අරගල කොතැනද පෙරටුගාමීන් එතැන | සිළුමිණ

අරගල කොතැනද පෙරටුගාමීන් එතැන

බ සහ ඔබගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇයි මේ රට ගිනි තියන්න හදන්නේ?

ඇත්තටම මං හිතනවා ඒ ප්‍රශ්නය නිවැරැදි නැහැ. නමුත් මේ ප්‍රශ්නය ඇතුළේ කරුණු කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න. පළමුවැනි කාරණය රට ගිනි තැබීම කෙසේ වෙතත් බරපතළ ආණ්ඩුව විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න, රාජපක්ෂවරුන් ගෙදර යන්න ආණ්ඩුව ඉවත් වෙන්න කියල 225 ම එපා කියන තැනට මේ රටේ මහජන විරෝධයක් තියෙනවා. ආණ්ඩුවට ඡන්දය දුන්නු ජනතාව තමයි මේ ක්‍රියාවලියෙ ඉන්නෙ. ඒක තමයි ඔබ අහන ප්‍රශ්නයේ එක තත්ත්වයක්. එවැනි තත්ත්වයක් ඇතුළේ ජනතාව ස්වාධීනව ස්වේච්ඡාවෙන් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සම්පූර්ණයෙන්ම අසාර්ථක ආණ්ඩුවක් එළවන්න මැදිහත්වෙලා තියෙන වෙලාවෙ අපි හිතනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වාමාංශික පක්ෂයක් හැටියට ඒ විරෝධය ඇතුළේ කටයුතු කරන්න ඕනෑ කියලා. එහිදී තමුන්ගේ කාර්ය භාරය කරන්න ඕනෑ; ජනතාවගේ සැබෑ ජයග්‍රහණයක් සඳහා මේ විරෝධය ඉස්සරහට ගෙනියන්න ඕනෑ කියලා. පහුගිය කාලෙ ජනතාව ඒ අරමුණෙන් එතෙන්ට සම්බන්ධ නූනත් ඇත්තටම මේ අවුරුදු 74 ක් තුළ මේ තිබුණු ක්‍රමයත් ප්‍රශ්න කරන තත්ත්වයක් ඇවිල්ල තියෙනවා. ධනේශ්වර ක්‍රමය ප්‍රශ්න කරන තත්ත්වයක්. මේ ධනේශ්වර ක්‍රමයේ හා නව ලිබරල් උපාය මාර්ගවල අසාර්ථකකම තමයි මේ තියෙන්නෙ. නමුත් ඒක ප්‍රශ්න කෙරෙන්නෙ ගෝඨාභය ගෙදර යන්න, මහින්ද රාජපක්ෂ ගෙදර යන්න, රාජපක්ෂ පවුල ගෙදර යන්න කියන තැනට ඇවිල්ලයි. නමුත් මේ ක්‍රමය ප්‍රශ්න කිරීමක්. ඒ නිසා අපි දිගින් දිගට කියන මේ ක්‍රමය අසාර්ථකයි, මේකෙ ඇතුළෙ තවදුරටත් ජනතාවගෙ මූලික ප්‍රශ්නවලටත් උත්තර දීගන්න බෑ කියන තැනට මේ ප්‍රශ්නය පත්වෙලා තියෙන්නෙ. මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා වෙච්ච අරගලයට; මේ නතුවෙලා තියෙන විරෝධය කොහොමද සංවිධානය කරගන්නෙ, ජනතාව එතෙන්ට දැනුවත් කිරීම තමයි මේ විරෝධය ඇතුළෙ අපේ කාර්ය භාරය වෙන්නෙ.

දැන් ඔබ කිව්වට මේක ජනතාවගේ එකක් කියලා නමුත් ඇත්තටම දැන් මේ ගෝල්ෆේස් උද්ඝෝෂණයේ ඉන්නෙ අයි.යූ.එස්.එෆ්. එකේ ළමයි ටිකයි කැම්පස් ළමයි ටිකයිනෙ. ඔබ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙ. ඒ හින්ද ඔබ කොහොමද කියන්නෙ මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුවට මෙහෙම යන්න කියනවා කියලා.

