ගුරු සටනේ ගුරු තරුව | Page 2 | සිළුමිණ

ගුරු සටනේ ගුරු තරුව

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

•1992 දී ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට පළමු පත්වීම් ලැබුවේ කැබිතිගොල්ලෑවේ මහනැටියාව විද්‍යාලයටයි

• වැඩ කිරීමෙන් සමාජයෙන් ලැබෙන ආදරය සහ ගරුත්වය ජීවිතයේ පරම සතුටයි

• 1971 අප්‍රේල් කැරැල්ලට හසුවූ පියා නිදහස් වූයේ  වසර 5කට පසුවයි

හු උපන්නේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේය. බාල සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා වූ ඔහුගේ පියා එස්.පී. ජයසිංහ ය. මව ලීලා ජයසිංහ ගෘහණියකි. ගුරුවරයකු වූ පියා, රාජකාරි මාරු වීම් ලැබ පාසලින් පාසලට යෑම නිසා දරුවන්ට ද පාසල් කිහිපයක ඉගෙනුම ලැබීමට සිදු විය. කුඩා වියේ සිට ගුරුවරයා නම් චරිතයේ වපසරිය මනාව හඳුනා ගත් ඔහු අද රටම හඳුනන්නේ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ලෙසිනි. ඒ, මහින්ද ජයසිංහ ය.

“පාසල් කිහිපයකටම ගිය මම අධ්‍යාපනය අවසන් කළේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබුණු පාසල වගේම සුන්දර පාසල් ජීවිතයක් ගත කළා. මිතුරන් සමඟ සැහැල්ලුවෙන්, කෙළිදෙළෙන් ගතකරපු කාලය වගේම පාසල් නේවාසිකාගාරවල ගත කරපු කාලයත් හරිම සුන්දරයි. පාසලේදී බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණා වගේම පාසල් විවාද කණ්ඩායම සහ නාට්‍ය කණ්ඩායමත් නියෝජනය කළා. මම රඟපෑ ‘සමුද්‍ර‍ෙද්වි’ නාට්‍යය පාසල් නාට්‍ය තරගාවලියේ ජාතික මට්ටම දක්වා පැමිණියා. කාලයක් ක්‍රිකට් පුහුණුවීම් කළත් ක්‍රීඩා කළේ නම් නැහැ. ඒකට හේතුව ක්‍රිකට් පුහුණුවීම් සිදු කළ විදුහල්පතිවරයාගේ පුතාගේ අනවශ්‍ය බලපෑම්වලට නතුවීමට තිබූ අකමැත්තයි. ඒ නිසා මම ක්‍රිකට් පුහුණුවීම් නතර කළා. ඒ කාලේ ඉඳන් අසාධාරණයට විරුද්ධ වෙන පුරුද්ද මා තුළ තිබුණා.”

මහින්ද ජයසිංහ අපේ කතාබහට පිවිසියේ දඟකාර පාසල් වියේ මතක අවදි කරමිනි. ඒ අතර ගුරුවරයකු වූ පියාගෙන් සහ දිරිය ගැහැනියක වූ මවගෙන් සිය ජීවිතයට ලැබුණු ආභාසය සහ පන්නරය ගැන ආදරණීය මතක ද වේ.

“තාත්තා ටිකක් සැර පරුෂ චරිතයක් වුණත් ආදරණීය කෙනෙක්. අපි වෙනුවෙන් තාත්තා ගොඩක් මහන්සි වුණා. ගුරු වැටුප පවුල ජීවත් කරවන්න තරම් ප්‍රමාණවත් නොවුණත් තාත්තා කවදාවත් ටියුෂන් කළේ නැහැ. උදේට පාසල් ගිහින් ඇවිත් හවස් වරුවේ තාත්තා ගොවිතැන් වැඩ කළා. එළවළු වගා කළා. අම්මා ඒ හැමදේකටම තාත්තට උදව් වුණා. ඒ වගේම අම්මා විවිධ කෑම වර්ග හදලා කඩවල්වලට දැම්මා. ඒවායින් තමයි පවුලේ අඟහිඟකම් මගහැර ගත්තේ”

එසේ සැහැල්ලුවෙන් ගත කළ ජයසිංහ පවුලේ සතුට, සැනසුම කලකට ඔවුනට අහිමි වන්නේ 1971 අරගලයේදී ඔහුගේ පියාට සිරබත් කන්නට සිදුවීම නිසාය. 1976දී පමණ නිදහස ලබා පැමිණෙන පියාට යළි පත්වීම ලැබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලකටය. ඒ නිසා මහින්දටත් ඔහුගේ සහෝදර සහෝදරියන්ටත් අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ඉගෙනුම ලබන්නට සිදු විය. යළි කුරුණෑගලට පැමිණෙන මහින්ද ජයසිංහ 88 වසරේ ගණිත අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටින්නේ රට පුරා පැතිරී ගිය කලබලකාරී පසුබිම ද අත්විඳිමිනි. 1990 වසරේදී ඔහු කුරුණෑගල කාර්මික විද්‍යාලයට ඇතුළත් විය.

