මහේල ෆේල් ද? නීටා අම්බානිගේ හඬත් අවදි වෙයි | සිළුමිණ

මහේල ෆේල් ද? නීටා අම්බානිගේ හඬත් අවදි වෙයි

මෙවර IPL තරග වාරයේ තරග 33ක් අවසන් වනවිටත් මෙකී තරගාවලිය ආරම්භයේ වඩාත්ම සාර්ථක සහ භයානක කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් එහි තරග 7 ක් ක්‍රීඩා කළ ද තවමත් මෙම තරග 7 තුළ මුම්බායි ඉන්දියන්ස් පිලේ වාසනාව ජය ගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරගාවලිය තුළ තව දුරටත් රැඳි සිටිම දුෂ්කර වී තිබේ. මේ වන විට IPL ශූරතා පහක් දිනාගෙන ඇති මුම්බායි ඉන්දියන්ස් IPL හි මෙතෙක් සාර්ථකම කණ්ඩායමකි.

නමුත් මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තත්ත්වය ඉතාමත් නරක අතට හැරෙමින් පවතින තත්ත්වයක් තුළ තරගාවලියේ තරග 7ක් අවසනයේ තවමත් ජයක් සොයමින් සිටියි. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ පසුවන තත්ත්වයක් තුළ මුම්බායි ඉන්දියන්ස් මීළඟ තරග සියල්ල ජය ගත්ත ද ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසිය හැකි බවට සාධක අවම ය.

මුම්බායි ඉන්දියන්ස් ඔවුන්ගේ මීළඟ තරග සියල්ලම ජයග්‍රහණය කළත්, ඔවුන්ට ලබා ගත හැක්කේ ලකුණු 14 ක් පමණක් වන අතර, එය ඔවුන්ට ඊළඟ වටයට යාමට කිසිසේත් උපකාරී නොවනු ඇත. මෙවන් අවිනිශ්චිත තත්ත්වයක් තුළ මුම්බායි පිල දැන් එකම තරගයක් හෝ පරාජයට වුවහොත් අනිවාර්යෙන් ම අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදුවනු ඇත. මෙම තරග වාරයේ දී, මුම්බායි ඉන්දියන්ස් සියලුම කණ්ඩායම් සමඟ තරග කර ඇති අතර ඒ සියලුම කණ්ඩායම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඒක පාර්ශ්වික පරාජයන් අත් කර දී තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වන බටහිර ඉන්දීය කොදෙව්හි කිරන් පොලාර්ඩ් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය තිබේ.

පොලාඩ්ගේ වයස අවුරුදු 34 කි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ විස්සයි20 සහ එක්දින කණ්ඩායමේ නායකයා ද වු, ඔහු IPL තරගාවලියේ අඛණ්ඩව ක්‍රීඩා කරන නමුත්, මේ වනවිට ද විශේෂ දස්කම් දැක්වීමට ඔහුට නොහැකි විය. නමුත් ඔහුගේ වාර්තාව විශිෂ්ටය. පළමු පෙළ විස්සයි20 තරග 581කදී, ලකුණු 11427 ක් රැස් කර තිබේ.එමෙන්ම ඔහු නමට කඩුලු 304 කි. කිරන් පොලාර්ඩ් ඔහුගේ විශ්‍රාම ගැන්වීම ගැන සමාජ මාධ්‍ය හරහා පවසා තිබුණේ, "මම සියලුම තේරීම් කමිටු, කළමනාකාරිත්වය සහ ප්‍රධාන වශයෙන් පුහුණුකරු පීල් සිමන්ස් වෙත මගේ කෘතඥතාව පළ කරමි. ඔහු මා තුළ ඇති හැකියාව දුටු බවත්, මෙතෙක් මගේ වෘත්තීය ජීවිතය පුරාම මා කෙරෙහි විශ්වාසය තැබූ බවත්ය.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මා කෙරෙහි දැක්වූ විශ්වාසය විශේෂයෙන් සැනසිලිදායක විය. මොකද කණ්ඩායම මෙහෙයවීමේ අභියෝගයට මුහුණ දෙන්න මම ඉදිරියට ඇවිත් තියෙනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ,මම සභාපතිට විශේෂයෙන් ස්තූති කිරීමට අවශ්‍යයි, මම නායකයා ලෙස කටයුතු කළ කාලය තුළ මට සහයෝගය දැක්වීම සහ මාව දිරිමත් කිරීම ගැන.