නෑ. අද වෙනකොට මේක සාමාන්‍ය සමාජ මාධ්‍ය පාවිච්චි කරන, මාධ්‍යවලට සමීප, තොරතුරු සන්නිවේදනයට සමීප කවුරුත් දැන් දන්නවා මේ අරගලය කොහොමද පැන නැඟුණේ කියල. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවල, යූ ටියුබ්, වට්ස්ඇප්, විවිධ ෆේස්බුක් කැම්පේන් හරහා සමාජ මාධ්‍ය ගෘෘප් කණ්ඩායම් හරහා තමයි මේ විරෝධය නිර්මාණය වුණේ. ඒ හරහා තමයි මේක අද වෙනකොට මේ ගෝල්ෆේස් එකේ අඛණ්ඩ අරගලයක් බවට පත්වෙලා තියෙන්නෙ. එතකොට මං ඒකයි කිව්වෙ මේකෙ එක පැත්තකින් විවිධ පාර්ශ්ව තම තමන්ගේ දේශපාලන කටයුතු දකින දැක්ම අනුව සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතා පැහැදිලිව වගකීමෙන් අපි මේ රජයට, රටේ ජනතාවට අපි පෙරටුගාමී පක්ෂය හැටියට මේ අරගලය ඉතාම සාමකාමී ලෙස රටේ ජනතාවට ඇත්ත ජයග්‍රහණ ගන්න පුළුවන් තැනකට මේක පෙරළා ගැනීම සඳහා අපි මේක ඇතුළේ ක්‍රියාකාරී වෙනවා. එතකොට විවිධ විශේෂ සංවිධාන වෙන්න පුළුවන්; විවිධ කම්කරු වෘත්තීය සමිති සංවිධාන වෙන්න පුළුවන්; ගොවි සංවිධාන වෙන්න පුළුවන්. මේක ඇවිල්ල තවදුරටත් මේ ව්‍යවස්ථාව නිසා ආව හදිසි ප්‍රශ්නයක් නෙවෙයි ජීවත් වීමේ නොහැකියාව නිසා සම්බන්ධ ප්‍රශ්නයක්. රටේ මතුවෙන ඕනෑම අන්තනෝමතික ක්‍රියාමාර්ගයන්ට ඒ වගේ ම මේ ක්‍රමය ප්‍රශ්න කෙරෙන අරගලයන් තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතාම නිවැරැදිව එම අරගලත් සමඟ සිටගන්නවා. ඒ වගේ ම ඒවායේ තියෙන සීමා මායිමුත් හඳුනා ගන්නවා; ඒවායේ දිග පළලත් හඳුනා ගන්නවා. ඒ වගේ ම ජනතාවගේ අවබෝධය මේක ඇතුළෙ වඩා ඉහළ තැනකට ගෙන යන්න අපි ඉතාම අවබෝධයෙන් මැදිහත් වෙනවා. ඒක අපි අපේ වගකීමක් හැටියට සලකන්නෙ. ඒ සම්බන්ධව අපේ දෙගිඩියාවක් නැහැ. මූලික අරමුණ අපේ සම්බන්ධ වෙන අරමුණේ අපට තියෙනව නිශ්චිත ඉලක්කයක්. මේ වෙලාවෙ අපිට බොහොම පැහැදිලි අදහසක් තියෙනවා. මේක ඉදිරියේදී මොන විදිහට මාරු වුණත්, බල මාරු වුණත්, අන්තර්වාර ආණ්ඩු මොනව ආවත් මේ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. කවුරු ආණ්ඩු කළත්, මොන පක්ෂය ආණ්ඩු කළත්, මොන විදිහට මේ පාලන ක්‍රමය මාරු වුණත් ජනතාව බල ගන්වන ජනතාව අඛණ්ඩව තමුන්ගෙ බලය පරිහරණය කරන ව්‍යුහයක් එළියෙ තියෙන්න ඕනෑ. එහෙම ක්‍රමවේදයකට මේක තල්ලු වෙන්න ඕනෑ. අද වෙනකොට මේ අරගලය ඇතුළෙ ඒ පණිවිඩය තියෙනවා. ජනතාව පාරට බැහැල තමුන්ගෙ බලය ප්‍රදර්ශනය කරල තියෙනවා. බලය නිසා ආණ්ඩුවලට යම් යම් අකුළා ගැනීම් කරන්න සිද්ධවෙලා තියෙනවා. මේක ව්‍යවස්ථාවේ නැති වුණාට මේක වැඩ කරන බව පේනවා අපිට. මෙන්න මේක ස්ථාවර ව්‍යුහාත්මක බලයක් බවට කොහොමද පත් කරගන්නෙ කියන එකේ ඒකට අදාළ අධ්‍යාපනය ජනතාවට දෙන්න අපි මැදිහත් වෙනවා.

