සමා­ජ­යෙන් ඇහෙන ප්‍රශ්න­ව­ලට පිළි­තුරු 5ක් | සිළුමිණ

සමා­ජ­යෙන් ඇහෙන ප්‍රශ්න­ව­ලට පිළි­තුරු 5ක්

1. බලශක්ති අර්බුදයට පැහැදිලිවම හේතු කිහිපයක් තිබෙනවා. 2015 වසරේ 2019 වසරේ මෙගාවොට් 300 බලාගාරයක් සෑදීමේ යෝජනාවක් තිබුණා. සපුගස්කන්ද බලාගාරය ගෑස්වලට පරිවර්තනය කර තව මෙගා වොට් 300 වැඩි කිරීමේ යෝජනාවක් තිබුණා. ඒ පිළිබඳ 2015 සිට 2020 කාලයේ කිසිදු පියවරක් ගත්තේ නැහැ. ලෝකයේම මහ විශාල බලපෑමක් තිබෙනවා; ගල් අඟුරු වලට යන්න එපා කියල; අවම වශයෙන් පැට්‍රොලියම් හා අඟුරුවලින් 2050 වනවිටවත් ඉවත් වෙන්න කියලා යෝජනා තිබෙනවා. පුනර්ජනනිය බලශක්තිය අපි ආරම්භ කළ යුතුයි. පරමාණු බලශක්තිය ආරම්භ කළ යුතුයි. යුරේනියම් පාවිච්චි නොකර අපිට පරමාණු බලශක්තිය හදන්න වෙනත් මුල ද්‍රව්‍ය තිබෙනවා. ඒ නිසා ඉදිරියට යන්න ඕන. මේ කරන දේවල් සියල්ල අඩාළ වෙන්න හේතුවක් තිබෙනවා. එනම් විදුලි බලමණ්ඩලයේ ඉහළ පෙළේ ඉජිනේරුවරුන්ට සම්බන්ධ පෞද්ගලික බලාගාර තිබෙනවා. දැන්වත් රට ගැන හිතලා වැඩ කරන්න අවශ්‍යයි. මේ දේවල් මාෆියාවක්. කොහොම වුණත් සැලසුම් ඇතිව මේ විදුලි බල ගැටලුව විසඳගන්න අවශ්‍යයි

2. මේ වන විට මේ අර්බුදය ලෝකයටම බලපාලා තියෙනවා. රටවල් බොහොමයක් කොවිඩ් සමඟ කඩාවැටීමක් සිදුවුණා. කෘෂි, ආහාර, අමුද්‍රව්‍ය යන සියලුම ක්ෂේත්‍රයන් කඩා වැටුණා. ගෝලීය වශයෙන් නිෂ්පාදන හිඟය නිසා ඒ හරහා භාණ්ඩ මිල ඉහළ ගියා. ලංකාවේ හරිත නිෂ්පාදන රටක් බවට පත් කිරීමට දරපු උත්සාහයට අදාළ පාර්ශ්වයන්ගේ සහාය ලැබුණේ නැහැ. ඒ නිසා එය අවුලක් බවට පත් වුණා. බඩු මිල ඉහළ යාම ගෝලීය අර්බුදයක්. පසුගිය කොවිඩ් වසංගතය නිසා එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන බොහොමයක් කියනවා; 2022 ඉතා දුෂ්කර වසරක් වෙනවා කියලා. ලෝකයටම විදෙස් විනිමය අඩුවීම සහ සංචිත අඩුවීම නිසා රටක් ලෙස අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගි භාණ්ඩ නවත්වලා තියෙනවා. මෙරට නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ ආනයනයන් නතර කරලා තියෙනවා. එයින් ගොවියන්ට යම් සහනයක් සැලසෙනවා;

