පාණ­දුර දිබ්බැද්ද හොල්ලන ‘භූතයා’ සොයා සිළු­මිණ ගිය ගමන | සිළුමිණ

පාණ­දුර දිබ්බැද්ද හොල්ලන ‘භූතයා’ සොයා සිළු­මිණ ගිය ගමන

‘භූතයාගේ’ ක්‍රියාවට සම්බන්ධයැයි කියන දිබ්බැද්ද පොදු සුසාන භූමිය
‘භූතයාගේ’ ක්‍රියාවට සම්බන්ධයැයි කියන දිබ්බැද්ද පොදු සුසාන භූමිය

 

පාණදුර නල්ලුරුව දිබ්බැද්ද ග්‍රාමයේ වෙන්දේසි වත්තෙන් අරුම පුදුම භූතයකු පිළිබඳ පුවතක් පසුගියදා සමාජය කැලඹුවේ ය. මෙතෙක් අසා ඇති භූතයන් මෙන් මේ භූතයා බත් මුට්ටිය පහුරුගා වැලි දමන, පිගන් එහෙ මෙහෙ විසි කරන, බඩුමුට්ටු පෙරලා දමන ආකාරයේ භූතයකු නොවේ. ගඩොල් බාග, ග්‍රනයිට් කැබලි , කබොක්ගල් හා වීදුරු බෝතල් වහලවලට දමා ගැසීම මේ භූතයාගේ විශේෂත්වයයි. මේ නිවාස ආසන්නයේ කනත්තක් පිහිටි නිසාත් ඒ දෙසින් මෙම ප්‍රහාර එල්ල වන නිසාත් මෙය කිසියම් භූත බලවේගයක ක්‍රියාවක් බව ඇතැමුන් විශ්වාස කළ ද මෙය එලෙස හඟවමින් කිසියම් අයකු හෝ පිරිසක් විසින් සිදු කරන ක්‍රියාවක් බව පෙනේ. ඒ කෙසේ වෙතත් මාස එකහමාරක පමණ කාලයක සිට සිදුවන මෙම අවක්‍රියාව සම්බන්ධයෙන් වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් ගම්වාසින් විසින් හෝ පොලීසිය විසින් මෙතෙක් හඳුනා නො ගැනීම හේතුවෙන් මෙය අරුම පුදුම බලවේගයක් විසින් සිදු කරන ක්‍රියාවක් බවට රූපාන්තරණය වෙමින් තිබේ.

භූතයන්ගේ ගල් ප්‍රහාරයන්ට මුහුණ දුන් රේණුකා කුමාරි සිළුමිණට පවසා සිටියේ පසුගිය 2021නොවැම්බර් මාස 29 වැනිදා විදුලිය බිඳ වැටීමත් සමඟ මේ සිදුවීම් මාලාව ආරම්භ වූ බවයි. “එකපාරටම වහලට ගල් වදින්න පටන් ගත්තා. කළුවරේ කිසිදෙයක් පෙනුණේ නැහැ. එදා ඉඳලා එකදිගට දින පහක් මේ ගල් ප්‍රහාරය එල්ල වුණා. වැඩියෙන්ම ගල් ආවේ අපේ ගෙදරට හා සාගර මල්ලිලාගේ ගෙදරට. පොහොර බෑග් එකක විතර ගල් එකතු වෙලා තියෙනවා. ඒ ගල්වල මගේ මහත්තයගේ නම රවී කියල ලියලත් තිබුණා. අපි මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළා. ගල් ටිකත් පොලීසියට ගෙනිහින් දුන්නා. මේ ගැන හොයන්න පොලිසිය වත්තට ආපු වෙලාවෙත් ගල් ගහන්න පටන් ගත්තා. මං නම් හිතන්නේ මේක භූතයකුගේ වැඩක් නෙමෙයි. කවුරු හරි මනුස්සයෙක් තමයි මේක කරන්නේ. ඒත් ඒ කවුද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය.” ඇය පවසයි.

