ගමේ සරම කොළඹ හතට ගෙන ආ වර්ණවත් විලාසිතාකාරිය | සිළුමිණ

ගමේ සරම කොළඹ හතට ගෙන ආ වර්ණවත් විලාසිතාකාරිය

 

බාබරා සන්සෝනි නම් වූ ඒ ගැහැනිය අප හැර දා යන්නේ ජීවත් වූ කාලයේ සෑම තත්පරයකම වටිනාකම ජාතියේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් බිහි කළ සාර කෙතක මහා අස්වැන්නක් ඉතිරි කරමිනි.

බාබරා සන්සෝනි උපදින්නේ වර්ෂ 1928 අප්‍රේල් 22 දාය. සිය 94 වැනි ජන්ම දිනය සපුරා දින දෙකකින් පසු එනම් පසුගිය 24 දා ඇය නික්ම ගියාය. පුරා වසර 94ක් යනු සියවසකට ආසන්න කාලයකි. යුගයක් රූපණය කරන කාලයකි. සැබෑ ලෙසම ඇය අපේ රටේ එක්තරා යුගයක් රූපණය කළාය. මේ සටහන තැබෙන්නේ ඒ වෙනුවෙන් කෙරෙන උපහාරයක් ලෙසිනි.

ඇය ගැන සිංහල සමාජය දන්නේ අල්ප වශයෙනි. ගමේ රෙදි ඉස්කෝලේ වියූ ලාභ අත්යන්ත්‍ර රෙදිකඩක් අන්තර්ජාතික වෙළෙඳපොළ දිනා දුන් කලා කෘතියක් බවට පරිවර්තනය කළ දෘෂ්ටි පූර්ණ කලා කාරිනිය වූයේ ඇයය. මේ පරිවර්තනීය වෙනස ඇය ලෝකයට අරගෙන ගියේ 'බෙයාෆුට්' කලාගාරය ඔස්සේය.

ලෝක සම්භාවනාවට පාත්‍ර වූ බෙයාෆුට් හි නිර්මාතෘවරිය බාබරාය. ඒ සංකල්පය අපූරුය. අත් යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තය ෆැක්ටරිගත ව්‍යාපාරයක් නොකර කලා ගාරයක ප්‍රදර්ශනය වන කලා කෘතියක් බවට පත් වන්නේ ඇගේම සිතුවිල්ලකට අනුවය

අප දන්නා පරිදි බාබරා සන්සෝනි මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, චිත්‍ර ශිල්පිනියක් සහ නිර්මාණ කරුවෙක් ලෙස විනා ව්‍යාපාරික කාන්තාවක් ලෙස කුමන අවස්ථාවකවත් පෙනී සිටියේ නැත. මහා සමාජ ව්‍යාපාරයක් පවත්වාගෙන අනේකවිධ සමාජ ව්‍යාපෘතිවල නිරත වුවද නිහඬව සිය ජීවන දර්ශනය හැසිරවිය හැකි ගැඹුරක් ඇයගේ චින්තනය තුළ පැවතිණි. බාබරාව අපේ සමාජය නොදන්නේත් එබැවිනි. එහෙත් මේ සම්භාවිත නිර්මාණකාරියගේ මඟ පෙන්වීම යටතේ ඈත වන්නි හත් පත්තුවේ අසරණ ගැහැනුන්ගේ අතින් නිමවෙන අත්යන්ත්‍ර රෙදිපිළි බෙයාෆුට් හරහා මේ රටේ මහා ධනවත් පන්තියට විවරවුණු වෙළෙඳපොළ ස්පර්ෂ කළේය. එතැනින් නොනැවතී ලෝකයට ගියේය. දුගී ගැමි කාන්තාවකගේ සහජාශය පුබුදුවා ඇයගේ කලාත්මක භාවයන්ට වටිනාකමක් ලබා දී ආර්ථිකව ඇය ශක්තිමත් කිරීමේ ක්‍රියාන්විතය ඇය මේ පොළොවේ යථාර්ථයක් කර තිබිණි.