3. පොඩි හිඟයක් එයි. 2019 සහ 2020 සහල් අතිරික්තයක් ඇතිවෙලා තියෙනවා. මහ පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ රට ස්වංපෝෂිතයි කියලා අපි අහලා තියෙනවා. නමුත් අපි දන්න කාලයේ අපි දැක්කා විදෙස් රටවලින් ආනයනය කිරීමෙන් තමයි රටේ ආහාර ප්‍රශ්නය විසඳා ගත්තේ. පැරකුම් රජතුමාගෙන් පසුව ප්‍රායෝගිකව අතිරික්ත සහල් ප්‍රමාණක් නිෂ්පාදනය කළේ 2003 වසරේදි; මම කෘෂිකර්ම ඇමැතිවෙලා ඉන්න කාලයේ. මෙවර අස්වැන්න අඩුවෙන්න ඉඩ තියෙනවා. සහල් මෙට්‍රික් ටොන් 25ලක්ෂයක් පමණ අවශ්‍යයි. කොවිඩ් නිසා ඇතිවූ අර්බුදය සේම තවත් හේතු ලෙස හරිත කෘෂිකර්මාන්තයක් ආරම්භ කළේ පිවිතුරු බලාපොරොත්තුවකින්, රටේ යහපත වෙනුවෙන්. ඒ පිළිබඳව නිසි දැනුම්වත් වීමක් වුණේ නැහැ. මෙවැනි දේවල් පියවරින් පියවර කළ යුතුයි.

4. ලිට්‍රෝ ගෑස්වලයි මේ අර්බුදය සිදුවුණේ. මේ සමාගමට දරන්න බැරි අලාබයක් ලබමින් වුවද බෙදා හැරීමට කටයුතු කළා. ගෑස් සංයුතිවල යම් ප්‍රමිතියේ අඩුපාඩුවක් වුණා. එය පිළිගත යුතුයි. ගෑස් ගැටලුව ලෝකයේ පුරා තියෙනවා. මෑතකාලීනව ලෝකයේ වැඩිම බොරතෙල් වැඩිවීම සිදුවුණා. ගෑස් හිඟය ඇතිවන්නේ මෙවැනි අර්බුදයන් සමඟයි; අපේ රටට පමණක් නොවෙයි මේ අර්බුදය. ඇතැම් රටවල්වල විදුලිය කප්පාදු කරනවා. 2022 වසර ලෝකයට නරකම වසරක් කියලා ජාත්‍යන්තර සංවිධාන කියනවා. කෙසේ වුවත් මේ ගෑස් සම්බන්ධයෙන් වගකිව යුත්තන් විසින් ගෑස් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. රටේ යම් හිඟයක් හෝ මිල වැඩිවීමක් සිදුවන විට සියලු පාර්ශ්ව එකට එකතු වෙලා දරාගන්න අවශ්‍යයි. සියලු දේවල් ප්‍රවේශමෙන් කළ යුතුයි. ජනාධිපතිවරයා විසින් රට ගොඩනැඟීමට ඇති අවංක කැපවීම ඉතාමත් අගය කළ යුතුයි. සියලු පාර්ශ්වයන් එතුමන්ට සහාය දිය යුතුයි. යුද්ධය කළා වගේ රට ගොඩනැඟීමට එතුමාට හැකි බව අපට විශ්වාසයක් තියෙනවා.

5.හුගාක් හැදෙන්නේ සන්ධාන නොවෙයි සද්ද. මේ සන්ධාන කියලා සංවිධානය වෙන්නේ එක් එක් කණ්ඩායම්වල එක් එක් අරමුණුවල දේශපාලනික උපක්‍රම ලෙසයි. කැබිනට් සංශෝධනයකට යෑමක් සිදුවෙයි හෝ ආණ්ඩුවේ ඇමැති මණ්ඩල නැවත පත් කරයි කියලා හිතේ තියන නිසා ආත්ම ආරක්ෂාවට මේ අය නව සන්ධාන ගැන කතා කරනවා. මේ නව සන්ධාන පිහිටුවන අය මේ කරන්නේ සද්දයක් දාලා බැලීමක්. ඒත් මූලිකව වැදගත් වන්නේ සන්ධානයක හැසිරෙන්න ඉගෙන ගැනීමයි. එවැනි සන්ධානයක කටයුතු කිරීමේදී දේශපාලනික හික්මීම තිබිය යුතුයි. අපි පෙරමුණක ඉන්නවා නම් ඒ පෙරමුණින් එළියට බැහැලා යන්නේ නැති නම්; පෙරමුණ ඇතුළේ ප්‍රශ්න කතා කරන්න ඕන. ආණ්ඩුව විධායකය තුළ විධායක ප්‍රශ්න විසඳ ගන්නවා හැර ඒ ප්‍රශ්න අරන් එළියට යන්න හොඳ නැහැ. පක්ෂයක් හෝ පෙරමුණක් ඇතුළේ විනයානුකූලව හැසිරීමේ වැදගත්කම පෙරමුණක නියෝජිතයන් දැනගත යුතුයි. තමන් සිටින සන්ධානය ඇතුළේ මන්ත්‍රිවරුන් විනයානුකූලව හැසිරිය යුතුයි.