“පාසල් කාලේ සිටම මම ඉංග්‍රීසි භාෂාවට විශේෂ උනන්දුවක් දැක්වුවා. සාමාන්‍යපෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල එනතුරු තිබුණු මාස හත අටක විරාම කාලය තුළ මම විවිධ ක්‍රමවලින් ඉංග්‍රීසි දැනුම දියුණු කරගත්තා. පාසලේ ඉංග්‍රීසි භාෂාවෙන් නිවේදන කටයුතු කළා. ඒ උනන්දුව නිසාම 1991 ඉංග්‍රීසි ගුරු විභාගයට පෙනී සිටියා. එයින් සමත් වෙලා 1992 දී ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට පළමු පත්වීම් ලැබුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාසයේ මහනැටියාව විද්‍යාලයට. උදේ හය වෙද්දි පාසලට යන මම ඉංග්‍රීසි විතරක් නෙවෙයි දරුවන්ට ක්‍රීඩාත් ඉගැන්නුවා. අවුරුදු 3ක් මම ඒ පාසලේ වැඩ කළා. ”

ගුරුවරයාගේ භූමිකාව මනාව හඳුනා ගැනීමට ඒ දුෂ්කර රාජකාරි ජීවිතයේ අත්දැකීම් ඔහුට මනා රුකුලක් වන්නට ඇත. මහින්ද ජයසිංහ නම් වෘත්තිය සමිති නායකයා නිර්මාණය වීමට තුඩු දුන් පසුබිම ගැන ඔහු මෙසේ කීවේය.

“උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ ඉඳලම මා තුළ දේශපාලන කියැවීමක් තිබුණා. කුඩා වියේ සිටම සෝවියට් දේශය සහ රුසියානු සාහිත්‍ය පොත්පත් කියෙව්වා. එයින් යම් ආභාසයක් ලැබුවා වගේම ජවිපෙට සම්බන්ධ වෙලා එහි පන්ති සහ දේශපාලන සාකච්ඡා ඇතුළු අධ්‍යාපන වැඩවලටත් සම්බන්ධ වුණා. ඒ දේශපාලන උනන්දුව ගුරු පත්වීම ගන්නකොටත් තිබුණා. 1997දී මුලින්ම ලංකා ගුරු සංගමයට සම්බන්ධ වුණා. මට මතකයි ඒ දවස්වල ජෝශප් ස්ටාලින් සහෝදරයි මමයි එකට සංගමයේ ප්‍රචාරක කටයුතුවල නියැළුණා. 1997දී අපි තීරණයක් ගත්තා වෙනම සංගමයක් හදන්න. ඒ අනුව 1997 ජාත්‍යන්තර ගුරු දිනය යෙදුණු ඔක්තෝබර් 10 ලංකා ගුරු සේවා සංගමය ආරම්භ කළා”

එතැන් සිට මහින්ද ජයසිංහ සමස්ත ගුරුපරපුරේ අයිතිවාවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නඟන්නට විය. ගුරු වැටුප් විෂමතා, ගුරු ස්ථාන මාරු පිළිබඳ ගැටලුව ආදී ගැටලු කිහිපයක් එකල කරළියේ විය.

“2004න් පසු ආණ්ඩුවේ අධ්‍යාපන ලේකම් ධුරය දැරූ ටාරා ද මෙල් විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් නිදහස් අධ්‍යාපනය බාධා රැසක් එල්ල වී ඇති බව සංගමයක් ලෙස අප දුටුවා. එමඟින් හඳුන්වා දුන් ගුරු කාර්ය සාධන පත්‍රිකාවට අපි මුල සිටම විරුද්ධ වුණා. එය ලංකාවේ ගිවිසුම් නීතිය අනුව පෞද්ගලික අංශයේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය විසින් අත්සන් කරනු ලබන ගිවිසුමක් හා සමාන නිසා එය නිදහස් අධ්‍යාපනයටත් ස්වාධීන ගුරු භූමිකාවටත් බරපතළ තර්ජනයක් විය හැකි බැවින් අපි ඊට දැඩිව විරෝධය පෑවා. එහි ප්‍රතිඵලයක් මත කාර්යසාධන පත්‍රිකාවේම සඳහන් කරන්න සිදුවුණා මෙය ගිවිසුමක් නොවන බවට. ඒ වගේම 2001දී එය පදනම් කරගනිමින් චක්‍ර ලේඛයකුත් නිකුත් වුණා. ගුරුවරුන්ගේ ස්ථාන මාරු ප්‍රතිපත්තිය නිවැරදි කරගැනීමට, දුෂ්කර දීමනා ලබාගැනීමට අපි සංගමයක් විදිහට දිගින් දිගටම මැදිහත් වුණා. ඒ වෙද්දි අපි කුඩා සංගමයක් වුණත් 2000-2001 වන විට කලාප මට්ටමින් සංගමය පුළුල් කරගනිමින් සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබුණා.

