රට අඳුරට දමන විදුලි මාෆියාව | සිළුමිණ

රට අඳුරට දමන විදුලි මාෆියාව

 

ජයේ පාඩු ලබන ආයතන අතුරින් ඉහළින්ම සිටින ආයතනයක් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයයි. ඇත්තෙන්ම විදුලි බල මණ්ඩලය පාඩු ලබනවාද? එසේත් නැත්නම් පාඩු කරනවාද? යන්න පැන නඟින මූලික ගැටලුවකි.

විදුලි බල මණ්ඩලයේ පැටිකිරිය වසර 15ක පමණ අතීතයට ගොස් බැලූ විට මේ කතාව මැනවින් තේරුම් ගත හැකිය. මණ්ඩලය 2006 වර්ෂයේදී මහා භාණ්ඩාගාරයෙන් රුපියල් දශ ලක්ෂ එනම් මිලියන 33,723ක් ද 2007 දී රුපියල් දශ ලක්ෂ 52,499ක් ද 2008 දී රුපියල් දශ ලක්ෂ 64,219ක් ද 2009 දී රුපියල් දශ ලක්ෂ 89,530ක් ද 2010 දී රුපියල් දශ ලක්ෂ 1,66,777ක් ද 2011 දී රුපියල් දශ ලක්ෂ 1,89,090ක් ද වර්ෂ ණය වශයෙන් ලබාගෙන ඇත. මේ තත්ත්වය එන්න එන්නම දරුණු වී අද වනවිට මණ්ඩලය පවත්වා ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

මණ්ඩලය මේ තරම් විශාල මුදලක් පාඩු ලැබීමට හේතු වූ කරුණු කාරණා බොහෝය. මේ පාඩුව පසුගිය වසරේ සිට තවත් ඉහළ යන්නට විය. මණ්ඩලය මෙතරම් පාඩු ලබන්නට හේතුව විදුලි බලයේ නිෂ්පාදන වියදම ඉහළ යාමට වඩා මණ්ඩලයේ සිදුවූ දුෂණ, වංචා ය.

එමෙන්ම විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට මූලික හේතුවක් වූයේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා අධික මුදලක් වියදම් කිරීමට සිදුවීමයි.

මීට වසර 11කට පෙර එනම් 2011 පැවැති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිබල උත්පාදනය සඳහා තාප විදුලිබලාගාර වැඩියෙන් යොදා ගැනීමට මණ්ඩලයට සිදුවිය. එබැවින් විදුලි ඒකකයක් සඳහා සාමාන්‍ය නිෂ්පාදන වියදම රුපියල් 13.51 සිට රුපියල් 15.59 දක්වා ඉහළ ගොස් තිබිණි. විදුලි බිලට ලබාදෙන සහනාධාරය ද මණ්ඩලයේ පාඩුවට හේතුවක් විය.

වසරින් වසර වන විදුලි බල ඉල්ලුම ඉතා අධිකය. එමෙන්ම මෙරට ආයෝජන කලාප වැඩිවීමත් සමඟ වන ඉල්ලුම ද අධිකය. ඒ සියල්ල කෙරෙහි අවධානයෙන් අතීතයේ කටයුතු කරන ලදී. මහවැලි ව්‍යාපාරයෙන් ජල විදුලිය උත්පානය කිරීම වසර 30ක් තුළ ක්‍රමයෙන් වර්ධනය වන ලෙස සැකසුවත් පසුව සියලු ව්‍යාපෘති එක්වර ක්‍රියාත්මක වන පරිදි කඩිනම් මහවැලිය ස්ථාපිත කෙළේ විදුලිය බලයට ඉල්ලුම වසරින් වසර ඉහළ යාමේ ප්‍රවණතාව නිසාය. කඩිනම් මහවැලියේ දූෂණ සිදුවීම වෙනම ම කතාවකි. එහෙත් එය විසඳුමක් ලෙස කාලෝචිතය.

මෙරට ජල විදුලි බලාගාරයන්ගේ ධාරිතාව ඉක්ම යන විට ඒ වෙනුවෙන් කුඩා ජල විදුලි බලාගාර මෙන්ම සුළං, මුහුදු රළ මෙන්ම සූර්ය විදුලි බලාගාර සැලසුම් පැමිණිය ද ඒ සියල්ල යටපත් වූයේ මහා පරිමාණ විදුලි ව්‍යාපෘති තුළින් කොමිස් කුට්ටි ලබා ගැන්මට හැකි නිසා ය.

නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා චීන රජයෙන් ලබාගත් ණය මුදල රුපියල් මිලියන 55,300කි.

එවන් අතිවිශාල ආයෝජන නිසා විදුලිය සඳහා දැරීමට සිදුවී ඇති අතිවිශාල ණය කන්දරාව නිසා මණ්ඩලයට ලාභයක් ඉපයීම කෙසේ වෙතත් දෛනිකව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත.

එසේම විදුලි බල මණ්ඩලය ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන කාර්යයන් මේ වන විට ආයතන 4කට බෙදී යෑම ද මෙහිලා සිදුව ඇති තවත් ගැටලුවකි. බැලූ බැල්මට එහි කටයුතු විමධ්‍යගත කිරීමක් ලෙස පෙණුන ද මෙහි සැබෑ

ස්වරූපය කියනා තරම් සුන්දර නොවේ. අදාළ ආයතන 4 මෙසේ වර්ග කළ දැක්විය හැකිය.

1. ලංකා විදුලිබල මණ්ඩලය(CEB)

2. ලංකා පුද්ගලික විදුලි සමාගම (LECO)

3. විදුලි ජනන පුද්ගලික සමාගම් (IPP)

4. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)

5. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය කාර්යක්ෂම කිරීම පිණිස ලෙකෝ ස්ථාපිත කළද එහි පරිපාලනයේද සිදු වූ දූෂණයන් ගැන පසුගිය කාලයේ වාර්තා විය. එමෙන්ම විදුලි ජනන පුද්ගලික සමාගම හෙවත් (IPP) විදුලි බල මණ්ඩලයට කොටස් 49%ක් පමණක් අයිතිය ඇති නිසා අවම වශයෙන් කෝප් කමිටුවට හෝ එහි විගණන කටයුතු කළ නොහැකිව ඇත.

විදුලි බල මණ්ඩලයෙන් විශ්‍රාම ගන්නා ලොකු ලොක්කන් ජීවිත කාලය පුරාම එහි සේවය කරති.

එමඟින් එයින් කාර්යක්ෂම සේවාවක් අපේක්ෂා කළ නොහැකිය. උප කොන්ත්‍රාත් සමාගමක් ලෙසින්ද ක්‍රියා කරන එය තවත් එක් බරක් පමණි.

විදුලිය අර්බුදයට නිසි විසඳුමක් නොමැති නිසා සෑම වසරකම මාස කිහිපයක් විදුලිය කැපීමට සිදුවන තත්ත්වයක් මේ වන විට මතුව තිබේ. විදුලිය අත්හිටුවීම යනු රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්පූර්ණයෙන් ම බලපවත්නා සාධකයකි. විදුලිය කැපීම නිසා පවත්නා රජයන්ටද දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදු වේ. කරු ජයසූරිය, කරුවල ජයසූරිය වීම එයට හොඳ ම උදාහරණයයි. ඒ නිසා සෑම රජයක් ම අඛණ්ඩ ව විදුලිය සැපයුමක් ලබාදීමට උත්සාහ දරයි.

ඒ සඳහා යෝජනා ලෙස විදුලිබල මණ්ඩලයෙන් විමසූ විට ඔවුන් පවසන්නේ පෞද්ගලික අංශයෙන් හදිසි මිල දී ගැනීම් සිදු කිරීම ය.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම යනු විදුලිබල මණ්ඩලයේ ලොකු ලොක්කන්ගේ සාක්කු හොඳින් පිරෙන්නකි. ඒ හැරෙන්නට කිසිදු විටක දීර්ඝකාලීන ලාභදායි වැඩසටහන් යෝජනා කරන්නට කිසිදු විටක විදුලි බල මණ්ඩලය කටයුතු කර නැත. යෝජනා කරන විසඳුම් සැමවිටම මහා පරිමාණ විදේශාධාර මත යැපෙන මහා පරිමාණ පාරිසරික වාර්තා ලබා ගත යුතු විසඳුම් ය.

