නාල­න්දාවේ නොමැ­කෙන මත­කය ධර්ම ගුණ­සිංහ | සිළුමිණ

නාල­න්දාවේ නොමැ­කෙන මත­කය ධර්ම ගුණ­සිංහ

1958 ජනවාරි මස කොළඹ නාලන්දා විදුහලට විද්‍යා පුහුණු ගුරුවරයෙක් ලෙස එක්වූ ධර්ම ගුණසිංහ, අංශ ප්‍රධානියෙක්; කනිෂ්ට අංශයේ විදුහල්පති සහ නාලන්දා විදුහල්පති ලෙස පුරා වසර 33 ක් අඛණ්ඩව විශිෂ්ට සේවයක් ඉටු කර ඇත.

යටියන්තොට පනාපිටිය නමැති සුන්දර ගමේ උපත ලැබූ ධර්ම ගුණසිංහ සොයුරු සොයුරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක බාලම පුතා ය. දරුවන් අතර 5 වැනියා වූයේ මහාචාර්ය සිරි ගුණසිංහ ය. ශ්‍රියාරත්න ගුණසිංහ යන නම, වඩා සරල ලෙස සිරි ගුණසිංහ යනුවෙන් ද ඒ අනුව යමින් ධර්මදාස ගුණසිංහ යන නම ධර්ම ගුණසිංහ යනුවෙන්ද භාවිත කරන ලදී.

ගුණසිංහ දරුවා අධ්‍යාපනය ලැබූයේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. ඔහුගේ සමකාලීන මිතුරන් අතර මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න යන අය ද විය.

විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වූ පසු ඔහු ටික කලක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කළේ ය. එකල ඔහුගේ ප්‍රියතම ශිෂ්‍යයන් අතර සිටි වර්තමානයේ කැපී පෙනෙන චරිත දෙකක් වූයේ හිටපු ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ කලක් ජනාධිපති ලේකම් ධූරය දැරූ ඔස්ටින් ප්‍රනාන්දු සහ වර්තමාන කැබිනට් ඇමැති ධුරයක් දරන වාමාංශික නායකයකු වන වාසුදේව නානායක්කාර ය.

ගුණසිංහ ගේ ඇතුළුකෝට්ටේ නිවසේ පැවැත්වූ වාර්ෂික දානමය පින්කමට ඔස්ටින් ප්‍රනාන්දු අනිවාර්යයෙන් සහභාගී වූ අයෙකි.

ධර්ම ගුණසිංහ සහ ඒ.ටී. ආරියරත්න 1956 දී මහරගම ගුරු විදුහලට ඇතුළු විය. ඩී.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘ විදුහල්පති රැල්ෆ් අලස් ද 56/57 කණ්ඩායමට ඇතුළත් විය. ගුරු විදුහලේදී ඉතා ජනප්‍රිය තරුණයකු වූ ගුණසිංහ, ටෙනිස් සහ මලල ක්‍රීඩාවල නිරත වූ අතර අන්තර් ගුරු විද්‍යාලයීය තරගවලට ද සහභාගි විය. ගුරු විදුහල් හිතවතුන් විසින් ඔහු අමතනු ලැබුයේ BAD (බී.ඒ.ඩී. ගුණසිංහ) යනුවෙනි. 1958 ජනවාරි මස ගුණසිංහ සහ ආරියරත්න යන විද්‍යා පුහුණු ගුරුමහතුන් දෙපළ නාලන්දා විදුහලේ සේවයට එක් විය. ගුණසිංහ මහතා නාලන්දා මධ්‍ය අංශයේ විද්‍යාගාරය අංග සම්පූර්ණ ලෙස සකස් කිරීමට මහත් වෙහෙසක් දැරූ බව ප්‍රකට කරුණකි.

1964 දී ගුණපාල වික්‍රමරත්න නාලන්දාවේ විදුහල්පති තනතුර බාරගත් අවස්ථාවේ, විදුහලේ පෙර පැවැති අවුල් සහගත තත්ත්වය යථාවත් කිරීමට ගුරුවරයෙකු ලෙස ගුණසිංහගෙන් ලැබුණු සහාය මහත් රුකුලක් වූ අතර, 6,7,8 පන්ති එක්කර මධ්‍ය අංශයේ ප්‍රධාන තනතුර ඔහු වෙත පවරන ලදී.

