පල්ලියේ බෝම්බ නාට­ක­ය | සිළුමිණ

පල්ලියේ බෝම්බ නාට­ක­ය

 සියලු සාන්තු­ව­ර­යන්ගේ දේව­ස්ථා­නය
සියලු සාන්තු­ව­ර­යන්ගේ දේව­ස්ථා­නය

 

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ඊට සම්බන්ධ මහ මොළකරු සහරාන් බව ආරක්ෂක අංශ විසින් වාර්තා කරන ලදී. එහෙත් පසුව හෙළිවූයේ මහ මොළකරු ඔහු නොවන බවට ඇමරිකාවේ රෝ සංවිධානය විසින් තහවුරු කළ බවයි. සියල්ල ස්ථිර නොවූ විටක එසේ ස්ථාවර ලෙසින් කරුණු ගෙන හැර දැක්වීම තුළින් හානි පවා සිදුවීමට ඉඩ තිබේ. එහි අහිතකර ප්‍රතිඵල ඇතැම් විට සමාජයක විශාල අර්බුද පවා ඇති කරන්නට ද ඉඩ තිබේ.

 

ජනවාරි 11 වැනිදා කොළඹ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ ජීව බෝම්බය ගැනද අපට කියන්නට සිදුව ඇත්තේ එවන් කතාවකි. බෝම්බය තබා තිබූ දිනම ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් දේවස්ථානයේ සේවකයකු එම බෝම්බය තැබූ තැනැත්තා බවට පොලිසිය අනාවරණය කෙළේය. ඔහුගේ කාමරයේ තිබූ ගිනිකූරු, සෙලෝටේප් කැබලි ආදිය කුමන හේතුවක් නිසා කාමරයට පැමිණියේදැයි යන්න නිසි ලෙසින් පැවසීමට ඔහුට නොහැකිවීමත් බාල වයස්කාර දරුවකුගේ සාක්ෂිය හා සීසීටීවී කැමරාවේ දර්ශන හා ඔහුගේ ප්‍රකාශ අතර නොගැලපීම් තිබීමත් ඔහු ප්‍රධාන සැකකරු බවට පත්වීමට හේතුව බව පොලිසිය විසින් ප්‍රකාශ කරන ලදී.

පෙර­වරු 9.52ට නොහ­ඳු­නන පුද්ග­ලයා  පැමිණි ආකා­රය කැම­රාවේ සට­හන්ව ඇති අයුරු

අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝග ලබා ගන්නා ලදී.

එහිදී පොලිසිය පැවසුවේ බෝම්බය හමු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළමු විමර්ශනයෙන් අනතුරුව තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ප්‍රධාන සැකකරු වූ මුනි නැමැත්තා වසර 16ක පමණ කාලයක් දේවස්ථානය හා සම්බන්ධව කටයුතු කළ පුද්ගලයකු බවත් ඔහු මාස 9කට පෙර සිට දේවස්ථානයේ ස්ථිර සේවයකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය විසින් පෙන්වා දෙන ලදී.

දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරටුවේ දකුණුපසට වන්නට ඇති සුරුවම අසල එම බෝම්බය තබා තිබුණි. බෝම්බය පිළිබඳව දේවස්ථානයේ පියතුමන් දැනුවත් වීමෙන් පසුව බොරැල්ල පොලිසියට සිද්ධිය දැනුම් දී පොලිස් විශේෂ කාර්යය බලකාය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය දේවස්ථානයට කැඳවන ලදී. සැකකරුවන් පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය විසින් ප්‍රකාශ කරන ලද නමුත් එහිදී සීසීටීවී කැමරා දර්ශන ලෙස ඔවුන් ලබා ගෙන තිබුණේ පස්වරු 3ක් පසු දර්ශන පමණි. දේවස්ථානයේ පියතුමන් එදින උදෑසන සිට දර්ශන නැරැඹීමට සලස්වා දෙන්නට උත්සාහ කළද පොලිසිය ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වා පස්වරු 3න් පසු දර්ශන පමණක් ප්‍රමාණවත් බව පැවසූ බවක් වාර්තා වේ.

