විදුලිය කපන්නට පෙර බලශක්ති සංරක්ෂණයට සැරසෙමු ද? | සිළුමිණ

විදුලිය කපන්නට පෙර බලශක්ති සංරක්ෂණයට සැරසෙමු ද?

විදුලි අර්බුදයක් පවතින මේ දිනවලත් ඇතැම් තන්හි දහවලේත් මාර්ගවල විදුලි ලාම්පු ස්ථාපිත කරන පළාත් පාලන ආයතනයන්හි වගකිවයුත්තන් හෝ විදුලි ලාම්පු අසල පදිංචි අයවලුන් හෝ මේ විදුලි අර්බුද සමයේ වුවද විදුලි ලාම්පු පාන්දර හය පමණ වෙද්දී නිවා දැමීමට කටයුතු නොකරති.

රටපුර ඇති විදුලි ලාම්පු සඳහා විශාල විදුලියක් ජනනය කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුව ඇත. රටේ සෑම තැනෙකම පාහේ වීදි ලාම්පු, උද්‍යානවල ආලෝක ලාම්පු රාත්‍රිය පුරා ඉවක්බවක් නොමැතිව දැල් වේ. වර්තමාන ගැටලුවට යම් විසඳුමක් ලෙසට අත්‍යවශ්‍ය වීදී ලාම්පු හැර අන් සියලු වීදි ලාම්පු හා අලෝකකරණ පද්ධති නිවා දැමිය යුතුය.

එමෙන්ම කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඇතුළු විවිධ උද්‍යානවල ආලෝක පද්ධති මෙකී ගැටලුකාරි තත්ත්වය සමනය වන තුරු හෝ රාත්‍රී අට නවය වෙද්දී නිවා දැමීම විදුලිබල ගැටලුවට යම් සහනයකි.

ඊට අමතරව කාර්යාලවල ක්‍රියාත්මක වන වායු සමීකරණ යන්ත්‍ර මේ දිනවලවත් ක්‍රියා විරහිත කර මෙකී විදුලිබල ගැටලුවට යම් විසඳුමක් ලබාදිය යුතුය.

මේ අනුව වීදි ලාම්පු දැල්වීම කාර්යාලවල, නිවෙස්වල වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ නීතිරිති පනවා හෝ මේ විදුලිබල ගැටලුවට යම් විසඳුමක් ලබා දෙනු මැනවි

මනෝජ් ප්‍රියදර්ශන බණ්ඩාරවෙල


අධ්‍යාපන අනධ්‍යයන සේවයත් සංවෘත සේවාවක් කරන්න

මීට දශක ගණනාවකට පෙර පාසලක අනධ්‍යයන අංශයේ හෝ සේවකයකු අප දුටුවේ නැත. එහෙත් වර්තමානයේ තත්ත්වය ඉඳුරාම වෙනස් වී තිබේ.

රටපුරා පාසල් දස දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර තිබේ. මෙම පාසල් බහුතරයකම එක් අනධ්‍යයන සේවකයකු හෝ සේවය කරයි. පාසල් අනධ්‍යයන සේවාව ආරම්භ කළ පසු දිවයිනේ සෑම පාසලකම පාහේ දෛනික කටයුතු බොහෝ පහසු විය. අතීතයේ ගුරු භවතුන් මඟින් ඉටු වූ බොහෝ කාර්යයන් වර්තමානයේ සිදු වන්නේ අනධ්‍යයන සේවකයන් මඟිනි.

දිවයිනේ පාසල් තුළ දැනට පාසල් අනධ්‍යයන සේවකයෝ විසි දහසකටත් වඩා සේවය කරති. මෙම පිරිස මඟින් පාසල් පද්ධතියට ඉටුවන සේවාව අතිමහත්ය. පාසල් ගේට්ටුවේ සිටින ආරක්ෂක නිලධාරියාගේ සිට කාර්යාලයේ සේවය කරන පාසල් කාර්ය සහායකයා දක්වා විහිදී ගිය පරාසයක් තුළ එම පිරිස විහිදී සිටී.

