ගොවි රජකුවීමට සිහින දකින මැරතන් රජු | සිළුමිණ

ගොවි රජකුවීමට සිහින දකින මැරතන් රජු

 

සාමාන්‍යයෙන් සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදීම පොදුුවේ බොහෝ දෙනාගේ අවධානය යොමු වන තරග ඉසව්වක් වේ. එනම් මලල ක්‍රීඩාවේ මැරතන් තරගයටයි. 2020 ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලටත් එය පොදු විය. එවර අවධානය වැඩි වීමට තවත් කරුණක් බලපෑවේය. ඒ කෙන්යාවේ එලියුඩ් කිප්චෝගේ නිසාවෙනි.

කිප්චෝගේ එවර මැරතන් තරගයට ඉදිරිපත්ව සිටියේ අති දුර්ලභ දස්කමක් දැක්වීමටයි. එනම් පිට පිට ඔලිම්පික් මැරතන් තරග දෙකක් ජය ගැනීමටයි. ඔහුගේ හැකියාව ගැන කිසිවකුටත් සැකයක් තිබුණේ නැත. නමුත් ඔහුට අභියෝගයන් තිබිණි. එක් අභියෝගයක් වූයේ ඔහුගේ වයසයි. සෙසු ක්‍රීඩකයන්ට වඩා ඔහු වයසින් වැඩිය. අප්‍රිකානු කලාපයේම දක්ෂ යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම දස්කම් අතර රැඳී සිටියහ.

කෙසේ වූවත් විශිෂ්ටතමයෝ කිසිවිටකත් අභියෝගයන්ට බිය නොවෙති. ඒවාට සාර්ථකව මුහුණ දෙති. ඒවා ජය ගනිති. කිප්චෝගේ විශිෂ්ටතමයෙක් වන්නේත් ඒ නිසාමය. ටෝකියෝ ඔලිම්පික් මැරතන් තරගය ඇරැඹී කාලයක් ගත විය. ඒ වන විට බොහෝ දෙනාට අවබෝධ වූ කරුණක් තිබිණි. එනම් තම ඔලිම්පික් කිරුළ තවත් කෙනෙකුට ලබා දීමට කිප්චෝගේ සූදානම් නැති බවයි. අවසනදී සිදු වූයේත් එයමයි. කිප්චෝගේ ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය. එමෙන්ම ඉතිහාසගත වූයේය. ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පිට පිට මැරතන් තරගය ජයගත් තෙවැනියා බවට ඔහු පත් විය. එමෙන්ම දශක සතරකට පසුව එම දස්කම කළ ප්‍රථමයා බවටත් හෙතෙම වාර්තාගත විය.

මෙම සුවිශේෂී ජය මුලින්ම දැක්වූයේ අප්‍රිකානු මැරතන් ආධිපත්‍යයේ පෙර ගමන්කරු ලෙසට සැලකෙන ඉතියෝපියාවේ අබිබේ බිකිලාය. ඒ 1960 සහ 1964 වසරවලදීය. මෙහි දෙවැන්නා වන්නේ නැ‍ෙඟනහිර ජර්මනියේ ව්ලාදිමර් සියර්පින්ස්කිය. ඒ 1976 සහ 1980 වසරවලදීය. දැන් එහි තෙවැනි ස්ථානය කිප්චෝගේ සතුය. ඒ 2016 බ්‍රසීලයේ රියෝ සහ 2020 ටෝකියෝ ජයග්‍රහණ නිසාවෙනි.

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පිරිමි මැරතන් තරගය මෑත යුගයේ ජය ගත් දෙවැනි වයස්ගතම ක්‍රීඩකයාත් කිප්චෝගේ වේ. 1984 ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ මැරතන් ශූරයා වූයේ පෘතුගාලයේ කාර්ලොස් ලෝපෙස්ය. එවිට ඔහු 37 හැවිරිදි විය.