විදුලි බල මණ්ඩලය 2015 වසරේ සිට මේ දක්වා ජාතික විදුලිබල පද්ධතියට නිසායාකාර විදුලිය බලයක් එක්කර නැත. නමුත් 2015 සිට පෞද්ගලික වශයෙන් විදුලිය මිල දී ගැනීම් අසාමාන්‍ය ලෙස සිදු ව තිබේ. මේ මිල දී ගැනීම සිදු ව ඇත්තේද එක් සමාගමකින් පමණක් වීම කැපී පෙනේ.

අප රටේ ප්‍රධානම විදුලි උත්පාදන මාර්ගය වන්නේ ජල විදුලියයි. මේ වන විට ගල්අඟුරු බලාගාරයන්ද මෙරට ප්‍රධාන විදුලිය සපයන්නන් බවට පත්ව තිබේ.

එසේ වුවත් වසරේ දින 365 ම හොඳින් සූර්යාලෝකය ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටක සූර්ය බල ශක්තිය යොදා ගන්නේ ඉතා ම අඩුවෙන් වීමත් සුළං බලාගාර වෙනුවෙන් අවම අවධානය යොමු කිරීමත් කනගාටුවට කරුණකි.

හම්බන්තොට හා මන්නාරමේ මෙන් සුළං බලාගාර තැනීමට තවත් බොහෝ තැන් ඇත. විශේෂයෙන්ම පූනරීන් යනු මෙරට අපූරු සුන්දරත්වයක් ඇති පෙදෙසකි. මණින්තලෙයි මුහුදු වෙරළේ සිට පූනරීන් දෙසට කිලෝමීටර් 12කට අධික දුරක් මුහුදු වැලි සුළඟින් ගසාගෙන විත් එහි අඩි 30ක් 40ක් උස වැලිකඳු පවා ස්ථාපිතව තිබේ.

එතරම් සුළං බලයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක සුළං බලය ගැන අඩු අවධානයක් යොමු කරන්නට විදුලි බල විශේෂඥයක් කටයුතු කරන්නේ එයින් තම මල්ල නොපිරෙන නිසාය.

මේ තත්ත්වය නිසා තාප විදුලිය (ඩීසල් බලයෙන්) භාවිතයට ගැනීමට සිදු වේ. ඒ සඳහා අධික ඉන්ධන පිරිවැයක්ද සිදු වේ. නමුත් සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවීම අපට ඇති හොඳ විකල්පයකි.

ආණ්ඩු කිහිපයක් ම සූර්යබල විදුලිය ව්‍යාපෘති දියත් කිරීමට බලවත් උත්සාහයක් ගත් නමුත් විදුලිබල මණ්ඩලයෙන් ඊට නිසා සහයක් ලැබුණේ නැත.

මේ වන විට සියඹලාණ්ඩුව ප්‍ර දේශයේ මහ වනයක් කපා දමමින් කුඩා ගම් කිහිපයකට විදුලිය බලය සපයන්නට කටයුතු සැලසුම් කර තිබේ. එම ප්‍ර දේශය ඉතා හොඳින් සූර්ය බලය ලැබෙන ප්‍රදේශ වන අතර සූර්ය තාප පැනල් මඟින් විසඳුම් ලබා දෙන්නට මණ්ඩලය අසමත් වී තිබේ.

මේ සියලු කාරණාවලින් පෙනී යන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට රටේ විදුලිය නිෂ්පාදනය ඉහළ නැංවීමට හෝ විදුලිය අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීමට කිසිදු ස්ථිර වැඩපිළිවෙළක් නොමැති බවකි.

ඔවුන්ගේ එකම වැඩපිළිවෙළ වී තිබෙන්නේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමය. එහෙත් එහිදී ඔවුන් මුල් තැන දෙන්නේ සාපේක්ෂව අඩු මිලකට ලබාගත හැකි පෞද්ගලික ජල විදුලි බලාගාරවලට නොව, වැඩි මිලක් ගෙවිය යුතු ඩීසල් විදුලි බලාගාරවලට ය.

වැඩි මිලට ගන්නා මේ විදුලිය පාරිභෝගිකයාට දීමට සිදුවන්නේ අඩු මිලකට ය.