ඔවුන්ගේ නිවාසවලට යාබදව දිබ්බැද්ද සුසාන භුමිය පිහිටා ඇති නිසා මෙය කිසියම් භූත ක්‍රියාවක් බව ඇතැමුන්ගේ අදහස විය. ඊට පිළියමක් වශයෙන් විවිධ පුද පූජාවන් හා වතාවත් සිදු කරන ලෙස ඇතැමුන් යෝජනා කර තිබුණේද එනිසාය. මෙම සිදු වීමට මුහුණ පෑ එක් ගම්වැසියකු සූනියන් දෙවියන්ට පූජා පැවැත් වීමට කටයුතු කළේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතාය. එදින සිට සතියක් පමණ ගල් වැදීම නතරවී තිබූණ ද පසුව නැවතත් සුපුරුදු පරිදි ගල් ගැසීම දිගින් දිගටම වූ බවත් ගම්මුන් පවසති.

වෘත්තියෙන් එම්බ්‍රොයිඩර් මෝස්තර නිර්මාණ ශිල්පියකු වූ නුවන් සාගර කිතුනුවකු ලෙස භූත ක්‍රියාවන් විශ්වාස නොකළද කෝවිලට ගොස් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හෙතෙම යොමු වූයේ මෙම භූත ක්‍රියාවෙන් වැඩි හානියක් සිදු වූ තැනැත්තා ඔහු වන නිසාය. එහෙත් කොවිලේ කපුවා විසින් පවසා තිබුණේ මෙම ක්‍රියාව මනුස්සයකුට මිස භූතයකුට කළ නොහැකි බවයි.

රැකියාවට ගොස් නිවසට පැමිණ මෝටර් සයිකලය නවත්වනවිට මෙම ගල් ප්‍රහාරය එල්ල වන බව සාගර පවසයි. ඔහුට දියණියන් දෙදෙනකු සිටී. වැඩිමහල් දියණියට වයස අවුරුදු දොළහක් පමණ වන අතර බාල දියණියට වයස අවුරුදු එකහමාරකි. ඔහු හා බිරිය රැකියාවට ගිය විට දැරියන් දෙදෙනා බලා ගන්නේ ඔවුන් සමඟ මෙම නිවසේ වාසය කරන මිත්තණියයි. ඇය බී.වී. නන්දාවතීය. ඇයට වයස අවුරුදු හැට අටකි. ඇය දරුවන් එළියට රැගෙන ගොස් කෑම කවන විට ගල් තුනක් ඇගේ මූණට හා හිසට වැදී තිබුණි. ගල්දෙකක් හිසට වැදී ඔළුව පැලී තිබුණු අතර එක් ගලක් මුහුණට වැදී නිල් වී තිබුණි. රාත්‍රී කාලයෙදී මෙන්ම දහවල් කාලයේ දීද ගල් ප්‍රහාර එල්ල වන බව ඇය පවසා සිටියාය. වරක් ගල් පහරකට සීට් කැබැල්ලක් බිඳී බිම නිදා සිටි බිළිඳියගේ අසලට වැටී තිබුණි. ඉන් කිසිදු අනතුරක් බිළිඳියට සිදු නොවූයේ ඇගේ වාසනාව නිසාය. මින් පෙනී යන්නේ මේ නරුම ක්‍රියාව සිදු කරන තැනැත්තා කවරකු වුවත් සිත් පිත් නැති අයකු බවයි.

වමේ සිට, ශ්‍රී අම­ර­මුණි විහා­ර­වාසී පිට­වල ශ්‍රී ශ්‍රද්ධා විසුද්ධි හිමි­යන්, දිබ්බැද්ද උතුර ග්‍රාම­සේවා නිල­ධා­රිනී  ඒ.එස්.ඩී. ද සිල්වා, පීඩාවට පත් ගම්වැසියන් වන කුමාරි විජේ­සිංහ, දුෂ්මන්ත සිල්වා සහ නිලූකා මල්කාන්ති

එම නිවස පිරික්ෂා බැලීමේදී ගල් ප්‍රහාරයෙන් බිඳී ගිය සීට් හතරක් පමණ ඇස ගැටුණි. මේ මොහොතේ යම් සැකකට තුඩුදෙන හෝඩුවාවක් සාගර අප හමුවේ තැබීය. “දවසක් ටූත් පේස්ට් කෙළ වේළුණු ගලක් ඇවිත් තිබුණා. පස්සේ මේ ගල එළියට අරන් ඇවිත් පෙන්නද්දි මෙය දුෂ්මන්තගේ වත්තේ තිබූ ගලක් බව ඔවුන්ම පිළිගත්තා”. ඔවුන්ගේ මතය වූයේ මළගිය ප්‍රාණකාරයකු තම නිවසට බන්ධනය කර ඇති නිසා තම වත්තේ ගල් එම බලවේගය විසින් යොදාගන්නා බවයි. මින් ඔවුනොවුන් අතර විරසකයක් ඇති කිරීම මෙම බලවේගයේ අරමුණ බව ඔවුන්ගේ වැටහීමය.

