ටික්ටොක් උන්මා­දය නිසා කෙල­සුණු තලං­ගම දැරිය | සිළුමිණ

ටික්ටොක් උන්මා­දය නිසා කෙල­සුණු තලං­ගම දැරිය

කිරි සමන් ටික්ටොක් හි පෙනී සිටි අවස්ථාවක්
කිරි සමන් ටික්ටොක් හි පෙනී සිටි අවස්ථාවක්

 

ජංගම යෙදවුමක් වන ටික් ටොක් සමාජ මාධ්‍ය මේ වන විට මෙරට තරුණ තරුණියන් අතර ද ශීඝ්‍රයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍යයකි. 2016 වසරේදී චීනයේ උපත ලද ටික් ටොක් පරිශීලකයන් සංඛ්‍යාව වර්තමානය වන විට ලොව පුරා බිලියන දෙක ඉක්මවා සිටී. එක්වරකදී උපරීම මිනිත්තුවක කාල පරාසයකදී විවිධාකාර ගීත හෝ සංගීත නාදයන්ට නොයෙක් ආකාරයේ නර්තනයන් ඉදිරිපත් කිරීම ටික් ටොක් තුළින් බහුලවම සිදුවන්නකි. ඊට අමතරව තව තවත් බොහෝ දෑ ටික් ටොක් වීඩියෝවන්හි දක්නට ලැබේ. මේ අතර නොයෙක් දේ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙසද දැන් දැන් ටික් ටොක් සමාජ මාධ්‍ය පෙරට එමින් තිබේ.

 

කෙසේ හෝ ටික් ටොක් එලෙස ලොව පුරා තරුණ තරුණියන් වැලඳ ගත්තද ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව, කුවේට් පමණක් නොව අපගේ අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් රැසකම තහනම් කර ඇති ජංගම යෙදවුමකි.

මේ වන විට ලංකාවටද ටික් ටොක් ‘හෙණ‘යක් බවට පත්වන බවක් පෙන්නුම් කරන්නේ ටික් ටොක් ඔස්සේ පසුගිය දිනවල වූ අපරාධ නිසාවෙනි. ඉකුත් ජනවාරි 03 වැනිදා ටික් ටොක් උන්මාදයෙන් පෙළුණු ‘ටික් ටොක්හි ඩිලා‘ ලෙස ප්‍රකටව සිටි වැල්ලම්පිටිය, සේදවත්තෙ විසූ 17 හැවිරිදි අබ්දුල් ලතීෆ් නමැති තරුණයාගේ ඝාතනයටද ටික් ටොක් සමාජ මාධ්‍යයේ ප්‍රබල බලපෑමක් වී තිබුණි. ඔහුගේ ඝාතකයන් අබ්දුල් අමතා තිබුණේද ‘ටික් ටොක්.......‘ යනුවෙනි.

ටික් ටොක් නිසා වූ තවත් අපරාධයක් ගෙවී ගිය සතියේ වාර්තා විණි. ඒ, ටික් ටොක්හි ‘කිරි සමන්‘ ලෙසින් ප්‍රකටව සිටි ඕෂධ නිලාන් නමැත්තෙක් බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ අනුවේදනීය කතාන්දරයයි. තලංගම පොලිසියෙන් වාර්තා වන එම කතාන්දරය මෙලෙසිනි.

ඉකුත් ජනවාරි මස 01 වැනිදා තලංගම පොලිසියට පැමිණියේ තලංගම පොලිසිය ආසන්න සූරිය මාවතේ පදිංචි යුවළකි. එම යුවළ කථන ආබාධ සහිත ‘ගොළු‘ දෙදෙනෙකි.

දෙදෙනාගේ පැමිණිල්ලෙන් සඳහන් වූයේ වයස අවුරුදු 15යි මාස 10ක් වියැති සිය දියණිය අතුරුදන්ව ඇති බවයි. ඇය ජනවාරි 01 වැනිදා රාත්‍රියේ දෙහිවල ප්‍රදේශයේ සාදයකට ගිය බවද සඳහන් විණි. තලංගම පොලිසියට ලද පැමිණිල්ල එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශනයක් ඇරැඹිණි.

