සේස­තම සුව සේව­යට වැය කළ සුම­න­ර­තන යති­ව­ර­යාණෝ | සිළුමිණ

සේස­තම සුව සේව­යට වැය කළ සුම­න­ර­තන යති­ව­ර­යාණෝ

සුම­න­ර­තන හිමි­යන්ගේ ධන පරි­ත්‍යා­ග­යෙන් කිරිගම්පමුණුව ඉදි­කළ‘කහ­තු­ඩුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යා­ලය’
සුම­න­ර­තන හිමි­යන්ගේ ධන පරි­ත්‍යා­ග­යෙන් කිරිගම්පමුණුව ඉදි­කළ‘කහ­තු­ඩුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යා­ලය’

• වසර 30ක් ඉපැයූ ලක්ෂ 220ක වැටුපම  සෞඛ්‍ය ගොඩනැගිල්ලට වැය කරලා

• මෝටර් රථයත් විකුණා මහජන සෙත සලසයි

 

ඒ 1975 වසරේ ආරම්භය සනිටුහන් වූවා පමණි. තුරුණු වියට පා තබමින් සිටි තම පුතකු සසර කෙටි කර ගැනීම පිණිස පැවිදි බිමට පත් වීමට අපේක්ෂා කිරීම ගැන රොසලින් නෝනා ජයකොඩි මාතාව සතුටට පත් වූයේ පුතු තම තුරුළෙන් ඈත්වීම ගැන මවක ලෙස හදවතේ ඇති වූ වේදනාවද යටපත් කරගෙනය.

ආචාර්ය මාඹු­ල්ගොඩ සුම­න­ර­තන නාහිමි

පැවිදි වීමට අවශ්‍ය ශාසනික වත්පිළිවෙත් නාහිමිවරුන් අතින් සිදු වුවත් තම පුතුගේ අනෙකුත් අවශ්‍යතා මෙන්ම පැවිදි පින්කමට පැමිණෙන ඥාති මිත්‍රාදීන්ට කළ යුතු කටයුතු වෙනුවෙන් අවශ්‍ය කළමනා ගෙන දෙන්නට ඇයට හැකියාවක් නොවීය. හදිසි අවශ්‍යතාවයක් ලෙස තබා තිබුණු කැටය කඩා බිඳ දමා එකතු කළ කාසි පනම් ඇය ගණන් කළාය. එතැන තිබුණු සත 5 හා 10 කාසි හැරෙන්නට ලොකු වටිනාකමකට තිබුණේ සත 25 කාසි දෙකක් සහ ශත 50 කාසියක් පමණි. ඇය සුසුම් ලෑවාය.

‘‘කොහොමද දෙයියනේ මගේ පුතා මහණ කරන පින්කමට මම දායක වෙන්නෙ‘‘ එහෙත් ඇය තම උත්සාහය අත් නොහළාය. සසර වරිගයම නිවන් දකින්නට යන තම පුතුගේ මේ ගමන වෙනුවෙන් ඇයට කළ හැකි තවත් එක් දෙයක් වූවාය. ඒ සිය ස්වාමි පුරුෂයා නමින් තමන්ට උරුමය තිබුණු කහතුඩුවේ ඉඩමයි. ඇය කල්පනා කෙළේ එම ඉඩම විකුණා මුදල් ලබා ගැනීමටය. සසුන වෙනුවෙන්, තම පුතු වෙනුවෙන් ඒ කාර්යය ඇය ඉටු කළාය. හදිසියේ විකුණන නිසා අඩු මිලකට වුවත් ඒ වටිනා ඉඩම විකුණන්නට ඇය තීරණය කෙළේ එහෙයිනි. ඇයගේ පුතා වූයේ 15 වියැති ආර්. එම්. කේ සුදන්තය. පිරිමි දරුවන් සිවු දෙනකුගෙන් යුතු පවුලේ තෙවැන්නා වූ සුසන්ත ඉපදුණේත් දිවි ගෙව්වේත් හෝමාගමට නුදුරු මාඹුල්ගොඩ ය.