මේ නිසා විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ පාඩුව දිනෙන් දිනම වැඩි වේ. එම පාඩුව අවම කිරීමට නම් මේ ක්‍රමවේදය ඉවත් කළ යුතුය.

එහෙත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ ඒකාධිකාරය හමුවේ මෙය ඉතා දුෂ්කර කාර්යයකි. වෘත්තීය සමිති කෙතරම් උත්සාහ දැරූවත් එය සිදු කිරීම උගහට වී තිබේ.

මේ විනාශකාරී මගඩිය නැවැත්වීමට උත්සාහ ගන්නා ඇමැතිවරයෙක් හෝ ලේකම්වරයෙක් හෝ වෙනත් නිලධාරියෙක් වෙතොත් ඔහු ඉවත් කරන්නට මාර්ග විදුලිබල මණ්ඩලයේ මේ මාෆියාව ශක්තිමත්ය.

විදුලිය මාෆියාවේ ස්වර්ණමය යුගය ඇරැඹෙන්නේ උතුරේ යුද්ධයත් සමඟිනි. එය පරණ කතාවත් ලෙස බැහැර කළ නොහැක්කේ අදද සිදුවන්නේ එවන් ක්‍රියාදාමයන් නිසා ය.

ත්‍රස්තවාදී ක්‍රියා නිසා වවුනියාවේ සිට යාපනයේ චුන්නාකම් දක්වා වූ කිලෝ වොට් 132ක් වන අධිබල විදුලි රැහැන් පද්ධතිය විනාශ විය. ඒ නිසා යාපනයට විදුලිය සැපයීම සිදුකරන්නට වූයේ එවකට වසර 20ක් පමණ පැරණි, විදුලි බල මණ්ඩලයේ චුන්නාකම්හි ඩීසල් බලාගාරයයෙනි. ඒ අනුව යාපනයට විදුලිය සැපයුණේ කපා හැරීම්ද සමඟ ය.

උතුරේ ජනතාවගෙන් හා ඉන්දියාවෙන් ආ ඉල්ලීම් හමුවේ 2003 වසරේදී පෞද්ගලික විදුලි බලාගාර දෙකක් (ඇග්‍රිෙකා් , කූල් එයාර් ) මඟින් විදුලිය සපයා ගන්නා ලදී. ඒ මෙගාවොට් 28කි. ඒකෙටි කාලීන පදනම මත ය. ත්‍රස්තවාදී තර්ජන පැවැති නිසා විදුලි ඒකකයක මිල ඉතා අධික විය. ත්‍රස්තවාදී කටයුතු දිනෙන් දිනම වර්ධනය වීම නිසා මේ විදුලිය බලය මිලදී ගැනීම වසරින් වසර දීර්ඝ කළ අතර එය අවසානයේ මහා ජාවාරමක් විය.

ඒ අතර එවකට (2006) විදුලිබල ඇමැති ජෝන් සෙනෙවිරත්න විසින් අධික වියදමින් යුතු ඇග්‍රිකෝ හා කූල්එයාර් බලාගාර 2007 සිට ඉවත්කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කරමින් නොදර්න් පවර් නම් නව තාප බලාගාරයක් හඳුන්වාදෙන ලදී. එම බලාගාරයෙන් පළමු ව මෙගාවොට් 15ක් හා පසුව එහ මෙගාවොට් 30ක් දක්වා වැඩි කළ යුතු විය.

එසේම ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය සපයන සමාගමක මූලික ම කොන්දේසිය වන ‘විදුලිය ජනනයේදී නව යන්ත්‍ර භාවිත කළ යුතුය‘ යන්න මෙහිද ඉවතට විසි විය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් වසර 30ක් පමණ පැරැණි යන්ත‍්‍ර එහි සවි කෙරිණි. යුද සමයේ නිසා එය ඔවුන්ට වඩාත් පහසු විය.

