සිනමාවයි සාහිත්‍යයයි යා කළ කලාකරුවා - තිස්ස අබේසේකර | සිළුමිණ

සිනමාවයි සාහිත්‍යයයි යා කළ කලාකරුවා - තිස්ස අබේසේකර

සිංහල සිනමාව නව මඟකට ගෙන ඒමේදී අපේ රටේ සම්පාදනය වූ වාර්තා චිත්‍රපටි මඟින් ලැබුණු පසුබිම කිසිසේත් බැහැර කිරීමට හැකියාවක් නැත. රජයේ චිත්‍රපටි අංශයේ සේවය කළ අබේසේකරයන් බහුතරයකගේ අවධානයට යොමු වූ වාර්තා චිත්‍රපටි හතළිහක් පමණ නිර්මාණය කර තිබේ. එම ආභාසය එතුමන්ට සිංහල සිනමාවට පැමිණෙන්නට මඟ පෑදූ ප්‍රධානම හේතුවක් විය.

 

මේ අවදියේ දී අබේසේකරයන්ට සිංහල සිනමාවේ දැවැන්තයකු හා අග්‍රගණ්‍ය සිනමාවේදියකු වූ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරීසුන් යටතේ නිර්මාණකරණයේ නියැළෙන්නට අවස්ථාව උදා වේ. ඒ අනුව අබේසේකරයන් ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරීසුන් සමඟ ප්‍රථමයෙන්ම සම්බන්ධ වන්නේ, දෙබස් රචකයකු ලෙසිනි. ඒ මහා ගත්කතුවර මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් නිර්මාණය වූ “ගම්පෙරළිය” චිත්‍රපටයේ ය.

එසේ දීර්ඝ කාලයක් වෘත්තාන්ත චිත්‍රපටි සම්පාදනයේ නිරත වූ අබේසේකරයන් තම අරමුණ සාර්ථක කර ගනිමින් සිංහල සිනමාවට වෘතාන්ත චිත්‍රපටියක් දායාද කරන්නේ, වර්ෂ 1980 දි ය. සිංහල සිනමා වංශකතාවේ මතකයේ රැ‌‌ඳුණු චිත්‍රපටියක් වූ එය නමින් “කරුමක්කාරයෝ” ය. ප්‍රවීණ සාහිත්‍යවේදියකු වූ ගුණදාස අමරසේකර සූරීන්ගේ සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් නිර්මිත ඒ චිත්‍රපටය සිංහල සිනමාවේ 440 වන චිත්‍රපටය ලෙසද වාර්තා වේ.

සිනමාව ආශ්‍රිතව අබේසේකරයන්ගේ නිර්මාණාත්මක ක්‍රියාකරකම් පිළිබඳව ආවර්ජනය කිරීමේ දී, එතුමන් සතුව පැවති තිර නාටක ලිවීමේ ප්‍රතිභාව ද විශේෂ වේ. බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ ද, සිනමා විෂයයෙහි ඔහු සතු නිපුණතා අතරෙන් තිරනාටක ලිවීමේ කලාව වඩාත් ඉස්මතු වූ බවයි. නිධානය, පුරන් අප්පු, වැලිකතර, කළු දිය දහර, පොඩි මල්ලී, විරාගය, අහසින් පොළවට යන සම්භාව්‍ය චිත්‍රපටි ඇතුළු තවත් චිත්‍රපටි ගණනාවකම තිරනාටක ලියූ අබේසේකරයන් සිංහල සිනමාවේ විශිෂ්ටතම තිරනාටක රචකයකු ලෙස ද පිළිගැනේ. එමෙන්ම බහුතර සිනමාලෝලීන් ගේ මතය වන්නේ, මෙරට සිනමාවෙහි තිර රචනා අංශයෙහි මෙතෙක් බිහිවූ නිර්මාණශීලී තිරනාටක රචකයා අබේසේකරයන් වන බවයි. ඒ නිසා ඔහුගේ බොහෝ තිරනාටක කෘති ලෙස ද පළ වී තිබේ. එලෙසින්ම අඩසියවසක ශ්‍රී ලංකීය සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටි 10 තෝරාගත් අවස්ථාවේ එහි මුල් තැනට තේරී පත් වූයේ ද අබේසේකරයන් විසින් තිරනාටකය ලියූ චිත්‍රපටියකි. ඒ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන හිමිකර ගනු ලැබූ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරීස් විසින් නිරමාණය කළ නිධානය චිත්‍රපටයි. අබේසේකරයන් සම්මානනීය තිරනාටක රචකයකු බවට ද පත් වේ. ඒ එතුමන් තිර රචනා විෂය විද්‍යානූකූලව මෙන්ම ශාස්ත්‍රීයව හදාරා ඊට තම ප්‍රතිභාව ද කැටි කරමින් නිර්මාණකරණයේ යෙදුණු බැවිනි.