ඔබ පිළිගන්නවද ගෝල්ෆේස් උද්ඝෝෂණයේ ඉන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂෙ අය කියල?

මෙහෙමයි. ඒක හරි නිශ්චිතයි. අද වෙනකොට මේ අරගලයට මම දන්න තරමින් නම් මගේ දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති අපේ දේශපාලනයට කොයි විදිහටවත් එකඟතාවක් නැති පිරිස් ගෙන් අහල බැලුවම මේක අද වෙනකොට සෑම දෙනාගේම පොදු අරගලයක් වෙලා තියෙනවා. මේකෙ විවිධාකාර වැඩ කරන අය ඉන්නවා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුළෙ ස්ථිරවම අපි සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිත්වයක ඉන්නවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට.

ඒ කියන්නෙ ඔබ පිළිගන්නව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයනුත් මේකෙ ඉන්නව කියල?

අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම ගෝල්ෆේස් එකේ ක්‍රියාකාරිත්වය ඇතුළෙත් අනිවාර්යෙන් සක්‍රීය දායකත්වයක් අපි දක්වනවා. හැබැයි අපි කියන්න ඕන ඒක මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ විසින් කැඳවපු අරගලයක් නෙවෙයි. අපිට අවශ්‍ය නැහැ ස්වාධීනව ගොඩනැගුණු අරගලයකට අපේ නාමකරණයක් දාගන්න. ඒ වගේ ම අපේ නාමකරණයක් මෙතෙන්ට දාල සාමාන්‍ය ජනතාව මේකට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්න විවිධ උත්සාහයනුත් අපි හෙළා දකිනවා. දැන් අපි දන්නව රඹුක්කන සිද්ධියක් වුණා; තෙල් මිල වැඩිවීමත් එක්ක. ආවේගයට පත්වෙච්ච ජනතාව තමුන්ගේ විරෝධය සාමකාමීව දැක්වුවා. එතකොට පොලිසිය ආවම එතනට; පොලිසිය කිව්වම පොලිස් දෙපාර්තමේන්තුවම මේකට අයත් වෙනව. නමුත් මම එහෙම කියන්නෙ නැහැ. එතන හිටපු යම්කිසි කණ්ඩායමක් ඉතා පැහැදිලිව සවිඥානිකව අවම බලය පාවිච්චි කරනව කියල කෙලින්ම ජීව උණ්ඩ පාවිච්චි කරල වෙඩි තිබ්බා. මම දන්නෑ උපරිම බලය කියන්නෙ ලොකු මිසයිල ප්‍රහාර එල්ල කරන එක ද කියලා. එතකොට මේ රබර් උණ්ඩ වගේ ක්‍රියාදාමයන් ගන්නෙ නැතුව එතකොට අපට පේනව ගිනි තැබීම් සිද්ධ වෙලා තියෙනවා. ඒවගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් තත්ත්වයට පත් කළාම ඒකෙ වාසිය ආණ්ඩුවට ගන්න පුළුවන්.