මෙයින් පසුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍යයට පවසා සිටියේ පොලිසියේ ක්‍රියාකලාපය ගැන තමන් සෑහීමකට පත් නොවන බවයි.

‘සැබෑ සැකකරු නිදැල්ලේ සිටිය දී දේවස්ථානයේ සේවය කළ අහිංසකයෙකු රැගෙන ගොස් ඇති බවටත්, සත්‍ය අපරාධකරුවන් සොයා ගැනීම පොලීසිය මඟහරිමින් සිටින බවටත් උන්වහන්සේ චෝදනා නැඟූහ. උන් වහන්සේගේ ප්‍රධාන චෝදනාව වූයේ පොලිසිය සීසීටීවී දර්ශන පරීක්ෂා කෙළේ පස්වරු 3.00න් පසුව බවද දේවස්ථානයේ පියතුමන් විසින් උදෑසන සිට කැමරා පරීක්ෂා කරන ලෙස දැන්වූවත් පොලිසිය එය නොසලකා හැරි බවයි. සීසීටීවී කැමරා පරීක්ෂාවේදී උදෑසන 9.52ට නොන්ඩි ගසමින් පුද්ගලයකු දේවස්ථානයට පැමිණෙන අයුරු හා ඔහු දේවස්ථාන ශාලාවට පැමිණි ආකාරය හා හැසිරෙන ආකාරයෙන් කතෝලිකයකු නොවන බවට පැහැදිලි වන බවත් පැවසූ කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ එම පුද්ගලයා යම්කිසි පාර්සලයක් ගෙනෙන බවත් දේවස්ථානයේ සේවකයකු පැමිණි විගස කඩිනමින් ඉවත්ව යන බවත් පැවසූහ. එමෙන්ම පැමිණීමේදී නොන්ඩි ගසමින් පැමිණි ඔහු පිටව යද්දී එසේ ආබාධයක් නොමැති ලෙසින් පිටව යන ආකාරයද කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ.

උන් වහන්සේගේ එම පෙන්වා දීමෙන් පසුව පොලිසියද යම් ආකාරයක තක්කු මුක්කු වීමක් ඇති වූයේ පැය කිහිපයක් තුළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුරසාරම් දෙඩීම නිසාය.

අත්අ­ඩං­ගු­වට ගත් අවි ආයුධ

කෙසේ හෝ පළමුව බොරැල්ල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පසුව විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිසිය විසින් පවසන ලදී. දැන් එහි විමර්ශන කටයුතු සිදු කෙරෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසිනි. දේවස්ථානයේ CCTV දර්ශන මැනවින් පරීක්ෂා කළ දේවස්ථානයේ පියතුමන් විසින් නිරීක්ෂණය කොට ඇත්තේ පෙරවරු 9.52ට නොහඳුනන පුද්ගලයෙකු සැකකටයුතු බෑගයක් රැගෙන දේවස්ථාන භූමියට ඇතුළු වී අදාළ බෝම්බය හමු වූ ස්ථානයේ යමක් සඟවන බව යි.

එම පුද්ගලයා දේවස්ථානයෙන් පිට වූ පසු ගමන් කර ඇත්තේ වනාතමුල්ල දෙසට බව හෙළිවී තිබේ.

උදෑසන පල්ලියට පා ගමනින් පාර්සලයක් සහිතව පැමිණි එම පුද්ගලයා බෝම්බය බවට සැකකරන යමක් එහි තබා අනතුරුව පාගමනින්ම බේස්ලයින් මාර්ගය දෙසට ගමන් කර එතැනින් දෙමටගොඩ දෙසට පාගමනින් ගමන් කරන අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශනද ලැබී ඇත. දෙමටගොඩ දෙසට ගමන් කළ මේ පුද්ගලයා බේස්ලයින් දුම්රිය ක්‍රීඩාංගනය අසලින් ඇති මාර්ගයෙන් වනාතමුල්ල දෙසට ගොස් ඇති බවද මේ වන විට කැමරා දර්ශන විමර්ශනයේදී පැහැදිලිවම හෙළිවී තිබේ.

