ශෝකා­න්ත­ය­කට වැටුණු සහන් එළියක් | Page 2 | සිළුමිණ

ශෝකා­න්ත­ය­කට වැටුණු සහන් එළියක්

උත්ස­ව­යට පැමිණ සිටින පකි­ස්තාන මහ කොමා­රිස් මේජර් ජෙන­රල් ඕමාර් ෆාරුක්, කතා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන,   ක්‍රීඩා සහ යෙෞවන කට­යුතු අමාත්‍ය නාමල් රාජ­පක්ෂ ඇතුළු සර්ව ආගමික පූජකවරුන් පිරිසක්.
උත්ස­ව­යට පැමිණ සිටින පකි­ස්තාන මහ කොමා­රිස් මේජර් ජෙන­රල් ඕමාර් ෆාරුක්, කතා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, ක්‍රීඩා සහ යෙෞවන කට­යුතු අමාත්‍ය නාමල් රාජ­පක්ෂ ඇතුළු සර්ව ආගමික පූජකවරුන් පිරිසක්.

 

“වෛරයෙන් වෛරය නොසන්සිඳේ - අවෛරයෙන් වෛරය සන්සිඳේ” යනුවෙන් බුදුරජුන් වදාළ බණ පදය සිහි ගැන්වූ නිලූෂි දිසානායක, සිය සැමියා ඝාතනය කළ මිනිස් වර්ගයා කෙරෙහි වෛරයක් ඇති නොකර අවෛරයෙන් ඔවුන් දෙස බැලීමටත් මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ අනුව ජීවිත හැඩ ගස්වා ගැනීමටත් පුතුන් දෙදෙනාට කියාදෙන බව සඳහන් කළාය. නිලූෂි දිසානායක මෙලෙසින් අදහස් දැක්වූයේ ඇගේ සැමියා වන පකිස්තානයේ සියොල්කෝට් හි ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර සිහිපත් කරමින් ශෝකය පළ කළ උත්සවයේදීය.

 

පසුගිය 20 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹ පිහිටි පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්විණි. මෙහි ප්‍රධානත්වය ගනු ලැබුවේ පකිස්තානයේ මහ කොමසාරිස් ලෙස පත් කර ඇති විශ්‍රාමික මේජර් ජෙනරල් ඕමාර් ෆාරුක් බර්කි එච්.අයි විසිනි. බෞද්ධ, රෝමානු කතෝලික, හින්දු, ඉස්ලාම් යන සර්ව ආගමික පූජකවරු ඇතුළු ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු අමාත්‍යවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කථානායක මහින්ද යාපා අබේවර්ධන, යෞවන හා ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, මැණික් හා ස්වර්ණාභරණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඉන් ප්‍රධාන විය.

පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල්  ඕමාර් ෆාරුක් විසින් ප්‍රියන්ත කුමාරගේ  වැඩිමහල් පුතු වෙත අධ්‍යාපන උපකරණ පිරිනැමූ අයුරු. කතානායක මහින්ද යාපා අබේවර්ධන, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද ප්‍රියන්ත කුමාරගේ බිරිය වන නිලූෂි දිසානායක සහ බාල පුතු ද ඡායාරූපයේ වෙති.
 

බෞද්ධ හා ඉස්ලාම් ආගමික සම්ප්‍රදායන්ට අනුව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩනට පින් පැමිණ වීම සිදු කිරීමෙන් අනතුරුව පකිස්තානයේ මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ඕමාර් ෆාරුක් බර්කි එච්.අයි. විසින් සභාව අමතා සිය සංවේගය පළ කිරීමට අමතක කළේ නැත. මෙවැනි ඛේදනීය සිදුවීම් කිසිදු ආකාරයකින් ඉස්ලාම් ආගම හෝ පකිස්තානය නියෝජනය නොකරන බවත් ඉස්ලාම් ආගම සාමයේ, යුක්තියේ සහ ඉවසීමේ ආගමක් බවත් පකිස්තානු ජනතාව අන් අයට ආදරය කරන ආගන්තුක සත්කාරයට ළැදි පිරිසක් බවත් ඔහු ප්‍රකාශ කළේය. අපරාධකරුවන් කොටු කර ගැනීමට පැය 24ක් තුළ කටයුතු කළ පකිස්තානය ඔවුන්ව නීතිය ඉදිරියට ගෙනැවිත් දැඩි දඬුවම් පමුණුවීමට පකිස්තාන රජය කැප වී සිටින බවත් පැවසුවේ ඒ වෙනුවෙන් කටයුතු කරන පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කරමිනි.