2007 වර්ෂයේදී පොලාර්ඩ් බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ඔහුගේ ජාත්‍යන්තර මංගල එක්දින තරග දිවිය ආරම්භ කළේ දකුණු අප්‍රිකාවට එරෙහිවය . තවද ඔහු තම අවසන් තරගය ඉන්දියාවට එරෙහිව පෙබරවාරි 20 වැනිදා කොල්කටාහිදී ක්‍රීඩා කළේය. එය විස්සයි20 තරගයක් විය. කිරන් බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් එක්දින තරග 123කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 101කට ක්‍රීඩා කර තිබුණි.

එහිදී ඔහු එක්දින ලකුණු 2706ක් රැස් කළේය. මේ කාලය තුළ ඔහුගේ නමට ශතක 3ක්, අර්ධ ශතක 13ක් සහ කඩුලු 55ක් ඇතුළත්ය. පොලාර්ඩ් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු 1569ක් රැස්කර තිබේ. ඔහුගේ නමට අර්ධ ශතක 6ක් සහ කඩුලු 42ක් ඇතුළත්ය. එකඳු ටෙස්ට් තරගයක් හෝ තම රට වෙනුවෙන් ක්‍රීඩා නොකර වැඩිම සීමිත පන්දුවාර තරග සංඛ්‍යාවක් කළ ක්‍රීඩක ලැයිස්තුවේ පොලාර්ඩ් දෙවන ස්ථානයේ රැඳී (224) සිටි අතර එම සටහනේ පෙරමුණ හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ට ය. ඔහු සීමිත පන්දුවාර තරග 238 (එක්දින තරග 143, විස්සයි20 තරග 95)කට සිය දායකත්වය ලබා දී ඇතත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් කිසිම ටෙස්ට් තරගයකටවත් ක්‍රීඩා කර නැත.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු වන රෝහිත් ෂර්මාට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පුහුණුකරු මහේල ජයවර්ධන සමඟ එක්ව මෙතෙක් විශේෂ දස්කම් දැක්වීමට හැකියාවක් නොලැබුණු තත්ත්වයක් තුළ, කණ්ඩායම දැඩි කලකිරීමට පත්ව සිටියි.

මේ නිසා ම නායක රෝහිත් ශර්මාත් දැඩි පසුබෑමකට ලක්ව සිටීයි. ඉන්දීය කණ්ඩායමේ බලවත්ම ක්‍රීඩකයෙක් වන ෂර්මාට තනියම තරගයක් කළමනාකරණය කරගත හැකි ක්‍රීඩකයෙකී.. නමුත් මෙවර රෝහිත් ෂර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පිට පිට තරග පරාජයට පත්ව තිබේ. මුම්බායි ඉන්දියන්ස් අවසන් තරගයෙන් පරාජයට පත්වීමෙන් පසු නීටා අම්බානි නායක රෝහිත් ෂර්මාට පසුබෑමකට ලක්ව ඇති දෙයක් පැවැසුවාය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සෑම වසරකම ඉතා හොඳින් දස්කම් දක්වනවා. මේ වසරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තවමත් සිය ජයග්‍රාහි ගිණුම විවෘත කර ගැනීමට නොහැකි වි තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් තරගයේදී ද අවසන් මොහොතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පරාජයට මුහුණ දීමට සිදු වූ විට කණ්ඩායම දැඩි කලකිරීමට පත් විය. කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක රෝහිත් ෂර්මා විශාල පසුබෑමකට ලක් වූ අතර, රෝහිත් ෂර්මා ද සිටියේ දැඩි කනගාටුවෙනි.

මෙකී පසුබෑමත් නීටා සහ ආකාෂ් අම්බානිත් කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට කතා කර තම කණ්ඩායම දිරිමත් කර ඔවුන්ට චිත්ත ධෛර්යය ලබා දී තිබේ. නීටා අම්බානි, තම කණ්ඩායම දුර්වල වෙනවාට අකමැති බව පවසා ඇති අතර, ඒ නිසා ම නීටා අම්බානිගේ මෙම නිර්භීත වදන් කණ්ඩායමට යම් බලපෑමක් අනිවාර්යයෙන්ම කරනු ඇතැයි විශ්වාස කෙරෙයි.

මේ අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදු කෙරුණු ආරාධනාව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කළේය

ඔහුට අමතරව හිටපු ඕස්ට්‍රේලියානු නායකයෙකු වන රිකී පොන්ටිං ද අදාළ ධූරය භාර නොගැනීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

එංගලන්ත පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ක්‍රිස් සිල්වර්වුඩ්ය. ඕස්ට්‍රේලියාවට එරෙහි අළුබඳුන තරගාවලියේ දී ලැබූ දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණයිා.

 

Comments