එහෙත් සියල්ලට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කෙළේ එම බෝම්බය ගැන තොරතුරු ලබාදුන් පල්ලියේ සේවය කරන තිදෙනකු ඇතුළු සිවු දෙනකු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමය. ඒ අතර මරදානේ පදිංචිකරුවෙක් වන දේවස්ථානයේ දහම් පාසල් ගුරුවරයෙක් වූ මුනී නැමැති අයෙකු පොලීසිය විසින් ප්‍රධාන සැකකරු බවට පත් කරන ලදී. බාල වයස්කාර දරුවා විසින් පොලිසියට පවසා තිබුණේ පල්ලියේ බංකුවක් මත වූ එම පාර්සලය අල්තාරයේ තැබුවේ තමා බවත් එය එම ස්ථානයේ තැබීමට තමාට උපදෙස් දුන්නේ මුනි බවයි.

මුනි පවසා ඇත්තේ එහි බෝම්බයක් බව තමා නොදැන්නා බවත් දේවස්ථානයට පැමිණි අයකු අමතක වීමකින් දමා ගිය පාර්සලයක් වන්නට ඇතැයි සිතා එය අල්තාරයේ තබන ලෙස දරුවාට පැවසූ බවය.

ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් (SOCO) පැමිණ පරීක්ෂාවකින් පසු මුනි නැවතී සිටි පල්ලියේ කාමරයෙන් ගිනි පෙට්ටි කිහිපයක් සොයා ගනිමින් ගිනි පෙට්ටිවල කූරු අඩුබව පෙන්වා දෙමින් බෝම්බයට අටවා තිබෙන ගිනි කූරු සහ එම පෙට්ටියේ ඇති ගිනි කූරු අතර සමානකමක් ඇතැයි සඳහන් කිරීමත් සමඟ මුනි ප්‍රධාන සැකකරුවා විය.

පසුව දෙමටගොඩ වේලුවන පාරේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකුද දේවස්ථාන භූමියේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි. එසේම පොලීසිය බාල වයස්කාර දරුවාද දේවස්ථානයේ රැඳී සිටි තවත් අයෙක්ද අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් සිවුදෙනාම එම අවස්ථාවේදී දේවස්ථානයේ රැඳී සිට ඇත්තේ සවස පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් සැරසිලි කරමින් දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වෙමිනි. ඒ බව දේවස්ථානයේ පියතුමන් විසින් පවසද්දීත් පොලීසිය ඔවුන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවස්ථානයේ ආරක්ෂක කැමරා දත්ත පූර්ණ පරීක්ෂාවකින් තොරවය.

කෙසේ වෙතත් පල්ලියේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබේ. විද්‍යාත්මක, පරිවේෂණීය, තාක්ෂණික සාක්ෂි සහ පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහය ලබාගනිමින් පරීක්ෂණ සිදුකරන අතර පරීක්ෂණ තවමත් මූලික අදියරේ පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මාධ්‍යයට ප්‍රකාශ කරන ලදී.

