කෝපි ගැන රස කතා­වක් | Page 2 | සිළුමිණ

කෝපි ගැන රස කතා­වක්

 

 

තේ කර්මාන්තයට දෙවැනි වුවත් මෙරට නිෂ්පාදනය කෙරෙන කෝපි සදහා ලොව ඉහළම පිළිගැනීමක් හිමි වී ඇත. ව්‍යාපාර කටයුතු සඳහා යේමනය හා ඉන්දියාව හරහා නිරන්තරයෙන් මෙරටට පැමිනුණු අරාබි ජාතිකයන් විසින් 1503 වසරේදී මෙම කෝපි ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අතර එයින් පසු වසරකට කෝපි ටොන් 50 000 කට ආසන්න ප්‍රමාණයක් විදේශ රටවල් වෙත අපනයනය කරන මට්ටමට කෝපි වගාවේ සීඝ්‍ර වර්ධනයක් ඇති විය.

කෙසේ වුවත් මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේදී එනම් 1870 වසරේදී "මලකඩ රෝගය" නම් දරුණු රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන්ම විනාශ වූ බව සඳහන්ය.

ඉන් පසු කෝපි වගාව සදහා මෙරට ජනතාව අතර පැවැති උනන්දුව ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර ආරම්භක අවදියේදී මෙන් විශාල විදේශ විනිමය ආදායමක් උපයා ගත හැකි ආකාරයට මෙරට වගා කරන ලද කෝපි අපනයනය වීමක් සිදු වී නැත.

මේ වන විට වසරකට ටොන් 600 කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන මට්ටමට ශ්‍රී ලංකාව ළඟා වී ඇති අතර නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන් හි හෙක්ටයාර 60,580 ක පමණ භූමි ප්‍රමාණයක මෙරට කෝපි වගාව ව්‍යාප්තව තිබේ. මලකඩ රෝගයට ඔරොත්තු දීමට හැකි " අරාබිකා ප්‍රභේදය" සහ "දෙමුහුන් ප්‍රභේද" නිසා මෙරටේ කෝපි වගාව නැවතත් ජනප්‍රිය වීමට පටන් ගෙන ඇත.

අප රටේ කෝපි වගාව මෙලෙස යළිත් ජයග්‍රාහී ඉසව්වක් වෙත ගමන් කිරීම ආරම්භ වී තිබියදී මෙරට කෝපි වගාවේ හෙට දවස ගැන තව තවත් සුබදායී බලාපොරොත්තු ඇති කරවමින් "ලංකා කෝපි සංගමය" නමින් නව සංගමයක් ද මේ වන විට ආරම්භ වී තිබේ.

පසුගිය විසි වසර පුරාවට දේශීය කෝපි කර්මාන්තය තුළ පුනර්ජීවනයක් දක්නට ලැබුණු අතර විශේෂයෙන් ම දේශීය සම්භවයක් ඇති ගුණාත්මක ඇරබිකා කෝපි වගා කිරීම සඳහා වගාකරුවන් උනන්දුවක් දැක්වීම ද විශේෂත්වයකි.

දේශීය හා අන්තර්ජාතික වෙළඳපොල සඳහා දේශීයව සැකසූ ගුණාත්මක කෝපි නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන් නියෝජනය කරන කෝපි වගාව හා සම්බන්ධ සියළුම පාර්ශ්ව මෙලෙස උනන්දුවක් දක්වන අතර මෑතකදී කෝපි වගාව හා සම්බන්ධ මෙම සියලු පාර්ශ්වකරුවන් එකමුතුව ලංකා කෝපි සංගමය පිහිටුවීමට එකතුවීමෙන් ඉහත කී වර්ධනය තවදුරටත් තීව්‍ර වී තිබේ. මෙම ලංකා කෝපි සංගමය ශ්‍රී ලංකා කෘෂිකාර්මික සංසදය යටතේ ක්‍රියාත්මක වන සංගමයක් වන අතර ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට ක්‍රියා කරන සියලු පාර්ශ්වකරුවන්ගේ සාමූහික අවශ්‍යතා නියෝජනය කිරීමට ඔවුහු කැපවී සිටිති.

මෙම නව සංගමය පිහිටුවීමේ පරමාර්ථය හා එහි කාර්යභාරය පිළිබඳව අප එම සංගමයේ සභාපති රිනෝෂ් නසාර්ගෙන් විමසා සිටි අතර “අපේ අරමුණ වන්නේ සියලු පාර්ශ්වකරුවන් උපායමාර්ගිකව එක්ව ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය ඉහළට එසවීමයි.

