ලෙඩ වපු­රන ඉලෙ­ක්ට්‍රො­නික් අප­ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් | Page 2 | සිළුමිණ

ලෙඩ වපු­රන ඉලෙ­ක්ට්‍රො­නික් අප­ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක්

පි පසුකරමින් සිටින්නේ තාක්ෂණයෙන් පිරි සමාජ වටපිටාවක්ය. එදා කසල ලෙස කොළ, කුණු රොඩු එකතු කරමින් පොහොර බවට පත් කළ අතීතය තවමත් මතකයේ ඇත. එයින් අස්වැන්න සරු කරගත් අයුරු, ඒ අස්වැන්නෙන් බත්පත පොහොසත් කළ අයුරු අමතක නැත. තාක්ෂණික යුතයේ මේ සියල්ල කණපිට පෙරළි ඇත. එදා නිවසින් කුණු කසළ එළියට දැමූවද, අද බොහෝ සෙයින් පරිසරයට එකතු වන්නේ E- Waste නමින් හැඳින්වෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය. මිනිසා නොදැනුවත්කමින් හෝ නුවමනාවෙන් පරිසරයට එකතු වන මේ ඉලෙක්ට්‍රොනික කසළ නිසා වර්තමානයේ බොහෝ දෙනෙක් නිරපරාදේ දුක් විඳින්නේ විවිධ රෝගාබාධයන්ට ලක් වෙමිණි.

 

මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ වසරකට ඉලෙක්ට්‍රොනික කසළ ටොන් අති වශාල ප්‍රමානයක් මහ පොළොවට එක්වන අතර, අවසානයේ ඒවායේ අන්තර්ගත රසායනිකයන් අප බොන ජලයට මෙන්ම ආහාර ද්‍රව්‍යන්ටද මුසු වීමය. වසරකට අප ඉවත් කරන ඉලෙක්ට්‍රොනික හෝ විද්‍යුත් අපද්‍රව්‍ය බොහෝය. ඔබ අපි නිරන්තරයෙන් භාවිත කරන ජංගම දුරකතන චාජරයේ සිට පරිගණක, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර, විදුලි පංකා, මුළුතැන්ගෙයි විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ, බැටරි, DVD මෙන්ම CD තැටි, මුද්‍රණ යන්ත්‍ර පමණක් නොව කැඩුණු නොකැඅඩුණු CFL මෙන්ම LED බල්බ, භාවිතයට ගත නොහැකිව ඉවත දමන ශීතකරණ, වායු සමිකරණ යන්ත්‍ර සියල්ල E- Waste හෙවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය.

සියලු දේට මුල නොදැනුවත් කම වුවද, සියල්ලේම අවසානය මහ විනාශයකින් කෙළවර වන්නේ නම් ඊට අපි පිළියම් සෙවීම ඇවැසිය. නිවසේ විදුලි බල්බයක් භාවිතයෙන් පසු ඉවත් කරන්නේ කෙසේද? තම නිවසේ ඉදිරිපිටින් යන භාවිතයෙන් ඉවත දමන බඩු එකතු කරන රථවලට මේවා ලබා දෙන්නට පුරුදු වී සිටියද සමහරු පොළොවට පස් වන්නට හෝ ගිනි ගෙන දැවෙන්නට ඉඩ හරින්නේ දිගුකාලීන විපාකයන්ට අත වනමිනි.

ලංකාවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ නිසි ක්‍රමවේදයක් ඇවැසිය. ඔබ නිවසේ එකතු වන මෙවන් අපද්‍රව්‍ය නිසි පරිදි එකතු කර අදාළ ස්ථානයන්ට ලබාදීමට ඔබට අවස්ථාවක් පෑදේ නම් එය ඔබේ සෞඛ්‍යයට පමණක් නොව රටට ද ධන උල්පතක් වනු ඇත. මේ මස 28 හා 29 දෙදින එවන් අවස්ථාවක් ඔබට උදා කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු මීට අදාළ ආයතන විසිනි.

“ මුල් අදියර වශයෙන් මේ මස 28 , 29 දෙදින තුළ බස්නාහිර පළාතේ මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීම් සිදු කරනවා,මධ්‍යස්ථාන 40 ක් මුල් කර ගනිමින්. ගම්පහ දිස්ත්‍රීක්කයේ ස්ථාන 34 ක්, කොළඹ දිස්ත්‍රීක්කයේ ස්ථාන 14 ක් හා කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8 කදි ඔබේ නිවසින් ඉවතලන මේ ද්‍රව්‍ය අපට ලබා දිය හැකියි. ඉදිරියෙදි මෙම අපද්‍රව්‍ය එකතු කිරීම ලංකාව පුරාම සිදු කරනවා. බස්නාහිර පළාතින් එවැනි අපද්‍රව්‍ය ටොන් 50- 100 ක ප්‍රමානයක් ලැබේවියැයි අපි අපේක්ෂා කරනවා. අදාළ ස්ථානයට පැමිණ හෝ පළාත් පාලන ආයතන හරහා එකතු කිරිමේ ලොරි රථ වලටද ලබා දීමේ පහසුකම්ද අපි සලසා තියෙනවා....“ ඒ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහය.

මධ්‍යම පරිසර අධිකාරිය වසරක් පාසා මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කළ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. කොවිඩ් වසංගතය පැවැති වකවානුවේ තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එකතු වී මෙවැනි අපද්‍රව්‍ය ටොන් 90 ක් එකතු කර ඇත. 2016 වසරේදිද එවැනි ආකාරයෙන් එකතු කළ ටොන් ප්‍රමාණය 250 කි. 2014 ටොන් 227 කි. ඉදිරිය ගැන අනතුරු හඟවන විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ මේ වසර අග වන විට ලංකාවේ පමණක් එවැනි අපද්‍රව්‍ය ටොන් 22,000 ක් එකතුවිය හැකි බවකි.