ප්‍රියන්ත කුමාර දියවඩන පකිස්තානයේ සියොල්කෝට් හී දී ඝාතනය කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදාය. ඔහු පකිස්තානයේ පයිසල්බාද් පිහිටි ඇඟලුම් කම්හලක සේවයට ගිය අතර 2012 දී සියොල්කෝට් හී පිහිටි රාජ්කෝ ඇඟලුම් කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරි ලෙස සේවයට සම්බන්ධ විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලැබූ ප්‍රියන්ත කුමාර පකිස්තානයට යෑමට පෙර මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවක කාර්මික ඉංජිනේරුවරයකු ලෙස සේවය කර තිබේ. ඔහු පකිස්තානයේ රැකියාවට ගොස් වසර 11කි. දීර්ඝ කාලයක් මුළුල්ලේ සියොල්කොට් රාජ්කෝ ඇඟලුම් කම්හලේ සේවය කරමින් එහි ප්‍රගතිය වෙනුවෙන් දැඩි වෙහෙසක් ගෙන ඇප කැප වූ ප්‍රියන්ත කුමාරට රාජ්කෝ ආයතනයේ සේවකයන්ගේ පහරදීම්වලින් මිය යන්නට සිදු වීම දෛවයේ කුරිරු සරදමකි. පහර දී මරණයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ සිරුර පුළුස්සා දැමීමට තරම් ම්ලේච්ඡයන් සාහසික වූ බැවින් ඔහුගේ ප්‍රිය බිරිය නිලූෂි දිසානායකටත් ගවිත් ගෙනුක දියවඩන සහ ලිතුල ලෙසාන් දියවඩන පුතුන් දෙදෙනාටත් ප්‍රියන්තගේ මෘතදේහය දැකබලා ගැනීමටවත් හැකි වූයේ නැත. සිත් පිත් නැති කුරිරු ත්‍රස්තවාදීන්ට ගොදුරු වූ අන්වර් සදාත්, මහත්මාගාන්ධි ගැන සිහිපත් කළ පකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ඕමාර් ෆාරුක් බර්කි එච්. අයි. ප්‍රියන්ත කුමාරගේ මරණය පිළිබඳව හද පත්ළෙන්ම කනගාටු වන බවත් එය ප්‍රකාශ කිරීමට ඔහුට වචන ප්‍රමාණවත් නොවන බවත් පැවසුවේය.

මිය­ගිය ප්‍රියන්ත කුමා­රගේ බිරිඳ නිලූෂි, වැඩි­ම­හල් පුතු ගවිත් ගෙනුක සහ බාල පුතු ලිතුල ලෙසාන්

මේ වන විට රාජ්කෝ ආයතනයෙන් ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුපත් සියොල්කෝට් ව්‍යාපාරික ප්‍රජාවගෙන් එකතු කළ ඇමරිකන් ඩොලර් 100,000ක මුදලකුත් ප්‍රියන්ත කුමාරගේ බිරිය සහ දරු දෙදෙනාට පිරිනමා තිබේ. වන්දි ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පකිස්තාන රජයට ස්තුතිය පළ කළ ප්‍රියන්තගේ බිරිය නිලූෂි දිසානායක, ප්‍රියන්ත ඝාතනය කළ අයට එරෙහිව අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය කඩිනම් කර වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. මෙම උත්සව සභාවේදී ප්‍රියන්තගේ පුතුන් දෙදෙනාට පාසල් උපකරණ කට්ටල 2ක් තෑගි කළේ පකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ඕමාර් ෆාරුක් විසිනි.

