අවු­රු­ද්ද­කට ලක්ෂ­යක් හිරේ | සිළුමිණ

අවු­රු­ද්ද­කට ලක්ෂ­යක් හිරේ

 

මේ රටේ නූතන බන්ධනාගාර සංකල්පය පිහිටවූ දින සිට බන්ධනාගාරතව ඇති බහුතරය තරුණ පිරිස්ය. අදත් වැඩිපුරම බන්ධනාගරයට යන්නේ තරුණයන්ය. රටේ ආර්ථිකයට ජවසම්පන්න ලෙස දායකය විය හැකි ශ්‍රම බලකායේ සාමාජිකයන්ය. එහෙත් මේ පිරිස් සිරගත වීමේ සමාජ කාරණා වෙනස්ය.

 

බන්ධනාගාරයේ දත්ත ප්‍රකාරව අද වැඩි වශයෙන්ම බන්ධනාගාරගත වන්නේ මතට ඇබ්බැහි වූ තරුණයන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ය. ඔවුන් පුරුද්දක් ලෙස අපරාධ කරමින් බන්ධනාගාරගත වන්නේය. මෙය සමාජ මෙන්ම ආර්ථික කාරණාවක් ලෙස සලකා සංවාදයට බඳුන් කළ යුතු ප්‍රස්තුතයක් වන්නේ ඒ නිසාය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත දත්ත ප්‍රකාරව රැඳවියන් සම්බන්ධව ඇති නවතම සංඛ්‍යාලේඛනය අයත් වන්නේ වර්ෂ 2020ටය. වර්ෂ 2016 සිට 2020 දක්වා පස් වසර තුළ අඩුම පිරිසක් සැකකරුවන් ලෙස හා වරදකරුවන් ලෙස බන්ධනාගාරගත වන්නේ වර්ෂ 2020 දීය. මේ තත්ත්වය අපරාධ ක්‍රියාවලියේ අඩුවීමක් නොව, කොවිඩ් වසංගතය 2020 හා 2021 දෙවසර තුළ රටේ අධිකරණ ක්‍රියාවලියට බලපෑ ආකාරය පිළිබඳ ප්‍රකාශනයක් ලෙස ගැනීම සුදුසු බවත් 2021 වසරට අදාළ දත්ත මීටත් වඩා අඩු අගයක් වාර්තා කරනු ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පැහැදිලි කරන්නේය. තරුණයින් බන්ධනාගාරගත වීම පිළිබඳ අපට ඇති නූතන අලුත්ම සංඛ්‍යාලේඛන අනුව විමසීමේ දී මැවෙන චිත්‍රය අප සිතනවාට වඩා සංකීර්ණය. වර්ෂ 2016 සිට 2020 දක්වා පසුගිය පස් වසර තුළම වැඩි වශයෙන් බන්ධනාගාරත වී ඇත්තේ අවුරුදු 22 -40 අතර පිරිසය. එයින් 31 -40 වයස් ඛාණ්ඩයේ පිරිස් සිරගත වීම ඉහළ අගයක් වාර්තා කර ඇත.

වර්ෂ 2020 දී පමණක් වරදකරුවන් ලෙස අධිකරණයෙන් දණ්ඩනය ලබා පුද්ගලයන් 19, 856ක් බන්ධනාගාර ගත කර තිබිණි. ඉන් කාන්තාවන් 395කි. පිරිමි 19 461කි. සැකපිට බන්ධනාගාරගත වූ මුළු පුද්ගලයන් ගණන 90,362කි. ඒ අතර කාන්තාවෝ 4,293ක් වෙති. 2020 වසරේ සැකපිට සහ වරදකරුවන් ලෙස බන්ධනාගාරගත වූ මුළු සංඛ්‍යාව 110218කි. තේරුම් ගත යුත්තේ සෑම අවුරුද්දකම ලක්ෂයකට අධික පිරිසක් හිරේ යන බවය.

2020දී සැකපිට සිරගතවූවන් අතරින් 28201ක් අවුරුදු 31- 40 අතර පසුවන්නන්ය. ක්‍රියාශීලී තරුණ වයස පසුකරන, එනම් අවුරුදු 22 -30 අතර 21891ක් සැකකරුවන් ලෙස රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කර ඇත. එනම් රටේ ආර්ථික දේහයට ක්‍රියාශීලී දායකත්වයක් සැපයිය යුතු ශ්‍රම බලකායට අයත් 50092ක් 2020 අවුරුද්දේ සැක පිට හිරේ ගොස් ඇත. එය සැක කරුවන් සේ බන්ධනාගාරගත වූ මුළු සංඛ්‍යාවෙන් අඩකට වැඩිය. ප්‍රතිශයතයක් ලෙස සියයට 55.4කි. ඔවුන් වැඩි දෙනෙක් විවාහකයන්ය. රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ 90,362 මුළු පිරිසෙන් 64,443 විවාහකයන් ලෙස සමාජ ජීවිතයක් ගතකරමින් සිටි අයය.