දැනට පිළිගෙන ඇති ආකාරයට පාසල් කාර්ය සහායක සේවාව ද අයත් වන්නේ සංවෘත සේවාවටයි. එබැවින් ගුරු සේවය ද සංවෘත සේවාවක් ලෙස ස්ථාපිත කරන විටදී පාසල් අනධ්‍යයන සේවාව ද සංවෘත සේවාවක් ලෙස පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

චන්දන වන්නිආරච්චි දෙහිඅත්තකණ්ඩිය


මතින් තොර රටක්

 රටක දියුණුව රැඳී පවත්නේ තරුණ පරපුරේ ජවය - ශක්තිය මතයි. අපගේ ජීවනාලිය බඳු තරුණ පරපුර විනාශ කරන්නට, රට නැවත වරක් ප්‍රපාතයට ඇද දමන්නට විදේශ බලවේග මෙන්ම මෙරට අන්තවාදීන් ද පියවර ගෙන ඇති බව පැහැදිලිය. අපගේ අතිදක්ෂ ආරක්ෂක නිලධාරින් කරන වැටලීම් සාර්ථක වී ඇත්තේ ජනතාව ලබාදෙන නිවැරැදි තොරතුරු නිසායි.

මතින් තොර රටක් ඇති කිරීමට පියවර ගෙන ඇති පසුබිමක නිලධාරින්ගේ නොපසුබට උත්සාහය සහ කැපවීම අගය කළ යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ සොයා බලා නීතිමය පියවර ගන්නා නිලධාරි මහතුන්ට සිදුවන අයුතු බලපෑම්වලට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පියවර ගන්නා බව අපි දනිමු. මත් වතුර, මත් පෙති, මත් කුඩු නොමැතිව ජීවත් වීමට අසීරු තරුණ ජීවිත දහස් ගණනින් සමාජයට එකතුවේ. මානසිකත්වය ශක්තිය දුර්වල කරන මත් වතුර, මත් පෙති, දුම්වැටි නිසා හෘදයාබාධ වකුගඩු අක්මාව දියවී තරුණ රෝගීන් රට තුළ සිටින බව අපි දනිමු. මේ අයගෙන් මෙලොවට දායාද වන දරුවන් නිරෝගිමත් දරුවන් යැයි නිගමනය කළ හැකිද?

පාසල් අවට මත්පෙති, මධ්‍යසාර මිශ්‍ර පැණි බීම, ටොපි, චුවින්ගම් වැනි දේ අලෙවි කළ අවස්ථාවන් ගැන පසුගිය කාලයේ වාර්තා විණි. මේ අයුරින් පාසල් දරුවන් මතට පුරුදු කර අයථා අන්දමින් මුදල් උපයන සංවිධානාත්මක කල්ලි පාසල් අවට ගැවසෙනු ඇත. පාසල්වල ගුරු මණ්ඩලය මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. දෙමාපිය භාරකරුවන් පාසලට ගෙන්වා දරුවන් ගැන දැනුවත් කිරීමත් ගුරු භවතුන්ගේ යුතුකමය. දරුවාගේ කාමරය, පොත් රාක්කය, පාසල් ගෙන යන බෑගය පරීක්ෂාවට නිතර ලක් කළහොත් දරුවා වරදට පෙලඹීමට පෙරදී මුදවා ගන්නට හැකිය.

ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ සිද්ධීන්වලදී වැඩි දෙනෙක් මද්‍යසාරයට ගොදුරු වූ අය බව පරීක්ෂණවලදී සනාථ වී ඇත. මද්‍යසාරය නිසා වසරකට වටිනා මිනිස් ජීවිත රටට අහිමිවේ. මතට පිරිමි අය මෙන්ම කාන්තාවන් හා කුඩා දරුවන් ද යොමුවීම ශෝචනීයයි. මේ උවදුරෙන් අප ආරක්ෂා වීමට කවර පිළියමක් යෙදිය යුතුද? අප හමුවේ තිබෙන ප්‍රබල ප්‍රශ්නයයි.