එහෙත් උතුරේ ජනතාවගෙන්ද ඒ සම්බන්ධව පැමිණිලි ගලා ආවේය. නොදර්න් පවර් පිටුපස මණ්ඩලයේ පිරිස් සිටින බවට එවකට පුවත්පත්වල පිටු ගණන් පිරවිණි. එසේම පැරණි යන්ත්‍ර නඩත්තුව සඳහා කොටස් ගෙන එන මුවාවෙන් නොදර්න් පවර්හි යන්ත්‍ර පවා සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ අතර එහි වැය බර ලංකා විදුලි බල මණ්ඩලයට පැවරුණි. එසේම නොදර්න් පවර් ට මෙගාවොට් 30ක් සැපයුමක් ලබා දිය නොහැකි බව ද අවසානයේ අනාවරණය විය.

එපමණක් නොව ඇග්‍රිකෝ ගිවිසුමද වසර 2011 දක්වා ම ඇදී ගියේය.

එය දීර්ඝ නොකළොත් යාපනයට විදුලිය ලබාදීමට නොහැකිවනු ඇතැයි පවසා සමාගම විසින්, සිය විදුලි ගාස්තු 20%කින් වැඩි කරන බව දැනුම් දුන්නේය. එවකට යුද්ධය අවසන්ව තිබියදීත් නිසි කළමනාකරණයක් නැති වීම මෙයින් මැනවින් කැපී පෙනේ.

කෙසේ වෙතත් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පෞද්ගලික විදුලි සමාගම් පසෙක් ලා ලක්දනව් මෙගාවොට් 20ක බලාගාරයක් යළි චුණ්ණාකම්හි ස්ථාපිත කිරීමට සැලසුම් කරන ලදී.

විදුලිය බල මණ්ඩලයේ මේ කතාවන් නිතරම ඇසෙතත් මාෆියාවේ බලවත්කම නිසා වෘත්තීය සමිති පවා ඊට එරෙහිව පාරට බැස්සද තවමත් විසඳුමක් නැත. පසුගිය සතියේ ද අධිකරණයේ නඩු විභාග විය. එමෙන්ම පිකටිං වර්ජන උද්ඝෝෂණ ද නිමක් නැත. විසඳුමක්ද නැත.

ඒ අතර විදුලි ඉංජිනේරුවන් වරින් වර තම වැටුප් 120%කින් වැඩි කර ගන්නා ලදී. ඒ 2006, 2009, 2012 හා 2015 වසරේදී 30%කින් වැටුප් ඉහළ නංවා ගනිමිනි. 2014 වසරේදී වැටුප් ගිවිසුම සම්බන්ධයෙන්ද විශාල ගැටලුවක් ඇති වී තිබුණි. එහිදී නොවැමර්බර් මස හොර රහසේ ගිවිසුමක් අත්සන් කර ගනිමින් ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි පුර වැඩි කර ගැනීමට සැලසුම් සකස් කර තිබුණි. රාජ්‍ය සේවක ක්‍රමවේදය අනුව වැටුප් වැඩිවීම පහළ සේවක හා ඉහළ සේවක වැටුප් අනුපාතය 1 – 4 විය යුතු වුවත් එය පසුව 1 – 6 දක්වාත් මේ වන විට 1 -9 දක්වාත් වැඩි කර ගන්නට මේ මාෆියාව සමත්ව තිබේ. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම පිණිස මෙගාවොට් 1ක ජෙනරේටර් 50ක් ගෙන්වා ඇතත් ඒවා බාල ප්‍රමිතියෙන් යුක්ත බව වෘත්තීය සමිති චෝදනා කරන්නේ ඒවා මේ වන විට නිසි ලෙසින් ක්‍රියාත්මක නොවන බවද පෙන්වා දෙමිනි.

ගල් අගුරු වංචාව මෙන්ම මණ්ඩලයේ වාහන සම්බන්ධ ගනුදෙනු වාහන අවභාවිත වීම් වැනි කරුණු නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව දිනෙන් දිනම වැඩි වීමක් මිස අඩු වීමක් නම් සිදු නොවේ.

සාම්පූර් බලාගාරව ක්‍රියාත්මක නොවීම නිසා මේ වන විට වසරකට අමතරව රුපියල් බිලියන 59ක් විදුලිය උත්පාදනයට වැය කරන්නට සිදු වන බව වෘත්තීය සමිති පෙන්වා දෙති. එවන් තත්ත්වයක් තුළ විදුලි බල මණ්ඩලයේ විදුලි සැර නොවැදී සිටීමට ජනතාවට හැකිවීම ද අරුමයකි.

Comments