සුදන්ත අකුරු කළේ නවදගල කණිෂ්ඨ විද්‍යාලයේ හා දීපංගොඩ මහා විද්‍යාලයේ ය. පාසලේ දක්ෂ කැපී පෙනෙන සිසුවකු වූ සුදන්තගේ අවංකභාවය මෙන්ම නිරහංකාරකම ගුරුභවතුන් සැමවිටම අගය කරන ලදී.

සුදන්තගේ පැවිදි පින්කමට ගුරු භවතුන් මෙන්ම මිතුරන් රැසක් පැමිණියේ ඔහු තුළ තිබූ හිත හොඳකම නිසාමය.

රොසලින් නෝනා මාතාවගේ පුතු මාඹුල්ගොඩ සුමනරතන නමින් එසේ පැවිදි විය. ඒ කිරිගම්පමුණුවේ චන්ද්‍රානන්ද නා හිමියන්ගේ ආචාර්යත්වයෙනි. පැවිදි දිවියට පත්ව එම වසරේම උපසම්පදා ලබන්නට උන් වහන්සේ වාසනාව ලදහ.

2020 වර්ෂ­යේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගොඩනැගිල්ලට මුල්ගල් තැබූ අව­ස්ථාව

සුමනරතන හාමුදුරුවෝ පැවිදි දිවියට පත් වී ශාසනික වත් පිළිවෙත් ඉටු කරනා අතරේම ගිහි කළ මෙන්ම ඉගැනීමෙහි අතිදක්ෂ විය. ඒ නිසාම ලොකු හාමුදුරුවන් වහන්නේ සුමනරතන ස්වාමීන් වහන්සේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනටත් පසුව නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනටත් ඇතුළත් කළහ. උසස් අධ්‍යාපනය ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ලබා ගත් සුමනරතන හාමුදුරුවෝ අධ්‍යාපනයෙන් පසු පාසල් ආචාර්ය ධුරයට පිවිසුණාහ.

ඒ අතර උන් වහන්සේ හෝමාගම, බ්‍රාහ්මණගම දූව පුරාණ විහාරයේ විහාරාධිපති ධුරයටද පත් වූහ. විහාරාධිපති වශයෙක් කිසි විටක දායකයන්ට බරක් නොවූ උන් වහන්සේ නිහඬ සේවාවක් කළහ. පසුව විදුහල්පතිධුරයටත් ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයටත් පත් වූහ. ඒ අතර උන් වහන්සේ ආචාර්ය උපාධියද ලබා ගත්හ. ඒ වන විට උන් වහන්සේගේ මෑණියන් හා පියාණන් මෙලොව හැර ගොසිනි.

2020 වසරේ සුමනරතන හාමුදුරුවෝ විශ්‍රාම ලැබූහ. එතැනින් පසුවද උන් වහන්සේ ජනතාවට නිහඬ සේවාවක් ඉටු කළහ.

විශ්‍රාම ලැබූ උන් වහන්සේ බවුන් වැඩීම වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරන ලදී. ඒ අතර උන් වහන්සේ නිරතුරුවම පොදු ජනතා සේවා කෙරෙහිද අවධානය යොමු කළහ. උන් වහන්සේ දිනක් හදිසියේම කිරිගම්පමුණුව ප්‍රදේශයට වැඩම කර සිටියදී එහි ජනතාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලක්, මාතෘ සායනයක් නොමැතිව විඳිනා දුක දැක ගත්හ. උන් වහන්සේ තම අවධානය ඒ කෙරෙහි යොමු කෙළේ ඉන් පසුවය.

මෑණියන් තමන්ගේ පැවිදි පින්කම වෙනුවෙන් පිය උරුමයෙන් ලද ඉඩම විකුණා කළ කාර්යය උන් වහන්සේට සිහි විය. තමන් අද සමාජය පිළිගත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙසින් වැඩ සිටින්නේ ඒ නිසා බව ද උන් වහන්සේගේ සිහියට නැඟුණාහ. එමෙන්ම තමන්ගේ පියාණන් වූ ඒබ්‍රහම් රාජපක්ෂ හා තම ගුරුදේවයන් වහන්සේද සිහි වූහ. එදා සිට තමන් සතු ධනය වියදම් කර ඉඩමක් මිලදී ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් ඉඳි කර දෙන්නට උන් වහන්සේ අදිටන් කර ගත්හ.