 

1. මේ විදුලි බල ශක්තිය, විදුලි බලය නිෂ්පාදනය වැඩිකිරීමට මහවැලියෙන් පස්සේ පහුගිය කාලයේ වැඩ පිළවෙලක් ක්‍රියාත්මක වුණා. මහවැලිය යටතේ 600 MW ගණනක්, සමනලකන්ද වගේ ව්‍යාපෘති කිහිපයක් අපි ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුව බලයේ හිටිය කිසිම කාලයක සැලැස්මක් නැතිව මේ කටයුතු කරපු නිසා තමයි මේ තත්ත්වෙට අද පත් වෙලා තියෙන්නේ. මේ අය කිව්වේ පුනර්ජනනීය විදුලි බලය වැඩි කරනවා කියලා. මේ අයට සැලැස්මක් තිබ්බේ නෑ. ආණ්ඩුවට බල ශක්තිය ගැන ප්‍රතිපත්තියක් නැති නිසා රටට සල්ලි,ඩොලර් ටිකක් හොයා ගන්න යුගදනවි විදුලි බලාගාරය විකුණුවා. බල ශක්තිය වැඩි කර ගැනීමට කිසිම සැලැස්මක් නැති ආණ්ඩුව අන්තිමට විදුලි බල ශක්තිය අද ඇමරිකාවට විකුණලා තියෙන්නේ. මේකේ ප්‍රතිඵල තව ගොඩක් අපිට භුක්ති විඳින්න වෙනවා. මේ අයට ඕනේ විදිහටයි මේ රටේ බල ශක්තිය නිෂ්පාදනය විකුණන්නේ. ඉතින් මේ ආණ්ඩුව පහුගිය අවුරුදු ගණනේ කරපු දේවල සැලැස්මක් ප්‍රතිපත්තියක් නැති නිසා තමයි මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ.

ඒ වගේම අද විදුලි බිලත් අහස උසට නැඟලා තියෙනවා. මේ රටේ ජනතාවට නැවත කළුවර යුගයකට යවන්නයි මේ රජය මේ සූදානම් වෙන්නේ. මේ ආණ්ඩුවේ අසමත් භාවය, ඇමතිවරුන්ගෙන් තියෙන අසාර්ථකත්වය තමයි මෙයාලා පෙන්නුම් කරලා තියෙන්නේ. මුදල් පස්සේ හඹාගෙන යන ආණ්ඩුව ගැන ජනතාවට තියෙන්නේ කලකිරීමක්.

