අපි මේ අත් විඳින්නේ කලක සිට විදුලි බල­යට නිශ්චිත සැල­සු­මක් නැතිවීමේ පීඩා­වයි | සිළුමිණ

අපි මේ අත් විඳින්නේ කලක සිට විදුලි බල­යට නිශ්චිත සැල­සු­මක් නැතිවීමේ පීඩා­වයි

 

මෙරට උද්ගත වී ඇති විදුලි අර්බුදයට ප්‍රධාන හේතු කාරණා වී ඇති බලශක්ති අර්බුදයට විසඳුම කුමක්ද? මේ ගැටලුව කළමනාකරණය කරගන්නේ කෙසේද යන කරුණ වර්තමානය වනවිට මතු වී ඇති ප්‍රමුඛ ගැටලුවකිි.

කර්මාන්තශාලා සඳහා සහ විදුලි සඳහා බලශක්තිය ප්‍රධාන අවශ්‍යතාව වෙයි. මේ අර්බුදයට අනිවාර්ය විසඳුම් සෙවිය යුත්තේ රටේ ආර්ථිකයට විදුලිය ඍජුවම බලපානු ලබන නිසයි. එසේ නම් මූලික මේ අර්බුදයට හේතු හඳුනාගත යුතුයි.

එසේ ම මේ තත්ත්වය ඇති වීමට හේතු කාරණා හඳුනාගත යුතුයි. එහිදී දීර්ඝකාලීන සැලසුම් කිසිවක් නැතිවීම සහ දැනට ඇති සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක නොවීම යන හේතු සාධකයන් ප්‍රධාන වෙයි. ඉල්ලුම පමණට සැපයුම ලබාදීමට නොහැකි නම් එය අර්බුදයකි. විදුලියේ මිල එහි වියදමට වඩා අඩු නම් එයත් අර්බුදයකි.

එසේ නම් විදුලි අර්බුදයට විසඳුම් කවරේ ද? අර්බුදය හඳුනා ගන්නේ කෙසේද? ඉල්ලුම පමණට සැපයුම ලබා දෙන්නේ කෙසේද යන්න හඳුනාගත යුතුයි.

වර්තමානය වන විට විදුලි සැපයුම කෙතරම් ද? එනම් මුලිකවම විදුලි සැපයුම හා පරිහෝජනය අර්ථ දක්වන ක්‍රමය තේරුම් කර ගත යුතුයි. සැපයුමේ උපරිම හැකියාව, බලාගාරවල ධාරිතාවේ එකතුවයි. මේ ධාරිතාව මනින්නේ මෙගාවොට් වලිනි.

2020 දෙසැම්බර් වනවිට ලංකාවේ විදුලි සැපයුමේ උපරිම ධාරිතාව මේ ආකාරයට සංවිධානය වී තිබුණි. ආසන්න මෙගාවොට් 100 ට රවුම් කළ විට, විශාල ජල විදුලි බලාගාර1400 ද, තාප බලාගාර (තෙල්) 1200 තාප බලාගාරය (ගල් අගුරු) 900 සුළං, කුඩා ජලවිදුලි, දැව, සුර්ය බලාගාර 700 වහල මත සුර්ය කෝෂ 300කි.

මෙහි මුළු එකතුව 4500කි. මේ වසරේ විදුලියේ උපරිම ඉල්ලුම මෙගාවොට් 2900 ක් බව පුරෝකතනය කර ඇත. 2020 දී උපරිම ඉල්ලුම මෙගාවොට් 2700 ක් විය. දෙවසරකට පසු ඉල්ලුම මෙගාවොට් 2900 ක් විය. ඉල්ලුම පුරෝකතනය කිරීමට සම්මත ක්‍රමවේදයන් ඇත. මෙගාවොට් 2900 ක ඉල්ලුම සැපයීමට මෙගාවොට් 4500 කින් නොහැකිද යන්නට ගැටලු මතු වෙයි.

විශාල ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන්නේ ජලාශවලින් ජලය මුදා හැරීමේ එකඟ වූ ක්‍රමවේදය අනුවයි.

මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කරන ආකාරයට ජලාශවලින් ජලය මුදා හැරේ. එවිට විදුලිය ජනනය කළ හැක. ජලය තිබුණත් විදුලිය ජනනය කළ නොහැකි වෙයි.