රිමාන්ඩ් බන්ධනාගාරගත වූ සැකකරුවන්ගෙන් තුනෙන් එකක් මහා නූගත්හු නොවෙති. ඔවුන්ගෙන් සාමාන්‍ය පෙළ විභාගයට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් ලැබූ රැඳවියන් 27669කි. එය එම වර්ෂය රිමාන්ඩ් බන්ධනාගාරයට යොමුකළ සමස්ථ සිරකරුවන්ගෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 30කි. ඒ අතර උපාධිධාරින් 189ක් හා පශ්චාත් උපාධි ධාරීන් 59ක් වෙති.

පසුගිය 2020 වසරේ දී වරදකරුවන් ලෙස අධිකරණය මගින් තහවුරු කර බන්ධනාගාරගත කර දණ්ඩනයට පත් කරනු ලැබූ සිරකරුවන් 19, 856ක කුලකයෙන් වැඩිම පිරිසක් අයත් වන්නේත් වයස අවුරුදු 31- 40 ඛාණ්ඩයටය. සංඛ්‍යාව 7496කි. 22 -30 අතර දණ්ඩනයට ලක් වූවන් ගණන 3960කි. මේ වයස් කාණ්ඩ දෙකේ සිරකරු එකතුව 11473කි. ප්‍රතිශතයක් ලෙස ගත්විට එය 57.6කි.

2020 අවුරුද්දේ දී වරදකරුවන් ලෙස දණ්ඩනයට ලක් කර සිරගත කරන ලද පිරිසෙන් සියයට 46.2ක් අඩුම තරමින් මින් එක වරක්වත් බන්ධනාගාරගතව වී සිටි පිරිස්ය. ඔවුහු එම වැරදි යළි යළිත් කරමින් හිරේ යති. ඒ පිරිසේ අති බහුතරය තරුණයන්ය. සැබෑම සමාජ ප්‍රශ්නය මතුවන්නේ මෙතැනදීය. මේ තරුණ පිරිස් වැඩි වශයෙන්ම බන්ධනාගාරගත වන්නේත්, යළි යළිත් හිරේ යන්නේත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහාය. 2020 දී අච්චු කරනු ලැබූ සිරකරුවන්ගෙන් 9336 සිරගත වී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සඳහාය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 47කි.

සමාජ ප්‍රගමනය සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකි ප්‍රජාවෙන් වාර්ෂිකව ලක්ෂයකට අධික සංඛ්‍යාවක් බන්ධනාගාරගත කර ඉන් පහෙන් එකක්වත් නිශ්චිත දණ්ඩනයට ලක් කරන පසුබිමක එය රටේ ආර්ථික සමාජ පිරිවැයට බලපාන ආකාරය අලුත් අවුරුද්දේ සංවාදයකට ලක් කළ යුතුව තිබේ. බන්ධනාගාරගත වන එක් සිරකරුවෙක් වෙනුවෙන් රජය වාර්ෂිකව දරන පිරිවැය 2,61,701කි. දිනකට වැය කරන මුදල රුපියල් 715කි. 2020 වසරේ දඬුවම් විඳීමට නියම වූ සිරකරුවන් 19, 856 වෙනුවෙන් පමණක් දළ වශයෙන් වාර්ෂිකව වියදම් කළ නඩත්තු වියදම දළ වශයෙන් කෝටි එක් දහස් තිස් නවයකි. තවත් අනූ දහසකට ආසන්න රිමාන්ඩ් සිරකරුවන්, ක්ෂේත්‍ර නඩත්තු වියදම් රාජකාරිය සඳහා යොදවා ඇති බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් 5510ක සේවක පිරිසගේ වැටුප් සුභ සාධනය වියදම් පිළිබඳ කරන ගණනය කිරීමේ දී මේ අත්‍යාවශ්‍ය සමාජ පුනරුත්ථාපනය සඳහා රජයට දැරීමට සිදුවන පිරිවැයත් එය නිසි ලෙස ඉටු නොවන්නේ නම් සිදුවන ආර්ථික ව්‍යසනයත් තේරුම් ගත හැකිය. සමාජ ව්‍යසනය තක්සේරු කළ නොහැකි තරම් තීව්‍රය.

