බැඳු­ණත් දෑඟිලි සෙනෙ­හ­සින් ගැලවේ ද මුදු විග­සින් | සිළුමිණ

බැඳු­ණත් දෑඟිලි සෙනෙ­හ­සින් ගැලවේ ද මුදු විග­සින්

 

ර්ග කිලෝ මීටර් හැටපන් දහසක් පමණ වූ මේ රටේ දිනකට දික්කසාද හාරසීයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන්නේ නම් එය ශෝචනීය කරුණකි.

කොළඹ විශ්වවිද්‍යාලයීය විසින් කළ සමීක්ෂණයකින්ද සොයා ගත්තේ ලංකාවේ සිදුවන විවාහ සියයකින් විසිපහක්‌ දික්‌කසාදයෙන් කෙළවර වන බවකි. සමාජය ඒකරාශි කරන ප්‍රධාන සාධකය වන පවුල් සංස්‌ථාවේ දෙදරා යෑම සුළු කොට තැකිය නොහැකි බරපතළ කරුණකි.

‘දික්කසාදය’ ට වයස් භේදයක් නොමැති බව ඔප්පු කළේ බ්‍රිතාන්‍යයේ බර්ටි සහ ජෙසී වුඩ් අඹුසැමි යුවළයි. ඔවුහු දික්කසාද වූයේ වයස අවුරුදු අනූ අටේදීය. විවාහ වී මිනිත්තු විස්සෙන් දික්කසාද වූ ඉතාලි ජාතික නළුවකු වන රුඩොල්ෆ් වැලන්ටිනෝ සහ ඇමරිකානු නිළියක වන ජීන් ඇකර්ය අඩුම කාලයකදී විවාහ වී දික්කසාද වූ යුවළ ලෙස ලෝක වාර්තාවක්ද තැබුවේය.

එහෙත් ලොව අඩුම දික්කසාද අනුපාතය ඇති රට ශ්‍රී ලංකාව බව ශ්‍රේණිගත කිරීම්වලින් පැවැසෙන්නේය. පදිංචිකරුවන් 1,000 කට දික්කසාද වීමේ අනුපාතය 0.15 ක් බව එක්සත් ජාතීන්ගේ දත්ත වලින් පෙන්නුම් වෙයි.

වියට්නාමය සහ ගෝතමාලාවේ මීළඟ අඩුම අනුපාතය පෙන්නුම් කරයි. 2020 දී ලෝකයේ වැඩිම දික්කසාද අනුපාතයක් ඇති රට මාලදිවයින වන අතර, පුද්ගලයන් 1000 කට 5.52 දික්කසාද වේ. නමුත් මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයින් පවසන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ලංකාවේ දික්කසාද අඩු අගයක් පෙන්නුම් කළ ද, මානසික දික්කසාදවලින් වැඩි ම රටක් බවට ලංකාව පත්ව ඇති බවයි.

වසර දෙකක් පුරාවට ජන ජිවිත පීඩාවට පත් කරමින් කොවිඩ් වසංගතය විවාහ සහ දික්කසාද අනුපාතය කෙරෙහිද කැපී පෙනෙන බලපෑමක් ඇති කළේය. ලංකාවේ දික්කසාද අනුපාතය දිනෙන් දින ඉහළ යන්නක් බව බොහෝ දෙනෙකුගේ මතයයි. 2020 දී විවාහ අනුපාත සැලකිය යුතු ලෙස පහත වැටුණේ වසංගත ආශ්‍රිත ප්‍රදේශ අගුලු දැමීම් සහ මහජන රැස්වීම් සීමා කිරීම් හේතුවෙනි. 2020 කොවිඩ් වසංගතය නිසාවෙන් දික්කසාද අනුපාතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියේය.

මේ පිළිබඳ නිරන්තරයෙන් අධ්‍යයනයක යෙදෙන ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යන අංශයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන පවසන්නේ දික්කසාද වාර්තා වීම් මෙන්ම වෙන්වීමේ ක්‍රියාමාර්ග යන කරුණු මත ලංකාවේ දික්කසාද සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත්ත ද, මානසික දික්කසාද අතරින් වැඩි ම රටක් බවට ලංකාව පත්වන බවයි. එසේම කාන්තාවන් අතර දික්කසාද වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද, දිනෙන් දින දික්කසාද වීමේ අගය වේගයෙන් ඉහළ යාමක් සිදුවන බවද ඇය පවසන්නීය. මහාචාර්යවරිය දික්කසාද පිළිබඳ පුළුල් සංවාදයකට එළඹෙන්නේ මේ ආකාරයෙනි.