ලක්ෂපාන බලාගාර සමුහය වාරිජල පද්ධතියට කෙලින්ම සම්බන්ධ නැති නිසා, ජලය තිබේ නම්, එහි මෙගාවොට් 330 නිදහසේ භාවිත කළ හැකිය. තදබල නියඟයකදී, විශාල ජල විදුලි බලාගාර මෙග­ාවොට් 1400 න් උපරිම දායකත්වය මෙගාවොට් 500 ට සීමාවීමට ඉඩ තිබේ.

පසුගිය අගහරුවාදා වන විටත් (ජනවාරි 18 දින) මෙගාවොට් 1400 න් මෙගාවොට් 1050 ක් රාත්‍රි 7ට ක්‍රියාත්මක විය ( දත්ත විදුලිබල මණ්ඩල වෙබ් අඩවියෙන්). මේ දායකත්වය ඉදිරියේදී තව අඩුවනු ඇත. අප්‍රියෙල් වනතුරු වර්ෂාව නොලැබෙයි.

සුළං, කුඩා ජලවිදුලි, දැව, සුර්ය බලාගාර මෙන්ම සුර්ය කෝෂවලින් ද විදුලිය ලැබෙයි. වර්ෂාව ලැබෙන විට, හිරු පායන විටය. මේ ආකාරයට විදුලිය නිපදවෙයි. ඒ සියල්ල මේවා පුද්ගලික බලාගාර වේ.

ඉතා ලිහිල් කොන්ත්‍රාත් කොන්දේසි මත ඉදි කළ ඒවා ය. ජනවාරි සිට අප්‍රියෙල් දක්වා සුළං නැත; වර්ෂාව නැත. ඒ නිසා ප්‍රායෝගික ගැටලු මතු වෙයි. එනිසා එම මෙගාවොට් 1000 න් රටට අත්‍යවශ්‍ය විට දායකත්වයක් නොලැබෙයි.

එනිසා රටට ස්ථාවර බලාගාරවන්නේ තාප බලාගාර පමණයි. තෙල්, ගල් අඟුරු ප්‍රමාණවත් පමණ තිබේ නම් සියලු බලාගාර ඉතා හොඳ තත්ත්වයේ තිබුණද 2900 ක ඉල්ලුම සපුරාගැනීමට නොහැකිය.ඉන් අදහස් වන්නේ ආර්ථික අර්බුදය නොතිබුණත් මේ වසරේ විදුලිය කපා දැමීමට සිදුවන බවයි.

නමුත් බලාගාර නඩත්තු සඳහා වසරකට දින 35 ක් වසා තැබිය යුතුයි. තාප බලාගාර 8% ක ප්‍රමාණයක් හදිසි බිඳවැටීම් සිදුවිය හැකිය. ඒවා විදුලි සැලසුම්කරණයේ මූලික සිද්ධාන්ත වෙයි.

එනිසා බලාගාරයක් නඩත්තුවට වසා තැබීම, හදිසියේ නතර කිරීමට සිදුවීම මාධ්‍යයට ප්‍රවෘත්තියක් වුවද එය ජාත්‍යන්තර නිර්නායකවලට අනුකූල නම් එය ප්‍රවෘත්තියක් නොවේ. එය සරල සිද්ධාන්තයකි.

සුළං, කුඩා ජලවිදුලි, දැව, සුර්ය බලාගාරවලින් දායකත්වයක් නැතිද කෙබදු ද යන කරුණ මෙහිදි වැදගත් වෙයි. එහි වැදගත්කම පවතින්නේ විදුලි ශක්තිය ලෙසයි. විදුලි ශක්තිය මනිනු ලබනුයේ කිලෝවොට් වලිනි. 2020 දී එම බලාගාරවලින් විදුලි පද්ධතියේ ඒකක වලින් 12% ක දායකත්වයක් ලැබුණි. එහෙත් එය සුළඟ, ජලය, හිරු එළිය පවතින විට පමණක් ලැබෙයි.