නෑ, ඇත්ත වශයෙන් ම එතන වුණේ දැන් සාමාන්‍ය ජනතාව, කොල්ලො කෙල්ලො ෆේස්බුක් හරහා සංවිධානය කරපු උද්ඝෝෂණය පෙරටුගාමීන් හයිජැක් කළා කියල තමයි සමහරු කියන්නෙ. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

පළවැනි කාරණය ඒ අරගලය එහෙම කාටවත් හයිජැක් කරන්න බෑ. මොකද මං ඉස්සෙල්ලා කිව්ව වගේ ඒකෙ ආර්ථික වශයෙන් විවිධ ස්ථර, ක්‍රියාකරන කම්කරු පන්තියේ ජනතාව, පෞද්ගලික අංශයේ රැකියා, ආර්ථික මට්ටම් විවිධ තලවල ඉන්න, ඉහළ මැද පන්තියට අයිති විවිධ සමාජ කණ්ඩායම් විවිධ සංස්කෘතික කණ්ඩායම් මේ සියලු දෙනාම මෙතනට සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි අපි ඉතා වගකීමෙන් ආරම්භයේදී කිව්ව කාරණය නැවතත් කියනවා. මේ රටේ ජනතාව දැන් මේකට නිකන් ආව නෙවෙයිනෙ. මේක නිකන් පැන නගින තත්ත්වයක් නෙවෙයි. මේක මේ රටේ රාජපක්ෂ ආණ්ඩුව, මෙතෙක් බලයේ හිටපු ආණ්ඩු මේ රටේ ජනතාව පත් කරල තියෙන තත්ත්වයක්. ඒ තත්ත්වයට දක්වන ප්‍රතික්‍රියාව මේ ඇවිල්ල තියෙන්නෙ. මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධයක්. රටේ ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් ආවා. රෑට ගෙදර ඉන්න ලයිට් නෑ; තෙල් නෑ; ගෑස් නෑ. එතකොට මේකත් එක්ක ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ආවා. මේකත් එක්ක ජනතාවගේ විරෝධය. ඒ විරෝධය සංවිධානය වුණ විදිය තමයි නූතන ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවෙච්ච දේ. ඉතින් ඒක තමයි සිද්ධ වෙච්ච දේ. මං වමේ පක්ෂයක් හැටියට ඉතා වගකීමෙන් වසර ගණනාවක් තිස්සේ දැවැන්ත කැපකිරීම් කරමින් දේශපාලනය කරන්නෙ ජනතාවට ජයග්‍රහණ ගේන්න. ඒ නිසා ඒ ජයග්‍රහණ ගේන්න පුළුවන් එකම මාවත සමාජවාදී දේශපාලන ක්‍රමය කියලා විශ්වාස කරනවා. නමුත් ඒ සඳහා යන ගමනෙදි අපි අඩුම තරමින් මේ ජනතා බලය හසුරුවන මේ ක්‍රමවේදය වඩාත් සංවිධිත ක්‍රමයකට මේ කියන ජනතා කවුන්සිල හදල, මේ ජනතා සභා හදල ඒක ක්‍රමානුකූලව පහළ සිට ඉහළට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ශක්තිමත් කරල පාර්ලිමේන්තුවට පිටින් මෙවැනි බලයක් අභ්‍යාස කරන ක්‍රමවේදයක් අභ්‍යාස කරන තත්ත්වයකට යන්න ඕන. ඒකයි අපි කියන්නෙ. අපේ වැඩපිළිවෙළ එතන තියෙන්නෙ. ඒ නිසා ඉතාම සක්‍රීයව මේකට සම්බන්ධ වෙනව. අපිට හයිජැක් කරන්න බෑ කිසිම දෙයක්; හයිජැක් කරන්න අවශ්‍යත් නෑ. මොකද මේවයෙ තියෙන දිග පළල, මේවයෙ තිබෙන සීමාන්ත, යන්න පුළුවන් දුර හැම එකක් ගැනම අපට අවබෝධයක් තියෙනවා. 

දැන් මේවගේ උද්ඝෝෂණය කරන්න කවුද ඔබලට ප්‍රතිපාදන දෙන්නෙ?