“විවාහය ගැඹුරු වටිනාකමක් ඇති, සමාජ, මානව විද්‍යා හා මනෝ විද්‍යා සංකල්පයක්. ජීවිතයේ පුද්ගලයකු පසු කරන ද්වාර කර්ම 4 න් එක් අවස්ථාවන් වන විවාහයදා කිසිවකුත් හිතන්නේ නැහැ, මෙය දික්කසාදයකින් අවසන් කිරීමට. ලංකාවේ නිල නොවන දත්තයන්ට අනුව ලංකාවේ විවාහ වන්නන්ගෙන් 50%ක්ම මානසික හෝ නිත්‍යානූකූල දික්කසාදයකට යොමු වෙනවා. වර්තමාන පර්යේෂණයන්ට අනුව ලංකාවේ නීතියෙන් නොව මානසිකව දික්කසාද වූ පවුල් වැඩියි.

යමකු දික්කසාදයේදි මනෝ විද්‍යාත්මක අවධි පහක් පසු කරනවා. මුල් අවස්ථාව ඉවසීමේ උපරීම කාලයට ගොස් එකිනෙකා ප්‍රතික්ෂේප කිරීම. දෙවැන්න විරුද්ධ ලිංගිකයන් සමඟ තරහ. තෙවැන්න කේවල් කිරීම. සිවු වැන්න සිය දිවි නසා ගැනීම් මෙන්ම තමන්ම දික්කසාදය සම්බන්ධ අරගල ඇති කරන දරුණුතම අවදිය වශයෙන් ගැනෙන විෂාදිමය තතත්වය. පස්වැනි අවධිය දික්කසාද වීම හෝ නොවීම ගැන තීරණය කරන අවදිය. දික්කසාද වන සෑම අයකුම මේ අවදි පහම පසු කරන්නේ නැහැ. මේ අවසථාවලදි උපදේශනය ලැබීම අත්‍යාවශයයි...“ මහාචාර්ය නේරංජි පවසන්නේය.

මහාචාර්ය නේරංජි පවසන්නේ කාන්තාවතගේ භූමිය ප්‍රසාරණය වීමද වර්තමානයේ දික්කසාදයට හේතු වන බවයි.

“පසුගිය කොවිඩ් කාලයේ ආර්ථික සාධක නිසා තම ආසන්නතම කෙනාගෙන් ඒ තරහා පිරිමසා ගැනීමට යාම, ඒකාකාරී ජිවිතය මෙන්ම විනෝදාස්වාදය නැතිවීම දික්කසාදයට ප්‍රධාන හේතුවක් වුණා. වර්තමානයේ කාන්තාවන් දික්කසාදයට ඉක්මන් වීම වැඩියි. වර්තමාන පර්යේෂණයන්ට අනුව දික්කසාද වීම් වැඩි වශයෙන් සිදුවන්නේ ලිංගිකව නොගැළපීම් නිසා. ඒ වගේම වයස අවුරුදු 18- 45 ත් අතර දික්කසාද වීම් ප්‍රවණතාව වැඩි අතර විවාහ වී වසර 2-6 ත් ඇතුළත සිදුවන දික්කසාද වීම්ද වැඩි වෙමින් පවතිනවා. මේ නිසා ලිංගික අධ්‍යාපනය ලබා දිම, පූර්ව විවාහ උපදේශනය මෙන්ම නීති පිළිබඳ දැනුම ලබා දීමද අත්‍යාවශයයි..“ මහාචාර්ය නේරංජි පවසන්නීය.