2. අපේ ආණ්ඩු කාලේ බඩුමිල තෙල් මිල අඩු කරලා ගෑස් මිල පවා එකතැනක තියාගන්න පුළුවන් වුණා. එහෙත් අද එහෙම නෙවෙයි. අනිත් පැත්තෙන් අද කෘෂිකර්මන්තය කඩාගෙන වැටිලා. ගොවියන්ට පොහොර ටික පවා නැති තත්ත්වයකට පත්වෙලා. හාල් මිල වැඩිවෙලා. නමුත් ලෝක වෙළෙඳ පොළේ සහල් මිල, සීනි මිල හෝ අනෙකුත් දේවල මිල වැඩිවෙලා නැහැනේ. මේ අයගේ අකාර්යක්ෂම භාවය. අද හැමතැනම පෝලිම්. කිරිපිටි, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් රට පුරාම. අහිංසක මිනිස්සු 8දෙනෙක් මේ ගෑස් ප්‍රශ්නය නිසා මිය ගියා. අදුරදර්ශී ආකාරයට ගැස්වල සංයුතිය වෙනස් කළා. ඊට පසුව මිලත් වැඩි කළා. අද වැඩි කළ මිලටවත් ගෑස් එකක් ගන්න නෑ. ආණ්ඩුවට රට කරන්න බැරිනම් ගෙදර යන්න ඕනි. රටේම නිෂ්පාදනය කඩා වට්ටලා සෑම ක්ෂේත්‍රයක්ම විනාශයට ඇද දමලා අවසානයි .

3. දැනටම ඒ තත්ත්වය ඇතිවෙලා. දැනටමත් එළවලු කිලෝවක් රු 500 වඩා වැඩිවී තිබෙනවා. මිරිස්, බඩ ඉරිඟු වැනි බෝග නිෂ්පාදනය විශාල ලෙස කඩාවැටිලා. මෙවැනි තත්ත්වයක් යටතේ සියල්ලම පිටරටින් ගෙන්වන්න සිදු වෙනවා. දැන් එයත් අපහසුයි. විශාල ඩොලර් හිඟයක් තියෙනවා. ඉදිරියේදී සාගතයක් ඇතිවෙනවා. මිනිස්සුන්ට කුසගින්නේ ඉන්න සිදුවෙනවා. මේ තත්ත්වය දැන් වළක්වන්න අපහසුයි. අනෙක් කරුණ නම් ආණ්ඩුවේ සිදුවෙන හොරකම. උදාහරණයකට ඉන්දියාවෙන් ගෙන්වන දියර පොහොර ලීටර් එකේ කෑන් එක ඉන්දියාවේ 1400 වෙනකොට ලංකාවේ දි එය 5100 වෙනවා. මේ ආණ්ඩුවේ වගකීම් ගන්න කෙනෙක් නැහැ. මේ අය රඟපානවා ජනතාව රවටන්න. ඔක්කෝම කරන්නේ බොරුවක්. ජනතාව රැවටීමක්‌ පමණයි සිදුවෙන්නේ.

4. මේ සම්බන්ධයෙන් අපි සීඅයිඩි යට පැමිණිලි කළා. එහෙත් පියවරක් අරගෙන නැහැ. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් මඟින් වාර්තාවක් ලබා දුන්නා. ඒවගේම විශේෂිත කමිටුවක් මඟින් තීරණය ලබා දුන්නා. මේ පිපිරීම් ඇතිවුණේ ගෑස්වල සංයුතිය වෙනස් කළ නිසා බව ඉතා පැහැදිලි. එයට ආණ්ඩුව වගකිව යුතුයි. මේ සිදුවූ ජීවිත හා දේපොළ හානිවලට ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි. පක්ෂයක් ලෙස මේ පිළිබඳ නඩුවක් අපේ පක්ෂය විසින් ගොනු කළා.

5. අද වනවිට ආණ්ඩුවේම අය ආණ්ඩුවට විරුද්ධ පෙළගැසී සිටිනවා. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා. ආණ්ඩුවෙ ඇතැම් අය කියනවා ඒ විරුද්ධ අයට ඇතුළේ ඉඳන් විවේචනය කරන්න එපා කියලා. ඉන්න බැරිනම් යන්න කියලත් කියනවා. උත්තරය විදිහට ලැබෙන්නේ අපි යන්නේ අපිට ඕනි වෙලාවට කියලා. මේ පැහැදිලි බෙදීමක්‌. සෑම කටයුත්තකදීම ඇමතිවරුන් අතර ප්‍රශ්න පැන නැඟිලා. මෙවැනි කාරණාවලින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ දෙදරීමයි. 2001 අවුරුද්දෙත් මේ විදිහටම අපේ පැත්තට කට්ටියක් අවා. දැන් අර සෙලවෙන දත වගේ තමයි ආණ්ඩුව. කොයි වෙලේ ගැලවෙයිද දන්නේ නෑ.