ඒ.ටී. ආරියරත්නයන්ගේ මූලිකත්වයෙන්, නාලන්දා ගුරු සිසු දෙපක්ෂයේ සහභාගිත්වයෙන් 1958 දී ‘කනකොලුව‘ නමැති දුෂ්කර ගම්මානයේදී පවත්වන ලද ප්‍රථම සර්වෝදය ශ්‍රමදාන කඳවුරට සහභාගී වූ ගුණසිංහ එම ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙක් විය. ගුරු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද දීර්ඝ කාලයක් එම ව්‍යාපාරයේ භාණ්ඩාගාරික වශයෙන් ද වැදගත් සේවයක් ඉටු කළේ ය. ගුණපාල වික්‍රමරත්න උසස් වීමක් ලැබ කුලියාපිටිය අලුතින් ආරම්භ කළ කනිෂ්ට විශ්වවිද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වී යාමෙන් අනතුරුව නාලන්දා විදුහල්පති ලෙස සුගුණදාස අතුකෝරාල වැඩ බාර ගන්නා ලදී.

නාලන්දාවට ස්වර්ණමය යුගයක් බිහිකළ අතුකෝරාල, ගුණසිංහගේ දක්ෂතා මැනවින් තේරුම් ගෙන, ප්‍රාථමික අංශ භාරව සිටි, අබේකෝන් විශ්‍රාම යාමෙන් පසු එම අංශයත් එකතු කර 1 සිට 9 වසර දක්වා කනිෂ්ට අංශයේ ප්‍රධාන තනතුර ගුණසිංහ වෙත පවරන ලදී. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සිට එම අංශයේ සියලුම පරිපාලන කටයුතු ගුණසිංහ වෙත පවරන ලදී. එවක් පටන් එම අංශය නාලන්දා කනිෂ්ඨ අංශය ලෙස නම්කර එහි සියලු කටයුතු මැනවින් ඉටුකරන ලදී.

ඔහු ප්‍රථම වරට 1972 දී නාලන්දා කනිෂ්ට ශිෂ්‍ය නායක මුළුවක් ආරම්භ කරන ලදී. කනිෂ්ට අංශයේ මලල ක්‍රීඩා උත්සවයක්ව වෙනම පවත්වන ලදී.

ගුණසිංහ මුල් වරට මා හට මුණ ගැසුණේ 1966 වසරේදී මහරගම ගුරු විදුහලේ සිට ගුරු පුහුණුව සඳහා නාලන්දා විදුහලට පැමිණි අවස්ථාවේදී ය. පුහුණුව සඳහා වූ පත්වීම් ලිපිය ඔහු වෙත දුන් විට මාගේ නම කියවා බලා සී.ඒ. විතාන හඳුනනවා දැයි විමසීය. එවිට “ඔව් ඒ මගේ අයියා“ යැයි කීවෙමි.

ඉන්පසු මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ දැයි විමසා, “ඔව්“ යැයි පිළිතුරු දුන් පසු කාල සටහනක් දී අද සිටම වැඩ ආරම්භ කරන ලෙස දැන්වීය. කෙසේ හෝ ඉන් වසර 4 කට පසුව ගණිත පුහුණු ගුරුවරයකු ලෙස නාලන්දාවට මාරුවක් ලැබ පැමිණ ඔහු සමඟ වැඩ කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙස සලකමි.