හතළිස් හතර වියැති සිව්දරු පියකු වූ දුෂ්මන්ත සිල්වා වෘත්තියෙන් ත්‍රීවිල් රථ රියදුරෙකි. ඔහු පවසා සිටියේ දෙපැත්තකින් මෙම ප්‍රදේශයට ගල් ප්‍රහාර එල්ල වන බවයි. ගල් ගහන පැත්තට ගමන් කරන විට ඒ පැත්තෙන් ගල් එන එක නතර වී අනෙක් පැත්තෙන් ගල් ප්‍රහාරය එල්ල වන බව ඔහු පවසයි. ඔහුගේ බිරිය කුමාරි විජේසිංහ කියා සිටියේ මෙලෙස තම නිවෙසට ගල් වැදීම පසුගිය මාසයේ සිටි ආරම්භ වූ බවයි. ඇගේ අදහස වූයේ කවුරුන්ගේ හෝ මෙහෙය වීමෙන් මෙය සිදු වන බවයි. තම සැමියාගේ නමින්ද ගල් පැමිණ තිබූ බවත් ඒවා පන්සලට බාරදුන් බවත් ඕ සඳහන් කළාය.

වමේ සිට, කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ මනෝ­වෛද්‍ය විශේ­ෂඥ රූමි රූබන්,
ශ්‍රී ලංකා හේතු­වා­දීන්ගේ සංග­මයේ ලේකම් තාරක වරා­පි­ටිය සහ
පිංවත්ත පොලිස් ස්ථානා­ධි­පති සුරංග රණ­වීර

මේ සිදුවීම් නිසා තමන් ඇතුළු ගම්වාසීන් විශාල පීඩනයකට ගොදුරුව සිටින බවත්; එකිනෙකා අතර අවිශ්වාස දිනෙන් දින ගොඩනැගෙමින් තිබෙන බවත් එය ඉදිරි ව්‍යසනයක පෙර නිමිත්තක් බවත් අප හා පැවසූයේ තිස් හතර වියැති දෙදරු මවක වූ නිලූකා මල්කාන්තිය.

“කනත්ත කිට්ටුව ම ඇති නිසා අප මුලින් මෙය භූත බලවේගයක් කියා සිතුවත් දැන් දැන් මෙවැනි දේ භූතයන්ට කළ නොහැකි දේ බව වැටහෙනවා. නමුත් මේ කවුද කියන්න තවම කවුරුවත් දන්නේ නැති නිසා ලොකු මානසික ආතතියකින් අපි ඉන්නේ. දරුවන්ට රාත්‍රියට පාඩමක් කර ගන්න විදියක් නැහැ. අට අටහමාර විතර වෙද්දි වහලට ගල් වදින් පටන් ගන්නවා.“

මේ සිද්ධිය සම්බන්ධයෙන් දිබ්බැද්ද ශ්‍රී අමරමුණි විහාරවාසී පිටවල ශ්‍රී ශ්‍රද්ධා විසුද්ධි හිමියන්ගෙන් ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කර සිටියේ “මේ වනවිට යම් ව්‍යසනකාරී පසුබිමක් මෙම ප්‍රදේශය තුළ නිර්මාණය වී තිබෙන බවත්; ඉන් විපතට පත් සියලුදෙනා පීඩනයට පත් වී ඇති බවත් පෙනෙනවා. මේ නිවැසියන්ට වෙනදා මෙන් සාමාන්‍ය පරිදි ජීවත් වන්නට ඉඩ නොදී කවුරුන් හෝ කුමණ හෝ ක්‍රමයකින් මේ අයගේ සතුට සමාදානය නැති කිරීමට යම්යම් අදෘෂ්‍යමාන බලවේග මවමින් කටයුතු කරමින් සිටින බවත්, නැවත ඔවුන් පෙර විසූ පරිදි සාමයෙන් සමාදානයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර නීතිමය ක්‍රියා මාර්ග ඔස්සේ ලැබෙනු ඇති බවත් තමන් විශ්වාස බව” උනවහන්සේ පෙන්වා දුන්නේය.