කෙසේ හෝ පොලිස් විමර්ශන සිදු වෙද්දී තරින්දි නමැති දැරිය නිවෙසින් ගිය දිනට පසුදින එනම් ජනවාරි 02 වැනිදා සවස් යාමයේ හිටිහැටියේම නිවෙසට පැමිණියාය. තරින්දි නිවෙසට පැමිණියද ඇයගේ හැසිරීම් රටාව පිළිබඳව පොලිසියට වූ සැකය මත දිගින් දිගටම විමර්ශන සිදු විණි. ඒ අනුව බාල වයස්කාර තරින්දි වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා වෙත යොමු කෙරිණි. එහිදී අනාවරණය වී තිබුණේ ඇය ඒ මොහොතේදී දැඩි සේ මත්ද්‍රව්‍ය පානය කර සිටි බවකි. එසේම ඇය ලිංගික දූෂණයකටද ලක්ව ඇති බව හෙළි විණි.

තරින්දිගේ මව සහ පියාද එකම නිවෙසේ ඉහළ මහලේ සහ පහළ මහලේ වෙන්ව ජීවත්වන දෙදෙනෙකි. ඇයට බාල සහෝදරයෙක්ද වේ. අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා, තරින්දිගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේ ලිංගික අපරාධය සිදු කළේ කවුරුන්ද යන්නයි. එහිදී තරින්දි සියලු තතු පවසන්නට වූයේ අපරාධයක ශෝචනීය කතාන්දරයක් හෙළි කරමිනි.

“සර්... මට මේ දේ කළේ කිරි සමන් අයියයි තව කට්ටියකුයි“

එම තොරතුර ඔස්සේ තලංගම පොලිසියේ විමර්ශන නිලධාරීහු කිරි සමන් නමැත්තා පිළිබඳව සොයා බලන්නට වූහ.

කිරි සමන් යනු ටික් ටොක් පිස්සෙකි. ඔහු ටික් ටොක් සමාජ මාධ්‍යයේ ප්‍රචලිතව ඇත්තේ කිරි සමන් ලෙසිනි. 24 හැවිරිදි කිරි සමන්ගේ සැබෑ නාමය ඕෂධ නිලාන්ය. රාජගිරිය, කලපළුවාවේ වෙසෙන කිරි සමන් පෞද්ගලික ගුරුවරයකු ලෙසින් නර්තනය උගන්වන අතරෙහි ටික් ටොක් ඔස්සේ විවිධාකාරයේ නර්තන ඇතුළු වීඩියෝ මුදාහරින්නෙකි.

නිතරම පාහේ සමාජ මාධ්‍යයේ සැරිසරන්නකු ලෙසට ප්‍රකට කිරි සමන් පසුගියදා ෆේස්බුක් සමාජ මාධ්‍යයේද සටහනක් තබමින් සඳහන් කර තිබුණේ මෙවැන්නකි.

“වෙනස් වෙන්න ඕනේ සල්ලිවල අගය නෙවෙයි. වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ගෙ චර්යා රටාව, ගති පැවතුම්. එතකොට ලොකේ නිකම්ම වෙනස් වෙනවා. සොබාදහම අපිට ආදරේ කරනවා. එකයි ඇත්ත. කියන කතා කැත හිතන විදිය ගැළපෙන්නේ නැති උනාට ඔයා ලස්සනට ඉන්න! එතකොට ඔබට බනින උන් අතරේ ඔයාව කතාබහ වෙනවා වැඩි...ඔබට ජය“

කිරි සමන්ගේ සටහන අනුව ඔහු සෙවූ වෙනස සොයා ගොස් නතර වූයේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. තරින්දි දැරියගේ ප්‍රකාශ අනුව හෙළිවන්නේ මෙවැන්නකි. ඇයද දැඩි සේ ටික් ටොක් කෙරෙහි ඇබ්බැහිව සිටි තැනැත්තියකි.

ඇයට කිරි සමන් හඳුනා ගැනීමට හැකිව ඇත්තේ මීට මාස දෙක තුනකට පමණ පෙරදියි. ඒ වට්ස්ඇප් මඟින් තරුණියක හඳුනා ගැනීමෙන් පසුවයි. එම තරුණිය මඟින් මට්ටක්කුලියේ තරුණයකු සහ රාජගිරිය, කලපළුවාවේ කිරි සමන් හඳුනා ගැනීමට තරින්දිට හැකිවිණි.