 

1. බලශක්ති අර්බුදයට හේතුව පළමුවෙන් මා දකින්නේ මෙතෙක් රට පාලනය කළ කිසිදු රජයකට මේ පිළිබඳ නිසි වැඩපිළිවෙලක් නොතිබීමයි. මෙවැනි ජාතික කාර්යයකදී විශේෂයෙන්ම කල් ඇතිව සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම එම සැලසුම් ක්‍රියාවට නැංවීමට, ඒ උදෙසා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම අනෙක් වැදගත් ක්‍රියාවලියයි. එසේ වූවා නම් අද මේ ඇතිව තිබෙන අර්බුදය කිසිසේත්ම ඇති නොවන්නට ඉඩ තිබුණා. මේ සඳහා දිගින් දිගටම පැළැස්තර විසඳුම් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට විශාල ව්‍යසනයකට රටම ඇඳ වැටී තිබෙනවා. මේ අර්බුදය ගැන රජය කියන්න හදනවා ,ඉංජිනේරුන්ගේ ක්‍රියාකලාපය මේ තත්ත්වට හේතු වුණා කියලා. නමුත් ඉජිනේරුවන්ගේ ක්‍රියාකලාපය මෙයට හේතුව නොවෙයි . මෙයට බලපාලා තියෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයයි. මෙයට බලපෑවේ ඉජිනේරුවන්ගේ බලපෑම නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඒ ගැන සොයා බලන්න ආණ්ඩුවට පුළුවන්. ඒනිසා එවැන්නක් රජය කියන්න හැදුවට අපි එය විශ්වාස කරන්නේ නෑ. මෙතැනදී තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ඉංජිනේරු හෝ වෙනත් කණ්ඩායමක්‌ වෙත ඇගිල්ල දිඟු කිරීමේ ස්වභාවයක්‌ දකින්න තිබෙනවා.

2.භාණ්ඩවල මිල ඉහළ යාමට හේතුවූ කරුණු නම්, දීර්ඝ කාලයක් පුරා අපේ රටේ නිෂ්පාදනය බිඳ වැටීමේ ගැටලුවයි. මෙහිදී කෘෂි නිෂ්පාදන හා කාර්මික නිෂ්පාදන යන දෙඅංශයම බිඳ වට්ටවා තිබෙන බව පැහැදිලියි. සරලව කිව්වොත් අල, ලුණු ගෙඩියේ සිට සෑම දෙයක්ම නිෂ්පාදනය අතින් බින්දුවට වැට්ටුවා. ඇපල්, දොඩම් ගෙඩිය පිටරටින් ගෙන්වන තැනට කටයුතු සැලස්වූවා.1977 වන විට රටේ මුළු ආදායමෙන් 31% ක්‌ කෘෂිකර්මාන්තයෙන් ලැබෙද්දී, අද එය 8% දක්වා අඩු අගයකට ගමන් කර තිබෙනවා. ඉන් ගම්‍ය වන්නේ කෘෂිකර්මාන්තයේ කඩා වැටීම නොවේද. මෙවැනි තත්ත්වයක් යටතේ ආනයනය දෙසට හැරීමට සිදු වෙනවා. එහිදී විශාල ලෙස භාණ්ඩ මිල ඉහළ යෑම සිදුවෙනවා. එය දේශීයව පාලනය කිරීම සඳහා රාජ්‍ය මට්ටමින් ගැසට් නිවේදන නිකුත් කරනවා. එහෙත් ඒවා පවත්වා ගැනීම අපහසුයි. එවිට ගැසට් රිවර්ස් කිරීමට සිදුවෙනවා. මෙම තත්ත්වයට හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීම නිසා ඇතිවූ බලපෑම. දෙවැන්න නම් මනා කළමනාකරණයක්‌ නොමැතිකම. මෙම නිසා වෙළෙඳ මාෆියාවක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. වර්තමානයේ දකින සහල්, සීනි වැනි භාණ්ඩ මිල නියම කිරීම තුළ මේ තත්ත්වය හොඳින් දකින්න පුළුවන්.මෙහිදී ආණ්ඩුවේ වගකීම තුළ වන පාලනය හා සම්පුර්ණයෙන්ම ගිලිහී ගොස් තිබෙනවා.