මේ පිළිබඳ අප සමග විද්වත් අදහස් දැක්වීමට එක්වන්නේ ශ්‍රී ජයවර්ධනපුරපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්ය කෞශල්‍යා හේවාවසම් ය. අපරාධ පෙලඹවීම සහජයක් ද? තරුණ වයස් ඛාණ්ඩවල අය වැඩි වශයෙන් අපරාධ සඳහා යොමු වන්නේ ඇයි. අපි ඇයගෙන් විමසුවෙමු.

අපරාධ විද්‍යාත්මකව ගත්තොත් පුද්ගලයෙක් අපරාධ සඳහා යොමුවීම පිළිබඳ විවිධ පැතිකඩ තිබෙනවා. සමාජ විද්‍යාත්මකව වගේම මනෝ විද්‍යාත්මකවත් ඒ කාරණා බලපානවා. අපරාධයකට පෙළඹීම සහජයක් කියන කාරණාව පසු කාලයකදි විවේචනයට ලක් වුණා. මේ පිළිබඳ විද්වත් හැදෑරීම් පර්යේෂණ වැඩි වශයෙන් සිදුකරලා යම් යම් තත්ත්ව තහවුරු කර න්‍යායන් ගොඩනගා ඇත්තේ ප්‍රමුඛ වශයෙන්ම සමාජ විද්‍යාත්මක ප්‍රවේශයක් මතයි.

අප දන්නවා සමාජ අවධීන්වල වෙනස් වීම් සිද්ධ වුණා. සමාජ සාරධර්ම, සංස්කෘතිය ඇදහිලි හා විශ්වාස මගින් පාලනය කළ සමාජයේ අපරාධමය වැරදි සිදුවුණා අඩුයි. අපරාධ විද්‍යාවේදි මේ තත්ත්වය සමාජ බන්ධන න්‍යායන් ලෙස හඳුන්වනවා. එහෙත් සමාජ පාලනය බිඳවැටී සමස්තය නීතියේ අධිපත්‍යයට යටත් වුණු නූතන සමාජයේ දී පුද්ගල අපරාධමය නැඹුරුව වැඩියි. ආගම දහමේ පාලනයෙන් වියුක්ත වුණාම මිනිස්සු පාලනය කරන්නේ දණ්ඩනයට ඇති බය. ඒ එක්කම කුටුම්භය තුළ ඇති සම්බන්ධතාව හා රැකවරණය අඩුවෙමින් සමාජමය මනස වෙනස් වීම තරුණයින් අපරාධ සඳහා යොමු කරන නැඹුරුව වැඩි කරන බව පෙන්වා දී තිබෙනවා. සම වයස් කණ්ඩායම් එක්ක ඇති කරගත හැකි සමාජ සම්බන්ධතා තාක්ෂණයත් එක්ක වැඩියි. ඒවා සමහර විට මවුපියන්ට හසුකරගන්න බෑ. තරුණයින්ට සමාජ වගකීම් අඩුයි. අන්තර් ආශ්‍රය, සම වයස් ඛාණ්ඩ හරහා සිදුවන සමාජානුයෝජනය මුල් කරගෙන අලුත් අත්දැකීමක් විඳින්න ඇති ආසාව නිසා මත්ද්‍රව්‍ය වැනි අපරාධවලට යොමුවීම සහ ඇබ්බැහිය අපි දැකලා තිබෙනවා.