“ප්‍රියන්ත අවුරුදු ගණනාවක් පිටරට රැකියාවක් කළේ දරුවන් දෙදෙනාගේ අනාගතය සැපවත් කරන්න. එයාගේ රැකියාව නිසා ප්‍රියන්තත් මමත් ගතින් දුරස් වුණා. දරුවන් දෙදෙනාටත් ලැබිය යුතු පිය උණුසුම ඈත් වෙලා ගියා. අන්තිමට ප්‍රියන්තත් නැති වුණා. ඒ නිසා මම අපිට ලැබුණ ඇමරිකන් ඩොලර් 100,000 දරුවන් දෙදෙනාගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තැන්පත් කළා. එය මොනම හේතුවක් නිසාවත් වියදම් කරන්නේ නැහැ. මොකද ප්‍රියන්ත බලාපොරොත්තු වුණ දරුවන්ගේ අනාගතය යහපත් කිරීමේ වගකීම මම නොපිරිහෙළා ඉෂ්ට කළ යුතු නිසා. ප්‍රියන්තගේ මාසික වැටුපෙන් අපි ජීවත් වෙනවා. ඒත් දැන් ඉස්සර වගේ වියදම් කරන්න බැහැනේ. මම අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් වියදමකදී දෙපාරක් තුන්පාරක් හිතලා වියදම් කරන්නේ. එහෙම නැතිව බැහැනේ.” යනුවෙන් නිලූෂි දිසානායක පැවසුවේ අප සමඟ කළ විශේෂ කතාබහකදීය.

ප්‍රියන්ත කුමාරගේ වැඩිමහල් පුතු ගවිත් ගෙනුක ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර බාල පුතු ලිතුල ලෙසාන් වැලිපිල්ලෑව කනිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මෙම කුඩා දරු දෙදෙනා සමඟ නිලූෂි තවත් බොහෝදුර තනිවම පිය නැඟිය යුතුය. දැන් ඇගේ අත්වැල කැඩී බිඳී ගොසිනි. ඇගේ සහයට සෙවණැල්ල මෙන් සිටින්නේ ඇගේ පියා වන එස්.එම්. දිසානායක සහ සොහොයුරු මංජුල දිසානායක සහ ඇගේ නිවුන් සොයුරිය පමණි.

“පකිස්තානයෙන් මුදල් ප්‍රදානය කළා කියලා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණාට පසුව ආධාර ඉල්ලලා එන අයගෙන් නම් අඩුවක් නැහැ. පන්සල් හදන්න කියලා එනවා, කකුල් ගන්න කියලා එනවා, වකුගඩු සැත්කමකට ආධාර ඉල්ලගෙන එනවා. දවසකට තුන් හතරදෙනෙක් නම් අනිවාර්යයෙන් එනවා.” යනුවෙන් පැවසුවේ නිලූෂිගේ පියා වන එස්.එම්. දිසානායකය.

කුඩා දරු දෙදෙනකු සමඟ කැන්දලියැද්දපාළුව ග්‍රාමයේ නිවසක ජීවත් වන නිලූෂි දිසානායකගේ අනාගතය පැහැබර නැත. අනාගතය සුබදායි කර ගැනීමට ඇයට බොහෝ කැප කිරීම් කරන්නට සිදුවේ. දුක් සුසුම් හෙළන්නට සිදු වේ. ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා සේ යන පිරුළ මට සිහිපත් වූයේ නිලූෂි වැනි තනිවම ජීවිතයට මුහුණ දීමට වෙර දරන කාන්තාවකගෙන් ආධාර උපකාර පතා පැමිණෙන කතා ගැන එස්.එම්. දිසානායක පැවසූ විටදීය.

(ඡායාරූප සුලෝචන ගමගේ)

Comments