ඇන්.කේ.පී. ප්‍රේමදාස ප්‍රනාන්දු පයාගල


‘කොවිඩ්‘ සිවුවන මාත්‍රාවත් ලබා දෙන්න

මානව සම්පත රටක ජීවනාලියයි. ඔවුන් රැක ගැනීම පාලක පක්ෂයේ වගකීම හා යුතුකමකි. කොවිඩ් - 19 වසංගතය නිසා වසර කිහිපයක් තුළ අපට අහිමිවූ මිනිස් ජීවිත සංඛ්‍යාව පහළොස් දහසකට අධිකය. ඔවුන් සෑම අයෙක්ම විවිධ ක්ෂේත්‍ර තුළින් රටේ සංවර්ධනයට ශ්‍රම දායකත්වය සැපයූ අයවලුන් ය. එම ව්‍යසනය හමුවේ ක්‍රියාත්මක වූ රජය මානව සම්පත රැක ගැනීම සඳහා එන්නත් ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලැබී ය. එය පැසසිය යුතු කරුණකි. ඒ අනුව මේ වනවිට කොවිඩ් වසංගතය බොහෝ දුරට මර්දනය වී ඇත. එහෙත් දැනට ශීඝ්‍රයෙන් පැතිරී යතැයි සැක කෙරෙන ‘ඔමික්‍රෝන්‘ වයිරසයට ඔරොත්තු දෙන පරිදි පුද්ගලයා තුළ ප්‍රතිශක්තිය වැඩි කළ යුතුව ඇත. ඒ සඳහා කොරෝනා සිවුවැනි මාත්‍රාව ද ලබාදිය යුතු යැයි අපගේ හැඟීමයි. එසේම මෙම වසංගතය අප රටින් සම්පූර්ණයෙන් ම තුරන් කර ගැනීම සඳහා දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ ටැබ්ලට් එකක් (බෙහෙත් පෙත්තක්) හෝ කැප්ෂූලයක් (බෙහෙත් කරලක්) පැනඩෝල් පෙත්තක් මෙන්, දිවයිනේ ෆාමසිවලින් හෝ විවෘත වෙළෙඳ පොළින් මිලදී ගෙන පාවිච්චි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නේ නම් එය ඉතා වැදගත් බව ද සිහිකර සිටිමු.

එස්. සමරනායක අම්බලන්ගොඩ


සා.පෙළ - උ.පෙළ මැද අසරණ වූ දරුවන්

 රජයේ රැකියා සඳහා අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ විභාගයේ විශේෂිත විෂයන්ගෙන් සම්මාන සාමාර්ථ ඉල්ලා උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීම අනිවාර්ය වේ. සමහර දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථ තිබේ. එසේම උසස් පෙළ විභාගයේ විෂයන් තුන ද හොඳින් සමත්වූ අවස්ථා බොහෝ විට දක්නට ලැබේ. එහෙත් ඔවුහු අසරණව සිටිති. තවද සාමාන්‍ය පෙළ ගණිතය, ඉංග්‍රීසි විෂයන්ට ‘ඒ‘ සාමාර්ථ පවා ඇති සිසුන්ට උසස් පෙළ විෂයන් තුන් සමත් වීමට නොහැකි වීම නිසා ඔවුන් ද අසරණ වූ අවස්ථා එමටය. මෙය වර්තමාන තරුණ පරපුර විරැකියාවෙන් පෙළීමට මූලික වන ප්‍රධාන අවස්ථාවකි. පසුගිය සමයේ රැකියා ලක්ෂයේ වැඩසටහනට පෙර සඳහන් කළ අවස්ථා දෙකට මුහුණ දුන් දරුවන්ට ඉල්ලුම් කිරීමට ද නොහැකි විය.

මේ ගැටලුවට දරුවන් විශාල පිරිසක් මුහුණ දී සිටී. මේ නිසා රජයේ රැකියා යම් තරමකට හෝ සාමාන්‍ය පෙළ සම්මාන ඉල්ලීමේ නීතිය ලිහිල් කළහොත් බොහෝ තරුණ තරුණියන්ට මහඟු සහනයක් සැලැසේ. එම නිසා එම දරුවන් රටේ ශ්‍රම බළකාය සඳහා එක්කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන ඇමැතිතුමනි; මේ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

කේ. ගුණසිංහ තලවාකැලේ


රසායනික පොහොරෙන් මිදී අනාගතය සවිමත් කරමු

 අතීතයේ අප රට කෘෂිකර්මාන්තයට මුල් තැන දුන් රටකි. රාජ්‍ය අනුග්‍රහය ද ඉහළින්ම ලැබුණේ කෘෂිකර්මාන්තයට බව ඉතිහාසය බොහෝ සාක්ෂි දරයි. අතීත මිනිසා වන සම්පත, ජල මූලාශ්‍ර තම ජීවිත මෙන් ආරක්ෂා කළේය. ඒ නිසා නිසි කලට වැසි රටාව ඇති විය. එහෙත් වර්තමානයේ රැකිය යුතුම දේ විනාශ කිරීම නිසා දරුණු ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇත.

