දුරු රටක ශ්‍රමය වගුරා හිස් අතින් මෙර­ටට එන කතුන්ගේ ශෝකා­න්තය | සිළුමිණ

දුරු රටක ශ්‍රමය වගුරා හිස් අතින් මෙර­ටට එන කතුන්ගේ ශෝකා­න්තය

 

මනලී නම් පාසල් යුවතියකට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරදී මැදපෙරදිග රටක රැකියාවකට යැවීමෙන් අනතුරුව ඈ මුහුණදෙන ඛේදවාචකය පාදක කරගත් ටෙලිනාට්‍යයක් මෑතකදී විකාශය විය. ‘සමනලී‘ නමැති එකී ටෙලි නාට්‍ය අප අතරින් වෙන් වී ගිය ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණයකි. හදිසියේ ම මෙම ටෙලිනාට්‍ය මගේ මතකයට නැඟුණේ මැදපෙරදිග රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන් සම්බන්ධයෙන් කතිකාවක් පසුගියදා පැවැත්වුණු නිසා ය. මෙම සංකථනයේ මුලසුන දැරුවේ 56 දරුවෝ සංවිධානයේ අනුශාසක කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසිනි.

 

මෙහිදී දේශකවරුන් විසින් පැහැදිලි කළේ ශ්‍රී ලාංකේය සංස්කෘතියට අනුව පවුලක බර දරාගෙන සිටින ‘අම්මා‘ විදේශගත වීමෙන් පවුලේ සෙසු පිරිස ගැටලු රාශියකට මැදි වන බවයි.

“ඇත්තටම අපේ කාන්තාවන් මැදපෙරදිග රටවල්වල සේවයට යනවා කියන්නේ වහල් සේවයට යනවා කියන එක. ඒ අයට ඒ රටවල්වල පැය 16 - 20 ක් විතර වැඩ කරන්න වෙනවා. ඒ වගේ ම පිළිස්සීම් වද හිංසාවලට ලක් කිරීම් වැනි අනතුරුවලට භාජනය වෙනවා. සමහරවිට ලිංගික ගොදුරක් බවට පත් වෙනවා. මම ළඟදී දවසක දැක්කා මැදපෙරදිග රටක පත්තරේ දැන්වීමක් දාලා තිබුණා ශ්‍රී ලාංකික කාන්තාවක් විකුණන්න තියෙනවා කියලා. ඒ ගෙදර අයට අනවශ්‍ය වූ විට තවත් ගෙදරකට විකුණන්න තියෙනවා කියන්නේ අපේ කාන්තාව භාණ්ඩයක් ද? ඇත්තටම කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ අපේ කාන්තාවන් වහල් සේවයට යොදවන බව. මම මෙය දකින්නේ අපනයනය කර අපහරණයට ලක් කිරීමක් හැටියටයි.“ යනුවෙන් පැවසුවේ ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල ය.

මැදපෙරදිග ඇතැම් රටවල් තුළ ක්‍රියාත්මක වන නීතිය අන්තවාදී බැවින් අඩුම වශයෙන් එවැනි රටවල්වලටවත් කාන්තාවන් යැවීම නවතා දැමිය යුතු බව ඇගේ අදහස විය. ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය ඇතුළු ආසියානු රටවල් කීපයක් මේ වනවිට නීතියේ රැකවරණයක් නොමැති රටවල් සඳහා කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස යැවීම නවතා දමා තිබේ. එම රටවල් කාන්තාවන් යවනු ලබන්නේ ගුරු, හෙද වැනි රැකියා සඳහා පමණි. ශ්‍රී ලාංකික කාන්තාවන්ට වැඩි ඉල්ලුමක් ලැබුණේ ආසියාතික රටවල් බොහොමයක් ගෘහ සේවිකාවන් සඳහා කාන්තාවන් අපනයනය නවතා දමා ඇති පසුබිමක ය.

“මැදපෙරදිග සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ මළ මිනී 300 - 350 අතර ප්‍රමාණයක් අවුරුද්දකදී මෙරටට එනවා. සමහර මෘත දේහවල පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ පවත්වපුවාම අනාවරණය වී තිබෙනවා අභ්‍යන්තර අවයව පවා නැති බව. සමහර මළ සිරුරුවල තුවාල තියෙනවා. පිළිස්සීම් තියෙනවා. ඒත් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කෙරෙනවාද? 2020 වර්ෂයට පමණක් ප්‍රේෂණ ඇ. ඩොලර් මිලියන 7,204 ක් මෙරටට ලැබිලා තිබෙන්නේ විදෙස් ශ්‍රමිකයන්ගෙන්. විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ගැන විතරයි රජය හිතන්නේ. ඒ ප්‍රේෂණ මුදල් එවන ශ්‍රමිකයන්ගේ ජීවිත ගැන හිතන්නේ නැහැ.“ යනුවෙන් ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල සඳහන් කළා ය.