පෙරටුගාමී සමාජ පක්ෂය ගැන මං කතා කළොත් මූලිකව අපි ඉතාමත් දුෂ්කර කොන්දේසි ඇතුළෙ දේශපාලනය කරන්නෙ. විශේෂයෙන් ආර්ථික කරුණුවලට අනුව. ආර්ථික තත්ත්වයන්ට අනුව අපි ඉතාම දුෂ්කර අයවැයක් යටතේ තමයි අපේ කටයුතු කරගෙන යන්නෙ. අපේ පක්ෂය දුවන්නෙ කොහොමද? අපේ හිතවතුන්ගෙ ආධාරවලින්, සාමාජික මුදල්වලින් සහ විවිධ ශ්‍රම කටයුතු මගින් අපි අරමුදල් සොයන්න උත්සාහ කරනවා. රටේ සැම තැනකම පුංචි පුංචි ශ්‍රම කටයුතු කරල දුෂ්කර කොන්දේසි යටතේ කටයුතු කරනවා. මේ අරගලයේ තියෙන සුවිශේෂී තත්ත්වයන්. මේ වගේ අරගලවල විශේෂත්වය තමයි මේව ඇතුළෙ ජනතාව කොහොමද පොදු අරගලවලදි එකිනෙකා බලා කියාගෙන වැඩ කරන්නෙ කියන කාරණය. ඒක හදල තියෙන්නෙ මේ ධනේශ්වර ක්‍රමය විසින්.

ඔබ කිව්වට සල්ලි නැහැ කියල දැන් එතැන බැලුවොත් එතැන කෑම බීම ගෙනල්ල තියෙන්නෙ හොඳ හෝටල්වලින් කොළඹ තියෙන. කොහොමද එහෙම වෙන්නෙ? තුන්වේලටම කෑම හම්බ වෙනවා.

අරගලයක් එතැන නැවතිලා ඉදන් දිවා රෑ එක දිගට යද්දි මේ දේශපාලන පණිවිඩය ලංකාවට, ලෝකයට දැවැන්ත දේශපාලන පණිවිඩයක් දෙන තත්ත්වයකට ඒ අරගලය ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමකට යද්දි අනිවාර්යෙන් එතැන පැවැත්මක් හැදෙන්න ඕන. මං ඔබට ඒකයි කිව්වෙ ඒ පැවැත්මට අදාළ මැදිහත්වීම් විවිධාකාර මේ අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව අතරම ඉන්න විවිධ රැකියා කරන විවිධ ආර්ථික කටයුතුවල නියැළෙන ඉතා දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කරන අපි දන්න තරමින් ඒවට උදව් පදව් කරමින් ඉන්නවා අපට පේනව. ඉන්නෙ මහ දැවැන්ත මුදල් තියෙන අය නෙමෙයි. අපිට පේන්නෙ සාමාන්‍ය මිනිස්සු එකිනෙකාට උදව් කරගෙන යන තත්ත්වයක්. මේක මේ විවිධ ආයතනවලින් මුදල් ලබාගෙන කෙරෙන ක්‍රියාවලියක්ය කියල ඒක වෙන විදියකට දේශපාලනය විසින් මේක පින්තාරු කිරීමේ දේශපාලන වුවමනාව ආණ්ඩුවට තියෙනව. ඒක පැහැදිලියි.

ඔබ මේ වගේ පොටෙස්ට් කරන්නෙ රටක් අරාජික කරල බලය අල්ලන්න ද?

මෙහෙමයි. අවස්ථා දෙක තුනකදීම සඳහන් කරපු නිසා මම ඒක නිවැරැදි කරන්නම්. මං හිතනව ඒ කාරණය ප්‍රවිෂ්ට වෙයි කියලා. මේ සමස්ත ව්‍යාපාරය මේ පෙරටුගාමී පක්ෂයේ සංවිධායකත්වයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් සේ හුවා දැක්වෙනවා. මං ඒක ප්‍රතික්ෂේප කරනවා. නැවතත් කියන්නෙ මේක ස්වාධීනව ගොඩනැඟුණු අරගලයක්. මේ අරගලයේ දිග පළලවල් තියෙනවා. ඒවායේ සීමාකන් තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දිත් ඒ අරගලයේ තිබෙන දේශපාලන ගුණය ආරක්ෂා කිරීමටත් ඒක එල්ල කරල තියෙන අරගලයේ විශාල හරිය නිවැරැදිව සම්බන්ධ වෙමින් ඒකට සම්බන්ධ වෙලා වඩා දේශපාලනික තැනකට ගෙනයාම සඳහා මැදිහත් වෙනවා. ඒක තමයි අපේ කාර්ය භාරය. එතකොට අපි සාමාන්‍යයෙන් පෙරටුගාමී සමාජ පක්ෂය රට අරාජික කිරීම හෝ රටේ ජනතාව අපහසුතාවට පත්කිරීම හෝ අපි කියන්නෑ. ඒක අපි තරයේ ප්‍රතික්ෂේප කරන එකක්. අරගලය අරාජික කරපු, රට දුර්වල කරපු, රට බිඳ වට්ටපු රට යළි ගොඩනැගීමේ දේශපාලන ප්‍රවේශයක්.

