මම ඔයාට ආදරෙයි විශ්වීය කුමාරියට විශ්වීය ලොක්කා කියයි | සිළුමිණ

මම ඔයාට ආදරෙයි විශ්වීය කුමාරියට විශ්වීය ලොක්කා කියයි

 

ඉකුත් අප්‍රේල් මස 20 වැනි දා ලොව පුරාම දරු දැරියන් විශාල පිරිසක් සිය උපන් දිනයන් සැමරූහ. එමෙන්ම ඔවුන්ගේ මවුපියන් ඔවුනට සුබ පැතූහ. ඇතැමුන් ඒ සඳහා උපයෝගී කර ගත්තේ ට්විටර් සහ මුහුණු පොත වැනි සමාජ මාධ්‍යයන්ය.

මේ අතරින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සුබ පැතුමක් තිබිණි. “මගේ විශ්වීය කුමාරියට සුබ උපන් දිනයක්. මම ඔයාට ආදරෙයි” මීට විශ්වීය පියා එම සුබ පැතුම විය. මෙම සුබ පැතුමට සම්බන්ධ වූ පියා ක්‍රිකට් ලොවට නම් රහසක් නොවීය. ඒ ඔහු බටහිර ඉන්දීය කොදෙව් දූපත් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් බව බොහෝ දෙනා දැනගෙන සිටින නිසාවෙනි.

බොහෝ දෙනාට මෙන්ම ගේල් හටත් නම් පටබැඳී තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත වන්නේ යුනිවර්ස් බොස් හෙවත් විශ්වීය ලොක්කා ය. ගේල් මෙසේ සුබ පැතුවේ සිය එකම දරුවා වන ක්‍රිස් ඇලිනා දියණියටයි. ඇය සැමරුවේ තම 06 වැනි උපන් දිනයයි.

දශක දෙකකට වැඩි ගේල් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පුරාවටම ඔහු කළේ ලොව පුරා පන්දු යවන්නන්ව සිය පිතිහරඹයෙන් අසරණ කිරීමයි. දැන් ඔහුට විවේකයක් ලැබී තිබේ. එම ලැබුණු විවේකය හෙතෙම වැඩිපුර ගත කරන්නේ සිය දියණියත් සමඟය.

“ක්‍රිකට් නිසා මට ලොව පුරා ගත කරන්න සිදුවුණා. ඒ නිසාම දුවත් සමඟ වැඩි කාලයක් දරු සුරතල් බලන්නට මට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වුණත් මට එම අවස්ථාව දැන් ලැබිලා තියෙනවා.” ගේල් පවසයි.

ගේල් සාමාන්‍යයෙන් සිය දිවිය ගත කරන්නේ සැහැල්ලුවෙන්. ඒ වගේම ඔහු විනෝදකාමියෙක් ලෙසටත් සලකනු ලබයි. සමහර විට සෙල්ලක්කාරයෙක් විදිහටත් ඔහු සැලකෙයි. එසේ වූවත් දැන් දැන් ඔහු ජීවිතය දෙසට බලන ආකාරය වෙනස් වෙමින් පවතියි. ඊට බලපා තිබෙන්නේත් ක්‍රිස් ඇලිනාය.

’‘දුවගේ අම්මා නම් කියන්නේ ඇයට තිබෙන්නේ මගේ ඇස් කියලයි. ඔව් මටත් හිතෙන්නේ ඒක එහෙම තමයි. කොහොම වුණත් පියෙක් වීම සුන්දර අත්දැකීමක් වගේම හොඳ දෙයක්.”

ගේල් තවම විවාහ වී නැත. එසේ වූවත් ඔහුගේ දිගුකාලීන සහකාරිය වන්නේ නටාෂා ඇලිසා බෙරිජ්ය. ඇය 35 හැවිරිදිය. ගේල් 42 හැවිරිදිය. ඔවුන් ජීවන ගංගාවේ පවුල නැමැති ඔරුව යාත්‍රා කරන්නේ 2009 වසරේ සිටය. මේ ගේල් කැදැල්ලේ එකම දායාදය ක්‍රිස් ඇලිනා වන්නීය.