3. එම තත්ත්වය දැනටමත් ඇතිවී අවසන්. ආහාර හිඟයක් දැනටමත් ඇති වී තියෙනවා. අදවනවිට කිරිපිටි හිඟයි. සීනි, සහල් වැනි දේ බොහෝ සීමා සහිතව මිලට ගැනීමට සිදුව තිබෙනවා. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් දරුණු විය හැකියි. මේ රටේ වෙළෙඳපොළ හැසිරෙන්නේ ආණ්ඩුවේ හිතවතුන් කිහිපදෙනෙක් අතේ. මේ වනවිට ආහාර හිඟයක් ඇතිවෙලා තියෙන්නේ විශේෂයෙන් හරිත කෘෂිකර්මාන්තයක් කියලා පොහොර ටික ගෙන්වන්න ඩොලර් නැති නිසා ගොවියාට හරිත වගාවක් කියලා ගොවියා පාරට දැම්මා. ඒ නිසා අනිවාර්යෙන් මෙවර සහල් හිඟයක් එළවළු හිඟයක් ඇතිවෙන්න පුළුවන්. එය දැනටමත් ඇතිවෙලා තියෙනවා.

4 ගෑස් පිපිරීම ගැන හොයන්න කමිටු පත් කළා. කමිටුවල නිර්දේශ ඉදිරිපත් කළා. එහෙත් ගත් පියවරක් නැහැ. විහිළු සැපයීම තමයි ආණ්ඩුව කරන්නේ. මිලදී ගන්නා ගෑස් සිලින්ඩරය කුමන මොහොතේ අනතුරක් නිර්මාණය කරාවිදැයි ජනතාව බියෙන් පසු වෙනවා. ආණ්ඩුව ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් කුස්සියේ ආරක්ෂාවත් නැතිවෙන තත්ත්වයට කටයුතු සිදු කළා. අද ජනතාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් පත් කරපු ආණ්ඩුව නිසා කන්න බොන්න නැතුව ගෑස් ටික නැතුව බියෙන් සහ සැකෙන් නි‍ෙවසේ ජිවත් වෙන්න සිදු වෙලා.

5. ඕනෑම තැනක ආර්ථික අර්බුද ඇතිවෙද්දී එහි කෙළවර දේශපාලන අර්බුද ඇතිවෙනවා. දැන් එහි පෙර නිමිති පහළ වී තිබෙනවා. ආණ්ඩුව ඇතුළේ දේශපාලන හැළ හැප්පීම් ඇති වී තිබෙනවා. එමෙන්ම ඉන් පිටත ජනතාව තුළ විශාල කලකිරීමක් විරෝධයක් ගොඩනැඟි තිබෙනවා. මෙය අවසන් වෙන්නේ අනිවාර්ය දේශපාලන පෙරළියකින්. නියත වශයෙන්ම මේ ආර්ථික අර්බුදය දේශපාලන පෙරළියක් සඳහා මග විවර කරනු ඇති. එහෙත් පැහැදිලිව කිවයුතු කරුණක් තිබෙනවා. මෙහිදී යම් සන්ධානයක් ඇති කර ගත යුත්තේ දේශපාලන කණ්ඩායම් සමඟ නොවේ. එය ඇතිකර ගත යුත්තේ ජනතාව සමඟයි.ජනතාව වෙනුවෙන් සන්ධානගත වීම හැර පටුදේශපාලනික අරමුණු වෙනුවෙන් සන්ධානගත වුවහොත් එවැනි සන්ධාන ඉතා කෙටි කලකින් අභාවයට යනවා.


 

Comments