ඩිප්ලෝමා ලබාගෙන වසර කිහිපයක් ගතවී තිබුණත් එතෙක් පත්වීම් නොලැබූ ගෘහ විද්‍යා ඩිප්ලෝමාධාරින් 500කට ආසන්න සංඛ්‍යාවකට සංගමයේ මැදිහත් වීමෙන් 2006දී පත්වීම් ලබාදීමට හැකිවීමත් අප සංගමය ලැබූ විශේෂ ජයග්‍රහණයක්. ඒ වගේම අපේ සංගමය ඇතුළු අනෙක් සංගම්වල සාමුහික මැදිහත්වීමෙන් 1994 ගුරු ව්‍යවස්ථාවෙන් මතුවී තිබූ ගැටලු රාශියක් නිරාකරණය කරමින් වසර 10කට පසු 2005 චක්‍ර ලේඛය නිකුත් කරගැනීමටත් අපට හැකියාව ලැබුණා. මෑතකාලයේ වැඩකරන ජනතාව විදිහට කළ දීර්ඝතම අරගලය ලෙස ගුරු, විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව හඳුන්වන්න පුළුවන්. දින 120ක අරගලයකින් පසුවයි අප ඒ ජයග්‍රහණය ලබාගත්තේ. ”

මහින්ද ජයසිංහ පැවසුවේ වෘත්තිය සමිති සටන් සහ අරගල තුළින් ලබාගත් ජයග්‍රහණ ගැන සිහිපත් කරමිනි. ඒ ජයග්‍රහණ කරා ආ මාවත සුමුදු සුන්දර එකක් නොවන බව සහතිකය. මේ, ඒ ගැන ඔහුගේ මතක ආවර්ජනයයි.

“2006දී අනුරාධපුරයේ පැවති උද්ඝෝෂණයකදි මැර ප්‍රහාරයකට ලක්වීමෙන් මගේ ඇසකට හානි වෙලා අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන්න සිදුවුණා. විවිධ තැන්වලදි එවැනි ප්‍රහාර එල්ල වී තිබෙනවා. 2007-2008 උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීම නිසා අපිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා අපව සිරගත කරන්න උත්සාහ කළත් ඇප මත නිදහස් වුණා. එදා වගේම අදත් විවිධ තර්ජන, දුරකථන ඇමතුම්, මඩ ප්‍රහාර, බියවැද්දීම් ඒ සියලු දෙයින් අඩුවක් නැහැ. නමුත් එදා වගේම අදත් හෙටත් ඒ සියලු දේට මුහුණ දීමේ ශක්තිය මා තුළ තිබෙනවා”

ඔහු පවසන්නේ අභිමානයෙනි. ඒ පන්නරයත් අභිමානයත් පෝෂණය වීමට ආදර්ශයක් වූ චරිත ලෙස ඔහු සලකන්නේ ශ්‍රේෂ්ඨ විප්ලවාවාදී නායකයකු වන ලෙනින් ය. මාක්ස්වාදී දේශාපාලනයේ නිරත වන්නකු ලෙස ලෙනින් තම ගුරුවරයා ලෙස සලකන බවත් ඔහු කීවේය. වෘත්තිය සමිති සටන් සහ අරගල සඳහා වත්මන් තරුණ පරපුර දක්වන උනන්දුව ගැන ද අප ඔහු විමසුවෙමු.