වහල මත සුර්ය කෝෂ ඇති පාරිහෝගික සංඛ්‍යාව දැන් 30,000 කි. සුර්ය කෝෂවලින් නිපදවන විදුලිය රු 22ක් වන නිසා, 30,000 න් බොහෝදෙනා දැන් විදුලිය එම වැඩි මිලට විකුණා, ගෘහස්තවලට, කර්මාන්තවලට ලබාදෙන සහනාධාර මිලට විදුලිය පද්ධතියෙන් ලබා ගැනීම සිදුවෙයි. පොදුවේ රටේ පැන නැඟී ඇති ගැටලුව වන්නේ සුළං, කුඩා ජලවිදුලි, දැව, සුර්ය බලාගාරවල හැකියාවන් හා සිමාවන් නොදැන ඉන් සියලු අවශ්‍යතා සපුරාගත හැකි යැයි බොහෝ පාර්ශ්වයන් විශ්වාස කිරිමයි. 1984 සිට සැම වසරකම යවත්කාලීන කරන 20 අවුරුදු විදුලි ජනන සැලසුමක් ඇත.

එම සැලසුම්වලට කුමක් සිදුවීද යන්න ගැටලුවකි. බොහෝවිට සැලසුම් ක්‍රියාත්මක කිරීමක් සිදු නොවිණි. අවසාන ප්‍රධාන බලාගාරය ඉදිකර අවසන් කළේ 2014 දී ය. 2020 දී නිම කිරීමට සැලසුමේ තිබු සාම්පුර් බලාගාරය 2015 දී එවකට ජනාධිපතිවරයා විසින් අහෝසි කරන ලදී.

2017 දී නිම කිරීමට නියමිතව තිබූ ස්වභාවික (LNG) පර්යන්තයත් බලාගාරයත් පිළිබඳ 2015-2019 බලාගාරය ඉදි නොවිණි. ඒ කිසිදු යෝජනාවක් කිසිම බලාගාරයක් ව්‍යාපෘතියක් නිශ්චිත කාලයට සකස් නොවීමේ ප්‍රතිඵලය අද අපි අත් විඳින්නෙමු.

මන්දයත් එවිට විදුලිය සපයන ආයතන ආයෝජනයට මුදල් වෙන් කරන්නේ නැත. සැපයුමේ බිඳ වැටීම් වැඩි වී සැපයුම අඩාල වේ.

2021 දි විදුලි ඒකකයක වියදම රු 22 කි. පාරිභෝගියා ගෙවන්නේ 17 කි. 2013 සිට විදුලි මිල වැඩි කළේ නැත.

පාරිභෝගිකයා ගෙවන මිල වියදමට වඩා අඩු නම් එයත් අර්බුදයකි.

සාමාන්‍යයෙන් විදුලිබල ක්‍ෂෙත්‍රය වටා සිටිනුයේ සහනාධාරම පමණක් අපේක්‍ෂා කරන පාරිභෝගික පිරිසකි. ඒ කිසිවකු අනෙකා වෙනුවෙන් වැඩි සහනයක් ලබා දීමේ පරමාර්ථයෙන් යම් වැඩිපුර ගෙවීමක් කිරිමට කැමැත්තක් නැත.

පැන නැඟි අර්බුදයට ක්ෂණික විසඳුම් නැතත් දැනට උද්ගත වී ඇති විදුලි අර්බුදය වෙනුවෙන් පාරිභෝගික ජනතාව විදුලි පාරිභෝජනයේදී යම් සැලසුමක් ඇතිව ක්‍රියා කළ යුතුයි.

නමුත් මේ අවස්ථාවේදී එවැනි ක්‍රමවේදයන් අනුගමනය කළ පමණින් මේ අර්බුදයට ස්ථිරසාර විසඳුම් සෙවිමට නොහැකියි. ඒ නිසා අපි මේ අර්බුදයට තිර විසදුම් පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුය.