බාබරා කවුද?

සියවස් තුනකට පෙර අතීතයේ දී බාබරා ගේ ඥාතීන් ලංකාවේ නැත. ඔවුන් නෙදර්ලන්තයේ බෘගස් නගරවාසීන්ය. බාබරාගේ මී මිත්තණිය එනම් අම්මාගේ ආච්චි අම්මා එතල් වැන් ලැන්ගර්න්බර්ග්ය. ඔවුන් ලංකාවට එන්නේ 17 වැනි සියවසේ දීය.

එදා මේ රටට පැමිණි බාබරාගේ මිත්තණිවරු මේ රටේ ගැමි ගැහැනියගේ ආර්ථිකය වෙනස් කිරීම වෙනුවෙන් කොළඹ සමාජය තුළ පරිවර්තනීය වෙනසක් කළ පුරෝගාමීන්ය. “කලම්බු ලේඩීස් ලීග්“ කාන්තා සංගමය පිහිටුවීමේ මූලිකයන් වූ ඔවුන් සම්ප්‍රදායික මැහුම් ගෙතුම් පරිචය සහිත ගැමි කාන්තාවට විද්‍යානුකූල දැනුමක් ලබා දී එය කර්මාන්තයක් බවට පත්කරගන්නා ආකාරය කියා දුන්හ. ඔවුන්ගේ නිෂ්පාදන සඳහා කලම්බු ලේඩීස් ලීගය හරහා වෙළෙඳපළක් හදා දුන්හ. බාබරා බෙයාෆුට් හරහා ප්‍රායෝගික කළේ ඇයගේ මිත්තණිවරු මේ සමාජයේ රෝපණය කළ චින්තනය ය.

අධ්‍යාපනය සහ ජීවිතය

බාබරාගේ පියා ආර්. වයි. ඩැනියෙල් යටත් විජිත රජයේ ඒජන්තවරයෙකි. ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ඉන්දියාවෙ කෝඩිකනල් කන්‍යාරාමයෙනි. එහිදී ඇයට හමුවන ලෝකයට පෙර පාසල් අධ්‍යාපනය දායාද කළ මාරියා මොන්ටිසෝරි අධ්‍යාපනය සම්බන්ධව ඇගේ චින්තනය වෙනස් කළ ආකාරය පසු කලෙක ඇය කියා තිබුණාය.

“ගණන් හදන්න, කියවන්න අකමැතිනම් චිත්‍ර අඳින්න“. ඇය වර්ණ අතර සැරිසරමින් ජීවිතය සිතුවම් ඔස්සේ කියවන්නට පටන් ගන්නේ ඒ උපදේශයන් සමඟිනි.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් පාසල් අධ්‍යාපනයේ අවසන් වසර සම්පූර්ණ කරන බාබරා වර්ෂ 1947 දී එංගලන්තයේ “චෙල්සියා ස්කූල් ඔෆ් ආර්ට්“ හි නිර්මාණකරණය සම්බන්ධව පස් වසරක උසස් ඩිප්ලෝමාවක් හදාරන්නීය.

බාබරා සන්සෝනි ලෝකය ඉදිරියේ මහා විශාල ගැහැනියක වූවාය. ඇයට 1970 දි ජේ. ඩී. රොකෆෙලර්, ජාත්‍යන්තර සම්මානය පිරිනැමුණි. 1974 - 75 කාලයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අත්කම් උපදේශක ලෙසත් කටයුතු කළ ඈ 2001 වසරේ හාවඩ් සරසවියේ දේශකවරියක ලෙස කටයුතු කළාය.

බාබරා සිය මුල් විවාහයට ඇතුළත් වන්නේ වර්ෂ 1952 දී ය. හිල්ඩන් සන්සෝනි සමඟ ඇයගේ ප්‍රීතිමත් විවාහයේ ප්‍රතිඵලය වූයේ සයිමන් සන්සෝනි සහ ඩොමිනික් සන්සෝනි දෙදරුවන්ය. වර්ෂ 1979 දී හිල්ඩන් දිවියෙන් සමුගත් පසු ඕස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකු සහ ගෘහනිර්මාණශිල්පියකු වන රොනල්ඩ් ලිව් කොක් සමඟ යුග දිවියට එළෙඹෙන්නීය.