”එදා මෙදාතුර සමාජයේ ඇතිවී තිබෙන වෙනස තේරුම් නොගෙන වත්මන් පරපුරට චෝදනා කිරීම සාධාරණ නැහැ. ඒ වෙනස තේරුම් නොගෙන අරගල කරන්නත් බැහැ. වත්මන් ගුරු පරපුරට අත්දැකීම් අඩු වුණත් ඔවුන් තුළ යම් සටන්කාමීත්වයක් තිබෙනවා. ගුරුවරුන්ගේ ආකල්පවල සිට යම් වෙනසක් කළ යුතුයි. වි‍ශේෂයෙන් අපේ ගුරුවරුන්ට හොඳ පුහුණුවක් ලබා දිය යුතුයි. ඇතැම් දරුවන්ට ගුරුවරුන්ට වඩා හොඳ තාක්ෂණික දැනුමක් තිබෙනවා. ඇතැම් අය වෙනත් රටවල ගුරුවරුන් සමඟ අපේ ගුරුවරුන් සසඳනවා. නමුත් ඒ රටවල වැඩිම වැටුප් ලබන්නේ ගුරුවරුන්. එවැනි තත්ත්වයක් අපේ ගුරුවරුන්ටත් ලැබිය යුතුයි. අපි පසුගිය දින 120 අරගලය කළෙත් වැටුප් විෂමතාව නිසයි. වෘත්තිය සමිති විදිහට අපි ඉන්නේ “ දියව් දියව්” කියලා අපේ අයිතිවාසිකම් ඉල්ලන්න විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම දරුවන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් අපි හඬ නඟා තිබෙනවා.සටන් කර තිබෙනවා. ඉදිරියේදිත් ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්න අපි සූදානම්” මහින්ද ජයසිංහ කීවේ සිය වගකීම අවධාරණය කරමිනි. සිවුදරු පියකු වන ඔහුට ඉවංගි, සාවින්දි, ආදිත්‍ය සහ නෙතුමිණ නමින් දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනකු වේ. දුල්මා මනෝජා ඔහුගේ බිරියයි. 1968 වසරේ ජුලි මස 5 වැනිදා උපන් ඔහු ජීවිත දර්ශනය බොහෝ සරල වූවකි.

“මම ඕනෑම දෙයක් සැහැල්ලුවෙන් සලකන කෙනෙක්. එහි තේරුම මම ජීවිතේ සංකීර්ණ බව නොදකිනවා නෙවෙයි. නමුත් අතීතයේ සිදුවූ දේවල් ගැන කම්පා වෙමින් මානසිකව පීඩාවට පත්වීමේ පුරුද්දක් මා තුළ නැහැ. කාර්යබහුල බව සහ වගකීම් බහුල ජීවිතය තුළ පීඩාවන් ඇතිවුණත් මම ඒවා හිතට අනවශ්‍ය බරක් කරගන්නෙ නැහැ. විවේකය අඩු වුණත් පොත් කියවීම මගේ විනෝදාංශයක්. ඊට අමතරව ගීත ඇසීමටත් සහ විත්‍රපට නැරඹීමටත් කැමතියි.”

ඊට අමතරව පීඩාවට පත් අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට පසුබට නොවන බව ද ඔහු පැවසීය.

“ අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා පැවසුවේ අයුක්තියට ආසාධාරණයට හිස නවලා ජීවත් වෙනවට වඩා දෙපයින් සිටගෙන මිය යෑම උතුම් බවයි. පීඩිත වූවන් වෙනුවෙන් වැඩ කිරීම තුළින් සමාජයේ යම් ආදරයක්, ගරුත්වයක් හිමිවී තිබෙනවා. මම හිතන්නේ මේ ජීවිතය තුළ ලබන ලොකුම සතුට ඒ ආත්ම තෘප්තියයි.”

ඔහු පවසන්නේ සොම්නසිනි. එහෙත් එක් කරුණක් නිසා ඔහුගේ සිත දොම්නසිනි.

“ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තිබෙන ලස්සනම වටිනාම රටක්. භෞතිකව යම්කිසි සංවර්ධනයක් ලබා තිබුණත් අපේ රටේ මිනිසුන්ගේ ජීවිත සංවර්ධනය වෙලා නැහැ කියලයි මට හිතෙන්නෙ. අපි ඉන්නේ අධිරාජ්‍යවාදින් අපේ රට අතෑරලා යද්දි තිබුණටත් වැඩිය පහළ තැනක.

මේ නිදහස් දිනය වන විට නිදහස ලබා වසර 74ක් සම්පූර්ණ වුණත් සමාජ,දේශපාලන, ආර්ථික සහ සදාචාරාත්මකව පිරිහුණු රටක් අපට තිබෙන්නෙ. ඒ නිසා මේ යුගයේ සැබෑ මිනිසුන්ගේ කාර්යභාරය වෙන්නෙ ඒ තත්ත්වය වෙනස් කිරීමට තමාට හැකි කුමන ආකාරයෙන් හෝ දායකත්වය ලබාදීමයි. මේ මොහොතේ රටට ආදරය කරන, දරුවන්ට ආදරය කරන හැම පුරවැසියකුගේම වගකීම සහ යුතුකම විය යුත්තේ එයයි”

ඡායාරූප- ගයාන් පුෂ්පික

Comments