නුවන් සාගර හා බිරිය ‘භූතයාගේ‘ ගල් ප්‍රහාරයෙන් තම නිවසේ වහල සිදුරු වී ඇති අයුරු සිළුමිණ කැමරා ශිල්පියාට පෙන්ව­මින්

මේ අවස්ථාවේදී සාකච්ඡාවට එක් වූ පිංවත්ත පොලිස් ස්ථානාධිපති සුරංග රණවීර සඳහන් කළේ “මෙම අවක්‍රියාව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී ගම්වාසීන්ගේ උදව් උපකාර අවශ්‍ය වන බවයි”. මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කර සිටියේ “මේවන විටත් තමන් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්, ඩ්‍රෝන කැමරා මාර්ගයෙන් මෙම ප්‍රදේශය වීඩියෝගත කර මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හැකි ඉක්මණින් නීතියේ රැහැනට හසු කර ගැනීමට ක්‍රියා කරන බව ය.

සිළුමිණ කළ විමසීමේදී 693/ඒ දිබ්බැද්ද - උතුර බාර ග්‍රාම නිලධාරිනිය වන ඒ.එස්.ඩී. ද සිල්වා පවසා සිටියේ මෙම ග්‍රාම සේවා වසමේ පවුල් අටසීයක් පමණ ජීවත්වන බවත් ඉන් මේ ව්‍යසනයට ගොදුරුව ඇත්තේ වෙන්දේසි වත්තේ නිවසන පවුල් හතක පමණ පිරිසක් බවත්, දළ වශයෙන් මෙම පවුල්වල සාමජිකයන් සංඛ්‍යාව තිහත් තිස්පහත් අතර වන බවත්ය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මේ සම්බන්ධයෙන් පොදු අදහසක් ගොනු කරමින් කියා සිටියේ මේ ආකාරයට ගල් හෝ වෙනත් ද්‍රව්‍ය පිටතට දමා ගැසීම් සම්බන්ධයෙන් ලොව පුරා විවිධ අන්දමේ පර්යේෂණ සිදු කර ඇති බවයි. එමෙන්ම ලංකාවේ පසුගිය වසර දහය ඇතුළත කරන ලද පරික්ෂණ අනුව පෙනීගොස් ඇත්තේ කිසියම් උමතු භාවයෙන් පෙලෙන අදාළ නිවාස ආශ්‍රිතයකුම මෙහි වග උත්තකරුවන් වන බවයි. ඔහු හෝ ඇය බොහෝ විට ළමයකු හෝ නව යොවුන් වියේ පසුවන අයකු විය හැකිය. අධ්‍යාපන කටයුතු නිසා, ගෙදර තුළ අත්දකින්නට සිදුවන හිංසාකාරී පීඩාකාරී වටපිටාව නිසා හා තමන් කෙරෙහි ආදරයක් නොමැති වූ විට මෙවැනි පුද්ගලයන් අන්‍යන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් මෙවැනි ක්‍රියාවන් සඳහා යොමුවිය හැකි බවයි. සමහර අවස්ථාවල මෙය පටන් ගන්නේ එක් පුද්ගලයකි. නමුත් මේ සිදුවීම ආරංචි වීමත් සමඟ තවත් පුද්ගලයන් මීට එකතු වන අතර බොහෝවිට මෙම ක්‍රියාට මුල් වූ තැනැත්තා වෙනුවට ඒ තැන වෙනත් අයකු නියෝජනය කරන අවස්ථා වාර්තා වන බව හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි ක්‍රියාවන් මඟින් අන්‍යයන් කලබල වන ආකාරය දැකීමෙන් සතුටට පත්වීම මෙවැනි මනෝභාවයක් ඇති අයගේ සාමාන්‍ය ස්වරූපය වේ. පසුව ඒ සතුට වෙනුවෙන් නිරන්තරයෙන් මෙවැනි දේ කිරීමට පෙලඹීම ඔවුන්ගේ ස්වභාවය වේ. එසේම යම් යම් වාසි ලබා ගැනීමේ අරමුණින් ද ඇතැමුන් මෙවැනි දේ සඳහා යොමුවන ආකාරයක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් වශයෙන් කිසියම් පවුලක් සමඟ තරහ අයකු නම්, ඉරිසියාවෙන් පෙළෙන්නකු නම් ඒ අයගේ ජීවන පැවැත්ම පහළට ඇද දැමීමේ පවිටු චේතනාවෙන් මෙවැනි දේ සිදු කරන පිරිස් ද අප අතර සිටිති. මේවැනි දෑ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමෙන් ලැබෙන ප්‍රසිද්ධිය නිසා ද මෙවැනි ක්‍රියාවන්ට පෙලඹෙන අවස්ථා ද වාර්තා වේ. එසේම සමාජය කැළඹීම් ඇති කිරීමෙන් තෘප්තියක් ලබන පෞරුෂයන් ඇති පුද්ගලයන්ද මෙවැනි ක්‍රියාවලට යොමුවන බව මනෝවෛද්‍ය විශේෂඥයන්ගේ අදහසය.