අදාළ බෝම්බය සකස් කර ඇත්තේ ගිනිකූරු හඳුන්කූරු ආදිය ඒ වටා සෙලෝටේස් භාවිතයෙන් ඔතා ගිනිගැනීමකදී පුපුරා යන ලෙසය. ඒ අතර පසුගිය 17 වෙනිදා විමර්ශනයේ යෙදෙන නිලධාරීන්ට බෝම්බය තැබූ පුද්ගලයා යැයි සැක කෙරෙන තවත් අයෙක් ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි විය. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය මඟින් සිදු කළ පරීක්ෂණ හරහා යි. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබුණේ බෝම්බය තැබීමේ කාර්යය සඳහා වෛද්‍යවරයකු ඔහුට රුපියල් 50,000ක මුදලක් ලබා දුන් බව යි. දේවස්ථානයෙන් හමු වූ එය කාල බෝම්බයක් ලෙස සැකසූ එස්එෆ්ජී 87 වර්ගයේ අත්බෝම්බයකි. ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන ලද පොලිසිය විසින් බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල වට මාවතේ විශ්‍රාමික වෛද්‍යවරයක් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු රෝහල් අධිකාරිවරයකු ලෙසද කටයුතු කර තිබේ. මේ සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වෛද්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පළමුව පැවසුවේ ලියනගේ දයානන්ද නම් එම තැනැත්තා තමන් දන්නා හඳුනන බවත් ඔහු තම ආයතනයේ ආරක්ෂක නිලධාරියකු බවයි. එසේ වුවත් තමන් කිසිදු අයුරකින් එම පුද්ගලයා සමඟ සේවක සම්බන්ධතා හැරෙන්නට වෙනත් කටයුත්තක් සඳහා මුදල් ලබාදීමක් හෝ සිදු කර නැති බව පවසා තිබේ. පසුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විශ්‍රාමික වෛද්‍යවරයාගේ සුවිසල් නිවස පරීක්ෂා කළ අතර එහි තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගන්නා ලදී. ඒ අතර පිස්තෝල හතරක් රිවෝල්වර එකක් කඩු දෙකක් රම්බෝ පිහියක් සහ හඳුනාගත නොහැකි ගිනි අවියක් ද වෙයි.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ඍජුව වෙනත් මඟකට යොමු විය. වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙනගොස් ප්‍රශ්න කරන්නට විය. ඒ වන විට සිදු කළ පරීක්ෂණ හමුවේ වාර්තා වී ඇත්තේ කොළඹ ලංකා හොස්පිට්ල් ආයතනයේ හා බොරැල්ල දේවස්ථානයේ බෝම්බ දෙකම එකම ආකාරයෙන් තබා ඇති බවකි. ලංකා හොස්පිට්ල් බෝම්බය මෙන්ම මේ බෝම්බයේද පින් එක ගලවා තබා තිබුණි.

වෛද්‍යවරයාගේ පුතා වන සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසා තිබුණේ මේ කාර්යය තම පියාට කවුරුන් විසින් හෝ මඩ ගැසීමට කරන ලද්දක් බවයි.

ඒ අතර වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ වැදගත් තොරතුරු රැසක් හෙළි විය. තමන් දයානන්ද සමඟ වෙනත් ගනුදෙනුවක් නැතැයි පැවසුවද බෝම්බය තබන්නට ඔහුට දැනුම් දුන්නේ තමන් බව වෛද්‍යවරයා විසින් පසුව පිළිගෙන තිබුණි.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට වරායේ සේවකයකු වන රුවන් නැමැත්තා රන්න පොලිස් වසමේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකි විය. ඔහු විශ්‍රාමික වෛද්‍යවරයාට බෝම්බය ලබා දුන් පුද්ගලයා බව සැක කෙරේ.

වෛද්‍යවරයා විසින් ලබා දුන් ප්‍රකාශ අනුව තමන්ට දේවස්ථානය කෙරෙහි ඇති වූ වෛරයක් හා නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් ආයතනය කෙරෙහි ඇති වූ සෙනෙහසක් නිසා බෝම්බ තැබූ බව පිළි ගෙන තිබේ. ඔහු පවසන්නේ වසර 48කට පෙර තමන් බෞද්ධ කාන්තාවක වන තම බිරිය සමඟ විවාහ වූ බවත් ඇය බෞද්ධ නිසා දේවස්ථානයෙන් තමන්ට සිත් රිදවීම් ඇති කළ නිසා එදිනෙන් පසුව පල්ලියට නොගිය බවයි. ඒ අතර තම බිරියට කොරෝනා වැලඳුණු බවත් සෙසු පෞද්ගලික රෝහල් මඟ හරිද්දී ලංකා හොස්පිට්ල් පමණක් ඇයට හොඳින් ප්‍රතිකාර කළ බවයි. එහෙත් ඇය මිය ගිය බවත් ඇයට කළ සත්කාරය නිසා රෝහල ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් මේ බෝම්බය තැබූ බවයි.

එමෙන්ම දේවස්ථානය හා ඇති වූ ක්‍රෝධය නිසා දේවස්ථානයට බෝම්බය තැබීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. ඒ අලුත්ම තත්ත්වයයි. බෝම්බ නාටකයේ එක එක නළුවන් දැන් කරළියට එමින් තිබේ. කෙසේ හෝ තිරයෙන් පිටුපස සිට රඟපෑම හැමදා කළ නොහැකිය. ඉදිරි සතිය වන විට මේ රඟපෑම්වල බොහෝ දේ හෙළිවනු ඇත.

 

Comments