නටාෂා මෙන්ම ගේල් ද ජැමෙයිකානුවන්ය. ඇය වෘත්තියෙන් විලාසිතා නිර්මාණ ශිල්පිනියෙකි. “ඕනෑම පවුලක මෙන්ම අප අතරත් සුළු සුළු ප්‍රශ්න හට ගන්නවා. ඒවා අපි වහාම විසඳ ගන්නවා. ඒ නිසාම අපි වැඩි කාලයක් ගත කරන්නේ හරිම සතුටින්. එය වැඩි වෙන්නේ ක්‍රිස් ඇලිනා නිසයි”. ගේල් වැඩි දුරටත් පවසයි.

ඉතාමත් දුගී ජීවිතයක් අරඹමින් සිය ක්‍රීඩා හැකියාවන් නිසාම දිවිය ජය ගත් ක්‍රීඩා තරු ක්‍රීඩා ලොවේ සුලබ ය. ඒ අතරට ගේල් ද අයත්ය. ක්‍රිස්ටෝෆර් හෙන්රි ගේල් උපත ලැබුවේ එවැනි පවුලකය. ඔහුගේ පියා ඩඩ්ලි පොලිසියේ සේවය කළේය. මවයේ රැකියාව වූයේ වීදිවල කෙටි ආහාර සහ රටකජු අලෙවි කිරීමයි.

මවුපියන් සහ සහෝදර සහෝදරිය සමඟින් ගේල් ජීවත් වූයේ ඉතා කුඩා නිවසකය. ඇතැම් දිනවල දී සිය පවුල නිරාහාරව සිටිය බවත් ඔහු පවසයි. එහෙත් ඒ එදාය. අද වෙනස්ය. සුප්‍රකට ඇමෙරිකානු සඟරාවක් වන ෆෝර්බ්ස් වාර්තාවකට අනුව ක්‍රිස් ගේල්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ඉක්මවයි.

2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් පැවැත්වූයේ අප්‍රේල් මස 19 වැනිදා ය. ගේල් ක්‍රීඩා කළේ කිංග්ස් ලෙවන් පන්ජාබ් පිලටයි. ප්‍රතිවාදීන් වූයේ සන්රයිසර්ස් හයිද්‍රාභාද්ය. එහිදී ගේල් විශිෂ්ට ශතකයක් රැස් කළේය. තරගයේ වීරයාත් වූයේ ය.

එම ශතකය සිය දුව වෙනුවෙන් බවට තරගයෙන් පසුව ඔහු පැවසීය. “මේ ශතකය මගේ දුව වෙනුවෙන් කැප කරනවා. ඇගේ උපන් දිනය හෙටයි”,

ගේල් තවමත් නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දී නැත. බොහෝ දෙනෙකු සිතුවේ ගිය වසරේ විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව සිය වර්ණවත් ක්‍රිකට් දිවිය ඔහු නිමා කර ගනු ඇති බවයි. බටහිර ඉන්දීය කොදෙව් දූපත් එක්දින සහ විස්සයි විස්ස නායක කයිරන් පොලාර්ඩ් ජගත් ක්‍රිකට් පිටියෙන් පසුගිය දා විශ්‍රාම ගත්තේය. ඔහුගේ ඉදිරි දිවියට සුබ පතමින් ගේල් මෙසේ පැවසූවේය. “මට කලින් ඇයි ඔබ විශ්‍රාම ගත්තේ”,

සෑම දෙයකම නිමාවක් පවතියි. එය ක්‍රීඩා ලොවටත් පොදුය. කෙතරම් විශිෂ්ටයෙක් වූවත් ගේල්ටත් එය පොදුය. ගේල් ක්‍රිකට් ක්‍රීඩාවට තිත තැබූ විට ඒ ගැන සතුටු වන පිරිසට ප්‍රතිවාදී පන්දු යවන්නෝ අනිවාර්යයෙන්ම අයත්ය.

එසේ වූවත් ඒ සියලුම දෙනා අබිභවමින් ඉදිරියෙන් සිටින්නේ අන් කවරෙක් හෝ නොව ක්‍රිස් ඇලිනාය. ඒ ගේල්ගේ ආදරණීය දියණියයි. ඊට හේතුවක් බලපායි. එය වෙන කිසිවක් නිසා හෝ නොව විශ්වීය පියා සමඟ වැඩි කාලයක් ගත කිරීමට තමන්ට අවස්ථාව ලැබෙන බව ඇය දන්නා බැවිනි.

Comments