භූතයාගේ ප්‍රශ්නයට විස­ඳු­මක් අපේ­ක්ෂා­වෙන් විසුද්ධි හිමි­යන් සහ පොල්ස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ
ප්‍රධා­න­ත්ව­යෙන් පැවති සාක­ච්ඡාව සඳහා අග­ති­යට පත් ජන­තාව සහභාගිවූ අයුරු

“මෙවැනි සිදුවීමවල සැබෑ ස්වරූපය හෙළිදරව් වනතුරු කළ හැක්කේ අනුමාන කිරීමක් පමණක් බවත්, ඒ අනුමානයන් හුදෙක් හිතළු නොව තාර්කික හා විද්‍යාත්මක පදනමක් මත ගොඩනැඟෙන එවා බවත් ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ ලේකම් තාරක වරාපිටිය අවධාරණය කරයි.

මනෝවිද්‍යාත්මක පදනමකින් මෙවැනි සිදු වීමක් අනුමාන කරන්නේ නම්, යම් මානසික ගැටලුවක් තියෙන අයකු අතින් අවිඥානිකව සිදුවන යම් ක්‍රියාවක් මේ සිදුවීමට මුල්විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

නව යොවුන් වියේ පසුවන ස්ත්‍රියක හෝ පුරුෂයකු කෙරෙහි බලපෑ මානසික පීඩනයක්, කම්පනයක් හෝ ආතතියක් හේතුවෙන් කෙනකු පියවි සිහියෙන් තොරව මෙවැනි දෑ සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් තිබේ. අනෙක් අතට කිසියම් අයකුට අරියාදුවක් කිරීමේ අභිලාෂයෙන් සූක්ෂ්ම ලෙස සිදු කරන ක්‍රියාවක් ලෙස මෙවැනි දේ සඳහා පෙලඹේ. හිරිහැරයට ලක්වන පුද්ගලයා එම ප්‍රදේශය අතහැර යාම මෙම ක්‍රියාව සිදු කරන පුද්ගලයාගේ අභිලාශය විය හැකිය.

මානසික හේතු මත මෙවැනි දෑ සිදු කරයි නම් ඔහු හෝ ඇය මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය. වෙන අරමුණක් සහිතව මෙවැන්නක් සිදු කරයි නම් ඔවුන් අනාවරණය කර ගැනීමට රහස් පරීක්ෂකයන් මෙන් කටයුතු කළ යුතුය. එසේ කිරීමට නීතියෙන් අවසරයක් නැති බැවින් ඒ දෙස විමසිල්ලෙන් සහ උපක්‍රමශීලී ව කටයුතු කිරීමෙන් අදාළ පුද්ගලයා හෝ කණ්ඩායම හෙළිදරව් කරගත යුතුය.

මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණය වන්නේ මේ සිදුවීම පිටුපස ගුප්ත හෝ භූත/අද්භූත කිසිදු බලවේගයක් නැති බවය.

 

Comments