“ නිවසින් භාවිතයට නොගන්නා මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පොළවට එකතු වීම නිසා යම් අවස්ථාවක පරිසර පද්ධති බිඳ වැටෙන තත්ත්වයකට පත් වෙනවා. CFL මෙන්ම LED බල්බ භාවිතයෙන් පසු පරිසරයට මුදා හැරීමෙන් එහි ඇති රසදිය පසට හා පානිය ජලයට මුසු වීමෙන් පිළිකා පෙනහලු ආබාධ වැනි රෝගයන්ට ලක්වීමේ අවදානම පවතිනවා. ඒ වගේම පරිගණක දෘඩකාංග හේතුවෙන් ආසනික් වැනි භයානක ලෝහ පසට මුසුවිය හැකියි. උපකරණ මල බැඳීම වළක්වා ගැනීමට යොදා ඇති කැඩ්මියම් හේතුවෙන් අස්ථි විකෘති වීම් පෙනහලු, රුධිර ආබාධ ඇතිවිය හැකි බව සොයාගෙන තියෙනවා.

ඒ වගේම හැලජන් වර්ග පිළිස්සීමේදි සෑදෙන ඩයොක්සීන් වැනි ද්‍රව්‍ය වසර 150 ක් පමණ චක්‍රීයව කැරකි කැරකී පිළිකා, වඳභාවයන් මෙන්ම මරණය ඇති කරනවා. 2021 වසරේදී එවැනි අපද්‍රව්‍ය ටොන් 10,000 ක්ද, 2012 වසරේදි ටොන් 11,000 ක්ද, 2016 වසරේදි ටොන් 18,000 ක්ද බැහැර වුණා. මේ නිසා අපි පුරෝකතනය කරනවා, 2022 වසරේදී ටොන් 23,000 ක් බැහැර වෙයි කියලා......“ ඒ මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ චතුර මල්වානය.

එසේනම් ඔබට මේ වෙනුවෙන් ලබා දිය හැකි දායකත්වය කෙබඳු වේද? ඔබ නිවසින් බැහැර වෙන මෙම අපද්‍රව්‍යවලට මිල කළ හැකි වටිනාකමක් ලබා දෙන්නේ කෙසේද? ඔබ නිවසේ පරිහරණයට නොගත හැකියැයි සිතා බැහැර කරන මෙවැනි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය සඳහා යැවෙන්නේ විදෙස් රටවලටය. එසේ විදෙස් රටවලට යැවීම සඳහා ලංකාවේ ලියාපදිංචි ආයතන 15 ක් ඇත. මධ්‍යම පරිසර අධිකාරිය යටතේ බලපත්‍රලාභි මේ ආයතන හරහා මේ අපද්‍රව්‍ය ටොන් පිටින් ලබා දෙන්නේ ජපානය, ජර්මනිය, චිනය, දකුණු කොරියාව, ඇමරිකාව හා කැන්ඩිනේවියානු රටවලටය.

බාසල් (BASEL) සම්මුතියට අනුව අපේ රටින් ඝන අපද්‍රව්‍ය විදේශයන්ට ලබා දීමේදී ඒ සඳහා නිසි එකඟතාවක් තිබිය යුතුයි. විදේශ රටවලදි මෙවැනි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට ලක් කිරිමෙන් මිල කළ නොහැකි වටිනා ධනස්කන්දයක්ද මතු කර ගනියි. මේ වන විට ලංකාවේද එවැනි ආයතනයක් ආරම්භ කරමින් පවතියි.

“ මේ ඉලෙක්ට්‍රොනික යුගයේදී E- Waste වැඩි වෙමින් යනවා. ආවර්ථිතා වගුවේ ඇති බොහෝ රසායනික ඇතුළු සිරුරට විස කොටස් අනිසි ලෙස බැහැර කිරීමෙන් පසට, ජලයට එකතු වෙනවා. මේ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමෙන් විශාල ධනස්කන්ධයක් අපේ රටට ඉතුරු කර ගත හැකි වෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ඇගැයීම් වාර්තාවන්ට අනුව කටුනායක ප්‍රදේශයේ මෙවැනි ප්‍රතිචක්‍රීයකරණ ආයතනයක් ආරම්භ වෙමින් පවතිනවා. ඒ මේ ප්‍රතිලාභ විදෙස් රටවලට නොව ලංකාවටම ලබා ගැනීමේ අරමුණින්. මේ සාකච්ඡාවේදී අපිට කරුණු තුනක් අවධාරණය කළ හැකියි. අපි නොදැනුම්වත්කමින් පරිසරයට එකතු කිරීමෙන් නැති ප්‍රශ්න ඇති වීම, විදෙස් රටවලට ලබා දීමෙන් අපට කිසිදු ලාභයක් අත් කර ගත නොහැකි වීම හා හොඳම පිළියම වශයෙන් ඉදිරියේදි අපේම පිරිපහදුවක් ආරම්භ කිරීමෙන් අපටම මෙහි ප්‍රතිලාභ ලබා ගත හැකි වීමයි..“ ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත්ද සිල්වාය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ, එහි අධ්‍යක්ෂ ජනරාල් පී.බී හේමන්ත ජයසිංහ ඇතුළු ප්‍රධානීන්ගේ මුලිකත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සිය එකතු කිරිමේ ලියාපදිංචි ආයතන එකතු වී සිදු කරන මේ කටයුත්ත සිදුවන්නේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙන්වෙන්ම හෙයින් ඔබේ දායකත්වය ඊට ලබා දෙන්න.


 

Comments