බෙයාෆුට් ආරම්භය

මේ ලෝ ප්‍රකට ව්‍යාපෘතියට මුල්වන පළමු වස්තුබීජය ඇතිවන්නේ වර්ෂ 1958 දී නායකකන්ද යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ එවකට සිටි ප්‍රධාන කන්‍යා මව්තුමියගේ ඉල්ලීමකිනි. ඒ කන්‍යාරාමයේ වියන රෙදිවල නිර්මාණාත්මක වෙනසක් කිරීමට ඇයට කළ ඇරයුමය.

විචිත්‍ර වර්ණයෙන් යුතු ඝර්ම කලාපික පරිසරයේ ස්වභාවික දීප්තිමත් වර්ණ සංකලනය අත්යන්ත්‍ර රෙදිපිළි සඳහා භාවිතය ඇය අත්හදා බලන්නේ එතැන දී ය. මේ ආකර්ෂණීය පරිවර්තනයත් සමඟ රෙදිපිළි නිර්මාණය ගැමි කාන්තාව අතරට ගෙන ගිය ඇය මුලින්ම එම නිර්මාණ බම්බලපිටිය සිය නිවෙසේ තැන්පත් කර සිය සමාජයට හඳුන්වා දුන්නාය. බම්බලපිටිය බෙයාෆුට් කලාගාරය වර්ෂ 1964 දී බම්බලපිටියේ දී ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

ඉන්පසු එම කලාත්මක ව්‍යාපාරය අන්තර්ජාතික තලයේ ලාංකේය සලකුණක් වූයේය. ඉන් අනතුරුව බෙයාෆුට් හි සැලසුම් ශිල්පිනියක් ලෙස අපට සිටි කීර්තිධර ගෘහ නිර්මාණ ශිල්පීන් වුණු ලකී සේනානායක, ජෙෆ්රි බාවා, උල් රිප්‍රෙස්නර් වැනි බාබරාගේ සමකාලීන වෘත්තිය සගයින් හා කටයුතු කළාය. ඔවුන්ගේ තරු පන්තියේ සුපිරි හෝටල් ඇතුළත් ගෘහ නිර්මාණවල අභ්‍යන්තර සැලසුම්කරණයේ ප්‍රධාන කොටසක් සිදු වූයේ ඇය අතිනි. එම හෝටල්වල ඇඳ ඇතිරිලි සහ තිර රෙදි සොබා දහමේ විචිත්‍ර වර්ණ සහිත අත්යන්ත්‍ර රෙදිපිළිවලින් නිමවා බාබරා ඊට එක් කළ අගය අදත් පැසසුමට ලක් වෙමින් තිබේ. බෙයාෆුට් මේ දැවැන්ත නිර්මාණ කාර්යය කළේ තරු හෝටලයක් ඈතකටවත් නුදුටු ගමේ නිර්මාණශීලී ගැහැනියගේ හැකියාවන් කළමනාකරණය කරමිනි.

බාබරා ගත් කතුවරියකි. Vihares and Vearandas, සහ Architecture of an Island, යන වටිනා කෘති දෙක සිය ගෘහනිර්මාණ සැලසුම් චිත්‍රණයන්ගෙන් සමන්විතකොට එළිදැක්වුවාය.

‍මේ සමාජය තුළ නිහඬව හිඳිමින් සමාජ ප්‍රගමනය සඳහා හඬක් දුන් බරසාර චරිත දුලබය. බාබරා සන්සෝනි ගැන ලියැවෙන්නේ ඒ විශිෂ්ට පරිණත මානවීය ගුණය හේතුවෙනි. බෙයාෆුට් ඔස්සේ ඇය බිහිකළ සමාජ ආර්ථික චින්තන ධාරාව දීප්තිමත් වර්ණාවලියක් වැන්න.

 

 

Comments