රසායනික පොහොර, කෘමි නාශක නිසා වත්මන් ජනයාට සිදු වන්නේ සුළුපටු අනතුරක් නොවේ. පසේ ජීවත්වන සතුන් මඟින් අපට ලබා දුන් පොහොර මේ වන විට අහිමිව ඇත.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ රසායනික පොහොර මඟින් පස සරු කිරීමට සිදු වීමයි. ඒ අනුව තම කූට උපායන් මුඳුන් පමුණුවා ගැනීම සඳහා නොයෙක් රසායනික දෑ නිෂ්පාදනය කොට බහුජාතික සමාගම් අප වැනි රටවලට එවමින් පොහොසතුන් වේ.

මේ වන විට කෘෂි රසායනික යෙදීම නිසා බොහෝ දෙනකු රෝගීන් වී ඇත. තවද ජල මූලාශ්‍රවලට විෂ මුසු වීමෙන් වකුගඩු රෝගීන්ද සුලබ වී ඇත. එසේම වල් නාශක යෙදීම නිසා මෙරටට ආවේණික නොවන තෘණ වර්ග ද පසුගිය කාලයේ මෙරට පොළෝ තලයේ රෝපිත වන ආකාරයක් දිස් විණි. අනතුරුව එම තෘණ විනාශ කිරීමටද ප්‍රබල කෘෂිනාශක යෙදිය යුතුය. ඒ ඔස්සෙ දීර්ඝ කාලයක් පුරා අප රටේ කෘෂිකර්මාන්තය වෙළාගෙන තිබුණේ විදේශීය සමාගම් විසිනි.

එම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට එකම විසඳුම කාබනික පොහොරවලට අනුගත වීමයි. එය මුල් කාලයේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් උදා කරයි. එහෙත් රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධිය උදෙසා දුෂ්කරතා මඟහරවාගෙන කාබනික පොහොරවලට අනුගත වීම සැමගේ යුතුකමයි.

ඒ. එම්. මිත්‍ර සේන කුරුණැගල


ඉබි ගමනේ යන පේරලන්ද මංසන්ධිය

 රාගම, ඇලපිටිවෙල පිරවීම්පොළ හන්දියත් කඳාන - ගනේමුල්ල පාර මංසන්ධියත් අතර පේරලන්ද මාර්ගයේ මැද හරියේ පිහිටා ඇති පේරලන්ද ගම්මානයේ කේන්ද්‍ර ස්ථානය වන, පේරලන්ද සාන්ත අන්තෝනි ප්‍රතිමා පිඨික මංසන්ධියේ දියුණුව ඉබි ගමනක පවතින බව පැහැදිලි සත්‍යයකි.

අවට නගර හා සමගාමීව බලන කල පේරලන්ද මංසන්ධිය පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි ය. මෙම මංසන්ධිය රාගම, කඳාන, බත්ගම්මුල්ල, නාගොඩ යන ගම්මානවලට යා හැකි සතරමං සන්ධියකි. පේරලන්ද දුම්රිය ස්ථානය, පේරලන්ද උප තැපැල් හල, පේරලන්ද ග්‍රාමීය බැංකුව යන රාජ්‍ය ආයතන මෙම මංසන්ධිය ආශ්‍රිතව පිහිටා ඇත.

මෙම මංසන්ධිය කඩ මණ්ඩියක්ව ඇත. කෑම කඩයක් පමණ ද, බේකරියක් ද, සිල්ලර කඩ 03 - 04 ක් ද වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් ද, පාමසි 02 ක් ද මෙම මංසන්ධිය ආශ්‍රිතව පිහිටා ඇත. මංසන්ධිය ආසන්නයේ ළදරු පාසලක් ද පිහිටා ඇත. ඊට අමතරව රූපලාවන්‍ය මධ්‍යස්ථාන හා බාබර් සැලුන් කීපයක් ද වෙයි. මෙම මංසන්ධියට ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවක්, ප්‍රජා ශාලාවක්, පුස්තකාලයක්, සතොස අලෙවිසලක් හා ප්‍රධාන පෙළේ ෆුඩ් සිටියක් අවශ්‍යව ඇත.