මැදිවයස් ඛාණ්ඩවල අපරාධමය නැඹුරුව සම්බන්ධව සමාජ විද්‍යාත්මකව ඇත්තෙ වෙනම කියැවීමක්. අපේ සමාජ ප්‍රතිමාන තිබෙනවා. ගෙයක් දොරක් හදාගෙන යහපත් ජීවිතයක් ගතකිරීම තමයි අවසාන ඉලක්කය. ඒ සඳහා අප අනුදත් ප්‍රවේශය තමයි අධ්‍යාපනය. එහෙත් සම්මත මාර්ගයෙන් මේ ඉලක්ක සාක්ෂාත් කරගන්න බැරිවුණූ පිරිසක් ඉන්නවා. ඔවුන් ඒ ඉලක්ක සාක්ෂාත් කරගැනීමට යන මාර්ග බොහෝ විට නීති විරෝධීයි. මෙය බරපතළ සමාජ කාරණාවක් ලෙස විමසිය යුතුයි. කෙනෙක් මොනම ආකාරයේ වැරැද්දක් කරලා අපරාධ යුක්ති ක්‍රමය යටතේ අත්අඩංගුවට ගැනීමේ සිට බන්ධනාගාර ගත වීම දක්වා සියලුම දේවල් සඳහා පිරිවැයක් දරන්න වෙනවා. රඳවා තබා ගැනීමේදී ඒ අයට දෙන කෑම එකේ සිට නිලධාරීන් දක්වා සමස්ථයට විශාල සමාජ පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. හැම පුරවැසියකුටම අයත් ඒ මුදලක් එතෙන්ට යනවා. එහෙම වුණේ නැතිනම් අධ්‍යාපනයට ආර්ථිකයට ඒ මුදල යොමු කරන්න තිබුණා.

30 -39 වයස් ඛාණ්ඩය කියන්නෙ ශ්‍රම බලකායේ සාරය. ආර්ථිකය ගොඩ නැන්වීමට කැපවිය යුතු පිරිසක් එක තැනක රඳවා තබා සමාජයට නඩත්තු කරන්නට වීම බරපතළ ප්‍රශ්නයක්. ඒ වගේම බන්ධනාගාරගත වූ පුද්ගලයකුගේ ඥාතීන්ට දරුවන්ට දරන්න සිදුවන සමාජ පීඩනය විශාලයි. මෙතන තියෙන්නෙ විශාල සමාජ ගැටලුවක්. බන්ධනාගාරගතව සිට පුනරුත්තාපනය වී නිදහස්ව යන තරුණ පිරිස්වලට පසු විපරම දිය යුතුයි. පුනරුත්ථාපනයෙන් කරන්නෙ අපරාධ පාලනයක්. අපරාධ නිවාරණය කරන්න පුලුවන්. ‍මහාචාර්යවරිය කීවාය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙණිය ය. තරුණ වයස් ඛාණ්ඩ වැඩි වශයෙන් බන්ධගාර ගත වීම, එකම පුද්ගලයන් යළි යළිත් බන්ධනාගාරගත වීම සම්බන්ධව මේ දත්තමත පැන නගින යථාර්ථය ඔහු පැහැදිලි කරන්නේ මෙසේය.

"මේ වනවිට වැඩි දෙනෙක් බන්ධනාගාරගත වන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි නිසා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එය සියටට 63යි. ඒ වගේම තරුණයින් බන්ධනාගාරත වන්නෙ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, භාවිතය, ඒ නිසාම සිදුකරන අපරාධ... ඒ අපරාධ මිනී මැරුම් දක්වා යනවා. බන්ධනාගාරතවන කාන්තාවනුත් වැඩිපුර බන්ධනාගාරගත කරන්නේ මත්ද්‍රව්‍ය වැරදි නිසා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලෙස අප සතුව ඇති වගකීම තමයි මේ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම.

දැනට තරුණ වරදකරුවන් පුනරුත්ථාපනයට වෙනම පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා. මෑතක දී ආයතන හතක් එළිමන් සිරකඳවුරු 07ක් ලෙස වෙනස් කරලා මේ “පුනරුත්ථාපන කාර්යය කරගෙන යන්න සැලසුම් කරලා තිබෙන්නෙ.

මේ අය අතරේ උසස්පෙළ විභාගයට පෙනී සිටින්න සූදානම් වන තරුණයින් 04ක්, උපාධිය හදාරන තරුණයින් 04ක් ඉන්නවා. මේවා ඉතාම සාධනීය තත්ව. සිරකරුවන් ලෙස බන්ධනාගාරගතවන පිරිස් වෘත්තීය පුහුණුව සඳහා යොමු කරලා ඔවුන්ට එම්.වී.කිව් සහතිකය ලබා දෙන මට්ටමට අපි දැන් පාඨමාලා දියුණු කරලා තියෙන්නේ.“

අප පිළිගන්න ඕන. පුද්ගල චර්යාවන් වෙනස් කරන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මේ අය සමාජයෙන් මගහැරුණු අය. ඔවුන් අතරින් මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් ලැබූ පුද්ගලයින්ගෙන් සියයට 39ක් නැවත බන්ධනාගාරගත වෙනවා. මේ ගැටලුව හඳුනාගෙන ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට සූදානමින් ඉන්නෙ".

 

Comments