ද්විත්ව ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව කිප්චෝගේ ක්‍රීඩාවෙන් සමු ගනු ඇතැයි ඇතැමුන් සිතූහ. ‘තවම නැහැ. මට තවත් ඉලක්කයක් තිබෙනවා’. ඊට ඔහු පිළිතුරු දුන්නේය.

ඒ අතරින් එක් ඉලක්කයක් වූයේ ලොව සුප්‍රකට මැරතන් තරග සියල්ලම ජය ගැනීමයි. එහිදී ඔහුගේ වැඩිම අවධානය යොමු වූයේ ටෝකියෝ මැරතන් තරගයටයි. වාර්ෂිකව ලොව පුරාම ප්‍රධාන නගර ආශ්‍රිතව මැරතන් තරග කිහිපයක්ම පැවැත්වෙයි. ඊට ටෝකියෝවත් අයත්ය. කෙසේ වෙතත් කිප්චෝගේට එහි ජයග්‍රහණය අහිමිව තිබිණි.

ටෝකියෝ මැරතන් තරගය 2021 වසරේ දී පැවැත්වූයේ නැත. ඒ කොවිඩ් වසංගතය නිසාය. එම තරගය මෙම වසරේ දී මීට සති කිහිපයකට පෙර පැවැත්විය. ඊට කිප්චෝගේ සහභාගි විය. එපමණක් ද නොව එය විශිෂ්ට ලෙස ජය ගැනීමටත් ඔහුට හැකි වූයේය. “එය සිහිනයක්ව තිබුණා. එය සැබෑ කර ගැනීමට මට හැකි වුණා.” සිය ජයෙන් පසුව හෙතෙම පැවසීය.

මෙම ජයත් සමඟම මැරතන් ඉතිහාසයේම විශිෂ්ටතමයා ඔහු බවට සියලුම දෙනා පිළිගනිති. ඔහු මේ වන විට ප්‍රධාන මැරතන් තරග 09 ක්ම ජය ගෙන සිටිති. ඊට ටෝකියෝ, ලන්ඩන්, බර්ලින් සහ චිකාගෝ මැරතන් අයත්ය. එමෙන්ම 2018 ජර්මනියේ බර්ලින් මැරතන් තරගයේ දී හෙතෙම ලෝක වාර්තාවක් පිහිටු වූයේය.

මෙසේ අතිසාර්ථක ශූරයකු බවට කිප්චෝගේ පත් වූයේ ඔහුගේ හැකියාව නිසාම නොවේ. ඊට කැපවීමත් දැඩි අදිටනත් බලපෑවේය. “මම මාවම විශ්වාස කළා. ලොව දක්ෂතමයා මම කියලා සැලකුවා. ඒ වගේම අවංකව ජීවත් වුණා. ඒ සඳහා මට විශාල පිරිසක් උදව් කළා. ඔබේ ජීවිතයට මුහුණ දීමට සිදුවන සෑම දෙයකටම දිරියවන්තව සූදානම් විය යුතු වෙනවා. එමෙන්ම පවුලේ වටිනාකම තේරුම් ගත යුතු වෙනවා”. කිප්චෝගේ පවසයි.

බොහෝ දෙනා නොදත් කරුණක් තිබේ. එනම් කිප්චෝගේ ක්‍රීඩාවෙන් බාහිරව සාර්ථක ගොවිපළක් පවත්වාගෙන යනු ලබන හිමිකරුවෙක් බවයි. ක්‍රීඩාවේ නිරත නොවන සෑම විටම හෙතෙම සිය බිරියත් දරුවන් සමඟ එම ගොවිපළේ වැඩකටයුතුවල නිරත වෙති. “ක්‍රීඩාවෙන් සාර්ථක වීමට ප්‍රධානතම කරුණු දෙකක් බලපානවා. විනයක් අවශ්‍

යයයි. මට එය නැතිව ජීවත් වෙන්න බැහැ. ඒ වගේම ජීවිතය සමබරව තියා ගන්න ඕනෑ. එහිදී ක්‍රීඩාවෙන් තොර ජීවිතයක් අවශ්‍ය වෙනවා. මේ ගොවිපළ නිසා මට එය ලැබෙනවා” ඔහු වැඩිදුරටත් පවසයි.

