක් ”ගෝල්ඩ් රූම් ස්ටුඩියෝ” සමඟ කටයුතු කිරීමට ගිවිසුම් අත්සන් කර ඇතැයි  නිරෝෂන් කහවත්ත මහතා පැවසීය. 
 
එසේම තවත් විශාල නිරූපණ ශිල්පීන් රැසක් මෙහි ඡායාරූප ගැනීම වෙනුවෙන් ද වෙන් කර ඇත. 
 
මංගල උත්සව වෙනුවෙන් පූර්ව ඡායාරූප(Pre Shoot) ගැනීමේ පහසුකම්වලින් මෙන්ම විවිධාකාරයේ විචිත්‍රවත් මල්වර්ග 30,000කට අධික ප්‍රමාණයකින් යුක්ත උද්‍යානයකින් ද මෙම චිත්‍රාගාරය සමන්විතය.  
 
පස්මහල් Broadway Arts Tower නැමැති  නිර්මාණාත්මක කාර්යාල ගොඩනැගිල්ල තුළ පිහිටි මෙම ”ගෝල්ඩ් රූම් ස්ටුඩියෝ” හි වටිනාකම මිල කළ නොහැකි බව සදහන් වේ. 
 
මෙම චිත්‍රාගාරය තුළ ඇති සංස්කරණය සදහා නිර්මාණිත දැවන්ත පසුතලය ද (green screen background) විශේෂිත වේ. එහි දැවැන්ත කෘත්‍රිම මුහුදු වෙරළක පටිගත කිරීම් සිදු කිරීමේ හැකියාව පවතී. 
 
ඉදිරි කාලයේ දී මෙම චිත්‍රාගාරය තුළ නව ව්‍යාපෘති ඔස්සේ නිර්මාණ රැසක් පටිගත කිරීමට සැලසුම් සකස් කර ඇති බවත් සිය ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් ලෙසත් නිරෝෂන් කහවත්ත මහතා වැඩිදුරටත් සදහන් කළේය. 
 

Comments