දේශප්‍රේමී විද්වත් සංසදයේ කැඳවුම්කරු නීතිඥ මධුමාලි ද අල්විස් සඳහන් කළේ මැදපෙරදිග රටවල්වල ගෘහ සේවය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීමෙන් ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම අඩු වී ඇති බව ය. මැදපෙරදිග රටවල්වල සුදු කරපටි වෘත්තීන් සඳහා යන ශ්‍රී ලාංකිකයන් ද බොහෝ විට හෑල්ලු වන අවස්ථා තිබෙන බව ඈ තවදුරටත් පැහැදිලි කළා ය.

“මැදපෙරදිග රටවල් හිතන්නේ ශ්‍රී ලංකාව වහල් සේවය සපයන රටක් කියලා. එය රටක් හැටියට හොඳ නැහැ. ඒ නිසා ඒ ගැන පාලකයන් අවධානය යොමු කළ යුතුයි. වයස අවු. 5 ට වඩා කුඩා දරුවන් සිටින මවුවරුන් විදේශ රැකියා සඳහා පිටත් කිරීම තහනම් කළේ 2013 දී. නීති, අණපනත් කොයි තරම් තිබුණත් නීති ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවාද කියලා නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අවු. 5 ට අඩු දරුවන් සිටින අම්මලා රට නොගිහින් හිටියේ නැහැනේ. අවු. 18 ට අඩු අය, අවුරුදු 50 වගේ අය හොරට පාස්පෝට් හදාගෙන ඕනෑ තරම් රට ගිහින් තියෙනවා. එක් එක් රටවල්වලට යන ගෘහ සේවිකාවන් සඳහා වයස් සීමාවන් පනවා තියෙනවා. ඒත් ඒ වයස් සීමාවන්ට අඩු සහ වැඩි අයත් රට යනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් කොහොමද එහෙම වෙන්නේ. ආර්ථික දායකත්වය නිසා මෙය නතර කරන්නේ නැහැ.“ යනුවෙන් දේශප්‍රේමී විද්වත් සංසදයේ කැඳවුම්කරු, නීතිඥ මධුමාලී ද අල්විස් විස්තර කළා ය.

ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වීම වැළැක්වීම, පාසල් විෂය මාලාව තුළින් ම දරු දැරියන්ගේ සිත් තුළට කාවැද්දවිය යුතු බව ඇගේ අදහස විය. ඇතැම් මුස්ලිම් දැරියන්ට මැදපෙරදිග රටක රැකියාවකට යෑම මහත් අභිමානයකි. ඇතැම් සිංහල දැරියන් ද අධ්‍යාපනයට වැඩි නැඹුරුතාවක් නොදක්වන්නේ විදෙස්ගත වී මුදල් ඉපයිය හැකි යැයි සිතිවිල්ල නිසා ය. උගත්කමකින් තොරව මුදල් උපයා පොහොසත් විය හැකි මාර්ගවලට යොමුවීම රටකට කිසිසේත් සුබදායක නැත. වර්තමානයේ තරුණ පරම්පරාව කාර්මික පාඨමාලාවන්ට යොමු වී වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට උනන්දුවක් දක්වන්නේ ද නැත. මේ පිළිබඳව ද පාලකයන් අවධානය යොමු කිරීම වටී.

“විදේශ රැකියා සඳහා යන හැමෝගේම ජීවිත අවුල් වෙන්නේ නැහැ. හම්බ කරගත් මුදල් ඉතිරි කරගෙන ගෙවල් හදාගෙන ලස්සනට ජීවත් වෙන පවුල් තියෙනවා. හැබැයි වැටුප් නොලබා අවුරුදු ගණන් හිරවෙලා ලංකාවට එන්න විදිහක් නැතිව ඉන්න අයත් ඉන්නවා. මැදපෙරදිග රැකියාවලට යන අය තමයි වැඩිපුරම ඉන්නේ. ඉතාලිය, සයිප්‍රසය වගේ යුරෝපීය රටවල්වල ගෘහ සේවිකා රැකියාවලට යන අය මුහුණදෙන ප්‍රශ්න ඉතාමත් අල්පයි. මොකද යුරෝපීය රටවල් මානව හිමිකම් රකින, නීතිගරුක නිසා. මැදපෙරදිග රටවල්වල ඒ තත්ත්වය අඩුයි. හැබැයි මැදපෙරදිග රටවල්වල සේවයට යන අපේ ඇතැම් කාන්තාවන්ගේ වැරදි තියෙනවා. සමහරුන්ට තැන හොඳ නැතිනම් පැනලා යනවා. බොරු කියනවා. සුළුතර පිරිසකගේ ක්‍රියා කලාපයෙන් ලංකාවට නරක නාමයක් ලැබෙනවා.“ යනුවෙන් පවසමින් සාකච්ඡාවට පිවිසියේ ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලයේ කැඳවුම්කරු සුනිල් චන්ද්‍රසිරි ය. ඔහු 1982 දී කටාර් රාජ්‍යයේ රැකියාවකට ගොස් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් සමිතියක් ස්ථාපිත කළ පළමු ශ්‍රී ලාංකිකයා වේ. ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලය ඔහු ආරම්භ කර තිබෙන්නේ 1995 දී ය.

