වමේ ක්‍රියාකාරිකයකුගේ ජීවන අත්දැකීම් | සිළුමිණ

වමේ ක්‍රියාකාරිකයකුගේ ජීවන අත්දැකීම්

අඳුරු සමයක් පිළිබඳ ආවර්ජනයක්

සූවේ ජූලි 17 වෙනිදා මහා වැඩවර්ජනයට අපේ සංගමයේ සාමාජිකයන්ගෙන් සියයට අනූ පහකට වැඩිය සහභාගි වුණා. මම වැඩ කළේ කොළඹ මහා නගර සභාවේ භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුවේ. ඒ වර්ජනයට සහභාගි නොවුණේ ඉතාම අතළොස්සක පිරිසක්. ලිපිකරු, කම්කරු, ඕවර්සියර්, සරප්, පොත් තබන්නා, ලඝු ලේඛක, ගබඩා පාලක වගේ සියලුම ක්ෂේත්‍රවල අය මහා වැඩවර්ජනයට සහභාගි වුණා. වර්ජනය ආරම්භ වෙලා දෙවැනි දවස වෙනකොට රජය තහනම් නිවේදනයක් නිකුත් කළා. “සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැර ගියා සේ සලකනු ලබනවා”. අග්‍රමාත්‍ය හා පළාත් පාලන ඇමති ප්‍රේමදාස රණසිංහ කොළඹ නගර සභාවට ආවා, වර්ජනයේ තත්ත්වය බලන්න. මුළු නගර සභාවම පාළු සොහොන් බිමක් වගේ. ඒක දැකලා එයා ජා.සේ.සංගමයේ නායකයන්ට හොඳටම දොස් කියලා.

මේ වැඩ වර්ජනය කළ අයගේ සියලුම තනතුරුවලට වහාම අලුතින් සේවකයන් බඳවා ගන්න නියෝග කළා. ඒ නිසා අපිට රක්ෂාව අහිමි වුණා. ජූලි 17 වෙනිදා අපි වර්ජනය කරලා එළියට බැස්සේ 18 වැනිදා ගන්න තියෙන ඒ මාසේ පඩිය ගන්නෙත් නැතිවයි. කොළඹ නගර සභාවේ සියලුම නිලධාරින්ට සහ කම්කරුවන්ට වැටුප් හැදුවේ මමත් යූ.කේ. මේරිත් දෙන්නා. අපි ඒ මාසේ ගෙවන්න තියෙන පඩි ලැයිස්තු පිළියෙල කරලා, ඒවා මේස කබඩ් එකේ දාලා වහලයි එළියට බැස්සේ. වර්ජනය නොකර සේවය කළ අයටත්, නගරාධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ටත්, සභාවේ කිසිම කෙනෙකුටවත් පඩි ගෙවන්න විදිහක් නැතිවුණා. වැඩ වර්ජනය කරලා සතියක් දෙකක් යනතුරු අපි නගර සභාව ඉදිරිපිට, දැන් බෞද්ධ බාලිකා විද්‍යාලය තියෙන තැන ශ්‍රී.ල.නි.ප වෘත්තීය සමිති සම්මේලනය තිබුණු පරණ ගෙදර තමයි රැස්වුණේ. වර්ජනය කළ අප සංගමයේ සාමාජිකයන්ට සංගමයේ යහ සාධක ක්‍රමයේ අරමුදලින් රුපියල් 50ක මුදලක් දුන්නා. ටික දවසකට පස්සේ නැවත රුපියල් 50ක් දුන්නා.”

ඒ සටහන අපට හමුවන්නේ ඩී.පී. සමරසිංහ නමැති වමේ ක්‍රියාකාරිකයාගේ ජීවන අත්දැකීම් කැටි කරගත් ´මගේ ජීවිතය´ නම් කෘතියේය.

වාම විප්ලවවාදියකුගේ ධෛර්යය, කැපවීම, නිර්භය බව, මනුෂ්‍යත්වය, සුන්දරත්වය පමණක් නොව ආදරය, දයාව, කරුණාව ආදි මානවීය හැඟීම් ද මැනවින් නිරූපණය කරන මෙම කෘතිය තවත් එක් ස්වයං චරිත කතාවක් පමණක් නොවේ. මෙම කෘතියේ රචකයා වන ඩී.පී. සමරසිංහ අඩ සියවසකට ආසන්න කාලයක් දේශපාලන හා වෘත්තීය සමිති කටයුතු වන නියැළී සිටින සමාජ ක්‍රියාකාරිකයෙකි.