එක එල්ලේ බැලුවහොත් මේ සඳහා ජාතික මට්ටමේ විසඳුම් අවශ්‍ය වෙයි. එහිදී ප්‍රධාන වශයෙන් කෙළවරපිටිය ස්වභාවික වායු ආනයන පරියන්තය 2025 වසර වනවිට වැඩ අවසන් කිරීමට ක්‍රියාකළ යුතුයි. ඉන්පසුව ඒ පර්යන්තය සකස් සියලුම පාර්ශ්වන්ගේ සහය ඇතිව සිදු කළ යුතුයි. ඒ හා බැදුණු අනෙක් බලාගාරයන් වන කෙළවරපිටිය අංක දෙක ස්වභාධරණි බලාගාරය ඉදිකිරීම් මේ වනවිටත් සිදුවන අතර එය 2023දී අවසන් කිරීමට නියමිතය. එහි ධාරිතාව මෙගා වොට් 300 කි. ඉන්පසුව කෙළවරපිටිය අංක තුන බලාගාරයට 2025 ඉදිකිරීම් කිරිමට නම් ඩෙන්ඩර් කැඳවීම් අවසන් කර කඩිනමින් ඉදි කළ යුතුයි. ඒ ස්වභාවික වායුවලින් රුපියල් 15කට විදුලිය නිපදවනවාද ගල් අඟුරුවලින් රුපියන් 10 පමණ විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්නේද යන්න විමසා බැලිය යුතුයි.

ස්වභාවික වායුවලින් විදුලිය නිපදවන්නේ නම් විදුලි බිලට යම් බලපෑමක් වන බව ජනතාව දැනුම්වත් කළ යුතුයි. දැනට ගොඩනැඟී ඇති තර්කය වන්නේ ශ්‍රීලංකාව විකල්පයන් වෙත නැඹුරු නොවෙමින්, ගල්අඟුරු හා ජලවිදුලිය මතම විශ්වාසය තබා සිටින බවය.

කෙසේවෙතත් සාම්පුර් බලාගාරය ඉදිකිරීමට හැකියාව ඇත. එයට සැලසුම් සහ පරිසර අනුමැතියත් ලැබී ඇති නිසා එය යාවත්කාලීන කළ හැකියි. වහාම ඉදිකිරීම කළහැකි යි.

එසේ වුවහොත් මේ විදුලි බලපද්ධතියේ ධාරිතාව සම්පූර්ණ කර ගත හැකියි. කෙසේවෙතත් රජය පැහැදිලි කතිකාවක් ඇති කර සාම්පූර් සහ නොරොච්චෝලයේ වැනි නතර කළ ව්‍යාපාති නැවත ආරම්භ කළ යුතුයි.

අනෙක් කරුණ නම් පුනර්ජනනීය බලාගාරවලින් ප්‍රධාන සැපයුමට හිමිවන්නේ ආදේශක නොව ආධාරකයන් පමණයි.

දිවා කාලයේ භාවිත කරන ගෑස්, තෙල්, ගල්අගුරු භාවිතය අඩු කර ගැනීමට හැකියාවක් මෙමඟින් හිමි වෙයි. එහිදි සුර්ය සහ සුළං බලය සම්බන්ධයෙන් ඇති ඉදිකිරීම් කරන ප්‍රමාද ව්‍යාපෘති යම් පමණකින් කඩි නම් කිරීම තරගකාරි මිල ගනන් යටතේ කැඳවිම් කළ යුතුයි. තරගකාරී මිල ගණන් කැඳවීම නිසි ලෙස කර ගිවිසුම් අත්සන් කළ යුතුයි. ඒ අකාරයට මෙගාවොට් 150 ධාරිතාවෙන් යුතු පුනරීන් සුළං සහ සූර්ය පුනර්ජනනීය බලාගාරය ඉදිකිරීම් කඩිනම් කළ යුතුයි.

එසේ ම සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 සුර්ය බලාගාරයක් සඳහා සැලසුම් ඇති අතර එම ප්‍රමාද වන බලාගාර කඩිනමින් ඉදි කළ යුතුයි. එසේ කළ විට දිවා කාලය භාවිත වන ඉන්ධන දහනය අඩු කළ හැකියි.

ඉන්ධනවලට වඩා අඩු මිලට සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කළ හැකියි. නමුත් එමඟින් විදුලි නිපදවාගත හැකිවන්නේ විදුලි ඒකක පමණි. ධාරිතාවෙන් සුර්ය බලයෙන් ලබා ගැනීමට නොහැකියි.

මේ කරුණු සියල්ල එක ඉලක්කයකට ගමන් කළ යුතු වෙයි. රටේ විදුලිබල පනතට අනුගත වෙමින් එහි ප්‍රතිපාදන අනුව කළ යුතුයි. රටේ නීතියට අනුගතව පැහැදිලි ඉලක්ක කරා ගමන් කළ යුතුයි.

Comments