කොවිඩ් වසංගතය සමඟ මැදපෙරදිග රටවල්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් ගැටලු රාශියකට මුහුණපා සිටින බව ඔහු විස්තර කළේ මෙලෙසිනි.

“කොවිඩ් එන්නත් විදින්න පාස්පෝට් එක ඉල්ලනවා. ඒත් මේ අයගේ පාස්පෝට් තියෙන්නේ ගෙදර හාම්පුතුන් ළඟ. ඒ අය පාස්පෝට් එක දෙන්නේ නැතිව බැනලා ගෙවල්වලින් එළියට දාලා තියෙනවා. සමහරුන්ට කියලා තිබුණ පාස්පෝට් එක නියෝජිතයා ළඟ කියලා.

දැන් ඒ අයට එන්නත් විදින්නේ නැතිව ලංකාවට එන්න විදිහක් නැහැ. මැදපෙරදිග රටවල්වල පාරේ ගස් යට නිදාගෙන ඉන්න අපේ අය ඉන්නවා. ඒ අය මෙරටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් නැහැ. තානාපති කාර්යාලවලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජිත කාර්යාලවලින් ඔවුන් ගැන සොයා බලන්නේ නැහැ.“ යනුවෙන් ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලයේ කැඳවුම්කරු සුනිල් චන්ද්‍රසිරි විස්තර කළේ ය. එහෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි, (ජාත්‍යන්තර කටයුතු) මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය ඔහු පවසන කතාව ප්‍රතික්ෂේප කළේ ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර සපයමිනි.

“විදේශ රටක ඕනෑම කෙනෙකු මුහුණදෙන ප්‍රශ්නයකට අපි පැය 24 න් මැදිහත් වෙනවා. සතියක් ඇතුළත විසඳුම් ලබාදෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ගියා නම්, ලියාපදිංචිය අලුත් කරලා තියෙනවා නම් අපි එයාලාගේ සියලුම ප්‍රශ්න විසඳනවා. අපිට ප්‍රශ්න විසඳීමට නොහැකිවී තිබෙන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට පිටරට රැකියාවලට ගිය අයගේ ප්‍රශ්න විතරයි. සමහර වෙලාවට සේවා යෝජකයාගෙන් පැනලා ගිහිල්ලා. එහෙම නැතිනම් පොදු සමා කාලයේ මෙරටට පැමිණ නැහැ. ඒවගේ අයට රෝහලකට යන්න සිද්ධ වුණොත් ගැටලුකාරී තත්ත්වයන් මතු වෙනවා. ලෝකයේ ඕනෑම රටක හිටියත් කතා කළ හැකි දුරකතන අංකයක් අපි දීලා තියෙනවා. එය 1989. එම අංකය පැය 24 ම ක්‍රියාත්මකයි.

සියලුම රටවල්වල පිහිටි තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලවල දුරකතන අංක අපේ වෙබ් පිටුවේ සඳහන් වෙනවා. ඒ ඕනෑම අංකයකට කතා කරලා ඕනෑම ප්‍රශ්නයක් කියන්න පුළුවන්. නිසි ක්‍රමවේදයකට පටහැනිව විදෙස් රැකියාවලට ගිය අය තමයි ඔය කියන විදිහේ ප්‍රශ්නවලට මුහුණදීලා පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ. අනික මේ වනවිට පාරවල් ගානේ නිදාගෙන ඉන්න කවුරුවත් නැහැ. ඒ සේරම අයව අපි ලංකාවට ගෙනාවා.“ යනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක (ජාත්‍යන්තර සම්බන්ධතා) මංගල රන්දෙණිය පැහැදිලි කළේ ය.

කාට නොකිව්වත් අපිට කියලා යන්න, වෙනස්කම් වෙනවා නම් කාට නැතත් අපිට කියන්න“ යනුවෙන් ඔහු කාරුණික ඉල්ලීමක් කිරීමට ද අමතක කළේ නැත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සියලු පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටින බැවින් ගුවන් තොටුපළෙන් පිටත්වී යෑමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණීමේ වැදගත්කම මංගල රන්දෙණිය විසින් පෙන්වා දුන්නේ පිහිට වීමට බලය ඇති එකම රාජ්‍ය ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශය වන නිසා ය.

 

Comments