මා 1971 දී නාලන්දා නේවාසිකාගාර බාර ගුරුවරයකු ලෙස පැමිණි අතර, ඊට වසර කිහිපයකට පසු ගුණසිංහ ද නේවාසිකාගාරයේ නැවතීමට පැමිණෙන ලදී. ඉන්පසු අපගේ හිතවත්කම් තවත් වැඩි විය. සෑම දිනක ම උදෑසන තේ කෝප්පය ගුණසිංහත්, විජයපාලත්, මාත් එකට පිළියෙල කරගත් අතර, කවුරුන් හෝ මුලින් අවදිවූ අයෙක් එය පිළියෙළ කිරීම සිරිතක් විය. එවකට නාලන්දාවේ 6 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරන ලද්දේ මුළු දිවයින පුරා ඉල්ලුම්පත් කැඳවා පැවැත්වූ තරග විභාගයකිනි. කිසිම දූෂණයකින් තොරව විනිවිද භාවයකින් යුතුව, එය ඉටු කිරීමට ගත් වෙහෙස ඉතා විශිෂ්ට බව කිව යුතු ය. එම විභාගය සඳහා සිංහල, ගණිතය සහ සාමාන්‍ය දැනීම යන ප්‍රශ්න පත්‍ර 3 ට සිසුන්ට පෙනී සිටීමට සිදු විය. ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී එහි රහස්‍ය භාවය රැකීම සඳහා ඔහු හොඳ උපක්‍රමයක් යෙදීය. එක් විෂයක් සඳහා ගුරු භවතින් 5 දෙනෙක් ගෙන් පමණ ප්‍රශ්න පත්‍ර ලබා ගත් අතර එහි රහස්‍ය භාවය රකින ලෙස ඔවුන්ට දන්වන ලදී. ගුණසිංහයන් එම ප්‍රශ්න පත්‍ර සියල්ල අතරින් සුදුසු ප්‍රශ්න තෝරාගෙන ඔහු විසින් වෙනමම ප්‍රශ්න පත්‍රයක් පිළියෙල කරන ලදී. විභාගය පැවැත්වූයේ සෙනසුරාදා දිනයක වන අතර ඔහු සිකුරාදා සවස මා සහ විජයපාලයන් ලවා එම ප්‍රශ්න පත්‍ර 3 යතුරුලියනය කර එදින රාත්‍රි අප විදුහලේ සේවය කළ ලක්ෂ්මන් ලවා ඒවා රෝනියෝ කර, පැකට් කර, සීල් තබා සූදානම් කර තබා ගත්හ. විභාගයට පෙර අයදුම්කරුවන් සියලු දෙනාගේ ම ලිපිනය සහිත ලියුම් කවර පිළියෙල කර ඒවා ඇතුළට අයදුම්කරුගේ නම විභාග අංකය ලබා ගත් ලකුණු ඇතුළත් කිරීමට ඉඩ තබා, ඔහු තෝරා ගත් බව හෝ නොගත් බව සඳහන් කර විදුහල්පතිගේ මුද්‍රාව තබා සූදානම් කර තබා ගනී. විභාගය පවත්වන දින එක් විෂයක් අවසන් වූ වහාම 10 දෙනකුගෙන් පමණ යුත් සමීක්ෂණ මණ්ඩලයක් වෙත එම උත්තර පත්‍ර බෙදා දී, ඉතා සුපරීක්ෂාකාරී ලෙස ලකුණු ලැයිස්තු සහ උත්තර පත්‍ර ලබා ගනී. අනතුරුව උපරිම ලකුණු ලබාගත් සිසුන්ගේ උත්තර පත්‍ර වෙනත් සමීක්ෂණ මණ්ඩලයක් මඟින් පරීක්ෂා කර අවසාන ලකුණු ලැයිස්තුව පිළියෙල කර ගනී. රාත්‍රි 11.00 පමණ වනවිට තෝරා ගන්නා සිසුන් 40 කගේ අවසාන ලැයිස්තුව සකස් කර තේරුණු සිසුන්ගේ ලියුම් කවර ගෙන, ඒවායේ ඇති ලිපියේ, තෝරාගත් බවත්, නොතේරුණු අයගේ ලිපිවල තෝරා නොගත් බවත් සඳහන් කර එදින රාත්‍රියේම මධ්‍යම තැපැල් කාර්යාලයට ගොස් එම ලියුම් තැපැල් කරන ලදී. මේ සියල්ල අවසන් වනතුරු ගුණසිංහ එහි රැඳී සිටි අතර, ඔහු විසින් ම සිය මෝටර් රථයෙන් ම ගොස් ලියුම් තැපැල් කිරීමට කටයුතු කරන ලදී.

සෙනසුරාදා විභාගයට ආ ළමුන් බොහොමයකට සඳුදාම ප්‍රතිඵල ලැබුණු අතර නොතේරුණු ළමුන්ගේ දෙමවුපියන්, මෙය වංචනික ක්‍රියාවක් ලෙස සිතූ අතර, නිවැරැදි තොරතුරු ලැබුණු පසු ඔවුන් බෙහෙවින් සතුටට පත් විය.

පුරා වසර 13 ක විශිෂ්ට සේවයකින් පසු 1982 දී සුගුනදාස අතුකෝරාල විශ්‍රාම ගත් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ධර්ම ගුණසිංහ පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු අතුකෝරාල විසින් සකස් කර තිබුණි.

ඒ අනුව 1982 දී නාලන්දා විදුහල්පති ධූරයට පත්වූ ගුණසිංහ නාලන්දාවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ගුරු‍, සිසු, ආදි සිසුන් සහ දෙමවුපියන්ගේ ආදරය දිනා ගනිමින් විශ්‍රාම යනතුරු විශිෂ්ට සේවයක් සිදු කරන ලදී. විශ්‍රාම ගිය ගුරු භවතුන්ට නැවත හමුවී තම සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් බිහිකළ නාලන්දා විශ්‍රාමික ගුරු සංගමයේ නිර්මාතෘවරයා ද ධර්ම ගුණසිංහ ය. ශ්‍රී ලංකාවේ විදුහලක ඇරඹූ ප්‍රථම විශ්‍රාමික ගුරු සංගමය එය වීම ඔහුට කරන්නා වූ ගෞරවයයක් වශයෙන් සඳහන් කළ යුතු ය. 2020 ජනවාරි 24 දා නාලන්දාවෙන් සමුගත් ඔබගේ නාමය නාලන්දා ප්‍රජාවගේ හදවත් තුළ සදා රැඳෙනු ඇත.


 

Comments