වර්ෂ 1964දී ලංකා සම සමාජ පක්ෂයේ අත්තිඩිය සම සමාජ තරුණ සමිතියේ ලේකම් ලෙස කටයුතු කරමින් සිය ක්‍රියාකාරී ජීවිතය ඇරඹූ ඔහු සිය ජීවිත කාලය තුළදී මුහුණ දුන් සමාජ, දේශපාලන සිදුවීම් රාශියක් මෙම කෘතියට ඇතුළත් කර ඇත. විශේෂයෙන්ම 1980 ජූලි වැඩ වර්ජනය සහ 1983 කළු ජූලිය ආශ්‍රිත කාලයේදී ඩී.පී. සමරසිංහයන් තම සටන් සගයන් සමඟ දේශපාලනයේ නියැළුණු ආකාරය පිළිබඳ සත්‍ය සිදුවීම් ඇසුරින් මෙම කෘතිය රචනා කර ඇත.

ශ්‍රී ලාංකේය සමාජයේ එක් අඳුරු සමයක් පිළිබඳ මෙම කෘතියේදී විශේෂයෙන් කියැවෙන අතර එම අඳුරට බලපෑ දේශපාලනික , සමාජ පසුබිම, මිනිස් ආකල්ප අධිකාරී බලය ඇති තැනැත්තන් විසින් තම අවශ්‍යතා සඳහා යොදාගන්නා ආකාරය ද මෙම කෘතියෙන් මැනවින් විදහා දැක්වේ. තම දේශපාලන බලය සඳහා මිනිසත්කම දූෂණය කරන දේශපාලඥයන් ඒ මඟින් සිදු වන ජීවිත විනාශයේ සමාජ ව්‍යසන නොසලකා හරින ආකාරයත් ඒවායේ වගකීම වෙනත් දේශපාලන පක්ෂ වෙත පැවරීමට ගන්නා ලද කූඨ ප්‍රයත්නයන් කතුවරයා මේ මඟින් අනාවරණය කර ඇත.

මේ කෘතියට පෙරවදනක් සපයමින් ජාතික මැතිවරණ කොමිසමේ අධිනීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ වමේ ක්‍රියාකාරිකයකු වන ඩී.පී. සමරසිංහ තුළ තිබූ පොදු අරමුණක් වෙනුවෙන් කැපවීමේ අධිෂ්ඨානය ඔහුට පමණක් නොව ඔහුගේ සගයන් ට ද ජීවය ලබාදී ඇති බවයි.

අද වැනි වාණිඡ පරමාර්ථ ප්‍රමුඛ කරගත් සමාජයක මිනිසුන්ට එය ගෝචර නොවූවද සමාජයක හෝ රටක යම් ප්‍රගමන වෙනසක් සිදු කර ඇත්තේ මනුෂ්‍යා කෙරෙහි අනූපම ආදරය පෙරදැරි කරගත් එවැනි මිනිසුන් විසින් බව ඉතිහාසය සාක්ෂි දරන අතර එය අවබෝධ කරගැනීමට මෙම කෘතිය උපකාරී වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම කෘතිය ලියන්නට කතුවරයාට නිබඳ දිරිදුන්, මුද්‍රණයෙන් පිටවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි කෘතියට පසුවදනක් ද ලියූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මේ වන විට ජීවතුන් අතර නොසිටියද කෘතියට පසුවදනක් සපයමින් ඔහු පවසා ඇත්තේ මේ කෘතියෙන් අනාගත විප්ලවාදී සටන්කාමීන්ට රහසිගත දේශපාලනයේ නිතර වීමට යම් මට්ටමින් අත්දැකීමක් ලැබෙනු ඇති බවයි.

වෘත්තිය සමිති සටන් සගයකු වන කතුවරයා, මේ වන විට කෘති 19ක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර´ මගේ ජීවිතය´ නම් මේ කෘතිය නවකතාවක ස්වරූපයෙන් ලියා ඇත්තේ පාඨක ආකර්ෂණය දිනා ගනිමිනි. සරල ලේඛන ශෛලිය මෙන්ම කෘතියට ඇතුළත් කර ඇති ඡායාරූප ද කෘතියේ වටිනාකම ඉහළ නැංවීමට සමත් වී ඇති බව ද කිව යුතුය.

ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්නේ

Comments