එතකොට ඔබලා දැන් මේ වගේ දේවල් කරන්නෙ ඩිමොක්‍රසි යටතේ ඔබලට කවදාවත් නගර සභාවකටවත් කට්ටිය ඇතුළත් කරගන්න බැරි හින්දද? ඡන්ද ගන්න බැරි හින්දද?

පළවැනි කාරණය දැන් අපි ජනතාවගේ මහජන අරගලය එකින් එක විශ්වාස කරනවා. මොකද අපි එක පැත්තකින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි සමාජවාදය විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. අපි විශ්වාස කරන්නෙ මේ රටේ ස්ථිර දේශපාලන විසඳුම් ලැබෙන්න නම්, රටේ ලෝකෙ ප්‍රශ්නවලට ස්ථාවර විසඳුම් ලැබෙන්න නම් මේ අපි ජීවත්වන සමාජ ක්‍රමයේ මූලික වෙනසක් සිද්ධ වෙන්න ඕන. අපිත් මැදිහත් වෙලා වෙනත් බහු ජන සංවිධාන කම්කරු සංවිධාන සම්බන්ධ වෙලා ගොඩනැගිල තියෙන මේ ජන අරගල ව්‍යාපාරය වගේ එකක් අපි පහුගිය 27 වැනිදා මැදිහත්වීමෙන් ඒක ගොඩනැගුවා. මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමවේදය ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදයයි ගොඩනගන්න ඕන. ඒ ආර්ථික පීඩනය අවම කිරීමේ ක්‍රියාවලියකුත් නැහැ. එනිසා තමයි අපි කියන්නෙ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙන ව්‍යුහයක් අපි නිර්මාණය කරන්න ඕන කියලා. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ජනතාව සැබෑ ලෙස සක්‍රීයව දේශපාලන ක්‍රියාකාරිත්වයේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදයේ. ඒ නිසා තමයි ජනතාව සහභාගි වන ජනතාව සක්‍රීය ලෙස 365 දවසේ සක්‍රීය ලෙස දේශපාලනයේ සම්බන්ධ වෙන ජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි හිතන්නෙ ඒක තමයි පළල්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය.

දැන් ඔබ කියනව 225 ම ඕනැ නැහැ කියලා. ගෝල්ෆේස් එකේ එක සටන් පාඨයක්. එතකොට ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්ද? මොකද ඩිමොක්ක්‍රසි යටතේ රටකට නීති හදන්න පාර්ලිමේන්තුවක් ඕනෙ. ඒ ගැන ඔබ මොකද කියන්නෙ.