සිනමාවට නැඟිමට නොහැකි යැයි කියූ නවකතා සිනමාවට නඟමින් බහුතරයකගේ මත බිඳ හෙළූ අබේසේකරයන් හෙළයේ මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ “විරාගය” නවකතාව චිත්‍රපටියකට නැඟීමට ද සමත් වේ. එපමණක් නොව, එතුමන්ගේ නිර්මාණ ව්‍යායාමයෙන් “විරාගය” සාහිත්‍ය කෘතිය සිංහල සිනමාවේ අතිශය කලාත්මක හා සිනමාත්මක චිත්‍රපටියක් බවට පරිවර්තනය කරනු ලැබී ය. වර්ෂ 1987 දී තිරගත වූ “විරාගය” චිත්‍රපටය එවක ඇතැම් විචාරකයන් හැඳින්වූයේ සිනමාත්මක කාව්‍යයක් ලෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල සිනමාවේ අඩසියවසක සිනමාවේදීන් අතර විශිෂ්ටතමයන් දසදෙනා අතරට පැමිණීමට ද අබේසේකරයන් අවස්ථාව උදා වේ.

සිංහල සිනමාව සාහිත්‍යට යා කළ අබේසේකරයන් ජනාධිපති සම්මාන, සරසවි සම්මාන (රණ තිසර සම්මානයද ඇතුළුව) ඕ.සී.අයි.සී, සිග්නීස් සම්මාන සහ සුමති සම්මාන ඇතුළු මෙරට ගෞරවනීය පුරවැසියන්ට පිදෙන දේශබන්ධු ජාතික ගෞරව සම්මාන නාමය මෙන්ම ජනාධිපති සම්මාන උළෙලෙදී ජීවිත කාලය තුළ එක්වරක් පමණක් පිරිනැමෙන ස්වර්ණ සංඛ සම්මානය හිමි කර ගැනීමට ද සමත් වේ.

අබේසේකරයන් මෙරට විවිධ කලා ක්ෂේත්‍රවලට සිදු කළ මෙහෙවර අගයමින් සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය. ඒ කොළඹ විශ්ව විද්‍යාලය මගිනි. ඔහු සිනමාව පිළිබඳ දැනුම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් රැගෙන ගිය විද්වතකු ලෙස ද ප්‍රකට වේ. වර්ෂ 2002 දී කේරළ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ජූරි සභියකු වූ අචාර්ය අබේසේකර ස්වකීය අත්දැකීම් ජාත්‍යන්තර සිනමාව තුළද ඉස්මතු කර තිබේ.

ඔහු සතු සාහිත්‍ය සහ කවීත්වය පිළිබඳව එතරම් අවධානයක් යොමු නොවුණ ද, ඔහු නිර්මාණශීලී සාහිත්‍යකරුවකු ද වේ. සිංහල කෙටිකතා සංග්‍රහයක් සහ ගීත සමුච්චයක් ද ඔහුගේ නිර්මාණ අතර වේ. ඉංශ්‍රීසි භාෂාවෙන් සාහිත්‍ය කෘති පළ කළ එතුමන් (Bringing Tony Home) “ටෝනී නිවසට ගෙන ඒම” ප්‍රබන්ධය සඳහා ග්‍රේෂන් සම්මානය හිමි කර ගැනීමට ද සමත් වී තිබේ.

 

Comments