අනතුරුව තරින්දි, කිරි සමන් සමඟ රාත්‍රී කාලයේ සාදවලට ද ගොස් නර්තනයන් ඉදිරිපත් කිරීමටද පෙලඹිණි. ඒ අතර ඇය කිරි සමන්ගේ ඇසුරෙන් මත්ද්‍රව්‍යවලටද ඇබ්බැහි වී තිබුණාය. කිරි සමන් ඉකුත් දෙසැම්බර් මාසයේ දිනෙක රාත්‍රියේ තරින්දි සාදයකට කැඳවාගෙන ගොස් තිබුණේ ඇයගේ මවුපිය ඥාති හිතවතුන් සැමට හොර රහසේයි. එදින සාදයට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරිය නිවෙසට පැමිණ තිබුණේ පසුදා අලුයම 4ට පමණය.

එදින මුල්ම වතාවට කිරි සමන් නමැත්තා විසින් ඇයව කෙලෙසා ඇත. එසේම කිරි සමන් සමඟ සිටි ඔහුගේ මිතුරකුද එදින ඇය හා ලිංගිකව හැසිරුණු බවද දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වේ.

පසුව දෙසැම්බර් මාසයේ විසි ගණන්වලද පෑලියගොඩ සාදයකට ගොස් තරින්දි නිවෙසට පැමිණ ඇත්තේ පසුදා පාන්දර යාමයේයි. එදිනද කිරි සමන් විසින් තවත් පුද්ගලයකු සමඟින් ඇයව දූෂණය කර ඇති බවකි. මෙලෙස බාල වයස්කාර දැරියක නිවෙසින් හොර රහසේ පිටමංව ගොස් ඇත්තේ දෙමාපියන්ගේද නිසි සොයා බැලීමක් නොවූ නිසා බව ගම්‍ය වන කරුණකි.

අනතුරුව තරින්දි අවසන් වතාවට නිවෙසින් පිටව ගොස් තිබුණේ ඉකුත් ජනවාරි 1 වැනිදාය. තලංගම පොලිසියට සිය දියණිය අතුරුදන් යැයි සඳහන් කරමින් මාපිය යුවළගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණේ එම අවස්ථාවේදිය. දෙහිවල සාදයකට ගොස් ඇති තරින්දිට එදින කිරි සමන්ගේ මිතුරෙකු වන 21 හැවිරිදි මොහාන් නමැත්තාද හඳුනා ගැනීමට හැකි විණි. මොහාන්ද එදින සාදයෙන් පසු දැරිය රැගෙන ගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ නිවෙසකටයි. එම නිවෙසේදී මොහාන්ද ඇය සමඟ ලිංගිකව හැසිරී ඇත.

දැරිය පසුදා නිවෙසට පැමිණ ඇත්තේ එකී නිවෙසේ සිටයි. පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කෙරිණි. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇය දූෂණය වී ඇති බවයි.

ඒ සමඟම ඉකුත් 15 වැනිදා ක්‍රියාත්මක වූ තලංගම පොලිස් නිලධාරිහු කිරි සමන් නමැත්තා සමඟ තවත් පස්දෙනකු අත්අඩංගුවට ගත්තේ බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා මතයි. අත්අඩංගුවට පත් පිරිස රාජගිරිය, කැලණිය, මට්ටක්කුලිය සහ පිළියන්දල යන ප්‍රදේශයන්හි අයවලුන්ය. ඒ අතර වයස අවුරුදු 19ක් සහ 23ක් වන තරුණියන් දෙදෙනෙක්ද වූවාය. තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ දැරිය දූෂණය කිරීමට නවාතැන් පහසුකම් සැලැසීම නිසාවෙනි. එකී තරුණියන් දෙදෙනා පිළියන්දල සහ කැලණිය ප්‍රදේශයන්හිය.

අත්අඩංගුවට පත් කිරි සමන්ගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය බාල වයස්කාර දැරිය කෙලෙසූ බව පොලිස් නිලධාරීන් ඉදිරියේ පිළිගත්තේය. අත්අඩංගුවට පත් කිරි සමන් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

දරුවන් ජංගම දුරකථනයක් අතට ගතහොත් ඒ පිළිබඳව වැඩිහිටියන් අවධානයෙන්ම සිටිය යුතුමය. මේ ඒ වගකීම ගිලිහීමෙන් ඇති වූ ගැටලුවකි.

