හෝද හෝදා මඩේ දාන සාරා ජෙස්මින්ගේ කතාව | සිළුමිණ

හෝද හෝදා මඩේ දාන සාරා ජෙස්මින්ගේ කතාව

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට 2019 අප්‍රේල් 21 ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමදු හස්තුන්ගේ බිරිය පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් තවමත් ජීවතුන් අතර සිටීද? එසේත් නැතිනම් ඇය එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මිය ගියාද? මේ ගැන විමර්ශනවල නියුතු රහස් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මුහුණපා සිටින බරපතළම ගැටලුව මෙයයි.

රටම කැලඹූ මේ ප්‍රශ්නයට විසඳුම සොයා ගැනීම භාරව තිබුණේ රහස් පොලිසියටය.

2019 අප්‍රේල් මාසයේ 21 වැනිදා කතෝලික දේවස්ථාන තුනක්, තරුපහේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටකදීම සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ප්‍රහාරයෙන් අනතුරුව රහස් පොලිසිය සහ බුද්ධි අංශ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී අම්පාර දිස්ත්‍රික්කයේ සායින්දමරුදු ප්‍රදේශයේ මේ අන්තවාදින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නය ගැන තොරතුරු හෙළිවිය. පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය මේ ආරක්ෂිත නිවස්නය වටලන්නේ ඒ අනුවය. ඒ පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසුවය. එනම් අප්‍රේල් 26 වැනිදාය.

පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය මේ ආරක්ෂිත නිවස්නය වටලන අවස්ථාවේදී සහරාන් හෂීම්ගේ පියා, සහෝදරයා, බිරිය, දරුවා සහ ප්‍රහාරකයන්ගේ බිරින්දෑවරු ඇතුළු 17 දෙනෙක් සිටියහ.

ආරක්ෂක අංශ නිවෙස වටලා ඇති බව දැනගත් සහරාන්ගේ සොයුරු මොහොමඩ් රිස්වාන් ඔහුගේපියා සහ සාරා ජෙස්මින් ද මරාගෙන මැරන ඇඳුම් ඇඟලා ගැනීමෙන් අනතුරුව ගෑස් ටැංකියක් සහ මෝටර් බයිසිකලයක් විසිත්ත කාමරයට ගෙනැවිත් ආගම සිහිකරගෙන බෝම්බ පුපුරවාගෙන ඇත්තේ තත්පර කීපයකදීය. සිය දිවි නැතිකර ගැනීමට බිහිවූ සහරාන්ගේ බිරිය ෆාතිමා හාදියා ඇගේ දියණිය සමඟ කාමරයකට රිංගාගෙන දිවි ගලවා ගත්තාය.

දිවි ගලවා ගත් දෙදෙන රෝහල්ගත කැරිණි. බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය 16 දෙනාගේ සිරුරු කොටස්වල සාම්පල නවයක් ඩී.එන්.ඒ. පරීක්ෂණයට ලක්කර අම්පාර පොදු සුසාන භූමියේ භූමදානය කැරිණි.

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තුන්ගේ බිරිය පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් ගැන තොරතුරු රැසක් හෙළිවන්නේ ඉන් අනතුරුවය.

සාරා මේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවීමට පෙර තම නිවෙසේ සිටිනු දුටු බවට සහරාන් හෂීම්ගේ බිරිය ෆාතිමා හාදියා ප්‍රකාශ කර තිබිණි.

සාරා මෙම ප්‍රහාරයේදී මිය නොගිය බවටත් ඈ බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගිය බවටත් පාස්කු කොමිෂන් සභා විමර්ශනයේදී ද කියැවිණි.

සයින්දමරුදු ප්‍රහාරයේදී මිය ගිය 16 දෙනාගේ සිරුරු කොටස් තෙවැනි වරටත් ගොඩගෙන ඩීඑන්ඒ පරීක්ෂණයට යොමුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් කරන්නේ මේ අතරය. මීට පෙර අවස්ථා දෙකකදී මේ සිරුරු කොටස් ඩීඑන්ඒ පරීක්ෂණ සඳහා ගොඩගෙන තිබුණත් එම සිරුරු කොටස් අතර සාරා ජෙස්මින්ගේ සිරුර කොටස් තිබුණු බව හෙළි වූයේ නැත.

රහස් පොලිස් කණ්ඩායමක් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිරුරු කොටස් ගොඩ ගැනීම සඳහා අවසරය ලැබිණි. ඒ අප්‍රේල් මාසයේ 26 වැනිදාය. සායින්දමරුදු ප්‍රහාරයෙන් වසර 3ක් ගතවන මොහොතේ එම සිරුරු කොටස් ගොඩ ගැනීම ද සුවිශේෂිය.

අම්පාර මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මසේන මහත්මිය ඉදිරියේදී මේ සිරුරු කොටස් එලෙස ගොඩගැනීම සිදුවිය. ඒ 27 වැනිදාය. අම්පාර පොදු සුසාන භූමියේ අදාළ සිරුරු වළදමා තිබූ ස්ථානය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබිණි. අම්පාර නගර සභාවට අයත් බැකෝ යන්ත්‍ර මේ සඳහා යොදාගෙන තිබුණ අතර කම්කරුවන්ගේ සේවය ද ඒ සඳහා ලබාගෙන තිබිණි.

සිරුරු කොටස් ගොඩගෙන එහි නියැදි ලබා ගැනීම අධිකරණ වෛද්‍ය විශේෂඥ රුචිර නදීර යටතේ සිදුකැරිණි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, රහස් පොලිසියේ පොලිස් අධිකාරි ජයතිලක, අම්පාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්, ඇඹිලිපිටිය පොලිස් අධිකාරි ලසන්ත දඩල්ලගේ, අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර සහ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් මේ විමර්ශන සඳහා එක්ව සිටියහ.

දීපාල් සමරසේකර 
ඡායාරූප - දිගාමඬුල්ල, චන්දන ලියනාරච්චි

Comments