ඊට අමතරව කර්මාන්තයේ අවශ්‍යතා රජයට දැනුම්දීමට අවශය පොදු වේදිකාවක් මෙම නව සංගමය මගින් සපයනු ලබන අතර කර්මාන්තයට සපයනු ලබන දායකත්වය කාර්යක්‍ෂම බෙදාහැරීම සඳහාද රජය හා බලධාරීන් වෙත සහාය වීමටද බලාපොරොත්තු වෙනවා”යනුවෙන් සභාපතිවරයා එම විමසීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේය.

“ලංකා කෝපි” සන්නාමයට හා දේශීය විශේෂිත කෝපි කර්මාන්තයට ගෝලීය පිළිගැනීමක් ඇතිකිරීම අරමුණු කරගෙන ලංකා කෝපි සංගමය කළ බවද මෙහිදී සඳහන් කළ සංගමයේ සභාපතිවරයා මෙරට කෝපි වගාවට ප්‍රමිතීන් සැකසීම, කෝපි නිෂ්පාදනය ඉහළ නැංවීමට ගොවීන් දිරිගැන්වීම, පරීක්‍ෂණ, තාක්‍ෂණය හා දැනුම ව්‍යාප්ත කර බෙදාහැරීම් ජාලය වර්ධනය කිරීම, ඒකාකාරී මිලක් පවත්වා ගෙන යාම,වෙළඳපොල කේන්ද්‍ර කරගත් මුලපිරීම් වලට නායකත්වය ලබා දීම යන කාරණා පමණක් නොව පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම, කර්මාන්ත සබඳතා වර්ධනය කිරීම හා දේශීය කෝපි කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටීම වැනි සියලු කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරියේදී මෙරට කෝපි කර්මාන්තය වෙත නව ප්‍රවේශයක් ලබා දීම සඳහා තම සංගමය නායකත්වය ලබා දෙන බවද අවධාරණය කළේය.

ලංකා කෝපි සංගමයේ ලේකම් කුෂාන් සමරරත්න ද මෙහිදී අදහස් දැක්වූ අතර සිලෝන් ටී නාමය ලොව පුරා ප්‍රචලිත වූ පරිදිම ශ්‍රී ලංකා කෝපි සඳහා ජාත්‍යන්තර සන්නාමයක් බිහි කිරීම තම සංගමයේ ප්‍රධානතම අරමුණ වී ඇති බව ද එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

'තවමත් කෝපි විශාල ලෙස මෙරට වගා කෙරෙන්නේ නැහැ. මේ නිසා අපි ඒ ගැන අවධානය යොමු කර කෝපි වගාව සඳහා ජනතාව වැඩි වශයෙන් උනන්දු කරවීමට බලාපොරොත්තු වෙනවා. දැනට අපේ සංගමයට මහා පරිමාණ වගාකරුවන් 12 දෙනෙක් ඉන්නවා. කෙසේ වුවත් අපගේ වෑයම රට පුරාම සිටින කෝපි වගාව හා සම්බන්ධ සියලුම පාර්ශ්ව අපගේ සංගමය සඳහා එකතු කර ගැනීමයි."

වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා කෝපි සංගමයේ ලේකම් කුෂාන් සමරරත්න, මෙරට ප්‍රධාන වැවිලි සමාගම් පවා මේ වන විට කෝපි වගාව සඳහා උනන්දු වෙමින් සිටින බව නිරීක්ෂණය වන්නේ යැයි සඳහන් කර සිටි අතර ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය, ජපානය හා යුරෝපීය රටවලට වැඩි වශයෙන් අප රටේ නිෂ්පාදනය කරන කෝපි අපනයනය කළ හැකි බවද පැවසීය. කෝපි වගා කර සාර්ථක ඵලදාවක් ලැබීමට නම් අක්කරයකට පැළ 1200 ක් පමණ වගා කළ යුතු බව ද පැවසූ ඔහු කෝපි වගාව ස්ථාවර මට්ටමකට ගෙන ඒම මඟින් මෙරට විදේශ විනිමය ගැටලු වලට පවා සාර්ථක විසදුම් ලබා ගත හැකි බවද අවධාරණය කළේය.

Comments