එලියුඩ් කිප්චෝගේ උපත ලැබුවේ 1984 වසරේ නොවැම්බර් මස 05 වැනිදාය. හෙතෙම දරුවන් සිවු දෙනකුගෙන් සමන්විත පවුලක බාලයාය. මේ පවුලම ගොඩ නැඟුණේ මව වටාය. ඇය ගුරුවරියකි. “අපේ අම්මා තමයි අපේ ලෝකය වුණේ. අපි පියාව දැන ගත්තේ ඡායාරූප තුළින් පමණයි”.

බොහෝ කෙන්යානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවට යොමු වන්නේ නිරායාසයෙන්මය. ඒ ඔවුන් දිනපතා නිවසේ සිට පාසලට දුවන බැවිනි. කිප්චෝගේත් එසේමය. ඔහු දිනපතාම කිලෝමීටර් 03 කට වඩා එසේ දිව්වේය.

ඔහුගේ ක්‍රීඩා දිවියේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධානතම බලවේගය වන්නේ පුහුණුකරු පැට්රික් සෑන්ග්ය. ඔහු 1992 ඔලිම්පික් සහ 1991/93 ලෝක ශූරතා පදක්කම්ලාභියෙකි. ඒ මීටර් 3000 බාධක දිවීමෙනි. කිප්චෝගේට සිය පුහුණුකරු පැට්රික්ව මුල් වරට හමු වන්නේ 16 හැවිරිදි වියේ දී ය.

කිප්චෝගේ මුලින්ම යොමු වූයේ මීටර් 3000 සහ මීටර් 5000 තරග ඉසව්වලටය. එහිදීත් ඔලිම්පික් පොදු රාජ්‍ය සහ ලෝක ශූරතා පදක්කම් හිමිකර ගැනීමට සමත් වූයේය. එමෙන්ම රට හරහා දිවීමේ ලෝක ශූරයෙක් ද වූයේය. අවසනදී මැරතන් තෝරා ගත්තේය. එය අතිසාර්ථක තීරණයක් බවට මේ වන විට පත් වී හමාරය.

ඉකුත් කාලයේ දී ලොව පුරාම ක්‍රීඩා රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මානසික පීඩනයෙන් තමන් පීඩා විඳින බවට හෙළි කළහ. ඒ අතරට ගිය වසරේ දී විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක්ම එක් වූයේ සිය දිවි සැරිය නිමා කර ගැනීමට තීරණය කරමින්ය. ඔවුන් තිදෙනාම කෙන්යානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.

“ජීවිතය සමබරව පවත්වා ගෙන යා යුතු බවට මම හැම විටම කියන්නේ මේ නිසයි. මානසික පීඩාවෙන් පෙළෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන දිනෙන් දිනම වැඩි වෙනවා. එය හරිම අවාසනාවන්තයි. එවැනි වාතාවරණයකට මුහුණ දෙන බෝහෝ දෙනා වටේ ඍණාත්මකව සිතන පිරිසක් සිටිනවා. මට නම් ඒ වගේ දේ වලින් ප්‍රශ්න නැහැ” කිප්චෝගේ පවසයි.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විතරමක්ම නෙමේ ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට සමබර ජීවිතය වැදගත් වෙනවා. ඔවුන්ගේ හැඟීම් පාලනය කර ගෙන ජීවත් විය යුතුයි. එමඟින් ජීවිතය සමබර කර ගන්නටත් හැකියාව ලැබෙනවා”.

ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා දිවියෙන් සමු ගත් විට මීළඟට ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි නොදනිති. එනිසාම ඇතැමුන් අතරමං වන අවස්ථාවන් ද වෙති. එහෙත් එලියුඩ් කිප්චෝගේ නැමැති විශිෂ්ටතම මැරතන් ශූරයාට එම ගැටලුව නැත. ඒ ඔහුගේ ගොවිපළ තිබෙන බැවිනි.

 

Comments