‘රජයේ සෞභාග්‍යය දැක්ම’ යටතේ පේරලන්ද වැව ආශ්‍රිතව ‘භූ දර්ශන ව්‍යාපෘතියක’ වැඩ කටයුතු නිමවෙමින් පවතී. අනාගතයේදී පේරලන්ද දෙස් විදෙස් සංචාරකයන් ඇදී එන නගරයක් බවට පත්වීමේ සලකුණු පවතී. පෙර සඳහන් කළ අඩුපාඩු සපුරාලීම කෙරෙහි අදාළ රාජ්‍ය අංශවල අවධානය යොමු වීම අත්‍යවශ්‍යව ඇත. මෙකී කරුණු අනුව ‘පේරලන්ද’ යන නාමයම කීර්ති නාමයක් ලැබීමට හොඳටම ඉඩ ඇත. ‘පේරලන්ද’ ඉබි ගමනේ යන දියුණුව ශීඝ්‍රගාමී වේවා! යැයි අපි ප්‍රාර්ථනා කරමු.

ඩික්සන් කොංගනීගේ පේරලන්ද - රාගම


අධිකරණ සංඝනායක පදවි ලබති

ගොතටුව, ඇල්හේන, ශ්‍රී රතනසාර විහාරය, කොළඹ 6, කිරුළපන ස්ට්‍රැෆර්ඩ් පාරේ ශ්‍රී බෞද්ධාලෝක විහාරය සහ තිස්සමහාරාම මෝලකැපුපතාන, ශ්‍රී ගංගාතිලක රාජමහා විහාරය යන විහාරත්‍රයාධිපති හිටපු විදුහල්පති, ශාස්ත්‍රපති තිහගොඩ භද්දිය හිමිපාණන් හට අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකාය මඟින් බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනමා ඇත. තිහගොඩ භද්දිය හිමිපාණන් විසින් සිදුකරන ලද ශාසනීය මෙන්ම සමාජ සේවා කටයුතු අගයමින් 1996 වසරේදී ද අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකාය මඟින් ධර්මරක්ෂිතවංශාලංකාර යන ගෞරව නාමය සහිත කාරක සභික ධුරයක් ද පිරිනැමිණි. උන්වහන්සේ බෞද්ධ ජනතාවගේ ආගමික වතාවත් විහාරස්ථාන තුනක් ඉදිකරමින් ද කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහලේ විදුහල්පති ලෙස එම පාසල නඟාසිටුවා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ දීප්තිමත් පාසලක් බවට ද පත් කරනු ලැබූහ. සැබෑ උගතකු ලෙසින් තම උපන් රට ඔසවා තැබීමට සෑම විටෙකම ක්‍රියා කළ භද්දිය හිමිපාණෝ, බෞද්ධ ජනතාව උදෙසා ධර්ම ශාස්ත්‍රීය ඥානය බෙදා හැරීමේදී මෙරට පමණක් නොව අන්තර්ජාතිකව ද සංචාරය කරමින් බෞද්ධ ආගමික කටයුතු ප්‍රවර්ධනයට අතිමහත් සේවාවක් සිදු කරනු ලැබූහ.

සාම විනිසුරු පදවි ලබයි

බටපොළ, උඩුවිල ‘ස්වර්ණා‘ නිවෙසේ පදිංචි එම්. එච්. ජයලත් සිසිල් ද සිල්වා ඉකුත් දා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සාමදාන විනිශ්චයකරුවකු ලෙස පත්වීම් ලැබීය.

සිසිල් ද සිල්වා පුහුණු උපාධිධාරි ගුරුවරයකු ලෙස ද ගුරු උපදේශකවරයකු ලෙස ද සේවය කොට විශ්‍රාම ලැබූවෙකි. අම්බලන්ගොඩ සමථ මණ්ඩලයේ වසර 10කට වැඩි කාලයක සිට සේවයේ යෙදී සිටින සිටින සිසිල්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Comments