තම පියාටත්, මවටත් එමෙන්ම තමන් වහන්සේගේ ආචාර්යවරයාණන් වහන්සේ වෙනුවෙන් මෙ පුණ්‍ය කර්මය කළ යුතුම බව උන් වහන්සේ සිතූහ. එදා සිට භූමි භාගයක් සොයන්නට උන් වහන්සේ නොගත් වෙහෙසක් නැත.

ඉඩම් කිහිපයක් සොයා බලා ඒවායේ මිල ගණන් විමසු විට උන් වහන්සේට සිහි වූයේ ඉඩම පමණක් නොව එහි ඉඳිකිරීම් වෙනුවෙන් තවත් විශාල මුදලක් වැය වන බවයි. තමන් වහන්සේ වැටුපෙන් ඉපැයූ සියලු ධනය ඒ වෙනුවෙන් වැය කරන්නට උන් වහන්සේ ඉටා ගත්හ. සාමාන්‍යයෙන් කෝටි දෙකක් එනම් ලක්ෂ 200ක පමණ මුදලක් එහි ඉඳි කිරීම් වෙනුවෙන් වැය කරන්නට සිදුවන බව ද උන් වහන්සේ දැන සිටියහ.

 සුම­න­ර­තන හිමි­යන්ගේ
 මව වූ රොස්ලින් නෝනා ජය­කොඩි මාතාව  
 

සුමනරතන හාමුදුරුවන් වේලාව අවේලාව නොබලා ඉඩම් සොයා බලන්නට වූ කාරණය එම ප්‍රදේශය පුරා පැතිර ගියේය. එමෙන්ම උන් වහන්සේ එසේ ඉඩමක් සොයන්නේ මහජන සේවාව වෙනුවෙන් තම ධන පරිත්‍යාගයෙන් සාදන්නට යන සුව සේවා ගොඩනැගිල්ලකට බවද බොහෝ දෙනා දැන ගත්හ.

මේ ආරංචිය කන වැකුණු එක් මහෝපාසිකාවක් සුමනරතන හිමියන් හමුවූවාය.

‘‘අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන මේ උතුම් සත්කාරයට මම ඉඩමක් පරිත්‍යාග කරනවා. එතැන පර්චස් 27ක් විතර තියෙනවා. මහපාරටම මුහුණ දාලා තියෙන්නෙ‘‘ ඇය ඉතා ශ්‍රද්ධාවෙන් පැවසුවාය.

ඉමහත් සොම්නසට පත් සුමනරතන හිමියෝ ඒ බව වෑතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාටද දැනුම් දුන්හ.

ඒ අනුව 2020 වසරේ සැප්තැම්බර් 8 වැනිදා අදාළ භූමි භාගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිණිස තෑගි ඔප්පුවකින් පවරා දෙන ලදී. ඒ කොට්ටාව හොරණ මාර්ගයට නුදුරු කිරිගම්පමුණුව - මහවත්ත ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති ඉතා වටිනා ඉඩමකි. එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ 90කට ආසන්නය. එය දැනට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ලෙස පවත්වාගෙන යන බව කහතුඩුව දෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ කෘතවේදීව සිහිපත් කරයි.

‘‘හුඟක් දෙනෙක් හිතන්නෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියන්නෙ සාමාන්‍ය ගොඩනැගිල්ලක් කියලා, ඒත් පහුගිය දවස්වල අපට එහි වටිනාකම හොඳින් දැනුණා. ජනතාවට අත්‍යවශ්‍යම කාර්යාලයක් තමයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියන්නෙ. රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ඇතිවන තත්ත්වය අපි දන්නවා. ඒ නිසයි මේ විදිහට පුළුවන් සියල්ල වියදම් කරලා ඒ වගේ තැනක් හදලා දුන්නේ.

