උතුරු අහස සැරසූ සරුං­ගල් වස­න්තය | සිළුමිණ

උතුරු අහස සැරසූ සරුං­ගල් වස­න්තය

 

දියෙහි පිහිනන හංසයකු නිල් ගුවන් ගැබේ සැරිසරන්නේ නම් එය පුදුමයට කරුණකි. එහෙත් ඉකුත් 15 වැනි සෙනසුරාදා යාපනයේ වඩමරච්චි කට්ටකාඩු ප්‍රදේශයේ රන්වන් හංසයකු උඩු ගුවනේ ඉහළට ඇදී යන අයුරු දිස් විය. හංසයකු ගගන තලයේ ඈතට පාවී යන බවක් දක්නට ලැබුණද පසුව එය හංසයකුගේ අනුරුව රැගත් සරුංගලයක් බව පසක් වූයේ නිරායාසයෙනි. හංසයකුගේ අනුරුව රැගත් සරුංගලය ඇතුළු තවත් විචිත්‍රවත් සරුංගල් රාශියක් එහිදී දැකගත හැකි වූයේ එදින එම ස්ථානයේ සරුංගල් තරගයක් පැවැත්වීම නිසාය.

එකී සරුංගල් තරගය සංවිධානය කර තිබුණේ රමේෂ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සාන්ත මේරි ක්‍රීඩා සමාජය විසිනි. යුද්ධ කිරීමටත් බෝම්බ සෑදීමටත් සමත් පිරිසක් ලෙස ඇතැමුන් උතුරුකරයේ තරුණයන් හංවඩු ගසා තිබුණද උතුරේ තරුණයන් එකතු වී මෙවැනි සරුංගල් තරගයක් පැවැත්වීමට සංවිධානය වීමත් ඔවුන්ගේ දෑත් විචිත්‍රවත් සරුංගල් නිර්මාණය කිරීමට යෙදවීමත් පැසසිය යුතු කටයුත්තකි. මේ සරුංගල් තරගයට තරගකරුවන් 30 දෙනෙක් සහභාගි වූ අතර, පසුගිය සෙනසුරාදා සන්ධ්‍යා භාගයේ වඩමරච්චි කට්ටකාඩු ප්‍රදේශයේ අහස්තලය මෙම නිර්මාණකරුවන්ගේ සරුංගල්වලින් වර්ණවත් විය. ඒ අතර ලිට්රෝ ගෑස් සිලින්ඩරයේ අනුරුව රැගත් සරුංගලයක් ද අහස කරා ඇදී ගියේ දිනෙන් දින අහස උසට ඉහළ ගිය ගෑස් සිලින්ඩරයේ මිල සිහි ගන්වමිනි.

මෙම අවස්ථාවට ටී.එන්.ඒ. පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, වඩමරච්චි නැඟෙනහිර කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රභාකර මූර්ති, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරිය කුමාර්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුගිර්දන්, කෙසෙවන් මරදන්කේනි පොලිස් ස්ථානාධිපති සයන්ද්‍රන් ඇතුළු අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ. වැල්වැටිතුරේ සිදම්බරම් විද්‍යාලයේ විදුහල්පති පරමේශ්වරන්, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රශාන්ත් සහ සාම විනිසුරු වසන්ත කුමාර් සරුංගල් තේරීමේ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කළහ.

තරගයට සහභාගි වූ තරගකරුවන් තිස්දෙනා අතරින් ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථානවලට අමතරව සැනසිලි තෑගි සඳහා තරගකරුවන් දස දෙනකු තෝරා ගැනිණි. ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළේ හංස රුව රැගත් සරුංගලයයි. ලිට්රෝ ගෑස් සිලින්ඩරය දෙවැනි ස්ථානය දිනාගත් අතර හමුදා ජීප් රථයේ අනුරුව රැගත් සරුංගලය තෙවැනි ස්ථානය ජයග්‍රහණය කරනු ලැබීය. ප්‍රථම ස්ථානය සඳහා රු. 20,000 ක් ද දෙවැනි ස්ථානය සඳහා රු. 15,000 ක් ද තෙවැනි ස්ථානය සඳහා රු. 10,000 ක් ද ජයග්‍රාහකයන්ට පිරිනැමිණි.

Comments