2019- 2020 අතර කාලයේ ලංකාවේ විවාහ ලියාපදිංචි කිරිම් ද 12% කින් පහත වැටුණි. ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු දත්තවලට අනුව පහත වර්ෂවල විවාහ ලියාපදිංචි කිරීම් සිදුව ඇත්තේ 2000 - විවාහ 194,217ක්ද , 2005 - විවාහ 195,067ක්ද, 2010 - විවාහ 200,985ක්ද, 2015 - විවාහ 175,939 ක්ද, 2019- විවාහ163,378 ක්ද, 2020 - විවාහ 143,061 ක්ද වශයෙනි. 2020 විවාහ 143,061 ක් සිදු වුවද 2000-2012 කාලයට සාපේක්ෂව 2013-2020 අතර විවාහ ලියාපදිංචි වීම් අඩු වී ඇත. සමාජ විද්‍යාඥයන් පවසන්නේ කොවිඩ් ව්‍යසනයත් සමඟ පවුලක් ලෙස ගොඩනැඟීමේ රිද්මය වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස විවාහ ලියාපදිංචි වීම් අඩු වීමටත් දික්කසාද අනුපාතය වැඩි වීමටත් හේතුවක් වී ඇති බවකි.

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු පවසන්නේ පසුගිය කාලය පුරාවට නීත්‍යානුකූල දික්කසාද වීම් දිනකට 300 ක් පමණ සිදු වූ බවකි.

“මීට හේතු ගණනාවක් අපි සොයා ගත්තේ බස්නාහිර පළාතින් සිදු කළ සමීක්ෂණයකදී. පවුලේ ණය බර වැඩිවීම, අපේක්ෂාවන් ළඟා කර ගත නොහැකි වීම්, ජීවිතයේ බලාපොරොත්තු සුන්වීම් කෙළවර වන්නේ දික්කසාදයෙන්. සරල ජීවිතයෙන් බැහැර වීම්, ආධ්‍යාත්මයේ බිඳ වැටීම් මෙන්ම තමන් සිටින ස්ථානය පිළිබඳව සංතෘෂ්ටියක් නොමැතිවීම් හා ඒ හරහා ගොඩනැඟුණු ආතතිය, විෂාදය ඇතුළු මානසික ආබාධමය තත්ත්වයන් දික්කසාදයට සෘජුව හේතු වෙනවා. මීට අමතරව දරු ඵල නොලැබීම්, දරුවන්ගේ විවිධාකාර ප්‍රශ්න මෙන්ම ඉගෙනීම් වේගවත් නොවන දරුවන්ද දික්කසාදයට හේතුවක්. විශේෂයෙන් ස්වාමියාට හෝ බිරිඳට සුව කළ නොහැකි රෝගාබාධයක් පැවැතීම, ආබාධිත තත්ත්වයන්ට පත්වීම හා එමඟින් මානව ගරුත්වයේ බිඳ වැටීම් මෙන්ම ඉවසීමේ අඩුකම නිසාද බොහෝ පවුල් දික්කසාදයට හේතුවක් කර ගන්නවා. බිරිය හා ස්වාමියා සංස්කෘතින් දෙකක ජීවත් වීම හා පොදු සංස්කෘතියකට පැමිණීමට කාලය ගත වීම දික්කසාදයට මුල පිරීමක්. වර්තමානයේ ජංගම දුරකතන හරහා ගොඩ නැගුණු සැකය, වැරැදි සබඳතා, ස්වයං විනය ගිලිහීම මෙන්ම සමාජ මාධ්‍ය හරහා මවාගත් ලෝකයක ජීවත්වීම යන කරුණු මතද වර්තමානයේ දික්කසාද වීම් සිදුවීම් සුලබ වෙනවා.

ස්වාමියා හෝ බිරිය සම වයස් සංසන්දනය, මෙන්ම විවාහ වීමේදී දෙදෙනා අතර නොගැළපීම් විවාහ බිඳ වැටීමට තවත් ප්‍රබල හේතු. එසේම වැරැදි ලිංගික හැසිරීම්, අපිරිසුදුකම, නැන්දම්මා ලේලි අතර ඝට්ටන අපේ සමාජයේ සුලබ හේතු.....’ ඒ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුලය.

වර්තමානයේ ඇත්තේ න්‍යෂ්ටික පවුල් රාමු ය. ඒවායේ ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික ලිබරල් සබඳතා ය.

සාම්ප්‍රදායික මතවාද වෙනස් වෙමින් යයි. හතු පිපෙන්නාසේ අලුතෙන් ඇතිවන සමාජ විෂමතා නිසා අද බොහෝ විවාහ කොළ කැබැල්ලකට පමණක් සීමා වී ඇත. යමකුගේ කසාදයක් අසාර්ථක නම් දික්කසාදය එකම පිළිතුර යන්න පවා අද පිළිතුරක් නොමැති පුද්ගල බද්ධ කරුණක් වී ඇත.

 

Comments