මෙහි වැඩ කටයුතු 2020 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ආරම්භ කළා. කොවිඩ් වසංගතය නිසා කටයුතු අඩාල වුණත් කොහොම හරි කටයුතු ඉක්මනින් කර ගන්න හැකියාව ලැබුණා. මේ කාර්යයට ඉඩම ලබා දුන්න අයට විතරක් නෙමෙයි දායකත්වය ලබා දුන් සැමටම පින් ප්‍රාර්ථනා කරනවා. මට ඇත්තෙන්ම ඇතිවෙන්නේ උපේක්ෂා සහගත ප්‍රීතියක්‘‘ සුමනරතන හිමියෝ පවසති.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉඳි කරන්නට සුමනරතන හිමියන් වසර 30ක් පමණ සේවය කර උපයා ගන්නා ලද ධනය සියල්ල වැය කළහ. උන් වහන්සේ පරිහරණය කළ රථයද විකුණා එම මුදල්ද පරිත්‍යාග කළහ. එයට වැය වූ සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 220ක් හෙවත් කෝටි දෙකකට අධිකය. එමෙන්ම එහි වැඩ කටයුතු නිසි ආකාරයෙන් සිදු කරන්නට කමිටුවක්ද උන් වහන්සේ පත් කළහ. සියලු කටයුතු සිදු කෙරුණේ එම කමිටුව හරහාය.

තම මව තමන් වහන්සේගේ පැවිදි පින්කම වෙනුවෙන් මව කළ කැපකිරීම ප්‍රධාන අරමුණ ලෙසින් හා පෙර පැවසූ පරිදි පියාටත් ගුරු හිමියන්ටත් උපහාර පිණිස මෙසේ මහා පුණ්‍ය කර්මයක් කරන්න උන් වහන්සේ කටයුතු කළද එහි විවෘත කිරීමට හෝ උන් වහන්සේ නොවැඩියහ. එය විවෘත කිරීම පසුගිය 15 වැනිදා සෙනසුරාදා සිදු කෙරිණි. පෙර දින එනම් 14 වැනිදා පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයට පමණක් උන් වහන්සේ වැඩම කර ආගමික කටයුතු සිදු කළහ.

එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් ලෙස බාරදීමද මේ වන වට සිදු කර තිබේ. ඒ අනුව තම කාර්යය අවසන් බව උන් වහන්සේ පවසති.

‘‘දැන් ඉතින් ආයෙත් මම ඒ ගැන බලන්නෙ නැහැ. අදාළ කටයුතු ඒ නිලධාරීන් කරයි. මම භාවනා කටයුතු කරනවා.‘‘ ඒ සුමනරතන හිමියන්ගේ සිතිවිල්ලයි.

වැඩ නිම කර ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන් 72කට රාජකාරි කටයුතු කළ හැකිය. එමෙන්ම එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් පුහුණු කිරීමේ කටයුතුද කළ හැකිය. සුමනරතන හාමුදුරුවන් සිදු කළ අපරිමිත සේවාව සුළුවෙන් තැකිය නොහැකිය.

උන් වහන්සේ වර්තමාන භික්ෂූ පරපුරේ ආදර්ශයේ කැඩපතක් ලෙසින්ම හැදින්විය හැක්කේ මේ කාර්යයන් දෙස බැලීමෙනි. උන් වහන්සේ කිසිවිටක ප්‍රසිද්ධිය හෝ වෙනත් තනතුරු තකා කටයුතු කර නැත. ආචාර්ය උපාධිය ලබාගෙනද නිහඬ සේවාවක් බ්‍රාහ්මණගම වෙනුවෙන් සිදු කරමින් උන් වහන්සේ නිහඬව සිටින්නේ එහෙයිනි.

මවත් පියාත් සංඝ ශාසනයේ තම ගුරු දේවයන් වහන්සේත් වෙනුවෙන් සුමනරතන හිමියන් විසින් සිදු කරන ලද මේ අමිල මෙහෙය නිසා කිලෝමීටර් 10ක් 12ක් පමණ දුර ගෙවා යාමට සිදු වූ ගැබිනි මවුවරුන් මෙන්ම සුව සේවා පිණිස දුර බැහැරට යාමට සිදු වූ විශාල ජනතාවකට විශාල සෙතක් සැලසී ඇත.

 

Comments