ඕෂධ නිලාන් හෙවත් කිරි සමන් ඇතුළු පිරිස විසින් 15 හැවිරිදි බාල වයස් දැරිය ලිංගිකව විනාශ කිරීම පිළිබඳ විමර්ශන තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ මෙහෙයවීමෙන් එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා එච්. එම්. අයි. සුභාෂිණි ඇතුළු නිලධාරිහු සිදු කළහ.

ටික් ටොක් ඇතුළු නන්විධ සමාජ මාධ්‍ය ඔස්සේ බාල වයස්කාර දරුවන්ට සිදුවන ගැහැට පිළිබඳවත් ඊට ගත යුතු පිළියම් ගැනත් අප විමසීමක් කළේ සමාජ ක්‍රියාකාරිනියක වන එක්සත් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරියගෙනි. ඇය පවසන්නේ, “වර්තමානය වන විට ටික් ටොක් ඇතුළු සමාජ මාධ්‍යය දරුවන් ගිල ගැනීමට පැමිණ සිටින මාරයෙක් වැනියි. පසුගිය සති දෙකක පමණ කාලය තුළදී විශේෂයෙන්ම ටික් ටොක් නිසා අපරාධ තුනක් වාර්තා වුණා.

පළමුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තරුණයකු ඝාතනය, ආසන්නතම සිදුවීම කිරි සමන් නමැත්තාගේ මෙකී සිදුවීම. ඊට අමතරව අපට වාර්තා වෙලා තියෙනවා පාසල් නිල ඇඳුමෙන් ටික් ටොක් කිරීමට ගොස් වයස අවුරුදු 11ක දැරියක් අපයෝජනයට ලක්ව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව. මේ සමාජ මාධ්‍ය ඔස්සෙ සිදුවන අපරාධ වළක්වා ගැනීමටනම් කඩිනම් පියවර ගත යුතුයි. විශේෂයෙන් සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයන් පෙරට පැමිණිය යුතුයි. ඔවුන් මේ ව්‍යසනය පිළිබඳව දරුවන් සේම ඊටත් වඩා මවුපිය වැඩිහිටියන් දැනුම්වත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. වර්තමානයේ වැඩිහිටි පරම්පරාව මේ සමාජ මාධ්‍යයෙන් සිදුවන විනාශයන් පිළිබඳව එතරම් දැනුම්වත් නැහැ.

ඒ නිසයි මෙවැනි අපරාධ ඉහළ යාමට මූලික වෙලා තියෙන්නෙ. මෙහිදී ජාතික ළමා රක්ෂක අධිකාරියටත් විශාල වගකීමක් තිබෙනවා දරුවන් මෙවැනි ව්‍යසනයකින් ගලවා ගැනීම සඳහා. අධිකාරිය සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකරුවන් සමඟ එක්ව කටයුතු කිරීම වැදගත්. ඒත් එක්කම පොලිසිය. කිරි සමන්ගේ සිදුවීමේදී තලංගම පොලිස් නිලධාරින් ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණා. ඔවුන් එලෙස කටයුතු නොකළානම් මේ සිදුවීම යටපත් වීමටත් ඉඩ තිබුණා. මොකද ඒ දැරියගේ මව පැමිණිල්ල ඉවත් කරගැනීමටත් කටයුතු කර තිබුණා.

ඒත් තලංගම පොලිස් නිලධාරින් තමයි දිගින් දිගටම විමර්ශනය සිදුකරලා සැකකරුවන්ව අත්අඩංගුවට ගත්තේ. හැබැයි තලංගම පොලිසිය ක්‍රියා කළ ආකාරයට සෑම පොලිසියකින්ම ඒ දේ වෙන්නෙ නැහැ. ඒ වගේම මෙකී අපරාධකාරයන් අනාවරණය කරනවාට විරුද්ධවත් ඇතැම් පිරිස් නැඟි සිටිනවා. මේ තත්ත්වයන් බරපතළ ගැටලුවක්.

Comments