මම ඒක ඉතා නිශ්චිතව ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනෑ. ඒ කියන්නෙ 225 ම එපා කියන එක එකත් අපේ සටන් පාඨයක් නෙමේ. ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂෙ සටන් පාඨයක් නෙමෙයි. දෙක, ඔබ කිව්වෙ ඇත්ත. ගෝල්ෆේස් එකේ අරගලය ඇතුළෙ මේ 225 ම එපා කියන සටන් පාඨය තියෙනවා. එතකොට 225 ම එපා කියන සටන් පාඨය ආපු හේතුව අපි බලන්න ඕනෙ. ඒකට හේතුව ඒ හේතුව ඇතුළෙ කෙනෙකුට බැලූ බැල්මට මේක තාර්කික නැහැ. මේක මේ දැන් තියෙන ක්‍රමවේදය පාවිච්චි කරන්නෙ නැතුව කොහොමද ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ? මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය නැතුව වෙන ක්‍රමයක් නෑ නේද? කියල හිතන කෙනෙකුට 225 ම එපා කියද්දි තාර්කික නැහැ වගේ පෙනුමක් එනවා. නමුත් මම කිව්වෙ ඒකයි 225 ම එපා කියන සටන් පාඨයට මෙතරම් වලංගු භාවයක් එන සමාජ මනෝභාවය මොකක්ද? ඒ කියන්නෙ මේ මෙතෙක් පත්වෙච්ච ආණ්ඩු, ජනාධිපතිවරුන්ගෙන් අත්වෙච්ච ප්‍රතිඵලය ගැන තියෙන විවේචනය. මෙතෙක් කාලයක් මේ 74 වසරක මේ පාලන තන්ත්‍රයන් මේ තියෙන ව්‍යවස්ථාදායකය, විධායකය මේ කියන ඔවුන් සඳහන් කරන මේ ත්‍රිමූර්තිය ගැන උද්ධෘත ඇතුළෙ මේක ගැන තියෙන විශ්වාසය කඩවීම මේ ගැන තියෙන බලාපොරොත්තු සුන්වීම තමයි ඒක ඇතුළෙ තියෙන්නෙ. ඒක හරි බොහොම පැහැදිලි යථාර්ථවාදී ප්‍රකාශනයක්. ජනතාවගේ සමාජ මනෝභාවය තුළ පැන නැඟුණු යථාර්ථවාදී ප්‍රකාශනයක්. අපි මේක ගන්න ඕන. ඒ නිසා තමයි කියන්නෙ 225 ම එපා කියන අපේ සටන් පාඨයක් නූනට ඒක ඇතුළෙ තියෙන හැඟුම් කාරකය තමයි මේ තියෙන ක්‍රමය අසාර්ථකයි; මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය අසාර්ථකයි කියන එක.

මේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවගේ ප්‍රශ්නවලට පූර්ණ පිළිතුරු ලබාගැනීම කළ නොහැකියි කියන එක. ඉතින් ඒකයි අපි කියන්නෙ මේකට සමාජවාදී වැඩපිළිවෙළක් ජන සහභාගී ආර්ථිකයක්, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක්, ජන සහභාගී සියලුම කටයුතුවලට ජනතාව සහභාගි වන ව්‍යුහයන් ගෙන් සමන්විත ක්‍රියාවලියක් කියන එක ඒක පළල් කතාවක් ඇත්ත. ඒකෙන් මේ තියන ප්‍රශ්නවලට තිරසාර විසඳුම් සොයන්න පුළුවන් කියන එක. නමුත් ඒකයි අපි කියන්නෙ දැනට ආණ්ඩු හැදෙයි ද දන්නෙ නැහැ. අන්තර්වාර ආණ්ඩු එයිද දන්නෙ නැහැ. භාරකාර ආණ්ඩු යටතේ මැතිවරණ තියයි ද දන්නෙ නැහැ.

නැවතත් මං කියන්නෙ එළියෙ හැදෙන ජනතා ව්‍යුහ, ජනබල ව්‍යුහයන් ඒ ජනතාව ජීවත්වන සමාජීය රටාවන් පදනම් කරගෙන ජනතාවගේ ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගෙන සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ ක්ෂේත්‍ර පදනම් කරගත්ත මේ ජන බල ව්‍යුහයන් ගෙන් සමන්විත ජාතික කවුන්සිලයක් සක්‍රීය භාවයට ගෙන ඒම ඇතුළෙ කවුරු ආණ්ඩු කළත් ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගනිද්දී ජනතාවට ඒවා ප්‍රශ්න කරන්න පුළුවන් ව්‍යුහයක් බල සහිත ව්‍යුහයක් තියෙනවා. අපි යෝජනා කරන්නෙ අඩු ම තරමින් පළවෙනි පියවර යන්න ඕනෙ එතෙන්ට. ජනතා කවුන්සිල ක්‍රියාවලිය හරහා ඒ ක්‍රියාමාර්ග ජනතාවාදී කර නොගෙන යන්න බැරි, මේ කවුන්සිල මඟ හැරල යන්න බැරි කරන විදිහෙ බලයක් ජනතාව ගොඩනඟන්න ඕනෙ. මං කියන්නෙ මේක තමයි මෙතනදි යන්න පුළුවන් ඉහළම ඉලක්කය කියල මම හිතන්නෙ.

විශේෂ වාර්තාකරුවකු විසිනි

Comments